කිරි පුසුඹ
දහක් පැතුමන් පතා
සිහින සිතුවිලි දරා
සිටියෙ නුඹ එනතුරා
ඇඟිලි ගනිමින් මෙදා
සුදෝසුදු වත පුරා
සුමුදු හසරැල් නඟා
කොයිබ සිට ආවදෝ
නුඹේ මවුතුරු ලටා
සුමුදු සියුමැලි වතට
මගේ මුව ළංකරන්
පුදන්නට හාදුවක්
තවම ලෝබයි පුතා
දිලෙන මුව සිරි බලා
ගයමි කවි පද ගොතා
ඇසෙන ගී තාලයට
හුරු වෙයන් මගෙ පුතා
තිලෝගුරු සමිඳුනේ
සීවරම් දෙවිඳුනේ
නිතිනි රැකදෙනු මැනේ
මයෙ පුංචි මුණුබුරා
චන්ද්‍රා රෝහිණී
කැටියෙආරච්චි – ඇල්පිටිය
රිළවුනේ
ගලේ කඳු පාමුලයි අපේ නිජබිම වුණේ
ඇළ දොළේ දිය බිඳයි ගතේ සිසිලස වුණේ
කුසට අහරක් ලෙසට වගාවට සිත් වුණේ
වැළලු බිජු දලු දමා දිනෙන් දින මතු වුණේ
රිවි කිරණ ගහ වැලේ අතුපතර රැඳෙන්නේ
මල් පිපී බිඟුන් රැළ ඒ අතර සරන්නේ
නෙත ගැටෙන විට එදෙස සිත සතුට ලබන්නේ
නිසි පරිදි දිය, පොහොර වගා බිම හෙළන්නේ
දොර, ජනෙල් අමතකව හැර තිබූ සැණෙකිනේ
පැන ඇවිත් ගේ තුළට හැලි වළං පෙරළුවේ
හෙරළි, දෙල්, පලතුරු ද ගහ වැලේ නැති වුණේ
අපට මෙතරම් දුකක් දෙන්නේ ඇයි? රිළවුනේ
බඹරැන්දේ ජගත් පත්මසුරිය
සිංහල කිරිල්ලියගේ ලියමන
වසරට වරක් දැකගත හැකි පිය පතර
හැමවිට පැහැරගෙන ගියෙ මගෙ හිත අඹර
යළි එන බව කියා දුර ගියමුත් දිවුර
ඔබ දුන් කුරුලු පැටියා අප පෙම සමර
හිමරට සීතලෙන් තටු හැකිළෙද සුදට
අප පෙම් වසත් කල මගෙ ළඟ විය රුවට
අව්වැසි සම ව විඳ අතු අග ඉඳි පැයට
ලද සුව මිහිරි මතකය විඳගමි ළයට
සිංහල කිරිල්ලිට නැති රට යන පිරිය
දෙන්නෙමි අපෙ පුතුට එහි වසනා දිරිය
දැන් මට ළඟ ය ඔබෙ මුහුණෙහි රැඳි සිරිය
දන්නෙමි දුර සෙනේ යළි එන දින හරිය
චන්ද්‍ර නිශ්ශංක හපුආරච්චි – රත්නපුර
සුදු තරු කැට
කොළ රෙද්දක් පොරවා ගත්
සුදු තරු කැට දිදුලන රුව
රාත්‍රියේ මගෙ දෑසට
රසඳුනකිය ඇගෙ තරු කැට
තරුපති වට තරු කැට මෙන්
පද්මයො වට බිඟු කැල මෙන්
ගස වට කර මල් පිපිලා
මුළු ලෝකෙම හැඩ කරලා
පිනි කැට මුතු ඇට
සිඹ ගෙන විකසිත වන
සුදු තරු කැට දිදුලන විට
මගෙ දෑසට රසඳුනකිය
රෑ අඹරේ සුදු තරු කැට
පියාඹලා මගෙ මිදුලට
අපෙ වත්තේ හිම වැටිලා
සීතලයෙන් ගල් ගැහිලා
අකීෆ් අහමඩ්
– කුරුණෑගල
ආදර කතන්දර
උදෑසන හැමදාම ගෙමිදුලේ පුරාවට
වැඩෙන වල්පැළ හෙමින් ගලවනා වෙලාවට
කිරිල්ලක් ඇවිල්ලා අඹ ගහේ අත්තකට
ගීතයක් ගයනවා මියුරු රස තාලෙකට
කුරුලු බස තෝරන්න කොහොමවත් බැහැනෙ මට
හැමදාම ඇයි එන්නෙ ගීතයක් ගයන්නට
උඹෙ හිතේ ඇති සතුට තියෙනවද අසන්නට
කවුරුවත් නැද්ද පිළිතුරු දුන්නෙ තවම රස ගීතයට
ආදරේ හඳුනනා රස හදක් තියෙනවා
ආදරේ පවසන්න රසවතෙක් ඉන්නවා
දෙන්නාම එක්වෙලා ආදරේ මවනවා
උඹල දෙන්නට මිහිරි නව ලොවක් තැනෙනවා
කුසුමා වර්ණසූරිය
සාදයක ඇරඹුම
වයින්, ජින්, විස්කි සමඟින්
ගත වුණත් දිගු කාලයක්…
ඒ අතර තිබුණා
කියන්නම නොතේරෙන
මොකක්දෝ අඩුවක්…..
