Home » සම්බාහනයට ව්‍යාපාරිකයන් ගෙන්වාගෙන සුද්ද කරන අංගනාවෝ

සම්බාහනයට ව්‍යාපාරිකයන් ගෙන්වාගෙන සුද්ද කරන අංගනාවෝ

by thanushika
September 7, 2024 12:30 am 0 comment

මුහුණුපොත මෙන්ම අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි ඔස්සේ සංවිධානාත්මක පුද්ගලයන් සිදුකරන සූක්ෂ්ම ජාවාරම්වල ක්‍රමික වර්ධනයක් පෙනෙන්නට ඇතැයි කීම අසත්‍යයක් නොවේ. එලෙස අන්තර්ජාලයේ දැන්වීම්වලට රැවටී රුපියල් ලක්ෂ, කෝටි ගණනින් මුදල් අහිමිකර ගත් අයගේ සංඛ්‍යාව ද සුළුපටු නැත.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ගණිකා ජාවාරම ද ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඒ වාගේම මුදලට විකිණෙන රූමතියන් පෙන්වා ධනවතුන්ගෙන් මුදල් කොල්ලකන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් අන්තර්ජාලයේ සැරිසරමින් ගොදුරු සොයන බවද පොලිසිය සිදුකරන විමර්ශනවලදී හෙළිවී ඇත.

මුදලට රූමතියන් සපයන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කරන මේ සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වල ප්‍රධාන ඉලක්කය වන්නේ එම දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන ධනවත් පුද්ගලයන් සතු මිල මුදල් ඉතා සූක්ෂ්මව කොල්ලකෑමයි. ඒ සැලසුමට අනුව මේ සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් සිදුකරන්නේ ගණිකා සේවය සඳහා සූදානමින් පසුවන රූමතියන්ගේ ඡායාරූප පළ කිරීමයි.

මේ රූමතියන්ගේ සහාය ලබා ගැනීම සඳහා අන්තර්ජාලයෙන් ඔවුන් ඇණවුම් කරන ව්‍යාපාරිකයා ඒ සඳහා ඔවුන් නම් කරන හෝටලයක කාමරයක් වෙන්කර ගත යුතු අතර ව්‍යාපාරිකයා අදාළ හෝටලයට ගොස් එහි කාමරයක් වෙන්කරවාගෙන සිටියදී එහි පැමිණෙන රූමතිය සහ තවත් පිරිමි අය කීපදෙනෙක් ව්‍යාපාරිකයාට පහර දී ඔහු සතු මිල මුදල් පැහැරගෙන යාම සිදුකරන්නේ ක්ෂණිකවය.

මේ සිදුවීමෙන් බිය ගැන්වෙන ව්‍යාපාරිකයන් එම අවස්ථාවලදී ඒ බව පොලිසියටවත් පැමිණිලි නොකරන්නේ ලැජ්ජාව නිසාය.

පසුගිය දිනෙක මරදාන ප්‍රදේශයෙන් ද එවැනි සිදුවීමක් වාර්තා වූ අතර මහමඟදී හමුවූ සුරූපිනියක් සමඟ ත්‍රිරෝද රථයකින් රැයක් ගත කිරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ලැගුම්හලකට ගිය මහනුවර ව්‍යාපාරිකයකුට සිදුවූයේ ත්‍රිරෝද රථ රියැදුරුගේ සහ සුරූපිනියගේ පහර කෑමට ලක්ව රුපියල් ලක්ෂයකට වැඩි මිල මුදල් සහ ජංගම දුරකතනය අහිමි කරගැනීමටය.

ඒ හා සමාන සිද්ධියක් පසුගියදා නැවත වාර්තා වන්නේ ගල්කිස්ස පොලිසියෙනි. මේ කතාව පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.

ඔහු ව්‍යාපාරිකයෙකි. 40 හැවිරිදිය. පදිංචිය වැල්ලවත්ත ප්‍රදේශයේය. මේ ව්‍යාපාරිකයා නිතර සිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය පරිශීලනය කරයි. එසේ කරන අතරතුරදී ඔහුට කාන්තාවන් මුදලට අලෙවි කරන අන්තර්ජාල දැන්වීමක් ඇස ගැටෙන්නේ ක්ෂණයකිනි.

එහි සම්බාහන වෘත්තියේ නිතර වන සුරූපිනියන් රැසකගේ පින්තූර පළකර තිබූ අතර ඔවුන්ගේ සම්බාහනයක් ලබා ගැනීමට ගැනුම්කරුවකු පැයකට ගෙවිය යුතු මුදල ගැනද සඳහන් කර තිබිණි. දෙවරක් නොසිතූ ව්‍යාපාරිකයා අන්තර්ජාලය ඔස්සේ එක් රූමතියක් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී ඇගෙන් සම්බාහනය ලබා ගැනීම සඳහා ඇය වෙන්කර ගන්නේ සතුටු සිතිනි. මේ සඳහා නිවාඩු නිකේතනයක කාමරයක් වෙන්කර ගත් ව්‍යාපාරිකයා එහි යන්නේ සුරූපිනියගේ පහස ලබා ගැනීමේ අරමුණෙනි.

අදාළ නිවාඩු නිකේතනය පිහිටා තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේය. එහි ගිය ව්‍යාපාරිකයා කාමරයක් වෙන්කරගෙන ඇඟපත ද සෝදා පිරිසුදුව සිටියේ තව මොහොතකින් එහි පැමිණෙන රූමතිය බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුවූයේ අනිකකි. පිරිමි අය දෙදෙනකු සමඟ කතක් ව්‍යාපාරිකයා සිටි කාමරයට කඩා වැදුණේ විනාඩි කීපයක් ඇතුළතදීය. පිරිමි දෙදෙනා ව්‍යාපාරිකයාට පහරදී ඔහු ග්‍රහණය කරගෙන සිටියදී කාන්තාව ව්‍යාපාරිකයා සතු රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා රන් පවුම් 14 1/2ක් බර රන්මාල දෙකක්, පෙන්ඩන්ට් එකක්, ගල් අල්ලන ලද රන් මුදුවක්, අත්ඔර්ලෝසුවක්, රුපියල් දසදහසක් කොල්ලකා පලාගොස් තිබුණේ ව්‍යාපාරිකයා භීතියට පත්කරමිනි.

මේ කොල්ලය සිදුකර තිබුණේ ඉතාම කෙටි කාලයක් ඇතුළතදීය. මේ සිද්ධියෙන් භීතියට පත් ව්‍යාපාරිකයා ඒ ගැන ගල්කිස්ස පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ උපදෙස් මත අදාළ හෝටලයට ගිය ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කරන්නේ සීසීටීවී දර්ශන සහ ජංගම දුරකතන දත්ත ද විශ්ලේෂණය කරමිනි.

මේ අපරාධය සිදුකර ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ සැරිසරන සංවිධානාත්මක කල්ලියක් බව පොලිසියේ සැකයයි. මීට පෙර සිදුවූ එවැනි පන්නයේ අපරාධ ගැනත් ඒවාට සම්බන්ධ පුද්ගලයන් ගැනත් සෙවීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division