Home » තරග පාවා දුන් ක්‍රිකට් දූෂිතයන්ගේ රෙදි ගැලවූ දකුණු ආසියාවේ පළමු නඩු තීන්දුව

තරග පාවා දුන් ක්‍රිකට් දූෂිතයන්ගේ රෙදි ගැලවූ දකුණු ආසියාවේ පළමු නඩු තීන්දුව

by gayan
August 31, 2024 12:30 am 0 comment

හත්වරුන්ගේ ක්‍රීඩාවත් හිටපු ක්‍රීඩකයන්ගේ අභිමානයත් මුදලට පාවා දීමට උත්සාහ කළ දූෂිතයකු ඉතාමත් කෙටි කාලයක් ඇතුළත නීතියේ රැහැනට හසු කරගැනීමට ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මීට මාස පහකට පෙර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලියේ සිදු වීමට ගිය මුදලට තරග පාවා දීමේ කුමන්ත්‍රණයක් නූලෙන් වැළකී ගියේය.

දූෂිතයා ඉන්දීය ජාතිකයෙකි. හෙතෙම කණ්ඩායම් හතක සහභාගිත්වයෙන් පසුගිය මාර්තු මස 8 වැනිදා සිට 19 වැනිදා දක්වා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලියේ කටයුතු කරමින් සිටියේ පන්ජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමනාකරු ලෙසය.

2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ආකාශ් පච්ලෝඩියා නමැති මේ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඔහුට රටින් පිටවීම ද අධිකරණය මඟින් තහනමට ලක් කළ ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිචෝදනා එක බැගින් නඩු දෙකක් ගොනු කරනු ලැබුවේ පසුගිය ජූලි මාසයේදීය. ඊයේ පෙරේදා මහනුවර මහාධිකරණය ඉදිරියේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයාට මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි විසින් නඩු දෙකෙහි චෝදනා සඳහා රුපියල් මිලියන පහහමාර බැගින් රුපියල් මිලියන 11ක දඩ මුදලක් පැනවූ අතර, වසර 10කට අත්හිටුවූ වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළාය. දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් අනිවාර්ය වසර හතරක සිර දඬුවමක් හිමි විය යුතු බවට ද නියම කළාය.

ආකාශ් පච්ලෝඩියාට මහාධිකරණයෙන් නියම වූ දඬුවම මුදලට තරග පාවා දීමේ සිදුවීම්වලට ශ්‍රී ලංකා භූමියේදී කිසිදු අවස්ථාවක් නොලැබෙන බව ලොවටම කදිමට කියාපෑමකි. එමෙන්ම එය ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත ස්ථාපිත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ විභාගයට ගත් පළමු නඩුව වන අතර, එම පනත යටතේ මුදලට තරග පාවා දීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට දකුණු ආසියාවේදී දඬුවම් නියම වූ පළමු අවස්ථාව ලෙසත් ඉතිහාසයට එක් විය.

ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය පැවැත් වූයේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් එල්සීටී විස්සයි20 ලීග් සමාගමේ සංවිධායකත්වයෙනි. විදේශීය ව්‍යාපාරික බලවතුන්ගේ හිමිකාරීත්වය යටතේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම්වලට පාකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බංග්ලාදේශය, ඇෆ­්ගනිස්තානය හා ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෝ රැසක් ඇතුළත්ව සිටියහ.

ආකාශ්ට එල්ල වූ චෝදනාව වන්නේ මාර්තු මස 9 වැනිදා හෝ ඒ ආසන්න දිනයක මහනුවර නගරයේදී ඔහු කළමනාකරු ලෙස කටයුතු කරන පන්ජාබ් රෝයල්ස් පිලේ එංගලන්ත ක්‍රීඩක ෆිල් මස්ටඩ් සහ නවසීලන්ත ක්‍රීඩක නීල් බෘම් වෙත අයුතු යෝජනාවක් කිරීමය. එය ක්‍රීඩාවේ නීතිවිරෝධී යෝජනාවකි. ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනතේ 5 වන වගන්තියේ (ඇ) උපවගන්තියේ සඳහන් වන පරිදි යම් ක්‍රියාවක් කිරීමට හෝ යම් ක්‍රියාවක් කිරීමෙන් වැළැකී සිටීමට, සෘජුව හෝ වක්‍රව, යම් තැනැත්තකුගෙන් අයැදීමක්, යම් තැනැත්තකු පොලඹවා ගැනීමක්, කැමැති කරගැනීමක් හෝ එ්ත්තු ගැන්වීමක් හෝ උපදෙස් දීම යටතේ බරපතළ වරදකි. එමෙන්ම එම පනතේ 9 වැනි වගන්තිය යටතේ වරදකරු කරනු ලැබීමේදී රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය.

