කතුන් පමණක් සිටින නිවෙස්වලට කඩා වැදී ඔවුන් බැඳ දමා එම නිවෙස්වල ඇති මුදල්, රන් ආභරණ මෙන්ම දේපළ කොල්ලකා පලා යන අපරාධකාරයෙකු වන වැලිකඩ ‘ඇස් ලොම්බා’ අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමට හැකි වූයේ පසුගියදාය.
ඉකුත් මාස කීපයේදී රාගම, ගණේමුල්ල, මත්තේගොඩ සහ කොට්ටාව පොලිස් වසම්වල කාන්තාවන් පමණක් තනිවම සිටින නිවෙස්වලට පැමිණි අපරාධකාරයකු එම කාන්තාවන් බැඳ දමා මුදල්, රන් ආභරණ සහ භාණ්ඩ කොල්ලකා පලා යාමේ සිදුවීම් 7ක් පමණ පොලිසියට වාර්තා වී තිබුණ අතර මේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා පොලිසිය දිවා රාත්‍රී වෙහෙස වුවත් එම අපරාධකරුවා හෝ අපරාධකරුවන් ගැන හෝඩුවාවක්වත් සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත.
මේ අපරාධකාරයා එලෙස කොල්ලකෑම් සිදුකර තිබුණේ අදාළ නිවාසවල තනිවම සිටි කාන්තාවන් කාමරවල ඇඳන් මත බැඳ තබමිනි. පොලිස් ස්ථානවලට අමතරව බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ද මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ ඔය අතරය. එහිදී ‘වැලිකඩ ඇස් ලොම්බා’ නමින් හැඳින්වෙන මේ සැකකරු පිළිබඳව පොලිසියට තොරතුරක් ලැබුණි. ඒ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල් 83774 සුධීරටය.
‘ඇස් ලොම්බා’ අල්ලා ගැනීම සඳහා කොස්තාපල් සුධීර ඇතුළු කණ්ඩායමක් වැලිකඩ සහ යාබද ප්‍රදේශවල කරක් ගසන්නේ ඔය අතරය. රාජගිරිය ප්‍රදේශයේ සැකකරු සිටින බවට පොලිස් කණ්ඩායමට තොරතුරක් ලැබිණි. එහි ගිය පොලිස් නිලධාරීන් සැකකරු අල්ලාගන්නේ භීතියට පත්ව බලාගෙන සිටියදීය.
බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන එන ලද ‘ඇස් ලොම්බා’ගෙන් ප්‍රශ්න කරන පොලිස් නිලධරයෝ ඔහු ගැන සියලු තොරතුරු සොයාගන්නේ ඉන් අනතුරුවය. කොල්ලකරුවකු වන වැලිකඩ ඇස් ලොම්බා විවාහ වී සිටින්නේ අලව්ව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟය. එම ප්‍රදේශයේ පදිංචිව සිටිමින් රාත්‍රී කාලයේ මෝටර් බයිසිකලයකින් රාජගිරියට එන ඇස් ලොම්බා අලුයම් කාලයේ කොල්ලකෑම් සිදුකර නැවත එම මෝටර් බයිසිකලයෙන්ම අලව්වට යන බව හෙළිවන්නේ එහිදීය. පොලිස් නිලධාරීන්ට කලක් මොහු අල්ලා ගැනීමට නොහැකි වූයේ ඒ නිසාය.
රාගම, ගණේමුල්ල, මත්තෙගොඩ සහ කොට්ටාව ප්‍රදේශවල කතුන් තනිවම සිටි නිවාස හතකට ඇතුළුවී ඇති ඇස් ලොම්බා එම කතුන් ඇඳ මත ගැට ගසා රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි වටිනාකමින් යුත් රන් ආභරණ මුදල් සහ භාණ්ඩ කොල්ලකා තිබූ බවද හෙළි විය.
ඇස් ලොම්බා විසින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා ඩ්‍රිල්, ග්‍රයින්ඩර්, කැමරා, ජංගම දුරකතන, ක්‍රීම් වර්ග සහ උණු කරන ලද රන් කැබලි පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.
සැකකරු විසින් කොල්ලකන ලද එම දේපළ රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු ලවා උකස් කරවා ඇති බව විමර්ශනවලදී හෙළි විය. ඇස් ලොම්බා දිනකට රුපියල් 20,000ක පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය හෝ හෙරොයින් පානය කරන බවද අනාවරණය වී ඇත.
මේ සැකකරු උකස් තැබූ රන් ආභරණවල රිසිට්පත් ද නැවත විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබාගෙන ඒවාද මත්ද්‍රව්‍ය පානය සඳහා වියදම් කර ඇති බව හෙළි විය. සැකකරුගේ ප්‍රකාශවලට අනුව එසේ උකස් කළ භාණ්ඩවලින් කොටසක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි. සැකකාර ‘ඇස් ලොම්බාගේ’ වයස අවුරුදු 33 කි.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර, වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, ඒකක 2 ස්ථානාධිපති උප පරීක්ෂක චින්තක දසනායක, සැරයන්වරුන් වන (38723) රංජිත්, (60161) වසන්ත, (61249) ලංකා, (73067) අනුරාධ, කොස්තාපල්වරුන් වන (88721) යාපා, (80734) ජයතුංග යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර