Home » දැනෙන ආදරයක් ලැබුණොත් හිත එතැන නතර වේවි…

දැනෙන ආදරයක් ලැබුණොත් හිත එතැන නතර වේවි…

පියුමි බොතේජු

by thanushika
August 31, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

පියුමි බොතේජු කියන්නෙ පුංචි තිරයෙන් නිතර අපි හමුවට එන ආදරණීය චරිතයක්. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්නට හැකි කොමඩි වගේම සීරියස් චරිතත් මැනවින් රඟපාන්නට හැකි දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ එක්කම පියුමි කාටත් සමීප විවෘතව කතා බහ කරන ආදරණීය චරිතයක්. මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් හි වින්ද්‍යා කියන්නේත් පියුමිගේ රංගන ජිවිතේ ලැබුණු හොඳ කඩයිමක් කිව හැකි චරිතයක්. එකිනෙකට වෙනස් නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරේ ලබන පියුමි රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ.

කියා දෙන්න ආදරේ තරම් හි වින්ද්‍යා කියන්නේ පියුමිට ලැබුණු වෙනස් චරිතයක්නේ, කොහොමද ලැබෙන ප්‍රතිචාර?

නාට්‍යය ඇදෙනවා වගේ නේද කියලා අහපු අයම දැන් ඇයි මේ ඉවර වෙන්න ද යන්නේ, ඔයාගේ චරිතය දැනුණා කියලා අහන තැනට ඇවිත් තියෙනවා. ඒක තමයි නිර්මාණයක ඉන්න රංගන ශිල්පියෙක්ට සහ ශිල්පිනියකට වටිනා දෙයක්. ඒ ගැන සතුටක් තියෙනවා. විශේෂයෙන් එකේ ගෞරවය හිමි වෙන්න ඕනේ මහේෂ් සත්සර මද්දුමආරච්චිට. යම් අය මේ නාට්‍යය මඟ දාලා යද්දී එහෙම නොවෙන්න වග බලා ගන්න අයගෙන් උපරිම වැඩ අරන් ඉදිරියට අරන් ආවේ ඔහු. ඒ නිසා තමයි තාමත් ‘ට්‍රෙන්ඩ්ඩින් වන්‘ වෙලා තියෙන්නේ.

ඉස්සරහට එන්න තියෙන නිර්මාණ මොනවද?

වෙනස්ම විදියේ චරිතයකින් එන්න බලාපොරොත්තු වෙනවා. තරු ආදරේ කියන නාට්‍යය තුළින්. තරු ආදරේ ලියන්නේ බුද්ධිනි ජයවර්ධන. ඒ චරිතය ගැන දැන්ම කියන්න මම ආස නැහැ. හේතුව ඒක බලන්න ඉඩ තියන්න ඕනේ නිර්මාණයක්. මමත් ආසාවෙන් බලන් ඉන්නවා ඒ ටෙලි නාට්‍යය විකාශය වෙනකම්. බුද්ධිනි ජයවර්ධන ලියූ කවිතා තුළත් මම වෙනස්ම චරිතයක් කළේ. ගණිකාවන්ගේ මැඩම් කෙනෙක් විදිය

ට හිටියේ. අද සමාජයේ දකින්න ලැබෙන දෙයක් ගැන කතා වුණු ලස්සන නිර්මාණයක්. තව කොමඩි පැත්තේ චරිතයකටත් ඇරයුම් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මගේ වාසනාව කොමඩි සහ සීරියස් චරිත දෙකටම එක විදියට ආරාධනා ලැබෙන එක.

පියුමිගේ ජීවිතේම කලාවද?

මගේ හැම දේම කලාව. හේතුව මම කිසිම දෙයක් තිබුණ කෙනෙක් නෙවෙයි. නමුත් අද මම ගෙයක් හදාගෙන වාහනයක් අරගෙන ජීවත් වෙන්නේ සමාජයෙන් මේ තරම් ආදරයක් අරන් ජිවත් වෙන්නේ මේ කලාව නිසා. මම රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි. මම හඬ කැවීම් ශිල්පිනියක්. ඉවෙන්ට් කරනවා, නිවේදන කරනවා. ඒ නිසා මගේ වෘත්තීය කලාව වෙලා ඉවරයි. ඒ නිසාම ජීවිතේම කලාවම තමයි.

පියුමි කියන්නේ හරි ආදරණිය චරිතයක්, හැබැයි ඒ ආදරණිය බව වැඩි නිසාම ද මන්ද පියුමිට ආදරේ ඈතයි වගේ?

