Home » එරික් ජිනප්‍රියගේ පොත දොරට වැඩීම, මේරියන්ස්ට මරණ තර්ජන එල්ලවීම සහ මැතිවරණ කොමිසම…….

එරික් ජිනප්‍රියගේ පොත දොරට වැඩීම, මේරියන්ස්ට මරණ තර්ජන එල්ලවීම සහ මැතිවරණ කොමිසම…….

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාව තුළ මැතිවරණ ක්‍රියාදාමය ස්වාධීනව, අපක්ෂපාතීව සහ සාධාරණව පවත්වාගෙන යෑමේ වගකීම මැතිවරණ කොමිසමට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරියයි. ඒ නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබේ. රටේ ජනාධිපති, පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පාර්ලිමේන්තුව විසින් පනවා ඇති අණපනත්වලට අනුකූලව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පැවැත්වීමේ වගකීම එය විසින් ඉටු කරනු ලබයි. ඒ නිසාම ජනාධිපතිවරණය පැවැත්වෙන මෙම කාලය තුළ එම වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට එයට සිදුව තිබේ.

ඒ ආකාරයට තම වගකීම ඉටු කිරීමේදී මැතිවරණ කොමිසම විසින් පසුගියදා ගනු ලැබු තීරණයක් සහ ඒ හා සම්බන්ධව අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව මෙරට විද්වතුන්ගේ, ලේඛකයන්ගේ මෙන්ම මානව හිමිකම් සංවිධානවල ද අවධානය යොමුවූ බව පෙනේ. සැප්තැම්බර් මස 04 වෙනි දින, දිවයින ඉරිදා සංග්‍රහයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචිත “NPP කතාව සහ JVP ක්‍රියාව” කෘතිය බොරැල්ලේ ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේදී එළිදැක්වීමට නියමිතව තිබුණි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මුලසුන දැරීමට නියමිතව තිබු මෙම රැස්වීමේදී ඕමාරේ කස්සප හිමි, සි. ඒ. චන්ද්‍රප්‍රේම සහ සුමේධ වීරවර්ධන යන විද්වතුන් විසින් දේශන පැවැත්වීමට නියමිතව තිබුණි.

එසේ වුවද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ එම රැස්වීම මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබු බවයි. මැතිවරණ කොමිසමේ නියෝගය පරිදි බොරැල්ල පොලිසිය විසින් ඒ සඳහා පියවර ගෙන ඇත. කෙසේ වුවද සංවිධායකවරු ඒ පිළිබඳව කරුණු දැක්වීමෙන් පසු ආරාධිත දේශනවලින් තොරව පොත පිළිගැන්වීමට පමණක් ඉඩ ලබාදී ඇත. ශ්‍රී ලංකාවේ කතුවරයකු විසින් රචනා කරන ලද පොතක් දොරට වැඩීම තහනම් කිරීමක් පිළිබඳව අසන්නට ලැබුණු පළමුවන අවස්ථාව මෙය වේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබේ. ජනමාධ්‍ය විසින් මැතිවරණ අවස්ථාවකදී සාධාරණ විනිශ්චයක් සඳහා මහජනතාවට අවස්ථාව සලසාදීම වෙනුවෙන් විවිධ නියාමනයන් පනවා ඇත. එහෙත් ලේඛකයකු විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ග්‍රන්ථයක් මැතිවරණයට ඇතිකළ හැකි බලපෑම පිළිබඳව කිසියම් මැතිවරණ නීතියක් මඟින් හඳුනාගෙන ඇති බවක් පොත් ප්‍රකාශනය නියාමනය කිරීමක් සම්බන්ධ නීතිරීති ඇතිදැයි නොදනිමි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ විවිධ ලේඛකයන් විසින් ප්‍රකාශනයට පත්කරන ලද පොත් සැලකිය යුතු බලපෑමක් ඇතිකළ අවස්ථා පිළිබඳව වාර්තා වී තිබේ. 1965 හෝ 1970 මහමැතිවරණයේදී “තිබ්බතයේ බෞද්ධ සංහාරය” නමැති පොත එක්සත් ජාතික පක්ෂයේ සෑම මැතිවණ රැස්වීමකදී ම බෙදා හැරි ආකාරය මට මතක තිබේ. මටද පොතක් ලබා ගැනීමට හැකිවූ අතර අද වනතුරු එය මා ළඟ තිබේ. කෘතිය එසේ බෙදා හරින ලද්දේ මාක්ස්වාදය රටේ බලවත් වුවහොත් බුද්ධාගම විනාශ වී යෑමට ඉඩ ඇතිය යන මතය තිබ්බතයේ සිදුවීම ආශ්‍රයෙන් මහජනතාවට අවබෝධ කර දීමට බව පෙනේ.

