Home » ධනවත් රටක සුපිරි වෙළෙඳ අත්දැකීමක් විඳගන්න වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණයට එන්න

ධනවත් රටක සුපිරි වෙළෙඳ අත්දැකීමක් විඳගන්න වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණයට එන්න

“The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිසෙන්න

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

කුත් 05 පස්වරුවේ කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය. මේ පිළිබඳව සොයා බැලීමට සිළුමිණ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිය නැඟුවෙමු.

ලොව ධනවත් රටවල නිර්මාණය කර ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණයකට නොදෙවෙනි ආකාරයෙන් නිමවා ඇති “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය දුටුවන් නෙත් සිත් වසඟ කිරීමට සමත්ය. කොළඹ වරාය නගරයේ ඉදිකළ ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙයවන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් සමන්විතය. මෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව සුප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර; මේ වන විටත් China Duty Free Group (CDFG) තීරුබදු සාප්පු සංකීර්ණය සිය කටයුතු ආරම්භ කර තිබේ. අනෙක් සාප්පු සංකීර්ණ මේ වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ වීමට නියමිතය. මීට අමතරව තීරුබදු සාප්පු සංකීර්ණය පිටත කලාපයේ ඇති LAKARCADE, SPA CEYLON, ‘BASILUR’ WORLD’S FRESHEST TEA, සහ CHLL අවන්හල සිය සේවා කටයුතු ආරම්භ කර ඇත.  

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන රුවන් කරුණාරත්න මේ පිළිබඳව අදහස් දක්වමින් සිළුමිණට පවසා සිටියේ

“කෝවිඩ් වසංගතයත් සමඟ රට ලොක්ඩවුන් කළ පසු අපේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. ඒ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත නඟාසිටුවන්න ගත් එක් පියවරක් විදියට මේ වරාය නගරය තුළ ඉදි වී තිබෙන වෙළෙඳ සංකීර්ණය හඳුන්වා දෙන්න පුළුවන්. මේ සාප්පු සංකීර්ණය වර්ග මීටර් 7000ක් ඇතුළත ඉදිකර තිබෙනවා. මේ තුළ ලෝකයේ සුප්‍රසිද්ධ සමාගම් 03ක් ස්ථාපිත කර තිබෙනවා. තවත් සමාගම් 100ක් පමණ මේ වන විට වරාය නගරය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඉන් සමාගම් 74ක් මේ වසර අවසන්වන විට වරාය නගරය තුළ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙච්චර කල් ලංකාවට සංචාරකයින් ආවේ දකුණු පළාත, අනුරාධපුරය, සීගිරිය, පොලොන්නරුව ආදී ස්ථාන දැකබලා ගන්න. ඒ අය කොළඹ හෝටලයක නැවතිලා හිටියොත් ඒ අයගෙ අවශ්‍යතාවයන්ට සරිලන විදියට ෂොපින් කරන්න පුළුවන් හරි හමන් තැනක් තිබුණෙ නැහැ. ඒ නිසා මේ වරාය නගරය තුළ එවැනි ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පැන නැඟුණා. මොකද මෙවැනි ස්ථාන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ලෝකයේ බොහෝ දියුණු රටවල තිබෙනවා. ඒ අනුව තමයි මෙම වෙළෙඳ සංකීර්ණය නිර්මාණය වෙන්නේ.

අනෙක් අතට දකුණු ඉන්දීය ආර්ථික කලාපය තුළ අපේ රටේ වරායන්වලට විශේෂ තැනක් හිමිව තිබෙනවා. ඒ වාසිය අපි ගන්න නම් මෙවැනි ස්ථාන ඉදිකිරීම අනිවාර්ය වෙනවා. මේ විදියට අපි වරාය පරිශ්‍රය දියුණු කළාම සිංගප්පූරුව, ඩුබායි වැනි රටවලට යන්නෙ නැතුව අපේ රටට සංචාරකයින් පැමිණෙන්න පටන්ගන්නවා. එහෙම වුණාම මේ රටේ භාණ්ඩ හා සේවා සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. එය රටේ ආර්ථික අභිවෘද්ධියට හේතු වෙනවා. ලංකාවට සංචාරකයෙක් පැමිණි විට ඒ අය වියදම් කරලා තිබුණේ ඩොලර් 175ක් වගේ සුළු මුදලක්. අපට අවශ්‍ය වුණා ඒ ප්‍රමාණය 350ක් 500ක් දක්වා සීමාවකට ගෙන එන්න. ඒ අයට සතුටින් වියදම් කරන්න මේවගේ පරිසරයක් නිර්මාණය කළාමයි. ඒ අරමුණින් තමයි මේක අපි හැදුවේ.

