දශක කිහිපයකට ඉහත නිවාසවලට ද ‘නම්” දමන ප්‍රවණතාවක් තිබුණේය. ඒ අනුව නම අගට ‘විලා’ යන්න යෙදීම බොහෝ විට දක්නට ලැබිණ. ’Villa’ යන ඉංග්‍රීසි වදනට බංගලාව, වලව්ව ,සංචාරක නිකේතනය ආදී තේරුම් තිබේ.
කෙසේ හෝ නිවසේ නමට විලා යන්න යෙදුවේ ඉහළ පැළැන්තියේ අයයි. මුල්ම ‘විලාව’ හමුවන්නේ රෝම ඉතිහාසයේ ය. පුරාණ රෝමයේ ධනවතුන්ගේ මාළිගය ‘රෝමන් විලා’ ලෙස හැඳින්විණ.
විනෝද සමයේ අමාරිස් අයියාටද තමුන්ගේ නිවසට විලා යන්න යෙදීමට සිතක් පහළ විය. ඒ සිත පහළ වූ අයුරු රසවත් ය.
මේ කොටස උපුටා ගන්නේ නවසිය අසූ ගණන්වල ප්‍රචාරය වූ “විනෝද සමය” වැඩසටහනකිණි.
අමාරිස් අයියා හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණෙයි.
වාර්තාකරු:- අපි පත්තරෙන් ආවේ පොඩි රිසර්ච් එකක් කරනවා.
අමාරිස් අයියා:- ඇලන් නෝනො….. ඇලන් නෝනො… මේ පරණ පත්තර ගෙනියන්න ඇවිල්ල. මහත්තයා කීය ගානේද ගන්නෙ කිලෝ එක.
වාර්තාකරු:- නෑ නෑ මම පත්තර එකතු කරන කෙනෙක් නෙවෙයි. මම වාර්තාකාරයෙක්.
අමාරිස් අයියා:- කවුරු වුණත් කමක් නෑ. ගාණක් දෙනවනම්, පත්තර ටික දෙන්නම්. පරණ පත්තර ටික තියාගෙන මං මැල්ලුම් කන්ඩයැ..
වාර්තාකරු:- නෑ නෑ මං වාර්තාකරුවෙක්. මං හොයන්නෙ තොරතුරු.
අමාරිස් අයියා:- තොරතුරුවලින් මොනවද කරන්නේ.?
වාර්තාකරුවා:- නෑ නෑ අපි තොරතුරු එකතු කරනවා.
අමාරිස් අයියා:-. අනේ පලයං මහත්තයො යන්න. මම නොදන්න තොරතුරු එකතු කිරිල්ල. උදේට තොරතුරු එකතු කරනවා; රෑට ගෙට පනිනවා.
වාර්තාකරු:- නෑ නෑ මම පත්තර කන්තෝරුවේ වැඩ කරන කෙනෙක්.
අමාරිස් අයියා:- අම්මාප! එහෙම කියන්න එපැයි, එහෙනම් වාඩිවෙන්න.
වාර්තාකරු:- අපිට මේ මහත්තයාගේ නම දැනගන්න පුළුවන්ද?
අමාරිස් අයියා:- මගේ නම නොදන්න කෙනෙක් ඉන්නවද මහත්තයෝ, මම පී කේ අමාරිස්.
වාර්තාකරු:- අපිට එහෙම බෑ සම්පූර්ණ නම කියන්නඩ ඕනෑ.
අමාරිස්ස අයියා:- චැක්! ඒ මොකටද මහත්තයෝ.
වාර්තාකරු:- නෑ අපිට සම්පූර්ණ නම ලියන්න කියලා තියෙනවා.
අමාරිස් අයියා:- මහත්තයා සිංහලෙන්ද ලියන්නේ ඉංග්‍රීසියෙන් ද.
වාර්තාකරු:- මොකද එහෙම ඇහුවේ?
අමාරිස් අයියා:- නෑ මහත්තයෝ කාලයක් තිබුණනේ සිංහලෙන් නමේ මුල් අකුරු ලියන්න ඕනෑ කියලා. මං ඒකට විරුද්ධ වුණා.
වාර්තාකරු:- ඒ මොකද විරුද්ධ වුණේ ?
අමාරිස් අයියා:- ඇයි මහත්තයෝ: මගේ නම පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්. ඉංග්‍රීසියෙන් පී අකුරයි කේ අකුරයි දාන්න පුළුවන්. සිංහලෙන් දැම්මොත් මොකද වෙන්නේ..? පු යන්නයි කේ යන්නයි දාන්න ඕන. පාරෙ බැහැලා යන්ඩ පුළුවන්ද?
වාර්තාකරු:- (සිනා) ඒකත් ඇත්ත. එතකොට ලිපිනය.
අමාරිස් අයියා:- “ඇල විලා” ගල්බොරැල්ල, කැලණිය.
