ලෝක දේශපාලන සිතියම් පොතේ සිටිනා සියලු ජනාධිපතිවරු තෙව දෑරුම්ය. දේශපාලන පාඩමේ දී ශ්‍රී ලාංකේය අත්දැකීම අනුව අපට ඇත්තේ ජනාධිපතිවරු ජාති දෙකකි. නාමමාත්‍රික සහ විධායක යන ඒ දෙකට අමතර ලෝක භාවිතයේ තවත් ජනාධිපතිවරයෙක් ඇත්තේය. ඒ විධායක බලතල පාර්ලිමේන්තුව සමඟ සමගාමිව උසුලන ජනාධිපතිය. ප්‍රංශය, රුසියාව, ඊජිප්තුව, පෘතුගාලය ආදී රටවල සිටින්නේ ඒ මොඩලයේ ජනාධිපතිවරයෙකි. අපේ රටේ හැත්තෑ අටේ ව්‍යවස්ථාවෙන් උපන් ජනාධිපති විධායක වුව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධන තුනක් මඟින් එහි විධායක බලය පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිෂන් සඳහා ලබා දී තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ සිටින්නේ ද මධ්‍යම ප්‍රමාණයට විධායක බලය හිමි ජනාධිපතිවරයෙකි.
ඊළඟ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සඳහා තව ඇත්තේ දින දහතුනකි.
ජෝර්ජ් වොෂින්ටන් 1789 එක්සත් ජනපදයේ පමණක් නොව ලෝකයේම පළමු ජනාධිපති විය. එම ආදර්ශය අනුව හයිටියේ හෙන්රි ක්‍රිස්ටෝපර් 1807 දී ජනාධිපතිධුරයක් ඇති කරගෙන ඒ සඳහා පත්විය. නැපෝලියන් බොනපාට් ජනාධිපති වන්නේ, ජනාධිපති ක්‍රමය සහිත ඊළඟ රට බවට ප්‍රංශය පත් කරගෙනය. මේ පේළියට ඊළඟට එක් වන්නේ බොලිවීයාවය. ජනාධිපති වූයේ, සයිමන් බොලවාර්යය. ජනාධිපති ක්‍රමය සිවුවැනිව ඇති කරගත් රට වන බොලිවියාව ඒ සඳහා මඟ පාදා ගන්නේ වාමාංශික ආණ්ඩුවක් බලය හොබවන විටය. නූතන වාමාංශික ලෝකයේ වීරයෙක් වන සයිමන් බොලවාර් විධායක ජනාධිපති ලෙස සකල විධායක බලතල සහිතව රාජ්‍ය නායක පුටුවේ වාඩිලා ගත් විට, ලෝකයේ කිසිදු වාමාංශික නායකයකු විධායක ජනාධිපති තනතුර සදහා ගර්හා කළේ නැත. නමුත් 1977 ජේ. ආර්. ජයවර්ධන මේ රටේ විධායක ජනාධිපති ධුරය ඇති කරන විට මේ රටේ වාමාංශික නායකයන් කල්පනා කළේ, රට මධ්‍යයට න්‍යෂ්ටික බෝම්බයක් පතිත වූ බවය.
චේ ගුවේරා ද බිහිවූ බොලිවියාවේ විධායක ජනාධිපති ධුරය ඇති විට ඔවුන් නිෂ්ශබ්දය. ජේ. ආර්. මෙහේ ඇති කරන විට කලහාකාරිය. තවමත් මේ රටේ වාමාංශිකයෝ විධායක ජනාධිපති තනතුර සඳහා හතර වරම් කියමින් දෙස් දෙවොල් දෙන්නේය.
බොලිවියාවේ පමණක් නොව සමස්ත ලතින් ඇමෙරිකානු කලාපයේම වාමාංශිකයන්ගේ මහා වීරයා සයිමන් බොලවාර්ය. ස්පාඤ්ඤ අධිරාජ්‍යයෙන් කොලොම්බියාව, පීරු, ඉක්වදෝරය, බොලිවියාව සහ වෙනිසියුලාව මුදවා ගැනීම සඳහා ඔහු සටන් කළේය. කලාපය නිදහස් කර ගැනීමේ නායක වූ ඔහු, මේ රටවල් පහ තනි දේශපාලන අධිකාරියක් බවට සංවිධිත කළේය. වීරයාගේ මරණින් පසු යළි සුපුරුදු පරිදි රටවල් වෙන්ව ගියේය. වෙනිසියුලාවේ ඉපිද, ස්පාඤ්ඤ අධිරාජ්‍යයෙන් කලාපය නිදහස් කර ගත් සයිමන් කොලොමිබියාවේදී මිය ගියේය.
කොලොම්බියාවේ බොගෝටා නගරයේ ඔහුගේ නිවෙසේ කෞතුක භාණ්ඩ රාශියක් විය. සමස්ත ලතින් අමෙරිකාව වීරත්වයේ සංකේතයක් ලෙස සලකන ලද බෝලවාර්ගේ කඩුව ද එහි විය. මුළු මහත් ලතින් ඇමෙරිකාවේ සටන්කාමීත්වය සහ නිදහස එකට මුසු කළ සංකේතය වූයේ මේ අසිපතය. විමුක්තියේ ධජය අතට ගෙන සටන් කළ සියලු ලතින් අමෙරිකානුවෝ බොලවාර්ගේ අසිපතට පෙම් කළහ.
