හොරණ මීවනපලානේ සිරිල්ටන් වත්ත විවිධ ප්‍රදේශවල ජනතාවට හිමි වූයේ වතු පාලනයෙන් මිදී කොටස් කිරීමෙන් පසුවය. එය අක්කර ගණනාවක් පුරා විසිරි පැතිරුණ වත්තකි. ‘ප්‍රදීපිකා’ මේ වත්තේ පදිංචියට ආවේද ඒ අනුවය. ඒ අක්කර දොළහ කොටසටය. ඇගේ මව, පියා ජීවත් වන්නේද මේ වත්තේමය. ප්‍රදීපිකාගේ සැමියා සුරංගය. ඔහු ඇගේ දෙවන සැමියාය. නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්ව ඇය සුරංග සමඟ පවුල් ජීවිතය ආරම්භ කළේ මීට වසර දහයකට පමණ පෙරය.
පුතුන් තිදෙනකුගේ මවක් වූ ප්‍රදීපිකාගේ ජීවිතයේ හැලහැප්පීම් එමටව තිබිණි. ඇගේ වැඩිමහල් දරුවා මියයන්නේ ගැටවර වියේදීමය. දෙවන පිරිමි දරුවාද සසුන් ගතවීමට කටයුතු කළේ කුඩා කාලයේදීමය. අවසානයේ ඇයට ඉතිරි වූයේ බාල පිරිමි පුතු පමණි. මේ වන විට දහතුන් හැවිරිදි වියේ පසුවන ඔහු ඉගෙනුම ලබන්නේ මීවනපලාන විදුහලේය. ඇගේ නිවෙසට උඩින් ඇගේ මව වන කුසුමලතා සහ පියාද පදිංචිව සිටින අතර 13 හැවිරිදි පුතු සහ සැමියා සමඟ ඇය සිය නිවෙසේ පදිංචිව සිටියාය.
හොරණ, අඟුරුවාතොට පාරේ තක්ෂිලා විද්‍යාලය ඉදිරිපිට ඇති ‘වඩේ කරත්තයේ’ හිමිකරුවා වූයේ සුරංගය.ගමේ ඇය ඇසුරු කළ පිරිස අතර රියැදුරෙකු වන අසල්වැසියෙකුගේ බිරිය ද සිටියාය. මීට වසර පහකට පමණ පෙර එම කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ පලා ගිය අතර ඔහු සැක කළේ ඊට අනුබල දුන්නේ ප්‍රදීපිකා බවටය.
“මේකි තමයි මේ සේරටම මුල. කරන්නම්කො මං හොඳ වැඩක්…”
රියැදුරාගේ සිතේ සැකයත් සමඟම වෛරයක්ද ගොඩනැඟෙමින් තිබුණේ කාලයට හොරාය. මේ නිසා නිතර එම පුද්ගලයා ප්‍රදීපිකා සමඟ බහින්බස් වීම් ඇතිකර ගත්තේය.
මෙම නිවෙසට යාබද කොටසේ පිහිටා තිබුණේ සිරිල්ටන් වත්තේ පොදු ළිඳය. එකල ගමේ බොහෝදෙනකු දිය නෑමට පැමිණියේ මේ ළිඳටය. මේ අතර ප්‍රදීපිකාගේ වත්තේ තිබූ පොල් ගසක් කඩා වැටුණේ ළිඳ අවහිර වන පරිදිය. ඒ සිද්ධියද රියැදුරාට ප්රදීපිකාලා සමඟ රණ්ඩුවක් ඇතිකර ගැනීමට හොඳ මාතෘකාවක් වූයේ ඔහුගේ හිතේ ඇවිළෙන කෝපය පිට කළ හැකි මාවතක් වූ බැවිනි.
ප්‍රදීපිකාගේ සැමියා වූ සුරංගද මෙම කතාවලට පැටලුණ බැවින් මෙම අරගලය බොහෝ දුරදිග යන තත්ත්වයට පත් වූයේ කාටත් හොරාය. සුරංගගේ වැඩිමහල් සහෝදරයා රොහාන් චතුරංග මෙම සිද්ධිය ගැන පැවසුවේ මෙවැන්නකි.
“මගේ මල්ලිගේ නෝනා තමයි ප්‍රදීපිකා කියන්නේ. මල්ලිගෙ ගෙදර ඉඳලා මගෙ ගෙදරට මීටර් හැටක් හැත්තෑවක් විතර දුරක් තියෙනවා. මං ඉන්නේ වත්තේ ග්‍රවුන්ඩ් එක ළඟ ගෙදර. මේක වෙන කොට එදා හවස 4.15 ට 4.30 විතර වගේ ඇති. මං ගෙදර ඉන්නකොට දමිතුයි එයාගෙ මල්ලි කළුවයි ආවා අපේ ගෙදරට. මාත් එක්කයි මුලින්ම රණ්ඩු වෙන්න පටන් ගත්තේ. මල්ලිගේ ප්‍රශ්නවලට මමත් ඉදිරිපත් වෙන හින්දා මේගොල්ලෝ මාත් එක්කත් තරහයි. කාලෙකට උඩදී දමිත්, නංගිට අනියම් සම්බන්දෙකට කතා කරලා තියෙනවා. නංගී ඒකට කැමති වෙලා නැහැ. ඒ තරහත් එයාගෙ හිතේ තියෙනවා. මල්ලිලාගේ වත්තට අල්ලලා රිෂිවේෂන් එකේ ළිඳක් තියෙනවා. ඒකට එයාලගෙ පොල් ගහ කඩා වැටිලා. පොල් ගහ ළිඳට කපලා දාලා කියලයි එයා හිතන්නේ. ඒකටත් රණ්ඩු වෙනවා. හොඳටම බීලා අපේ ගෙදරට ඇවිත් තෝව මරන්නයි ආවේ බැහැපන් එළියට කියලා කෑගැහුවා. මුන් දෙන්නා යන්න ගියා.