මේ වනවිට ඩියුටි ෆ්‍රී ඔපරේටස්ලා තුන්දෙනෙක් ඉන්නවා. ලොකුම එක්කෙනා තමයි චයිනා ඩියුටි ෆ්‍රී කියන්නේ. ඒ අය වර්ෂයකට ඩොලර් බිලියන දහයක් උපයන ලොව අංක එකේ ඩියුටි ෆ්‍රී ඔපරේටර්ස්ලා විදියටයි හඳුන්වන්නේ. මීට අමතරව ඉන්නවා වන් වර්ල්ඩ් සිංගප්පූරු ඔපරේටර් කෙනෙක් එයාලා මාසෙකින් එයාලගේ සාප්පු සංකීර්ණය විවෘත කරනවා. ඊට අමතරව ෆ්ලෙමින්ගෝ ඉන්නවා; ඒ අයත් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එයාලගේ සාප්පු සංකීර්ණය විවෘත කරනවා.

ඩියුටි ෆ්‍රී එරියා එකට ඇතුළු වීමේදී නවීන තාක්ෂණික ක්‍රමවේදයන් මේ තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. මීට පෙර සංචාරකයන්ට අපේ රට තුළ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගොඩක් ගැටලුවලට මුහුණ දී තිබෙනවා. ඒ වගේම ලංකාවට ඇතුළුවන ඇතැම් සංචාරකයින් මුදල් ජාවාරම්වල නිරත වී හසුව තිබෙනවා. ඒ අනුව කෙනෙක්ට මේ සඳහා ඇතුළු වෙන්න පුළුවන් තමන්ගේ ගුවන් ගමන් බලපත්‍රය මඟින් පමණයි. ඒ වගේම වියදම් කරලා බඩු ගන්න පුළුවන් කියලා හඳුනාගත්ත අයට පමණයි මීට ඇතුළු විය හැක්කේ. ගුවන් ගමන් බලපත්‍රය ස්කෑන් කරාම ඒ අයට ලැබෙන ප්‍රතිලාභ එහි සටහන් වෙනවා. ඊට අමතරව කිසිවක් ඒ අයට මේ ක්‍රමවේදය හරහා රැගෙන යන්න බැහැ. ඒ දත්ත එවෙලෙම අපට ලැබෙනවා. ඒ අනුව ඔහු හෝ ඇය අවසර ඇතිව ලංකාවට ඇතුළු වෙච්ච කෙනෙක්ද නැද්ද කියලත් අපට හඳුනා ගන්න පුළුවන්. මෙතනට සේවාදායකයින් කොපමණ ආවද, ඔවුන් කොපමණ භාණ්ඩ මිලදීගත්තද කොපමණ මුදලක් උපයා තිබෙනවා ද මේ සෑම දෙයක්ම මේ හරහා ඉතාම විනිවිද භාවයෙන් යුතු දැක ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