ඇත්තටම. මම ඊයේ පෙරේදා දවසකත් තනියම කල්පනා කළා ඇයි මට මෙහෙම වෙන්නේ. මම හැමෝම එක්ක ආදරෙන් විවෘතව ඉන්න කෙනෙක්. සමහර වෙලාවට මගේ මේ විවෘතභාවය නිසාම ද මගේ ජීවිතේට මටම ආදරේ කරන කෙනෙක් හමුවෙන්නේ නැත්තේ කියලත්. සමහර බැඳීම් ඇතුළේ මට සිද්ධ වුණේ රැවටෙන්න. ඒ නිසා සමහර අවස්ථාවල මම ආදරේ ගැන දෙපාර තුන්පාර හිතුවා. ඒ නිසාම මට අවංක ආදරයක් මඟ හැරුණ ද කියලත් හිතෙනවා. අදටත් තනියම ඉන්න වෙලාවට පාළුවක් දැනෙනවා. තව කෙනෙක්ගේ ආදරයක් රැකවරණයක් වගේම සොයා බැලීම වගේ ඒ දේවල් මට මිස් වෙනවා.

දැන් පියුමි ආදරේට ඉඩක් දෙන්නෙම නැද්ද?

ආදරේ කියලා ආව තැන් වලින් සීයට අසුවක්ම වෙලා තියෙන්නේ බොරුව. එතැන ආදරයක් නෙවෙයි තිබිලා තියෙන්නේ. මගෙන් ආලෝකයක් ලබා ගන්න ඕනේ නිසා හෝ එයාගේ දේවල් සපුරා ගන්න තියෙන උවමනාවට මාව ඉත්තෙක් කරගෙන තියෙනවා. මම කියන්නේ පුද්ගලයාට ආදරේ කරලා බලන්න ඕනේ. එහෙම නැතුව එයාගෙන් එහා තියෙන එයාට තියෙන දේවල් වලටවත් එයා ඉන්න තලයටවත් නෙවෙයි ආදරේ කරන්න ඕනේ.

පියුමිට දැනෙන ආදරයක් ලැබුණොත් එතන නතර වෙන්න ඉඩ තියෙනවානේ

අනිවාර්යෙන්ම.

පියුමි කියන්නේ පවුලේ බාලයා ඒ නිසා පවුලේ ආදරෙන් නම් අඩුවක් නැහැ නේ?

බාලයා වගේම පවුලේ එකම දුව. ඒ නිසා ආදරේ කියන දේ උපරිම ලැබුණු කෙනෙක්. මම අදටත් කියනවා තාත්තාගෙන් ලැබුණු ආදරේ තමයි මට ආදරවන්තයෙක් නැති වුණත් ඒ හිඩැස පිරෙව්වේ. තාත්තා නැතිවෙලා අවුරුදු දෙකක් වෙනවා මේ ඔක්තෝම්බර් වලට. තාත්තා ජිවතුන් අතර ඉන්නකම් කොච්චර අසනීප වුණත් මම එනකම් පුටුවට වෙලා බලන් ඉන්නවා. අපි තුන්දෙනා කෑවේ එකට. ඒ ආදරේ නම් මාරයි. දුවෙක් හොඳටම දන්නවා තාත්තගේ ආදරේ කොහොමද කියන එක. මම උපරිමයෙන්ම ඒ ආදරේ වින්ද කෙනෙක්.

ජිවිතේ ආපස්සට හැරිලා බලද්දී අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ

මම පුදුම සතුටක් ලබනවා. අපි කුලී ගෙවල් වල ඉඳලා පස්සේ අම්මා තාත්තා ණය අරගෙන ගෙවල් අරගෙන ජිවිතේ ගොඩනගා ගත්ත අය. අම්මා තාත්තත් මුල ඉඳන් පටන් ගත්ත ජිවිතයක් තිබ්බේ. ඒ දෙන්නගේ ආදරේ නිසා තමයි හැමදේම ගොඩ නගා ගත්තේ. අද වෙද්දී මට මගේ අම්මට තාත්තට උපරිමයෙන් සලකන්න ලැබුණා.

අද තාත්තා ජිවතුන් අතර නැහැ. නමුත් ඉන්නකම් එයා වෙනුවෙන් කැප වුණා. ඒක මම දරුවෙක් විදියට පුදුමාකාර සතුටක් ලබන දෙයක්.

පියුමිව අපිට විවිධ නිර්මාණ ඔස්සේ දිගටම දකින්න ලැබෙනවා නේද?

අනිවාර්යෙන්ම, මම මගේ අම්මටත් කිව්ව දෙයක්. මම මැරෙනකම්ම රඟපායි. මගේ ජිවිතේ වෙනස් කළේ කලාව. නැත්නම් අද මම කොහෙද කියලා නැහැ. දෙවියෝ අපි හැමෝටම එක අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාව ගන්නවද නැද්ද කියන එක තියෙන්නේ අපේ අතේ. මට ලැබුණු අවස්ථාවන් දෙකක් තමයි එකක් රැකියාවක්, අනික රුපියල් 3500ක් ලැබෙන වේදිකා නාට්‍යයක්. මම තෝරා ගත්තේ එදා වේදිකා නාට්‍යය. මල්සර බිසව් හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ නාට්‍යය. ඒ ආව ගමනේ අද මම ප්‍රේක්ෂක ආදරේ උපරිමයෙන් විඳින රංගන ශිල්පිනියක් බවට පත් වෙලා ඉන්නවා. තව මොනවද ඉතින්.

ජායාරූප – කල්ප මේනක පීරිස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division