මුදලට තරග පාවා දීමේ කුමන්ත්‍රණය සිදුවී ඇත්තේ ඉතාම සූක්ෂ්ම අන්දමටය. කළමනාකාර ඉන්දීය ජාතිකයා සිය මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වීමට සියලු කණ්ඩායම් මහනුවර පිහිටි එක්තරා තරු පන්තියේ හෝටලයක නවාතැන් ගැනීමට පැමිණීමෙන් පසුවය. තරගාවලියේ ආරම්භක දිනය වූ මාර්තු 9 වැනිදා පන්ජාබ් රෝයල්ස් පිලට තරගයක් නියමිතව තිබුණේ නැත. ඔවුන්ගේ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ රාජස්තාන් කිංග්ස් පිල සමඟ ඊළඟ දිනයේදීය.

9 වැනිදා රාත්‍රියේදී ආකාශ් පච්ලෝඩියා සිය මෙහෙයුම ආරම්භ කර තිබිණි. ඔහු පළමුව නීල් බෘම්ගේ කාමරයට ගියේය. ඊට පෙර එදිනම පස්වරුවේ ඉන්දීය කළමනාකරු නීල් බෘම් වෙත ඩොලර් දහසක මුදලක් පිරිනමා ඇති අතර, ඒ පිළිබඳ ඔහු විමසූ විට කළමනාකරු ප්‍රකාශ කර ඇත්තේ එය ආහාර දීමනාව බවය. නවසීලන්තයට වෙනුවෙන් ටෙස්ට් තරග 2කට, එක්දින තරග 39කට සහ විස්සයි20 තරග 11කට ක්‍රීඩා කර ඇති 40 හැවිරිදි නීල් බෘම් එංගලන්තයේ ප්‍රාන්ත තරගවලට ද සහභාගි වී ඇති පළපුරුදු ක්‍රීඩකයෙකි. ආහාර දීමනාව සහ ‘පොකට් මනි‘ ලෙස මෙවැනි තරගාවලියකදී ලබා දෙන්නේ සුළු මුදලක් බව නීල් බෘම් දැනසිටියා වන්නට ඇත. මෙතරම් විශාල මුදලක් ලබා දෙන්නේ ඇයි දැයි ඔහු කළමනාකරුගෙන් විමසා ඇත්තේ එනිසා විය යුතුය. ඊට පිළිතුරු ලෙස කළමනාකරු පවසා ඇත්තේ එය ත්‍යාගයක් ලෙස පිරිනැමූ බවකි. අනතුරුව එදින රාත්‍රියේ නීල් බෘම්ගේ කාමරයට ගිය කළමනාකරු ඔහුට පවසා ඇත්තේ හෙට තරගයේදී ඔහු ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන බවය. එහිදී පන්දු 10කට වැඩි සහ පන්දු 100කට අඩු ප්‍රමාණයකදී ලකුණු 10කට වඩා අඩුවෙන් දැවී යන ලෙසත් ඔහු නීල් බෘම්ට උපදෙස් දී තිබේ. එය ක්‍රීඩාවේ ජීව ගුණයට හා පැවැත්මට බාධා වන ආකාරයේ අයුතු යෝජනාවකි. සිය උපරිම දක්ෂතා දැක්වීම පසෙකලා අසාර්ථක අයුරින් ක්‍රීඩා කිරීමට කළ නීති විරෝධී යෝජනාවකි. එම යෝජනාව නීල් බෘම් ප්‍රතික්ෂේප කර තිබේ.