තවත් මතක ඇති එවැනි ග්‍රන්ථයක් වන්නේ 1977 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද “පවුල් ගස” කෘතියයි. බණ්ඩාරනායක පවුල “පවුල” නමැති අතුපතරින් සමන්විත වූ මහා වෘක්ෂයක් බවට පත්වී ඇති ආකාරය එම කුඩා කෘතියෙන් විස්තර වේ. එය එම මැතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සෑම රැස්වීමකදීම මුදලට අලෙවි කරනු ලැබීය. එය මුදලට අලෙවි කළද ශ්‍රී ලංකාව තුළ අතිමහත් ජනප්‍රියතාවක් හිමි කරගෙන තිබු එම කෘතිය උණු කැවුම් ලෙස අලෙවි වූ ආකාරය මට මතක තිබේ.

අනෙක් අතට මෙවර මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් නිකුත් කර ඇති මැතිවරණ ප්‍රකාශන දෙස බලන විට පැහැදිලි වන්නේ ඒවා ද පොත් ස්වරූපයේ ප්‍රකාශන බවය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිටු A4 ප්‍රමාණයේ 62කි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එම ප්‍රමාණයේම පිටු 233කි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එම ප්‍රමාණයේම පිටු 38 කි. ඒවාද හැඳින්විය හැක්කේ විවිධ විෂයයන් පිළිබඳව ඒ ඒ පක්ෂ විසින් දරන මතවාද ඇතුළත් ග්‍රන්ථ ලෙසය.

මැතිවරණ කොමිසම සාධාරණ මැතිවරණයක් සඳහා වූ තම උපමාන සකස් කිරීමේදී නිරන්තරයෙන් පාහේ භාවිත කර ඇති යෙදුමක් වන්නේ “අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන හෝ අනෙකුත් අපේක්ෂකයන්ට හානි කරන” යන්නයි. උදාහරණයක් ලෙස ජනමාධ්‍ය විසින් කිසියම් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන හෝ අනෙකුත් අපේක්ෂකයන්ට හානි කරන පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බව දක්වා ඇත. එහෙත් කිසියම් අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රකාශනය එම අපේක්ෂකයාගේ ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නක් වන අතර අනිවාර්යයෙන්ම අනෙක් අපේක්ෂකයන්ට හානිදායක වීම සිදුවිය යුත්තකි. එහෙත් එවැනි පොත් ප්‍රකාශනයට පත්කිරීම නවතා දැමීමට හැකියාවක් මැතිවරණ කොමිසමට නැත.

එවැනි තත්ත්වයක් තිබියදී එරික් ගාමිණී ජිනප්‍රිය ගේ “NPP කථාව සහ JVPක්‍රියාව” කෘතිය එළිදැක්වීමේ උත්සවය නවතා දැමීමට මැතිවරණ කොමිසමට ඉඩක් ලැබුණේ කෙසේද යන්න ගැටලුවක්ව පවතී. රට තුළ විවිධ දේශපාලන වෙනස්කම් සිදුවුව ද ලේඛකයන්ගේ නිදහසට බාධා කිරීමට හෝ ඔවුන් පාලනය කිරීමට කිසිම රජයක් දැඩිව කටයුතු කළ බවක් නොපෙනේ. යම් යම් අවස්ථාවල සමහර පොත් තහනම් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වු අවස්ථා තිබුණි. එසේ වුවද එවැනි ක්‍රියා පිළිවෙතකට එළැඹුණේ ඉතා කලාතුරකින් බව පෙනී යයි. ගැටලුව පැන නඟින්නේ මේ රටේ ලේඛක පරම්පරාව විසින් භුක්ති විඳි නිදහස මැතිවරණ සමයකදී පාලනය කිරීම සඳහා මැතිවරණ නීතිය තුළ හෝ වෙනත් නීතියක් තුළ ප්‍රතිපාදන සැලසී තිබේද යන්නයි.

