Home » දියණියගේ නඩත්තු මුදල් ආරවුලට මහ පාරේ අවසන් ගමන් ගිය තාත්තා

දියණියගේ නඩත්තු මුදල් ආරවුලට මහ පාරේ අවසන් ගමන් ගිය තාත්තා

by thanushika
September 6, 2024 12:30 am 0 comment

“මේකි මගේ කෙල්ල. ඒ ගැන උඹට කතා කරන්න දෙයක් නෑ. වරෙන් යන්න කෙල්ලේ මාත් එක්ක.” ගයාන් සිය දියණියගේ අතින් අදිමින් එසේ පැවසුවේ මිල්ලනිය, දෙල්දොරවත්ත බේකරිය ඉදිරිපිට පාරේදීය.

දියණිය සිටියේ ගයාන්ගේ නෑනා සමඟය. එනම් ගයාන්ගේ බිරියගේ සහෝදරයාගේ බිරිය සමඟය. ඒ ගයාන්ගේ 13 හැවිරිදි දියණියව රැක බලා ගන්නේ මේ නෑනා සහ මස්සිනා විසින් වීම නිසාය. ඔවුන් සිටියේ දෙල්දොරවත්ත ප්‍රදේශයේ සිට කිලෝමීටර් පහක් පමණ දුරින් වන රද්දේගොඩ නමැති ගම්මානයේය.

ගයාන්ට සිටියේ මෙම දියණිය පමණය. ඇය කුඩා කාලයේම ඇගේ මව ගයාන්ව අත්හැර වෙනත් පුරුෂයකු සමඟ ගියේ දියණියගේ බරද ගයාන් පිට පටවමිනි. කුලී රැකියාවක් සිදුකර ජීවත් වූ ඔහුට මේ නිසා රැකියාව කරගැනීමට පවා දැඩි වෙහෙසක් ගැනීමට සිදුව තිබුණි.

ගයාන්ව අත්හැර ගිය බිරිය ඉන් නොනැවතී තවත් අනියම් ඇසුරක් සොයාගත්තේ තහනම් ගහේ ගෙඩි වඩාත් රසවත් වීම නිසා විය යුතුය.

එහෙත් වැඩි කාලයක් ඇයට එම රස විඳීමට ඉඩ නොතබාම දෙවන පුරුෂයා විසින් මිල්ලනිය නගරයේදී පිහියකින් ඇන ඇය ඝාතනය කරන ලදී.

කුඩා දියණියගේ වැඩ කටයුතු ගයාන් අතින් නිසි ලෙස සිදු නොවන බැවින් ගයාන්ගේ බිරියගේ බාල සහෝදරයා විසින් ඇය රැගෙන ගොස් හදා වඩා ගැනීමට කටයුතු කළේ දරුවාට දැක්වූ දැඩි සෙනෙහස නිසාමය.

දරුවන් නොසිටි ගයාන්ගේ මස්සිනා සහ නෑනා ගයාන්ගේ දියණිය රැකබලා ගත් අතර මාසිකව රුපියල් 8500ක මුදලක් දියණියගේ වියදමට ගෙවීමට ගයාන්ට උසාවියෙන් නියෝගයක් ලැබී තිබිණ. සෑම මසකම දහවැනිදාත් පහළොස් වැනිදාත් අතර මෙම මුදල ගෙවීම ගයාන්ට නියමව තිබිණි. එහෙත් ඔහුට බැංකු ගනුදෙනු පිළිබඳ වැටහීමක් තිබුණේ නැතුවා මෙන්ම ස්ථිරවම පදිංචි නිවසක් ද නොතිබිණි. මේ නිසා ගයාන් කටයුතු කළේ මෙම මුදල මිල්ලනිය, රන්මිණික ප්‍රදේශයේ ඥාති නිවෙසක තැබීමටය.

එදින ගයාන්ගේ නෑනා ඔහුගේ දියණිය සමඟ පාපැදියෙන් රද්දෙගොඩ නිවෙසේ සිට මිල්ලනිය රන්මිණික ප්‍රදේශයේ ඥාති නිවෙසට පැමිණියේ මෙම මුදල රැගෙන යාම සඳහාය. එහෙත් එදින ගයාන් විසින් මුදල් තබා තිබුණේ නැත. දියණිය රැගෙන නෑනා ආපසු පැමිණෙමින් සිටියේ මුදල් නොමැතිවීම ගැන සිතමිනි. දෙල්දොරවත්ත බේකරිය අසල මාර්ගයේදී ඇයට ගයාන් හමුවන්නේ මේ අතරය. ඔහු පැමිණියේ යතුරුපැදියෙනි. ඔහු යතුරුපැදියෙන් බැස හිස්වැස්ම එහි රඳවා දියණිය රැගෙන යාමට උත්සාහ කළේ එවිටය.