අනතුරුව එදිනම රාත්‍රියේ ඔහු සිය මෙහෙයුමේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පන්ජාබ් රෝයල්ස් පිලේ තවත් ක්‍රීඩකයකු වන ෆිල් මස්ටඩ්ගේ කාමරයට ගොඩ වී තිබේ. මුලින්ම පවසා ඇත්තේ කණ්ඩායමේ නායකත්වයට පත් කරන බවකි. ඒ වන විට නිල වශයෙන් පන්ජාබ් රෝයල්ස් පිලේ නායකයා වන්නේ තිලකරත්න ඩිල්ෂාන් ය. එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 10කට සහ විස්සයි20 තරග 2කට පමණක් ක්‍රීඩා කර ඇති 41 හැවිරිදි මේ ක්‍රීඩකයා එම යෝජනාවෙන් නිසැකවම විමතියට පත් වන්නට ඇත.

සිය අරමුණ පැහැදිලි කරන්නේ ඉන් අනතුරුවය. ආකාශ් ඔහුට කර ඇති යෝජනාව වන්නේ හෙට රාජස්තාන් කිංග්ස් පිල සමඟ පැවැත්වෙන තරගයේදී පන්දු 13කදී ලකුණු 10ට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ලෙසටය. එම යෝජනාව ෆිල් මස්ටඩ් ද එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබේ. කළමනාකරුගේ අරමුණ ඔට්ටු තැබීමේ ව්‍යාපාරයට අනුබලදීමක් බව ක්‍රීඩකයන් දෙදෙනාටම අවබෝධ වන්නට ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) දූෂණ විරෝධී ඒකකයට නීල් බෘම් මේ පිළිබඳ දැනුම් දෙනු ලබන්නේ ඒ අනුවය. එම දැනුම් දීමෙන් පසු එදිනම අයිසීසීයේ දූෂණ විරෝධී ඒකකය විද්‍යුත් තැපෑල මඟින් ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයට මේ බව දැනුම් දී තිබේ. විමර්ශන කටයුතු ආරම්භ වන්නේ ඒ අනුවය.

අවසානයේදී ආකාශ් පච්ලෝඩියාගේ පටු අරමුණ ඉටු වූයේ නැත. මාර්තු 10 වැනිදා රාජස්තාන් කිංග්ස් පිල සමඟ පැවැති තරගයෙන් පන්ජාබ් රෝයල්ස් පිල කඩුලු 7ක ජයක් අත්කර ගත්තේය. නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 50ක් රැස් කළ අතර, ඩ්වේන් ස්මිත් ලකුණු 62ක් වාර්තා කළේය. තරගය පාවා දීමට අයුතු යෝජනාව ඉදිරිපත් වූ ෆිල් මස්ටඩ් හට පිතිහරඹයට අවස්ථාවක් ලැබුණේ ද නැත. අයුතු යෝජනාව ඉදිරිපත් වූ නවසීලන්ත ක්‍රීඩක නීල් බෘම් එම තරගයට ක්‍රීඩා කළේ ද නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේ මුදලට තරග පාවා දීමේ කුමන්ත්‍රණ හා සිදුවීම්වලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එවැනි කුමන්ත්‍රණ හා තරග පාවාදීම්වලටත් නීති විරෝධී ඔට්ටු තබන බුකීකරුවන්ටත් පාරාදීසයක් බවට පත්වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ය. එමිරේට්ස් දේශයේ ඕනෑම ක්‍රිකට් තරගාවලියකදී ඒවා යහමින් සිදුවන බවට සාක්ෂි අපමණය. ඊට අමතරව පාකිස්තානය හා ඉන්දියාව මෙවැනි දූෂිත ක්‍රියා සඳහා තෝතැන්නකි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එවැනි මුදලට තරග පාවා දීමේ සිදුවීම් මෙතෙක් කිසිදු අධිකරණයකින් තහවුරු වී නැති අතර, ඒ පිළිබඳ පවතින්නේ ‘කසුකුසුවක්‘ පමණි. ආකාශ් පච්ලෝඩියා සිතන්නට ඇත්තේ ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඔහුගේ ඔට්ටු තැබීමේ ජාවාරමට කදිම තෝතැන්නක් වනු ඇති බවය. හිතේ හැටියට සිය නීතිවිරෝධී ක්‍රියා කලාපය පන්ජාබ් රෝයල්ස් පිලේ කළමනාකාරීත්වයට පත්වීමෙන් පසු වඩාත් පහසුවනු ඇතැයි ද ඔහු සිතන්නට ඇත. එහෙත් ඔහුට වැරදිණි. වරද පිළිගැනීමට පමණක් නොව අතිවිශාල දඩ මුදලක් ගෙවීමටත් වසර 10කට අත්හිටුවූ සිර දඬුවමකට යටත් වීමටත් ඔහුට දැන් සිදුවී තිබේ. එය මෙරට ක්‍රීඩාවෙන් දූෂණය තුරන් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටුවනු ලැබූ ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හා නීතිපති දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ සාර්ථක ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. එපමණක් නොව එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දෑස් විවර කිරීමටත් ඔවුන්ට ශ්‍රී ලංකාව දූෂණ ක්‍රියාවකට සම්බන්ධ කරගැනීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොලැබෙන බවට දුන් කදිම සහතිකයකි.

