Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

කැපචිනෝ පෙම්වතිය 

සැප්තැම්බර් 12 දා ජනගත වේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ෆාතිමා ශානාස් විසින් රචිත කැපචිනෝ පෙම්වතිය කාව්‍ය සංග්‍රහය ජනගත වීමේ උලෙළ මේ මස 12 වැනිදා පස්වරු 3.00 ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්නගේ ප්‍රධාන ආරාධිතත්වයෙන් පැවැත්වෙන මෙහි ආචාර්ය ප්‍රසන්න රණබාහු, අනෝමා රාජකරුණා සහ දිලීප අබේසේකර කෙටි දෙසුම් පවත්වති. නදී සෙනෙවිරත්න ගායනයෙන් ද, උමා අසේනි හා හිරුෂාන් හෙට්ටිආරච්චි සම්ප්‍රවේශනයෙන් ද මෙයට දායක වෙති.


යුක්රේනියන් කෙටිකතා 


පරිවර්තනය – නිමල් ඒ. රණතුංග
ප්‍රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

යුක්රේනියන් ජාතික කෙටිකතාකරුවන් පහළොස්දෙනකුගේ කෙටිකතා මෙහි අන්තර්ගතය. එකිනෙකට වෙනස් කතුවරුන්ගේ නිර්මාණ වීම නිසා ද වෙසෙස් වටිනාකමක් කෘතියට එක්වී තිබේ. අර්ථ රසයෙන් හා සාහිත රසයෙන් පිරිපුන් කෙටිකතා සමුච්ඡයකි. මවුබස නමින් පෑන්ස් මිර්නි විසින් ලියන ලද පළමු කතාංගය මවු බසේ වැදගත්කම පිළිබඳ ලියැවුණකි.

පරිවර්තකයාගේ පරිවර්තන බස මටසිලිටුය. සරලය. එබැවින් එය කියැවීමේ පෙලඹවීම ඇති කරයි. පරිණත හා සියුම් වටහා ගැන්ම නිසා මුල් කෙටිකතාවලට උපරිම සාධාරණයක් ඉටු වී තිබේ. සැබෑ මිනිසුන්ගේ හැසිරීම්, හැඟීම් මෙන්ම ගොවිබිම්, වැඩබිම් ආදියෙහි ගොඩනැඟෙන මානව ධර්මතා මේ කෙටිකතා බොහොමකට වස්තුබීජ සපයා තිබේ. සාහිත රසයට දේශය හෝ කාලය බලනොපාන බවට වන හොඳම උදාහරණයක් සේ මේ කෙටිකතා සංග්‍රහය හැඳින්විය හැකිය.


හිත රැවටීම පොත පෙරළීම 


කර්තෘ-වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
ප්‍රකාශනය- රුසියාව ප්‍රකාශකයෝ

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසින් රචිත නවතම කෘතිය වන ‘හිත රැවටීම පොත පෙරළීම-පාලකයාගේ ප්‍රබන්ධයට පාලිතයාගේ නිබන්ධය’ රුසියාව ප්‍රකාශකයෝ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණයෙන් නිකුත්ව ඇත.

කෘතිය නිර්මාණය වන්නේ , ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ කෘතියට ඌන පූරණයක් වශයෙන් වුවද, එහි අන්තර්ගතය පෙළ ගැසෙන්නේ රටේ කාලීන දේශපාලනය පිළිබඳ විවෘත විවරණයක් ද වශයෙනි. මෙරට රාජ්‍ය පාලනය හා පාලකවරුන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව වන විමසුම මෙහිදී කතුවරයා සිදු කොට ඇත්තේ සිය අත්දැකීම් භාවිත කොට ගනිමිනි.

කෘතියට හැඳින්වීමෙන් එක්වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ, වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි හැමවිටම අවදියෙන්, ප්‍රඥාශීලී චින්තනයෙන් පසුවන නිසාම ලේඛකයකුගේ සන්නිවේදන භූමිකාව මැනවින් ඉටු කරමින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණය ග්‍රන්ථයේ අන්තර්ගතයේ සැබෑව තර්කානුකූලව විචාරයට ලක්කිරීමට මෙම ග්‍රන්ථයෙන් ඵලදායී උත්සාහයක් දරා ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවන බවය.


