Home » කුඩු පැකට් 30යි යතුරුපැදියයි බිම්ගෙයි දමා පැන්න කුඩ්ඩා අල්ලයි

කුඩු පැකට් 30යි යතුරුපැදියයි බිම්ගෙයි දමා පැන්න කුඩ්ඩා අල්ලයි

by thanushika
September 7, 2024 12:30 am 0 comment
සී. ගමගේ - සොරණාතොට සමූහ

ඇල්ල සහ නුවරඑළිය ප්‍රදේශවල සංචාරය සඳහා එන දේශීය විදේශීය සංචාරකයන්ට මෙන්ම තරුණයන් ඉලක්ක කර ගනිමින් විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නවීන පන්නයේ ක්‍රම, තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් හෙරොයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍යයන් විකිණීමේ ජාවාරම ඉතා සූක්ෂම ලෙස රහසිගතව සිදු කරගෙන යන බව වත්මනෙහි කවුරුත් දන්නා කාරණයකි.

එලෙස වට්ස්ඇප් මාර්ගයෙන් තොරතුරු ලබාගෙන ඊසි කෑෂ් ක්‍රමයට ඇල්ල, බණ්ඩාරවෙල, නුවරඑළියට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන්ට, තරුණයන්ට යතුරුපැදියේ යමින් හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නිරතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිස් නිලධරයන් කණ්ඩායමකට හැකි විය. ඇල්ල නගරයේ බිංගෙය අසල අතහැර දමා ගොස් තිබියදී පොලිස් අත්අඩංගුවට ගත් අයිතිකරුවෙකු නොමැති හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 30ක් සහ මෝටර් බයිසිකලයක හෝඩුවාවක් ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිසියේ නිලධාරීන්ට හැකි වූයේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.

යක්කල නුවර පාරේ කලක් පදිංචිව සිට දැනට බුත්තල යුදගනාව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් වැල්ලවාය, ඇල්ල, කුඹල්වෙල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණෙන විදේශීය, දේශීය සංචාරකයන්ට මෙන්ම තරුණයන‍්ගේ තොරතුරු මොහු වට්ස්ඇප් මාර්ගයෙන් ලබාගනිමින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම කාලයක් මුළුල්ලේ ඉතා සූක්ෂමව සිදු කර ගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

විදේශ රටක සිට ජාවාරම් මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙරට සිටින ජාවාරම්කරුවකු මාර්ගයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේදී මෙසේ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාගන්නා මෙම ජාවාරම්කරු වැල්ලවාය, ඇල්ල, කුඹල්වෙල, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය ප්‍රදේශවලට යතුරුපැදියේ යමින් හෙරොයින් විකිණීමේ ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ.

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය මොහුට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගෙන යාමට ආශීර්වාදයක් වී ඇත්තේ මෙම මාර්ගයේ ජනාකීර්ණ නොවූ හුදෙකලා පාළු ස්ථාන ද පිහිටා ඇති නිසාය.

මොහුට ලැබෙන වට්ස්ඇප් පණිවුඩ අනුව ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හුදෙකලා ස්ථානවල යතුරුපැදිය නවතා තබාගෙන විටෙක යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්ව ඇති ආකාරයෙන් හැසිරෙමින් කිසිවකුට සැකයක් ඇති නොවන ආකාරයෙන් අදාළ ගැනුම්කරුවන්ට මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව ඇල්ල පොලිසියේ නිලධාරින් හෙළිකරගෙන තිබේ.

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල නගරයේ බිංගෙය අසල දමා ගොස් තිබූ අයිතිකරුවෙකු නොමැති යතුරුපැදිය සමඟ හෙරොයින් පැකට් තොගය ඇල්ල පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ පැවත්වීමේදී යතුරුපැදියේ තිබූ ලියකියවිලි අනුව අදාළ සැකකරු බුත්තල පොලිසියේ ද සහාය මත ඇල්ල පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නේ වැල්ලවාය නගරයේදීය.

මොහු ඇල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී ඇල්ල පොලිසියේ නිලධාරීන් ඇල්ල නගරයේ සෝදිසි මෙහෙයුම් කටයුතු සිදුකරන අයුරු දැක හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් තොගය සමඟ යතුරුපැදිය ඇල්ල බිංගෙය අසල දමා බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ බස්රථයකට නැඟ වැල්ලවායට පලාගොස් ඇත්තේ පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහාය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මත්ද්‍රව්‍ය විකිණීමට යාම සඳහා භාවිත කළ යතුරුපැදිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ අයෙකුට අයත් එකක් බවට ඇල්ල පොලිසිය මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාර්තාවෙන් අනාවරණය කර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා මෙම යතුරුපැදිය ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොරාගත් එකක්දැයි සොයා බැලීමට පොලිසිය පරීක්ෂණ කටයුතු සිදු කරයි.

ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බණ්ඩාරවෙල අධිකරණයෙන් ලබාගත් රඳවා තබා ගැනීමේ නියෝගයක් අනුව රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යයි. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරිගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රුවන් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. කේ. යූ. ඩබ්ලිව්. අබේගුණවර්ධන, පොලිස් පරීක්ෂක එච්. පී. පාලිත, උපපොලිස් පරීක්ෂක චන්දන, සැරයන් (34548) සරත්, (80414) ගජනායක, (76826) ඇහැලියගොඩ, (15566) රණතුංග, (75637) රත්නායක යන නිලධාරීන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division