“උඹද මෙච්චර කල් කෙල්ලව හදාගත්තේ? දැන් එනවා මෙතන අයිතිවාසිකම් කියන්න” යැයි නෑනා කෑගැසුවාය. ඇගේ කටේ සද්දය ද ඉතා බලවත්ය.

“මගේ කෙල්ල මට ලොකුයි බොල. උඹ වරෙන් කෙල්ලේ මාත් එක්ක යන්න” යැයි බීමතින් සිටි ගයාන් දියණියගේ අතින් ඇද රැගෙන යාමට උත්සාහ කළේ නෑනාට මුදල් දීමට අපහසු නිසා විය යුතුය.

“උඹද මෙච්චරකල් මේකිට කන්න බොන්න දුන්නෙ. යකෝ මගේ කුසින් වැදුවෙ නැති වුණාට මගේ දරුවෙක් වගේ තමයි මං මේකිව හදාගත්තේ. තෝ ඒක දැනගෙන කතා කරපිය” යැයි නෑනා ද බෙරිහන් දුන්නීය.

වටපිට බැලූ නෑනා දුටුවේ එහා පැත්තේ ඇති රඹුටන් වත්තේ පාත් වූ රඹුටන් අත්තකට තබා ඇති කුරුඳු ලීයකි. එය අතට ගත් ඇය සැමියාට දුරකතන ඇමතුමක් ලබා දෙමින් පැවසුවේ ගයාන් තමාට පහර දෙන බවය. යතුරුපැදියේ නැගුණු මස්සිනා ඉගිල ආවේ ඇගේ බොරුව ඇත්තක් යැයි සිතා කෝපයෙනි. ඔහු පැමිණෙන විටත් දෙදෙනාගේ බැණ අඬගැසීම එලෙසමය.

“මූ මට ගැහුවා” ඇය සැමියා අතට අඩි හතක් පමණ දිග කුරුඳු පොල්ල ලබා දුන්නේ ගයාන්ට බැණ වදින අතරය.

ගයාන්ගේ යතුරුපැදියේ හැඬලය මත රඳවා තිබූ ඔහුගේ හිස් ආවරණය අතට ගත් නෑනා එයින් ගයාන්ගේ හිසට පහර දුන්නේ හිත්පිත් නොමැති යක්ෂණියක් පරිද්දෙනි.

“උඹ මොකද මගේ ගෑනිට ගැහුවේ?” නෑනාගේ සහ මස්සිනාගේ පහර දීමෙන් හෙම්බත් වූ ගයාන් බිම වැටුණු අතර එවිට ද ඔවුන් පහර දුන්නේ තිරිසන් සතෙකුටවත් එවැන්නක් සිදු නොකරන අයුරිනි.

“උඹ වරෙන් ඉක්මනට. මං කෙල්ලව අරන් යන්නම්”

මාමා සහ නැන්දා විසින් පියාට පහර දෙන අයුරු සියැසින් දැක භීතියටත් වේදනාවටත් පත්ව කෑමොර දෙන දියණිය යතුරුපැදියේ නංවා ගත් මස්සිනා බිරියට එසේ පවසා එතැනින් මාරු විය.

ගයාන්ගේ පියාට මෙම සිද්ධිය දැනගැනීමට ලැබුණේ ඉන් පසුවය. ඔහු පැමිණ පිරිස එකතු කරගෙන 1990 ගිලන් රථයෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ඒමට කටයුතු කළත් අලුයම 2.00ට පමණ ඔහුගේ අවසානය ලියැවී තිබුණි.

මෙම මරණය ඝාතනයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කළේ ඉන් පසුවය.

මියගොස් ඇත්තේ ගයාන් රුක්මල් නමැති 36 හැවිරිදි පුද්ගලයකු බව ද ඔහු මිල්ලනිය, දෙල්දොරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද අනාවරණය වන්නේ ඒ අනුවය.

සිද්ධිය වූ ස්ථානයට ගිය මිල්ලනිය පොලිසියේ නිලධාරීන්ට දැකගත හැකි වූයේ පහරදීමට යොදා ගත් කුරුඳු පොල්ල සහ කොටස් කිහිපයකට කැඩී ගිය යතුරුපැදි හිස් ආවරණයය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි. පාණදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් ද එහි පැමිණ විමර්ශන ආරම්භ කළේය.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එහිදී අනාවරණය වූයේ පහර දීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බවය. පලා ගොස් සැඟවී සිටි සැකකාර යුවළ අත්අඩංගුවට පත්වන්නේ ඉන් පසුවය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාරගේ අධීක්ෂණයෙන් මිල්ලනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහීක ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගමගේ අජිත් විජිතසිරි, සැරයන් (70395) බණ්ඩාර, කොස්තාපල් (39946) සාරංග යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division