වාර්තාකරු:- මොකක්ද අයිසෙ “ඇල විලා” කියන්නේ.
අමාරිස් අයියා:- ( සිනා). ” ඇයි ඕයි ඇල වෙලා නෙ. ඒකනේ උණ බම්බු දෙකක් ගහල තියෙන්නෙ”
මේ කතාව අමාරිස් අයියාගේ වුවත්, අමාරිස් අයියාගේ චරිතය රඟපෑ මගේ පියා සත්‍ය වශයෙන්ම මේ කතාව කීවේ අපේ ගෙදර ගැනය. ඉතා මෑතකදී මේ කතාව යළි සිහිපත් කළේ දැනට ඇමෙරිකාවේ වෙසෙන, එවක අපේ කිට්ටුතම අසල්වැසියකු වූ සරත් වීරසේකර මහතාය.
භාරතී වීරසිංහ සහ තුෂාරි හෙට්ටිආරච්චි එකතුව කළ “විනෝද සමයේ” ශිල්පීන්ගේ පුතාලාගේ කතාව ඔහු ඇමෙරිකාවේ සිට නරඹා තිබිණි. එයින් ප්‍රමෝදයට පත්ව සිටි ඔහු දුරකථන ඇමතුමක් ගෙන අපේ තාත්තා හා සම්බන්ධ අතීත කතා ගණනාවක් සිහිපත් කළේය.
ඉස්සර කාලයේ අපේ ගෙදරට කීවේ උණ බම්බු දෙකේ ගෙදර කියලාය. මේ නිසා අපේ ගමේ එකල විසූ බොහෝ දෙනා උණ බම්බු දෙකේ නිවස ලකුණ ලෙස තබා තමන්ගේ නිවසට එන අයට මග කියාපෑම සිරිතක් කොට ගෙන තිබිණ. මේ නිසා ගෙවල් හොයාගෙන එන අයට පාර කියා දීම අපිට අමතර රාජකාරියක්ව තිබිණ. එයට පසුබිම් වූ කතාවක් තිබේ.
උණ බම්බු දෙකේ ගෙදර බවට අපේ ගෙදර පත්වූයේ තාත්තාගේ කලාකාමී සිතිවිලි නිසාය.අපේ පරණ ගෙදර මට ඡායාමාත්‍ර වශයෙන් මතකය. එය ඕලන්ද ක්‍රමයේ විශාල නිවසකි. නිවස ඉදිරිපස තිබූ රවුම් කුලුනු සහ නිවසට ඇතුළු වන විශාල පඩිපෙළ මට තවමත් මතකය. මේ ඓතිහාසික නිවස කඩා දමා නවීන පන්නයේ නිවසක් ඉදිකිරීමට තාත්තාට ඕනෑ විය. ඒ කාලයේ ජනප්‍රියව තිබුණේ ඇමෙරිකන් හුඩ් එක සහ ඇමෙරිකන් වහලයයි. ඕලන්ද සම්ප්‍රදායෙන් මිදී ඇමෙරිකානු සම්ප්‍රදායට පිවිසෙන විට එය සිංහලීකරණය කළ යුතු යැයි තාත්තා කල්පනා කළාදැයි මම නොදනිමි. කෙසේ වෙතත් හුඩ් එකේ ආධාරක දෙක උණ බම්බු දෙකක ආකාරයට සකස් කිරීමට තාත්තා සැලසුම් කළේය.
සැලසුමට එකල බාස්ලාත් නෑදෑයොත් අකමැති වූ බව අම්මා කියයි.
“එයාට ඉතිං පිස්සුනෙ” ඇතැම් නෑදෑයෙක් කියා තිබේ.
“මං රවුම් කණු දෙක හදලා දෙන්නං, මහත්තයා ඕන එකක් කරගන්න”
අපේ ගේ හැදූ වින්සන් බාසුන්නැහැ කීවේලු. තාත්තා ලොකු උණ කොටයක් ගෙනවිත් මිදුලේ හිටෙව්වේය. හවසට වැඩෑරී ගෙදර ඇවිත් වොට් 100 බල්බ් එකක් දාගෙන උණ ගස් වල පුරුක් බේරා කොළ පාටින් ඉරි ඇන්දේය.
අපේ තාත්තා විකට ශිල්පියෙක් වන්නට කලින් චිත්‍ර හා ඇඹුම් ශිල්පියෙකි. ඒ නිසා ඇමරිකන් හුඩ් එකට ගැසූ සිංහල උණ බම්බු දෙක දින කීපයකින් ඇත්ත ඒවා වගේම පෙනින. එවක මෙම ක්‍රියාවට ආශා කළ කීපදෙනෙක්ම තාත්තාගේ උණ ගස් වික්‍රමය බලන්නට ආවා මට මතකය. ඇතැම් අය මෙය කොන්ක්‍රීට්වලින් තනා ඇති බව විශ්වාස කළේ නැත. ඒ අය නිය පිටින් තට්ටු කර සැක හැරගත්හ.
