මේ දිනවල තිරගත වන ‘කම්බිලි‘ සිනමා නිර්මාණය ඔස්සේ අපූරු චරිත නිරූපණයක නියැළෙන හෙළ සිනමාවේ දෙස් විදෙස් සම්මානනීය අග්‍රගණ්‍ය සිනමාවේදිනිය නීටා ප්‍රනාන්දු ඒ පිළිබඳ සිය අත්දැකීම් විස්තර කරමින් අප හා කතාබහට එක් වූවා ය.
‘කම්බිලි‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
තව ම ගොඩාක් අය මේ චිත්‍රපටය නරඹලාත් නැහැ. මොකද තිරගත වෙන්න පටන් ගත්තේ මෑතකදිනේ. නරඹපු අය අතරින් බොහෝ අය ඒ චිත්‍රපටය හැමෝටම එකට ඉඳලා නරඹන්න පුළුවන්, කාලීන වටිනාකමක් තියෙන, ලස්සන ගීත, සටන්, ආදරය, සමාජ ව්‍යසනය, සතුට, දුක මේ හැම දෙයක් ම කැටිවුණු හරි ලස්සන ආදර්ශමත් චිත්‍රපටයක් කියලා කියනවා. ඒ අතර මම රඟපෑ ‘ලලිතා අම්මා’ චරිතය ගැනත් ප්‍රශංසාත්මකව කතා කරනවා.
අලුත් පරපුර එක්ක රඟපෑම සහ රූගත කිරීම් කටයුතු පහසු වුණා ද?
මම රූගත කිරීමකට ගියා ම එතන ඉන්නේ අලුත් අය ද පරණ අය ද කියලා හැඟීමක් කවදාවත් දැනිලා නැහැ. හැම කෙනෙක් එක්ක ම හරි ම සුහදව විනෝදයෙන් සහ සහයෝගයෙන් ඒ කාලය හොඳින් සතුටින් ගත කරන්න මට කවදත් හැකි වී තිබෙනවා. අනිත් හැමෝමත් මා එක්ක සුහදයි. ඉතින් රඟපෑමත් පහසුවෙන් සැහැල්ලුවෙන් කරන්න මට හැකි වෙයි.
ඔබට ලැබෙන බොහෝ චරිත සාත්ත්වික අභිනය මුල් කරගත් ඒවා නේද?
ඔව්. මටත් ඒක දැනිලා තියෙනවා. නමුත් අතීතයේ සිට බැලුවාම මම සෙල්ලක්කාර චරිත, පෙම්වතියගේ චරිත, ආන්දෝලනාත්මක චරිත වගේම සම සමව සාත්ත්වික අභිනය මුල් කරගත් චරිතත් රඟපාලා තියෙනවා. අනික මට චරිතයක් ලැබුණාම මම ඒ චරිතයේ ඇතුළටම කිඳා බහිනවා. අනිත් සියලු දෙයින් මිදිලා ඒ චරිතය බවට මම පත් වෙනවා. ඒ වෙලාවට මූණ දිහා බැලුවත් මම එතැන නැහැ. එතැන ඉන්නේ මම රඟපාන චරිතය පමණයි. මුහුණ එම චරිතයේ කැඩපත බවට පත් වෙනවා. රහස ඒකයි.
ඔබ රඟපෑ සිනමා චරිත සැබෑ ජීවිතයට සම්බන්ධ වෙලා නැද්ද?
පාංශු චිත්‍රපටයේ මම රඟපෑ චරිතය මගේ ජීවිතයට සැබෑවට ම සම්බන්ධ අත්දැකීමක් බවට පත් වුණා. පාංශු චිත්‍රපටයේ මගේ පුතාව අරන් යනවා වගේ මගේ මල්ලි කෙනෙක් ව ඒ කාලේ හදිසියේ ම දවසක පොලිසියෙන් ඇවිත් අල්ලගෙන ගියා. ඒ වෙලාවේ මගේ අම්මා පොලිසිය පස්සෙන් දිව්වා. ඊට පස්සේ මල්ලි හිරගෙදර ඉඳලා ඉංජිනේරු විභාගය ලියලා ඒකත් හොඳින් සමත් වුණා. ඒ කාලේ දවස ගානේ අම්මා මල්ලිව බලන්න හිර ගෙදරට ගියා. අම්මා විඳපු වේදනාව ඇයගේ මානසික කම්පනය මම හොඳින් ම දැක්කා. ඒ වගේ ම පාංශු චිත්‍රපටයේ රෙදි නැන්දා වගේ රෙදි නැන්දා කෙනෙක් අපේ ගමේත් හිටියා. එයා ගෙදරට ආවා ම පල්ලෙහාම පඩිය අයිනේ තමයි වාඩි වෙන්නේ. මම විවාහයෙන් පස්සේ මගේ සැමියා වන නීතිඥ ඒලියන් පෙරේරා සමඟ කැනඩාවට පදිංචියට ගියා. කැනඩාවේදි මම රෝහලක තමයි මගේ රැකියාව කළේ. එතැනදි විවිධ ජාතිවල නානාප්‍රකාර පුද්ගලයින් රෝගීන් ලෙස රෝහලට ආවා. ඔවුන් සමඟ සමීපව කටයුතු කරන්න මට ලැබුණා. විවිධාකාර පුද්ගල චර්යාවන් මම එහිදී අත්දුටුවා. මම චරිතයක් රඟපාද්දි මේ හැමදෙයක් ම එකතු වෙනවා.