ආකාශ්ගේ නඩු විභාගයේදී ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කදිම සහායක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබී තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා කළ ප්‍රකාශය අතිශය වැදගත් ය. එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුදලට තරග පාවා දීමේ සහ නීතිවිරෝධී ඔට්ටු තැබීමේ ක්‍රියාවලිය හා එහි ඉතිහාසය පිළිබඳ කළ දීර්ඝ ප්‍රකාශයකි.

ශ්‍රී ලංකාව සහ ක්‍රිකට් ක්‍රීඩාව අතිශය සමීප ලෙස එකිනෙක හා බැඳී පවතින විෂයයන් බවත්, මෙරට ඕනෑම දරුවකු නිතැතින්ම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන බවත් සඳහන් කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මහාධිකරණයේදී ඉදිරිපත් කළ කරුණු මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ පවා අවධානය යොමු විය යුත්තකි.

ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කුඩා වියේ සිට ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී සිටින මෙරට දරුවන් පසුකාලීනව වෙනත් ක්‍රීඩා සඳහා යොමුවූවද ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති සංවේදිත්වය අඩු නොවන බවය. ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර් ධර්ම සම්බන්ධව හා ටෙස්ට්, එක්දින වශයෙන් බෙදී තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විස්සයි20 ප්‍රිමියර් ලීග් තරග රටාව එක්වීමත් සමඟ ක්‍රීඩාවේ දූෂණය ඉහවහා ගිය තත්ත්වයකට පත්වීමත් පිළිබඳ අධිනීතිඥවරයා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය. ඕනෑම ක්‍රීඩාවකට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් ජාත්‍යන්තර සූදු ව්‍යාපාරය සම්බන්ධ බවත්, බොහෝ රටවල එවැනි සූදු ව්‍යාපාර කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන බවත් සඳහන් කළ අධිනීතිඥවරයා එය නීතිවිරෝධී වන්නේ යම්කිසි ආකාරයකට තරගය වෙනස් කිරීම සඳහා ක්‍රීඩකයන් යොදා ගැනීම බවත් අවධාරණය කර තිබිණි. අතීතයේ සිට පැවත එන ක්‍රීඩාවේ ඓතිහාසික සාක්ෂි අනුව මිනිසා සිය විවේකය ගත කිරීමේ ක්‍රමයක් වශයෙන් ක්‍රිකට් හා වෙනත් විවිධ ක්‍රීඩාවල නිරතව සිටි බවත්, ක්‍රීඩාවේ නිරත වීමෙන් අපේක්ෂා කරන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් සමාන නීතිරීතිවලට එකඟවෙමින් එහි නිරතවීම බවත් එම කරුණු අතර වේ. යම්කිසි තරගයකට මුහුණ දී ඉන් ජය ලැබීම හෝ පරාජය වීම සමසේ භුක්ති විඳීම පිළිබඳ පැහැදිලි කරමින් රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉතාමත් යහපත් මට්ටමින් ආරම්භ වූ ක්‍රීඩාව අද වන විට අතිශය තරගකාරී මට්ටමකට යොමු වී ඇති බවය.