හෙටත් උදයෙම එන්න 


කර්තෘ- කසුන් දීප්ත හඳුන්පතිරණ
ප්‍රකාශනය- විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ

කවියා තමාගේ දිවිසැරියේ විවිධ අවස්ථාවල ලැබූ අත්දැකීම් සිය කවියේ පොදු අත්දැකීමක් බවට පත් කරන්නට සමත් වී තිබේ. නිර්මාණකරුවා නිරන්තරයෙන් ලබන අත්දැකීම් ඔහුගේ පුද්ගලික සේයාවේ දවටා ඉදිරිපත් කළහොත් එය පොදු රසිකයාගෙන් දුරස් විය හැකිය. කසුන් කවියා මේ පිළිබඳ මනා අවධානයෙන් කවි බස ගොඩ නඟා තිබේ. ඔහුගේ කවි බස ද අරුත් සපිරි, සරල හා සුගම බස් වහරකි.

චිත්තරූප ජනනය කරමින් කවියේ විවිධ පරාස කරා ගමන් කරන කවියා පරිසරය ඇසුරේ සිය උපමා රූපක ගොඩනඟන්නේ පොදු රසිකයාගේ හදවතට සමීප වෙමිනි. පරිකල්පනයේ දවටා කාව්‍ය යෙදුම් හා ව්‍යංග්‍යාර්ථය ගුරු කොට ගනිමින් කවියා නවමු මං සොයා යන්නේ කවියේ අනාගතය පිළිබඳ පැහැබර බලාපොරොත්තුවක් අප මනසේ දල්වමිනි.


ගී කිරිල්ලී 


කර්තෘ- නිර්මාණී නිසංසලා අධිකාරී
ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි

කිවිඳිය සිය කවි තම අත්දැකීම් අනුසාරයේ ලා මෙන්ම ප්‍රතිනිර්මාණිත අත්දැකීමක ඵලයක් ලෙස ද ඉදිරිපත් කර ඇත්තීය. වරෙක පරිසරය ඇසුරේ චිත්ත රූප මවන ඇය තවත් විටෙක අප සැම ප්‍රිය කරන කෘතියක් ඔස්සේ සිය වස්තුබීජය විදාරණය කරයි. එමෙන්ම ඇගේ නිර්මාණාත්මක බස ගොඩනැඟීමට චිරන්තන පද්‍ය හැදෑරීම ද බලපෑම් කර ඇති බව පෙනේ.

ඇයගේ විශේෂත්වය සටහන් වෙන්නේ බොහෝ පාඨකයන් ප්‍රිය කළ ජනප්‍රිය පරිවර්තන කෘති ඇසුරේ ඇගේ වදන් කවි බවට පෙරළීමය. ඒ අනුව අඳ වාදකයා, අපූගේ ලෝකය, ඈන් ෆෑන්ක් දිනපොත ආදී ප්‍රබන්ධ කතා ඇය ප්‍රතිනිර්මාණිත වේශයකින් කවියට නඟන්නීය. එතැනින් නොනවතින ඇය දේශීය ප්‍රබන්ධ කලාවේ ජනප්‍රිය කෘති කිහිපයක් ද සිය නිර්මාණ අනුභූතියට පාදක කරගන්නීය. බුද්ධදාසී, කාල නදී, ආදරණීය වික්ටෝරියා ඉන් කිහිපයකි. ඒ කවි මඟෙහි කිසිවිටෙකත් ප්‍රබන්ධය කවියක් කිරීමට ගත් උත්සාහයක් දක්නට නැත. කෘතිය කියැවීමෙන් ඉනික්බිති තම සිත නැඟි කාව්‍ය සංකල්පනා නිදහස් ආරෙන් ඉදිරිපත් කිරීමකි. වෙනස් මඟක් වෙනුවෙන් ඇය කවි පබඳින බවත්, තමාට අනන්‍ය ලකුණක් නිර්මාණ කරගැනීමේ වෑයමක නිරත බවත් පෙනේ. එය වෙසෙස් ලකුණකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division