ඔබගේ දක්ෂතාවලට නිසි ඇගයුමක් දේශීය වශයෙනුත් විදේශීය වශයෙනුත් ලැබුණා නේද?
ඔව්. 1998 වසරේ සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උලෙළේදී හොඳ ම රංගන ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. 1999 වසරේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති සම්මානය, විශ්ව කීර්ති සම්මානය, විචාරක සම්මානය මට ලැබුණා. 2000 වර්ෂයේදී හොඳ ම රංගන ශිල්පිනිය ලෙස ඕසීඅයිසී සම්මානය හිමි වුණා. ප්‍රංශය සහ ඉන්දියාව යන රටවලිනුත් මට හිමි වුණා. දුහුලු මලක්, පවුරු වළලු, පාංශු සිනමා කෘතිවල මම රඟපෑ චරිත දෙස් විදෙස් වශයෙන් අගය කිරීමට ලක් වුණා.
කාලයක් සිනමාවෙන් ඈත් වෙලා සිටි ඔබ ‘පවුරු වළලු‘ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම විවාහ වෙලා කැනඩාවට ගිහින් වසර විස්සකට පස්සේ තමයි ලංකාවට ඇවිත් ‘පවුරු වළලු’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. මගේ සැමියා මට පොරොන්දු වුණා මාව කවදා හරි ගෞරවාන්විතව නැවත සිනමාවට භාර දෙනවා කියලා. ඒ පොරොන්දුව ඉටු කිරීමක් හැටියට තමයි ‘පවුරු වළලු‘ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. ප්‍රසන්නත්, ටෝනිත් එකතු වෙලා මට රඟපාන්න පුළුවන් විදිහට එහි තිර පිටපත ලිව්වා. ඇත්තටම මගේ සිනමාවේ දෙවැනි ගමන ‘පවුරු වළලු‘ චිත්‍රපටය යි.
පාසල් කාලයේදීත් රඟපෑමට දක්ෂයි ද?
නීටා නැති නාට්‍යයක්, කලා කටයුත්තක් ඒ කාලේ මගේ පාසලේ තිබුණේ නැහැ. මම ක්‍රීඩාවටත් ගොඩාක් දක්ෂතා දැක්වූවා. මුලින්ම ගියේ කටුනේරිය පාසලටයි. හයේ පන්තියේ ඉඳලා වෙන්නප්පුව හෝලි ෆැමිලි කොන්වන්ට් එකට ගියා. පාසලේ හැම නාට්‍යයකම මම හිටියා.
පවුලේ විස්තර කොහොම ද?
අපේ පවුල ගුරු පවුලක්. මගේ සීයා ගමේ පාසලේ මුල් ගුරුවරයා. අම්මාත් ගුරු වෘත්තියේ නියැළුණා. මම ගොඩාක් වැඩ වැඩි දවස්වලට කොළඹ ගෙදර ඉන්නවා. නිදහසේ ඉන්න කාලෙට කටුනේරිය ගෙදර මගේ නංගිත් එක්ක මම ඉන්නවා. එහේ ලොකු වත්තක් තියෙනවා. ගෙදර හැම වැඩක්ම මම මගේ දෑතින් කරනවා. වත්තේ වැඩත් එහෙමයි. වැඩට ඉන්න අය උදව් කරනවා. මම අද හැම පැත්තකින්ම බැබළෙන්නේ මගේ සැමියා නිසා. එයා මං වෙනුවෙන් හැම දෙයක් ම කළා. කැනඩාවේ ඉන්න කාලේ එයා මාව හැම තැන ම එක්කගෙන ගිහින් ලස්සන තැන් බලන්න ඉඩ සැලැස්සුවා. කාටවත් අත නොපා ජීවිතය හැමදාම සතුටින් ඉන්න මට පුළුවන් වෙලා තියෙන්නේ මගේ සැමියා නිසයි.
ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට මොනවාද?
චමින්ද ඉලුක්වෙලගේ ‘මාගම්සෝලි‘ චිත්‍රපටය එන්න තියෙනවා. ඒකත් හරිම ලස්සන කාලීන නිර්මාණයක්. සසුන්ගත වූ තමන්ගේ පුතා පිළිබඳ කතාවක අම්මාගේ චරිතය මම රඟපෑවා. ඒ වගේ ම ‘ජිගලෝ‘ කියලා සමාජ ශාලා, ගණිකා වෘත්තිය, එම වෘත්තියේම යෙදෙන පිරිමි අය සම්බන්ධයෙන් වැඩිහිටියන් උදෙසා නිර්මාණය කළ තවත් ලස්සන චිත්‍රපටයක් ඉදිරියේදී එනවා. ඒ වගේ චිත්‍රපටයක මං මොන වගේ චරිතයක් ද කරන්නේ කියන කුතුහලය මගේ රසික පිරිසට තියෙනවා. ළඟදී ම ඒ ගැන දැන ගන්න ලැබේවි. ඒ වගේ ම නිලන්ත හපන්වීරගේ ‘තේජා‘ චිත්‍රපටයේත් මම රඟපෑවා. ඒවා ඉදිරියේදී දැකගත හැකි වෙනවා.
සිනමාවේදිනියක් නොවුණා නම් ඔබ කවුරු වෙයි ද?
නැටුම් ගුරුවරියක් වෙන්න තමයි මං පුංචි කාලේ ඉඳලා හිතාගෙන හිටියේ. මම ගමේ කලායතනයකින් උඩරට නැටුම් කලාවත් හැදෑරුවා. නමුත් දෛවය තිබුණේ රඟපෑමට යි.
තුෂාරී කළුබෝවිල