Home » ආදරය සම්බන්ධ කාරණාවලදී අපරාදෙ කියල හිතෙනවා

ආදරය සම්බන්ධ කාරණාවලදී අපරාදෙ කියල හිතෙනවා

මලීෂා බණ්ඩාර

by thanushika
August 31, 2024 12:30 am 0 comment
 අනුෂා රණසිංහ

මේ දිනවල විකාශය වන නාට්‍යය අතරින් සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ කොල්ලො දැලේ දාගන්න කපටි නයෝමිගේ චරිතය ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වෙලා තියනවා. ඉතින් නයෝමිට රඟපාන්නේ නව පරපුරේ දක්ෂ නිළියක් වන මලීෂා බණ්ඩාර. මලීෂා කියන්නේ නිරුපණයෙන් රංගනයට ආ සුන්දර යුවතියක්.

මේ කාලේ නිර්මාණ කටයුතු මොනවද?

මේ දවස්වල මම සද්ධාමංගල සූරියබණ්ඩාර සර් තිර රචනය කරන සිවගුරුනාදන් සර් අධ්‍යක්ෂණය කරන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන සල්ලිපොකුරු ටෙලිඩ්‍රාමා එකත් එක්ක වැඩ කරගෙන යනවා. ඒ වගේම සරත් දික්කුඹුර අයියගේ “කතරගම ප්‍රේමා” වේදිකානාට්‍ය එක්ක මේ දවස්වල වැඩ කරනවා. තව කරන්න ඉන්න නිර්මාණ දෙක තුනක්ම තියෙනවා.

වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ නිර්මාණය මොකක් ද?

කරපු හැම නිර්මාණයකින්ම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. දැන්නම් සල්ලි පොකුරු ටෙලිඩ්‍රාමා එකෙන් ගොඩක් ප්‍රේක්ෂකයා අතරට ගිහින් තියෙනවා. ඒ් චරිතයට ලැෙබන ප්‍රතිචාර එක්ක දැනෙනවා.

නිරූපිකාවක්, නිළියක් නොවුණා නම් කවුරු වෙන්න තිබුණ ද?

සමහර විට ගුරුවරියක්. මං ආසම ළමයි එක්ක කාලය ගත කරන්න. එයාලට ආදරය කරන්න, උගන්නන්න. මම ආස නැහැ ආයතනයක වැඩ කරන්න. ඒක නිසා කිසිම job interview එකකට මං ගියේ නැහැ.

චරිත තෝරාගෙන ද රඟපාන්නෙ?

ඔව්. අනිවාර්යයෙන්ම මුලින්ම මට ලැබෙන චරිතය ගැන තමයි අවබෝධ කරගන්න ඕන. ඒක නිසා චරිතය මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම බලලා තමයි මම නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ.

රංගනයට සීමා තියෙනවා ද?

ඔව් මට සීමා තියෙනවා. සමහර නිර්මාණවල අඩනිරුවත් දර්ශන මම දැකලා තියෙනවා. ඒ වගේ දේවල් මම කොහෙත්ම භාර ගන්නේ නැහැ. මම ආස චරිතාංග නිළියක් වෙන්න. විවිධ චරිත රඟදක්වන්න මම ආස කෙනෙක්. එහෙම වුණාට මුලින් කිව්වා වගේ දර්ශනවලට එකඟ වෙන්නෙ නැහැ.

දැන් නිරූපණයට වඩා වැඩි ඉඩක් දීලා තියෙන්නේ රංගනයට ?

දෙකම සමානව කරගෙන යනවා. මුලින්ම මම නිරූපිකාවක් විදිහට තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ නිසා නිරුපණය අතාහරින්න බැහැ. නමුත් මම දැන් ගොඩක්ම කැමති රංගනයට. මගේ හීන ඔක්කොම තියෙන්නෙ රංගනය පැත්තෙන්. මේ දවස්වල මගේ ඉගෙනීම් වැඩත් එක්ක රංගනය සහ නිරූපණය සමබරව කරගෙන යනවා.

ආදරේ ගැන තියෙන අත්දැකීම් එක්ක ආදරේ දකින්නෙ කොහොමද?