මෙම ක්‍රියා පිළිවෙත දැඩි ලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමකි. මැතිවරණ කොමිසම විසින් එම දොරට වැඩීම කිසියම් පක්ෂයකට හානිකර වනු ඇතැයි කිසිවෙකු විසින් හෝ පැමිණිලි කර තිබේද යන්න පැහැදිලි කළ යුතුය. එසේම එම උත්සවය තහනම් කිරීමට තරම් කරුණු එම ග්‍රන්ථයේ අඩංගුව තිබේදැයි තහවුරු කර ගැනීමට කොමිසමේ කිසිවකු විසින් හෝ එම පොත කියවා තිබේද යන්නත් පැහැදිලි කළ යුතුය. එම කථිකයන්ගේ කතා තහනම් කරන ලද්දේ එම කතා තුළ කිසියම් පක්ෂයකට හානිකර දෙයක් පැවතිය හැකි යයි අනුමාන කිරීම නිසාද එසේ නම් එම අනුමාන කිරීමට පදනම් කරගත් සාක්ෂි කවරේද යන්නත් පැහැදිලි කළ යුතුව ඇත. රට තුළ මැතිවරණයක් පැවැත්වීම හේතුවෙන් ශාස්ත්‍රීය කණ්ඩායමක රැස්වීමක් නැවැත්වීමට මැතිවරණ කොමිසමට කවර නීතියක් යටතේ බලය පැවරේ ද යන්නත් පැහැදිලි කළ යුතුව ඇත.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදි කිසියම් හෝ පිරිසකට බලහත්කාරය, පීඩනය හෝ තර්ජන එල්ලවේ නම් එවැනි තත්ත්වයක් වැළැක්වීමට කටයුතු කිරීම කොමිසමේ වගකීමකි. රටේ සංගීත ක්ෂේත්‍රයේ දිගු කලක් සුවහසක් සහෘදයන් සතුටු කරන “මේරියන්ස් සංගීත කණ්ඩායම” පසුගියදා මුහුණදුන් කණගාටුදායක තත්ත්වය පිළිබඳ මැතිවරණ කොමිසම කිසිදු අවධානයක් යොමු කළ බවක් වාර්තා නොවේ. එක්තරා දේශපාලන පක්ෂයක් විසින් මෙම සංගීත කණ්ඩායමට එල්ල කළ මරණ තර්ජන සහ පීඩාවන් බොහෝ දෙනෙකු දන්නා සත්‍ය කතාවකි. එම කණ්ඩායමට තර්ජන එල්ලවීමෙන් පසු ඔවුන් තම කනගාටුව ප්‍රකාශ කරන ප්‍රකාශයක් සමාජ මාධ්‍යවලට නිකුත් කර තිබුණි. එහි කණ්ඩායම් නායකයා ප්‍රකාශ කර තිබුණේ තම සාමාජිකයන්ට මරණීය තර්ජන පවා එල්ල වී ඇති බවයි. මැතිවරණයෙන් පසු කිසිවෙකුට හානි නොකරන බව ප්‍රකාශ කර ඇති දේශපාලන පක්ෂයක මරණ තර්ජන රටේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමකට එල්ල වී තිබේ. එම මරණීය තර්ජන පිළිබඳව එම සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියේම රටට තොරතුරු හෙළිකර තිබේ.

පළමුවෙනි කරුණ තමන් ජයග්‍රහණය කළහොත් රටේ සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන යන බවට කර ඇති ප්‍රකාශය සත්‍යයක් නොවන බව ඒ තුළින් පැහැදිලි වීමයි.

දෙවැන්න, වචනයක් කියවා නැති පොතක් එළිදැක්වීමේ උත්සවයක් තහනම් කරන මැතිවරණ කොමිසම විසින් මුළු රටම දන්නා කරුණක් වී ඇති දේශපාලන පක්ෂයකට සම්බන්ධ මරණ තර්ජන පිළිබඳව වචනයක් හෝ ප්‍රකාශ කර නොසිටීම ය. එරික් ජිනප්‍රියගේ පොත එළි දැක්වීම වැළැක්වීමට යැවු පොලිසිය මැතිවරණයට සම්බන්ධ මිනීමරු තර්ජනයක් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා යැවීමට මැතිවරණ කොමිසමට අමතක වී තිබේ.මහජනතාවට ඇතිව තිබෙන ප්‍රශ්නය වන්නේ මැතිවරණ කොමිසම තුළ එක් පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එය එක් පක්ෂයකට පක්ෂපාතීව කටයුතු කර ගන්නේ ද යන්න සැකයයි. මැතිවරණ කාලය පුරාවටම එක පක්ෂයකට සම්බන්ධ පාට ත්‍රිරෝද රථවල ඇලවීම, අලවාගෙන ගමන් කිරීම ආදිය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරද්දී කොමිසමෙන් වචනයක් ප්‍රකාශ වූයේ නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂය ගෝල්ෆේස්හි ත්‍රිරෝද රථවල එවැනි ස්ටිකර් අලවන විට රථවාහනවල එවැනි දේ ඇලවීම තහනම් බවට ප්‍රකාශයක් මැතිවරණ කොමිසමෙන් නිකුත් විය. කොමිසම කිසිවකුගේ බලපෑමට යටත් නොවී කොමිසන් සභාවේ තීරණවලට අනුකූලව කටයුතු කරන තත්ත්වයක් ඇතිකර ගැනීම කොමිසමේ අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් විය.

– ජනමිත්‍ර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division