එපමණක් නොව වසර 2000දී පමණ එවකට දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙස කටයුතු කළ හැන්සි ක්‍රොන්යේ මේ ආකාරයට තරග පාවා දීමේ කුමන්ත්‍රණයකට හසුවීමෙන් ජීවිතාන්තය දක්වා තරග තහනමකට සහ විශාල දඩ මුදලකට යටත් වීමට සිදුවූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරග පාවා දීමේ නඩුව සම්බන්ධවත් අධිනීතිඥවරයා කරුණු පෙන්වා දී තිබිණි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දූෂණය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද උත්සාහ දරන බවත් ඒ සඳහා දූෂණ විරෝධී නීති රෙගුලාසි හඳුන්වා දී ඇති බවත් අවධාරණය කරමින් අධිනීතිඥවරයා සඳහන් කර ඇත්තේ වරදකරුට ලබා දෙන දඬුවම හා නියම කරනු ලබන දඩ මුදල ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අධිකරණයක පමණක් නොව බොහෝ විට ජාත්‍යන්තර වශයෙන් ද එවැනි චෝදනාවකට වරදකරු වන පුද්ගලයකුට දඬුවම් කිරීමේදී එය මිණුම් දණ්ඩ බවට පත්වීමේ සම්භාවිතාවක් ද පවතින බවය.

තරග පාවා දීමේ වැරදිවලට මෙවැනි විශාල දඩ මුදලක් පැනවීමේ නීති රෙගුලාසි ස්ථාපිත කර ඇත්තේ විදේශිකයන් ද සම්බන්ධ කරුණක් බැවින් ජාත්‍යන්තර මට්ටමේ දඩ මුදලකට සමාන විය යුතු වීමේ කරුණ මත බවත්, නොඑසේ නම් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ වරදකට රුපියල් 1500ක් වැනි දඩ මුදලක් නියම කිරීමේ තත්ත්වයක් පවතින පසුබිමක සුළු දඩයක් පැනවුවහොත් ඊට හසුවන වරදකරුවන් හමුවේ ශ්‍රී ලංකාවේ නීතිය සමච්චලයට පත්වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඉතා පැහැදිලිව කරුණු ප්‍රකාශ කර තිබිණි.

සුළු දඩයක් නියම වීමේදී රටේ කීර්තිනාමයට හානියක් විය හැකි බවත්, මෙරටදී හෝ විදෙස් රටකදී නැවත මෙවැනි ආකාරයේ වරදක් සිදු කළහොත් අත්වන ඉරණම පිළිබඳ දැනෙන පරිදි ප්‍රබල මට්ටමේ දඩ මුදලක් නියම කරන ලෙසත් අධිනීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි. එමෙන්ම අධිනීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙවැනි වරදක් ශ්‍රී ලංකාවේ අධිකරණය සුළුකොට නොසලකන බවට නිවාරණාත්මක පණිවිඩය සමාජගත වන ආකාරයේ ප්‍රබල දඩයක් නියම කරන ලෙසටය.

මහනුවර මහාධිකරණ විනිසුරුවරිය දර්ශිකා විමලසිරි ඉන්දීය ජාතිකයාට තීන්දුව ලබා දුන්නේ මේ සියලු කරුණු සලකා බැලීමෙන් පසුවය. එය වූකලී මෙරට අධිකරණයකදී ක්‍රිකට් තරග මුදලට පාවා දීමේ චෝදනාවකට ලබා දුන් පළමු දඬුවම ලෙස ඉතිහාසයට එක්වූවා පමණක් නොව ඕනෑම ක්‍රීඩාවකින් නීතිවිරෝධී ආකාරයේ ඔට්ටු තැබීමට හා තරග පාවා දීමට ශ්‍රී ලංකා භූමිය අනිසි ලෙස භාවිත කිරීමේ හා ශ්‍රී ලංකාව තරග පාවා දීමේ පාරාදීසයක් බවට පත් කරගැනීමේ පටු චේතනාවෙන් පසුවන දෙස් විදෙස් ජාවාරම්කරුවන්ට ලබා දුන් කදිම පණිවිඩයකි. ්‍

(අධිකරණ වාර්තා ඇසුරෙනි)

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division