ඒ වගේම ලංකාවට එන විදේශිකයින්ට ලෝකේ ඕනම සන්නමයක් යටතේ නිෂ්පාදය කර තිබෙන භාණ්ඩ හා සේවා මෙහිදී මිලදී ගන්න පුළුවන්. නමුත් ඒවා මිලදී ගෙන රට ඇතුළට එන්න බැහැ. ඔවුන් අප රටින් පිටත්ව යන විට අදාළ දිනයට වෙලාවට කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් තම අනන්‍යතාවය ඉදිරිපත් කර ඒවා රැගෙන යන්න පුළුවන් ආකාරයට පහසුකම් සලසා දී තිබෙනවා. මෙනිසා ඔවුන්ට මේවා තැනින් තැන අමාරුවෙන් රැගෙන යාමට හෝ ඒවා නැවත ඇසුරුම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේම මින් ඉදිරියට වෙනත් රටක සේවය කර මෙරටට පැමිණෙන ලාංකිකයන්ට කටුනායක ගුවන්තොටුපොළින් බැහැලා ඩියුටි ෆ්‍රී බඩු අරගෙන වාහන හයර් කරන් අමාරුවෙන් කොළඹට ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයට පැමිණෙන දිනයේ සිට දින හතරක් ඇතුළත පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී ෂොප් එකෙන් ඒ දේවල් ගන්න පුළුවන්.

මේ මාසය අවසානයේ ඩියුටි ෆ්‍රී එරියා එක මහජනතාවට විවෘත කරනවා. නමුත් මීට ඇතුළු විය හැක්කේ කලින් කියූ කොන්දේසි මත පමණයි. නමුත් ඉන් පිටත ස්ථානයේ ඕනෑම සේවාවක් ලබා ගැනීමට ඔවුන්ට පුළුවන්; ලංකාවේ ජනතාවට මෙවැනි වෙළෙඳ සංකීර්ණයක අත්දැකීම ලබාගන්න පුළුවන් වෙන්නේ පළමු වතාවට බව ඔහු සඳහන් කරයි.

මෙහි වන තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙහි සේවාවන් ඉටුකරන පිරිස ඉතාම සුහදශිලී කාර්යක්ෂම සේවාවක් ලබා දෙයි. චයිනා ඩියුටි ෆ්‍රී හී සිල්ලර අලෙවි කළමනාකාරු රොරී ඩැනියෙල් මෙම වෙළෙඳ සංකීර්ණය තුළදී ලැබිය හැකි පහසුකම් පිළිබඳ මෙලෙස අප දැනුම්වත් කළේය. “ලංකාවට එන ඕනම විදේශිකයකුට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා ලෝකයේ පිළිගත් සන්නාම (බ්‍රෑන්ඩ්) යටතේ නිෂ්පාදිත භාණ්ඩ ලබා ගන්න. ඒවා අතර චොකලට්, සුවඳ විලවුන්, විලාසිතා නිෂ්පාදන, රූපාලාවණ්‍ය නිෂ්පාදන, සම්භාණ්ඩ නිෂ්පාදන, ගෘහ විදුලි උපකරණ, අව් කණ්ණාඩි, ලිකර් වර්ග සහ තේ නිෂ්පාදන ආදී ඕනෑම දෙයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විදේශවල සිට එන ලංකාවේ ඕනම පුරවැසියකුට කටුනායකින් බැහැලා නිෙවසට ගිහින් පහුවදා වුවත් නිදහසේ මෙතෙන්ට ඇවිත් ඒ අයට ලබාදී තිබෙන ඩොලර් 2000ක සීමාව යටතේ භාණ්ඩ මිලදී ගත හැකියි. ඒ සඳහා ඔහු හෝ ඇය එන දවසේ රාත්‍රී 12.00 සිට දවස් හතරක කාලයක් තියෙනවා. ඒ වගේම තව එක්කෙනෙක් එක්ක එන්න අවසර තියෙනවා. ඒවගේම කෙනෙක්ට වෙනත් රටකට යනවා නම් එයාගෙ ටිකට් එක මෙතෙන්ට ඉදිරිපත් කරලා මෙතනින් අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කරලා යන්න පුළුවන්. එයා යන්නේ අද රෑ 8ට නම් පැයකට කලින් ඒ ඔක්කොම බඩු ඇසුරුම් කරලා අදාළ අනුමැතිය සහිතව කටුනායකින් අරගෙන විදේශගත වෙන්න පුළුවන්. ඒක ඒ අයට විශාල සහනයක්. නැත්තම් ඒවා ඇසුරුම් කරගෙන උස්සගෙන යන්න වෙනවා. නමුත් මේ පහසුකම නිසා ඔවුන්ට ඒ කරදරය විඳින්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම විදේශිකයන්ටත් ඒ ආකාරයටම ඔවුන් මිලදී ගන්න භාණ්ඩ ඇසුරුම් කරලා කටුනායකට ඩිලිවරි කරනවා. ඒ අයට ඒවා එතනින් අරගෙන විදේශගත වෙන්න පුළුවන්. ඉතිං අපි ආරාධනා කරනවා මේ අත්දැකීම විඳගන්න මේ ස්ථානය එන්න කියලා.

