Home » ලක්ෂ ගණන් මුදල් වංචා කරමින් රට රැවටූ හොර විනිසුරු

ලක්ෂ ගණන් මුදල් වංචා කරමින් රට රැවටූ හොර විනිසුරු

by thanushika
August 31, 2024 12:30 am 0 comment

වංචනික පුද්ගලයන් සිදු කරන අපරාධවල අඩුවක් නැත. කපටි කෛරාටික මිනිසුන් අහිංසක මිනිසුන් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කරමින් සිටින්නේ නීතියේ ඇසටද වැලි ගසමිනි. දිසා විනිසුරුවරයකු ලෙස පෙනී සිටිමින් වංචාකාරී ලෙස ජනතාව රවටමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයමින් සිටි පුද්ගලයෙකු පසුගියදා නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වුයේ ගන්දර පොලිස්බල ප්‍රදේශයේදීය.

ඉතා සූක්ෂ්මව හැසිරෙමින් පොලිස් රැකවරණ ද මධ්‍යයේ මෙරට ප්‍රසිද්ධ සිද්ධස්ථානවල පවා වන්දනාමාන කටයුතු සිදු කරගනිමින් මඟතොටේ සිටිනා පොලිස් නිලධාරීන්ගේ ආචාර සමාචාරවලට පවා ලක්වෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ මේ හොර දිසා විනිසුරුවරයාගේ කතාව පෙළ ගැසෙන්නේ මෙලෙසය.

ඒ පසුගිය අගෝස්තු මස19 දිනයයි. වේලාව සවස 12.30 පසුවෙමින් තිබියදී ගන්දර පොලිසියේ ප්‍රධාන දුරකතනයට ජංගම දුරකථනයකින් පුද්ගලයෙකු ඇමතුමක් ලබා දෙමින් තමා බදුල්ල දිසා විනිසුරු බවත් මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමසීමට පැමිණි අවස්ථාවේ දෙල්ගල්ල ප්‍රදේශයේ නිවසක කිසියම් පිරිසක් විසින් තමා රඳවාගෙන සිටින බවත් ඔවුන් තමාට කරදර කරනා බවත් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු එවා තමාට රැකවරණය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

ඒ වනවිට ගන්දර පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි සැරයන් 13578 කපිල රාජපක්ෂ මෙම සිදුවීම එදින ගන්දර පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණවර්ධනට දැනුම් දුන් අතර නිශාන්ත ගුණවර්ධන විසින් ගන්දර පොලිසියේ පොලිස් ජංගම මුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් කණ්ඩායමට ඇමතුමක් ලබා දෙමින් අදාළ සිද්ධිය පවසා වහා එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කරන ලෙස දන්වා සිටියේය.

ඒ අනුව ගන්දර පොලිසියේ ජංගම පොලිස් රථයේ සිටි උප පොලිස් පරීක්ෂක නිහාල්, සැරයන් 41754 කරුණාරත්න සහ කොස්තාපල් (රියැදුරු) 13219 ගුණතිලක යන නිලධාරීන් අදාළ නිවසට ගොස් පරීක්ෂාකොට බලා දිසා විනිසුරුවරයා බවට පෙනී සිටි පුද්ගලයා පිළිබඳ ඇති වූ සැකය මත ඒ පිළිබඳව ගන්දර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති නිශාන්ත ගුණවර්ධනට දැනුම් දී ඔහුගේ උපදෙස් මතය දෙපාර්ශ්වයම ගන්දර පොලිස් ස්ථානය වෙත රැගෙන ආවේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය.

ඔහු පැමිණි මෝටර් රථයද අධිකරණ විනිශ්චයකාරවරුන් භාවිත කරන වර්ගයේ එකක් නොවීමත් සැකකරුගේ හැසිරීම් රටාවත් මත ඇති වූ සැකය මත සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ දිසා විනිසුරුවරයා බවට පෙනී සිටි පුද්ගලයා පිළිබඳ සැකය තවදුරටත් වැඩිවූ බැවින් ඒ මොහොතේ පොලිසියේ කාර්යභාර නිලධාරීවරයා ලෙස සේවය කරමින් සිටි සැරයන් කපිල රාජපක්ෂ උසාවි සැරයන්වරයා ලෙස කටයුතු කර ලබා ඇති අත්දැකීම් ඔස්සේ දෙවන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව, නීතිඥවරයකුගේ පත්වීම ලබාදීමට අදාළව අත්සන් කිරීම පිළිබඳව, සාක්ෂි ආඥා පනතේ අංක 136 සිට 137 දක්වා ඇති නීති ආදී කරුණු කීපයක් පිළිබඳ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බියට පත්ව වෙව්ලන්නට පටන් ගැනිණි. ඒ සමඟම දෙන ලද පිළිතුරු ද වැරදි ඒවා විය.