තාත්තාගෙන් පසුව ඒ උණ බම්බු දෙක පුරුදු අලංකාරයටම ආකාරයටම නඩත්තු කිරීමට අපිට බැරි විය.
සරත් අංකල් සිහිපත් කළ “ඇල විලා” කතාව එන්නේ අනතුරුවය. අපේ ගෙදරට නිතර එන තරබාරු වෙළෙන්දියක් සිටියාය. එතුමිය කීර පළා ආදිය රැගෙන දොරකඩටම එයි. නිවස ඉදිරිපිට ඇලයට සවිකර තිබෙන බම්බු දෙකක් ඇයගේ කනස්සල්ලට හේතු විය.
“මෙච්චර ලස්සනට ගේ හදලා ඇයි මේ උණ බම්බු දෙකක් ගැහුවේ” ඇය තාත්තාගෙන් ඇසුවාය.
” මේවා එසේ මෙසේ උණ බම්බු නෙවෙයි” තාත්තා පිළිතුරු දුන්නේය.
“හැබෑව මෙච්චර මහත උණ බම්බු මම කවදාවත් දැකලා නෑ.”
මෙහෙම අය අසු වූ විට මඩවන එක තාත්තාගේ සිරිතය.
“ඔව් මේක මැලේසියාවෙන් ගෙනාවේ”. තාත්තා කීවේය.
“නැවේ ද ගෙනාවේ?”
“නෑ අහස් යාත්‍රාවෙ.”
එකේ කොහොමද උණ බම්බු ගේන්නේ.
අපිට සිනහව නතර කර ගත නොහැක. එම වෙළෙන්දිය තවදුරටත් තාත්තාව විශ්වාස කරයි.
“කොහුලනු පොටවල් දෙකක් දාලා ගැට ගැහුවා ප්ලේන් එක යටින්. දිග වැඩි කෑල්ලට රතු පාට පොප්ලින් යාර දෙකක් ගැට ගැහුවා. නැත්නම් පොලිසියෙන් අල්ලනවා”
“ඉතින් ඇයි උණ බම්බු හුඩ් එකට ගැහුවේ.”
“පේන්නේ නැද්ද ඇලවෙලා නෙ.”
වෙළෙන්දිය බඩු මලු පොදිය ද රැගෙන වහාම හුඩ් එක යටින් ඉවත් වූවාය.
ඒ ආසන්න දිනයක සැකසුණු “අමාරිස් අයියා” කතා පිටපතකට “ඇල විලා” ආවේ එසේ ය.
ඒත් දැන් මේ ඔක්කොම වෙනස් වෙලාය.
තාත්තාගේ උණ බම්බු නිවසට දැන් අඩ සියවසකට වැඩිය. හුඩ් එක තැන තැන දිරාපත් වී ගොසින. දිනක් එහි පතුරක් ගැලවී මගේ සහෝදරයාගේ කරමත වැටිණ.මෙය දුටු මගේ දියණිය වහාම හුඩ් එක කඩා දමන්නැයි ඇවිටිලි කළාය.
රස්සාවෙන් අස්වී ගෙදර ආ පසු වැඩේට අත ගසන්නට මම කල්පනා කළෙමි. ඒ අනුව බාස්වරු සොයාගෙන වැඩේ පටන් ගත්තේය. හුඩ් එකේ බාගයක් කැඩුවාට පසු බාසුන්නැහේ අපූරු කතාවක් කීවේය.
“ඒ කාලේ මේක හොඳටම හදලා තියෙනවා තව අවුරුදු සීයකට මුකුත් වෙන්නේ නෑ තිබුණා නම්.’
මගේ පපුව හෝස් ගා ගියේය. දැන් ඉතින් ආපහු හැරෙන්නට බැරිය. උණ බම්බු දෙකවත් කඩන්නේ නැතුව පරිස්සමට ගලවලා දෙන්නැයි මම බාසුන්නැහේට කිව්වෙමි. ඒත් ඒකත් ඒ තරම් සාර්ථක වූයේ නැත.
අපි “ඇල විලා” නිවසේ මුහුණ කඩා වෙන මුහුණක් ඉදිකළෙමු. දැන් ගල්බොරැල්ලේ ඇල විලා නිවස නැත. ඉතින් තවදුරටත් උණ බම්බු දෙකේ ගෙදර අනුව මග සලකුණු සොයන්නට කාටත් බැරිය.
මේ වැඩේට ගිය වියදම සලකා බලන විට “ඇල විලා” වෙනුවට ඒවගේම වෙනත් නමක් හිතට ආවත් එය මෙහි සඳහන් කිරීම සුදුසු නැත.