මීළඟට අප ගියේ ඩුයුටි ෆ්‍රී කලාපයෙන් බැහැර මහජන අවකාශයේ අපටම ආවේණික වූ ආකාරයෙන් ඉතා මනරම්ව ඉදිකර තිබෙන ඇල්ල CHILL Cafe වෙතය. එහි මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස කටයුතු කරන ඉරංක පවසා සිටියේ “ CHILL Cafe සමූහය ඇල්ල නිර්මාණකරු දර්ශන මහතා විසින් ආරම්භ කළේ මීට කාලෙකට ඉහතදී බවයි. කුඩාවට පටන් ගත් CHILL Cafe ටික ටික දියුණු වෙලා ඇවිල්ලා දැනට ලංකාවේ තියෙන ලොකුම රෙස්ටුරන්ට් එක බවට පත්ව තිබෙනවා. රෙස්ටූරන්ට් එකකට ලැබී තිබෙන විශාලම පිළිගැනීම ලැබී තිබෙන්නේ මෙයටයි. ගූගල් සෙවුම තුළ ට්‍රිප් ඇඩ්වයිසර් එකේ දෙවැනියට ඉන්නේ අපි. ඒ කියන්නේ ටොප්ක්ලාස් රෙස්ටුරන්ට් බාර් කැෆේ එකක්. මේ තුළ නයිට් ලයිෆ් එකත් එක්ක ෆේලොස් දෙකක් තිබෙනවා. දර්ශන මහතාට ඕන වුණා මේ රෙස්ටූරන්ට එක කොළඹට නගරයට හඳුන්වා දෙන්න. මේ වරාය නගරය එක විවෘත කරාට පස්සේ මෙතැන එය ආරම්භ කරන්න අපට ලොකු අවස්ථාවක් ලැබුණා; ඒ අනුව තමයි මෙය මේ ස්ථානයේ ඉදිවන්නේ. මෙය ඇල්ලේ කොන්සෙප්ට් එකට වඩා ටිකක් වෙනස්. මේක අපි හඳුන්වා දෙන්නේ ග්ලෝබල් ඩයිනින් විත් ඉවිනිං විප්ස් (Global Dining with Evening Wipes)කියලා. මේ රෙස්ටූරන්ට් එක උදේ 11.00 සිට රාත්‍රී 11.00 වෙනකම් ඇරලා තියෙනවා. ඔබට ඕනෑම රටක සුවිශේෂි ආහාර වේලක් මෙහිදී රස බැලිය හැකියි. එසේම ඊට අදාළ අතුරු පසත් රස විඳිය හැකියි. ඒ වගේම මේ තෝරාගන්නා ආහාර මෙනුවට අනුව එයට ගැළපෙන ආකාරයට බීමවර්ග සකස් කර තිබෙනවා; විශේෂයෙන්ම වයින්. ඒ වගේම අපේ රෙස්ටුරන්ට් එකට පමණක් අනන්‍යවූ කොක්ටේල් මෙහිදී ඔබට රස විඳිය හැකියි. සෙනසුරාදා ඉරිදා සුමානෙට දවස් දෙකක් අලුයම 2.00 දක්වා මෙය විවෘතව පවතින බවත් තව නොබෝ දිනකින් මෙය මහජනතාවට විවෘතව තැබෙන බවත් ඔහු පැහැදිලි කළේය.

ඡායාරූප රුක්මාල් ගමගේ

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division