පසුව ඔහු නීතිඥවරයකු ලෙස ලබාගත් හැඳුනුම්පතක් පෙන්වා තිබේ. සැරයන් රාජපක්ෂ මාතර නීතිඥ සංගමයට මේ පිළිබඳ දන්වා අදාළ හැඳුනුම්පත පිළිබඳ සොයා බැලීමක් සිදු කෙරිණි. ඒ අනුව අනාවරණය වී ඇත්තේ එම හැඳුනුම්පත නීතිඥ සංගමය හෝ නීතිඥ සංගමයකට අදාළ වෙනත් ආයතනයකින් නිකුත් නොකරන ලද ව්‍යාජ හැඳුනුම්පතක් බවයි. නීතිඥ සංගමයේ නිලධාරීන් විසින් සැකකරු සමඟ දුරකතනයෙන් කතාබහ කොට පොලිසියට දැනුම්දී ඇත්තේ ඔහු ව්‍යාජ දිසා විනිසුරුවරයෙකු හා ව්‍යාජ නීතිඥයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයකු බවයි. ඒ අනුව සැකකරු ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ගන්දර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති නිශාන්ත ගුණවර්ධන විසින් මෙම සිදුවීම පිළිබඳව ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්නට දැනුම්දී ඔහුගේ උපදෙස් මත පසුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට වසර විස්සකට පමණ පෙර බොරැල්ල ප්‍රදේශයේ ස්ථානයකින් මෙම ව්‍යාජ හැඳුනුම්පත සකස්කර ගත් බවත් හෝමාගම, බදුල්ල, නුවර, අලුත්කඩේ හා කුලියාපිටිය ප්‍රදේශවල නිල නොවන අයුරින් නීතිඥයකු ලෙස පෙනී සිටිමින් ජනතාවට නීති උපදෙස් ලබාදීම සිදුකර ඇති බවයි. ඇතැම් අවස්ථාවල උසාවියේද පෙනී සිට ඇති බවත් තමන් නොදන්නා නීති කරුණු ඔස්සේ ගොනු වන නඩු සඳහා වෙනත් නීතිඥවරයින් යොදවා ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචි පනස්අට හැවිරිදි සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වංචා ලෙස පුද්ගලයන්ගෙන් ලබාගත් බවත් එය කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ උසාවිය අසලදී අදාළ ගනුදෙනු සිදුවූ බවත් අනාවරණය කරගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ සැකකරු විසින් පුද්ගලයින් විදේශගත කරන බවට පොරොන්දු දී රුපියල් ලක්ෂ විස්ස බැගින් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් සහ රුපියල් ලක්ෂ දහතුනහමාරක් සහ රුපියල් ලක්ෂ දහතුනක් ලෙස තවත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් මුදල් වංචාකර ඇති බවට පැමිණිලි හතරක් ගන්දර පොලිසිය වෙත ලැබී ඇති බවයි.

වැඩිදුරටත් සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුණු පොත මඟින් අදාළ පුද්ගලයා දෙල්ගල්ල ප්‍රදේශයේ නිවැසියන් විසින් හඳුනාගෙන සබඳතා පවත්වමින් දින ගණනක සිට එම නිවසේ රැඳී සිට ඇති බවයි. එමෙන්ම දිසා විනිසුරු හැඳුනුම්පත පෙන්වා ප්‍රභූ ආසනයක් වෙන්කරවාගෙන දෙවිනුවර ඇසළ පෙරහර නරඹා ඇති බවත්, එහිදී පොලිස් නිලධාරීන්ගේ ආචාර සමාචාර ද ලබාගෙන ඇති බවයි. පසුව දෙනියාය කොස්මෝදර පොලිසියේ නිලධාරින් සමඟ ගැටබරු දේවාලයටත්, කතරගම පොලිසියේ සහායෙන් කතරගම දේවාලයටත් ගොස් පොලිස් නිලධාරීන් මඟින් මල් වට්ටි ගෙන්වාගෙන පූජාවන් ද සිදුකර ඇති බවයි.

සැකකරු ඒ ආකාරයෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ද සිය හැඳුනුම්පත භාවිත කොට ප්‍රභූවරයකු ලෙස පෙනී සිටිමින් වන්දනාමාන කිරීම ද සිදුකර ඇති බවයි. ඔහු ගමන් ගන්නා මෝටර් රථයේ නීතිඥ සංගමයේ සහ විනිසුරුවරයකු ලෙස සිටින බව දැක්වෙන ලාංඡන අලවා ඇති බැවින් ඔහු යන එන සෑම අවස්ථාවකදීම මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් ආචාර සමාචාර කර ඇති බවද වාර්තා වී ඇත.

ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී නීති පොත් 20ක් ද සොයා ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කෙසෙල්වත්ත පොලිසියට ද කරුණු වාර්තාකර ඇති අතර ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් භාවිත කරමින් දිසා විනිසුරුවරයකු ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් ගන්දර පොලිසිය මඟින් සැකකරු පසුගිය20 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කැප්තැම්බර් මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සිදුවීම පිළිබඳ පුවත්පත් වාර්තා පළවීමෙන් පසු මීගමුව හා මහියංගණය ප්‍රදේශවලින්ද ජනතා පැමිණිලි 06ක් ලැබුණු බව ගන්දර පොලිසිය පැවසුවේය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි ගන්දර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජයසිරි පේදුරුආරච්චි- ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division