ආදරයට මම හරි ආදරෙයි. ආදරය කියන්නේ හැමෝම බලාපොරොත්තු වෙන සුන්දර අත්දැකීමක්. අපිට ගැළපෙනම කෙනා, හිතේ ඇඳුන කෙනා හිතට දැනුන කෙනා හමුවුණාම ආදරය කියන දේ හරි ලස්සන දෙයක් කියලා තමයි මම හිතන්නේ. විශ්වාසය, රැකවරණය, ආරක්ෂාව, එකිනෙකාට සුවපහසු බව, තේරුම් ගැනීම, ලිංගිකත්වය යන කාරණා හැමදෙයක්ම ආදරය තුළ තියෙනවා කියලා මට හිතෙනවා. තමන්ට තමන් වෙලා ඉන්න පුළුවන් නිදහසක් තියෙනවා නම් කෙනෙක් ළඟ ඒ හරිම කෙනා කියලා මට හිතෙනවා. ඒ කෙනා ළඟ අපි අවංකයි ආදරණීයයි කියලා හිතනවා. මාවා පෑමක් නැතුව තමන් වෙලාම ජීවත් වෙන්න පහසුයි කියන්නේ තමන්ගේ ආදරවන්තයා හරි කෙනා බව මට දැනෙන දෙයක්.

දැන් ඔබ ආදරවන්තියක් ද?

මම මීට මාස 8කට විතර කලින් ආදරවන්තියක්. දැන් නම් තනිකඩයි.

මොන වගෙ කෙනෙක් ද හොයන්නෙ?

ආදරයේදී මම කෙනෙක්ව හොයා ගන්නේ කලින් කිව්වා වගේ මට මම වෙලා ඉන්න පුළුවන් සුවපහසු කෙනෙක්ව හිතට තදින්ම දැනුෙණාත් විතරයි. ආදරයට අවශ්‍ය හැම අංගයක්ම තියෙන්න ඕන රැකවරණය, ආරක්ෂාව, විශ්වාසය තේරුම් ගැනීම සුවපහසු බව ලිංගිකත්වය ඒ හැමදේම ගැළපුන කෙනෙක් තමයි මගේ ජීවන සහකරු විදිහට තෝරගන්නේ .

ආදරේ කරන කෙනා රඟපාන්න එපා කිව්වොත් ඔබ මොකද කරන්නෙ?

එපා කිව්වොත් මං එයාට හොඳින් තේරුම් කරනවා රංගන ක්ෂේත්‍රය නරක තැනක් නෙවෙයි කියලා. අපේ හැසිරීම මත තමයි එය නරකද හොඳද කියලා තීරණය වෙන්නේ. මම මගේ සහකරුට කියනවා මාව විශ්වාස කරන්න තේරුම්ගන්න කියලා. කොහොමත් මම මගේ ජීවිතේ යම් කාලයකදී, රංගනයට සමු දෙනවා. ඒ කාලය දැනට මම තීරණය කරලා නැහැ.

ගම අම්පාර නේ, අන්තිමට ගමේ ගියේ කවද්ද?

මම ඉස්සර මාසෙට දෙපාරක් වගේ යනවා දැන් නම් කර්‍යබහුල නිසා මාසයක එක පාරයි යන්නෙ. කොහොමත් කොච්චර කාර්‍යබහුල වුණත් මම මගේ ගෙදර අයට මුල් තැන දෙන කෙනෙක්. අම්මා හැමතිස්සෙම වගේ මගේ පස්සෙන්මයි.

ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය ඇත්තටම හොඳයි. අම්මා තමයි ගොඩක්ම මගේ පස්සෙන් ඉන්නේ. අම්මයි අප්පච්චියි මට ගොඩක්ම ආදරෙයි. එයාලාගෙ ආදරය හයිය නිසා තමයි අද මේ තරම් දුරක් මම ඇවිත් ඉන්නේ.

ගත්තු තීරණ වැරදිල තියෙනවා ද?

ආදරය සම්බන්ධ කාරණාවලදි තමයි අපරාදේ එහෙම වුණේ කියලා හිතෙන්නේ. නැත්තන් කවදාවත් පසුතැවිලි වෙන තීරණ අරගෙන නැහැ.

නිළියක් වීම ගැන අද මොකද හිතෙන්නෙ

ආත්ම තෘප්තියක් දැනෙනවා. මම ආස දෙයක් තමයි රංගන ක්ෂේත්‍රය කියන්නේ. අද මම ඉන්න තත්ත්වය ගැන ගොඩක් සතුටුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division