අහම්බෙන් අද හමුවුණා මට
නුඹේ ඇස් ඇති දියණියක්…
ඒක…
අපේ නගරෙම බාලිකාවක්…
දන්නවද සොඳුරිය…
එසැණින්ම කියවුණා මට
“නුඹ හා ගෙවු මතකය තරම්
තව කොහිද මීවිතක් ?”
ස්වර්ණමාලී සත්සරා
හෙට්ටිආරච්චි
ඉසි කෝ මන්
දුරු කළ පරුස රොස් නින්දා උපහාස
නොබණින පිසුණු බස් මුසවා අපහාස
කළගුණ විරල හිස් දන හා සහවාස
නැත සඝ ගණට දොස් සඳහා අවකාස
පිළිකෙව් කරන පවදැමු දුසිරිත ඉවත
ගුණදම් රකින සඳහම් පතුරන දසත
කෙලෙසුන් තවන ගුණයෙන් නොවැටෙන පහත
නමදිමි නිවුන සඟ පරපුර බැඳ දොහොත
විළිබිය දෙකින් සැඩ දැඩි බව හැර දැමුව
ඉසි කෝ මාන වැනි සියොළඟ ගිනි නිමුව
වරදට පළිනොගෙන හද දහමින් තෙමුව
දත යුතු මග නොමඟ බොදු සඟගණ හමුව
ධම්මික ජයරංජන්
ලොකු හාමුදුරුවනේ
මගෙ අම්මා එයාගෙ ‘පොඩි පුතා’
කොයි වගේ කෙනෙක් දැයි
හරි හැටි දැනන් හිටියා
අප්පච්චිත් ඒ වගේමයි
ඒත් … ඒ දෙන්නම දැන් නැහැ
ඊට පස්සෙ ..
අපේ ගමේ පන්සලේ
ලොකු හාමුදුරුවෝ වෙච්චි
කහ පාට සිවුරට කවමදාවත්
නිගරු නොකළ ඔබ වහන්සෙත්
මං කවුදැයි දැනන් හිටියා
අනේ දැන් ඉතින්….
ඔබ වහන්සෙත් හිටි ගමන්
නිවන් දොරට වැඩි හින්දා
මං ගැන දන්න කෙනෙක්
ඩිංගක්වත් ඉන්නව නම්
මට හිතෙන්නෙ ඒ මං විතරමයි
ඇත්තමයි ලොකු හාමුදුරුවනේ….
චන්ද්‍රා වාකිස්ට
අනුරතියේ නිමල රුව
අවපස කළුවර අළුකර පොබකර
හද කිල පෑළ දොරින් ගිම්පැන
වසත් කල යළි දොරට වැඩ සරසා
ඇහැළ මලේ සෝබන දවටා
නෙතු අබියස නව සඳක් පායලා
දන්නවාද සඳ ඔබ…..
නෙක දුක් සෝ සුසුම් උසුලමින්
හද මැඳුරේ ඇතුළේ බීත පුරා
හුදකලාවේ මිලිනව අවපැහැව තිබූ
අනුරතියේ නිමල රුව
යළි අළු ගසා පණ ගැහි
හද ඇතුළු මැඳුර බිත පුරා
නෙක සෝමනින් හැඟුමින්
ඔප නැඟී ඇති බව
සඳ නුඹේ නමින්…
චමින්ද බණ්ඩාර පියසේකර
– යටවර