1974 පෙබරවාරියේදී ‘අප්‍රේල් – 19’ නමැති මාක්ස්වාදී ගරිල්ලා සංවිධානය, බොලවාර්ගේ අසිපත කෞතුකාගාරයෙන් සොරකම් කළේය. “බොලිවර්! ඔබේ අසිපත යළි සටන් බිමේ ලෙළ දෙන්නේය.”යැයි ලියූ සටහනක් එතැනින් තබා ගිය ගරිල්ලෝ සටන සඳහා පිවිසෙන්නේ කලාපයේම බහුමානයට පාත්‍ර වූ වස්තුවක් අතැතිවය.
විධායක ජනාධිපති ක්‍රමය යනු පුද්ගාලනුබද්ධ තානාන්තරයකි. අපේ රටේ එය චරිත අටක් අතට පත්ව තිබේ. තනතුරේ බලතල සේම ලබා දෙන චරිතයේ හැඩහුරුව ද මෙතැනදී වැදගත්ය. ජනාධිපතිවරණය ආසන්න අඩියටම පැමිණ ඇති හෙයින් බොලවාර්ගේ කඩුව සේ එය සන්තකයට පත් වන්නා පිළිබඳව ජනී ජනයා කල්පනාවට ගත යුත්තේය. ගරිල්ලා පෞරුෂයක් අත එය පවතින කල්හි, විප්ලවයේ ගාමක බලවේගය සඳහා එය භාවිත වන බව සැලකිය යුතු මනාය.
‘අප්‍රේල් – 19 ගරිල්ලෝ අත තිබූ බොලවාර්ගේ අසිපත ඊළඟට ගියේ, කොලොම්බියාවේ කොකේන් අධිරාජ්‍යයයා වූ පැබ්ලෝ එස්කොබාර් අතටය. සිය පුතුගේ තොටිල්ලට අසල බිත්තියේ එය එල්ලා ඇති ආකාරය එස්කොබාර් ඡායාරුප මඟින් ලෝකයට ප්‍රසිද්ධ කළේය. එතැනදී බොලිවාර්ගේ කඩුව කොකේන් ජාවාරමට ශුද්ධ තත්ත්වයක් ලබාදීමට පාවිච්චි වූයේය.
යළි 1991 දී අප්‍රේල් – 19 ව්‍යාපාරයේ අතට, කඩුව පත්විය. යටි බිම්ගත ගරිල්ලා ව්‍යාපාරයේ සලකුණක්ව අසිපත ද නොපෙනී ගියේය. රජය සමඟ සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ‘කඩුව’ යළි කොලොම්බියාවේ ප්‍රසිද්ධ දේශපාලනයට එක්විය. සැඟව ගිය අතීතයෙන් ප්‍රසිද්ධියට පත්ව රාජ්‍යය මට්ටම දක්වා කඩුව වසර පනහකට පසුව ඇත්තේ රාජ්‍ය සම්පතක් ලෙසය. කොලොම්බියාවේ වත්මන් ජනාධිපතිවරයා එය සියලු ගෞරව සහිතව ආරක්ෂා කරන්නේ කෞතුක භාණ්ඩයක් ලෙස පමණක් නොවේ. හෙතෙම අප්‍රේල් – 19 ව්‍යාපාරයේ සාමාජිකයෙක් හෙයින් ඔහුට ද මේ සඳහා දෙවැනි වටයෙන් උරුමයක් ඇත්තේය.
කඩුව පත්වන්නේ කා අතට ද යන්න කඩුවේ මුවහත සහ සවි ශක්තිය සේම වැදගත්ය. ලෝකයේ හතර වෙනි වරට ජනාධිපති ක්‍රමයක් ආරම්භ කළ රටේ ආදර්ශයක් අනුව කතා කරන්නේ නම්, මේ අත්හදා බැලීම් සදහා යෑමේ කාලයක් නොවේ. එවැනි අවකාශයකදී කඩුව ගන්න පුද්ගලයා කොයිබට එය දෝලනය කරන්නේ දැයි රට දන්නේ නැත. පුද්ගලභාවය යනු සිනාසීම හෝ ඒ පුද්ගලයාගේ උස මහත වැනි දේහ ලක්ෂණ ලෙස මෙතැනදී නොගත යුත්තේය. එවැනි චරිතයක දිග පළල මැනිය යුත්තේ ප්‍රතිපත්ති, භාවිතය සහ අත්දැකීම් යන ආකාර අනුවය. ඒවා පිරිවිතරයන් ලෙස ගෙන ලකුණු ලබාදී ඒ අනුව කතිරය ගසන්නේ නම්, තව දින දහ තුනකට පසුව ද මේ රටේ කතාව සුබවාදී ගමන් මඟක් බලා ඇදෙනවා ඇත්තේය.