ඒ ගිහින් තියෙන්නෙ මල්ලිගේ ගෙදරටයි. ඒ වෙලාවේ මල්ලි ගෙදර නෑ. නංගි විතරයි හිටියේ. පොඩි පුතත් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහිල්ලයි හිටියේ. ඒක හින්ද මං ආවා බලන්න.
අනේ මට ගහන්න එපා. මාව මරන්න එපා. මං මොකක්ද කරපු වැරැද්ද… කියලා නංගී කෑගහනවා එතකොට මට ඇහුණා. මං මඟට ඇවිත් නැවතිලා හොරෙන් බලාගෙන හිටියා. නංගි මිදුලේ වැටිලයි හිටියේ. මට හොඳටම බය හිතුණා. ඒ හින්දා මම ඉක්මනටම ආපහු හැරිලා දිව්වා. ඊට පස්සේ මම මල්ලිට කතා කරලා මේ ගැන කිව්වා. නංගිගෙ තාත්තා වටපිට අය එක්ක එකතුවෙලා ඉස්පිරිතාලෙට අරන් ගිහින් තිබුණා. පස්සේ ආරංචි වුණා. නංගිගේ බෙල්ල කපලා. එයා මැරිලා කියලා. හොඳ වෙලාවට ඒ වෙලාවේ පොඩි පුතා ගෙදර හිටියේ නෑ. හිටියනං එයාවත් මුං මරල දාන්න ඉඩ තිබුණා. උන් අතේ තිබුණ මන්න පිහිය හුඟක් දිග එකක්…” ඒ ඔහුට අනුව සිද්ධිය පෙළ ගැසෙන අයුරුය.
මෙම සිද්ධිය හොරණ පොලිසියට දැනුම් දෙන්නේ හොරණ රෝහල් පොලිසිය මඟිනි.
ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන්ට දැනගැනීමට ලැබුණේ මියගොස් ඇත්තේ උක්වත්තගේ ප්‍රදීපිකා කුමාරි නැමති 36 හැවිරිදි කාන්තාවක් බවය. ඇය පදිංචි අක්කර 12, හාන්දුපැල්පොළ කොටස, සිරිල්ටන් වත්ත, මීවනපලානේ සිද්ධිය වූ නිවෙසට පොලිසිය යන්නේ ඒ අනුවය.
සැකකරුවන් මොරගහහේන දෙසට පලා ගිය බවට තොරතුරු ලැබෙන අතර මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නගේ මෙහෙයවීමෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
එමෙන්ම ප්‍රධාන සැකකරුගේ ලේ තැවරුණ ඇඳුම්ද පහරදීමට යොදාගත් මන්නා පිහියද ඔවුන් පැමිණි යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන තිබේ.
දෙනෝ දාහක් සිටින සිරිල්ටන් වත්තේ කවුරුත් එහාමෙහා යන වෙලාවක හිත්පිත් නොමැති මෘගයන් ලෙස ප්‍රදීපිකා ඝාතනය කිරීමට තරම් මේ අයියා මල්ලිත් සැහැසි වූයේ කාලයක් තිස්සේ බුරබුරා ඇවිළෙමින් තිබූ කෝන්තරය වැඩිදියුණුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් විය යුතුය.
44 හැවිරිදි අයියාටත් කහටපිටිය, පන්නිල් කන්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මල්ලීටත් එකටම කල්දේරම් බතේ රස විඳීමට සිදු වන්නේ අනතුරුවය.
මොරගහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නගේ මෙහෙයවීම යටතේ උපපරීක්ෂක මධුසංක, සැරයන් 46226 සමන්, කොස්තාපල්වරුන් වන 20837 ප්‍රදීප්, 90410 ගජනායක, 91214 වන්නිනායක, 93389 ජයවර්ධන, 99227 ජයතිලක, 102967 ලක්ෂාන් යන නිලධාරීහු සහාය වූහ.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත හොරණ සහකාර පොලිස් අධිකාරී අයි.එම්. ඒ. උදය කුමාරගේ අධීක්ෂණයෙන් හොරණ මූලස්ථාන ප්‍රධාන පරීක්ෂක චින්තක පනාවලගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා, සැරයන්වරුන් වන 35477 ලලිත්, 14934 ජනක, කොස්තාපල් 69128 ප්‍රභාත්, කාන්තා කොස්තාපල් 8863 විශාකා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