Home » ආර්ථිකය සහ ප්‍රජාතාන්ත්‍රවාදය

ආර්ථිකය සහ ප්‍රජාතාන්ත්‍රවාදය

by Mahesh Lakehouse
September 7, 2024 12:28 am 0 comment

තා සහ සුරංගනා කතා අතර දෝලනය වෙමින් පවතින ජනාධිපතිවරණ වේදිකාව දැන් දැන් බොහෝ උණුසුම්ය. අපේක්ෂකයන් දුසිම් තුනකට ආසන්න ගණනක් සිටියත් මහජන රැලි පවත්වමින් සක්‍රීය මැතිවරණයකට දායකව ඇත්තේ අපේක්ෂකයන් හතර පස් දෙනෙකු පමණි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වේදිකාවෙන් දිනෙන් දින ජනතා ආකර්ෂණය දිනා ගනිමින් සිටී. එහෙත් එහි නිතර කියවෙන තර්කය වනුයේ ” රටේ ආර්ථිකය ගොඩගත් නායකයා රනිල් වන බැවින් ඔහුට නැවත බලය දිය යුතු බවය.

රටක ආර්ථිකයකට අදාළව කතා කිරීමේදී රට ගොඩගත් නායකයාට නැවත බලය දිය යුත්තේ කෘතවේදීත්වය ඉක්මවා ගිය ඉදිරි දැක්මක් පෙර දැරිවය. ඒ ගොඩගත් ‍රටේ ආර්ථිකය නැවත නොවැටෙන සේ අවධානම් කලාපයෙන් ඔබ්බට ගෙනයාමේ වගකීම ඔහුට පවරමිනි. එහෙත් තීරණාත්නක මැතිවරණ සටනක අවසාන දින කිහිපයේ ආර්ථිකය ගොඩගත් නායකයා යන්න මන්තරයක් සේ මැතිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. මන්දයත් රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථිකය ගොඩගත් මුල්ම අවස්ථාව මෙය නොවනා බැවිනි. එය ඔහු මේ සියවසේ වරක් නොව දෙවරක්ම කළ බව බොහො දෙනෙකුට අමතකව ගොස් ඇත .

2001 වසරේ රනිල් අගමැති වී ආණ්ඩුවක් පිහිටවන්නේ ද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ මට්ටමට වැටී තිබූ සමයේය. එහෙත් වසර තුනක් තුළ එය ධන අගයක් සහිත වර්ධනය වන ආර්ථිකයක් කරන්නට රනිල් සමත් වන්නේය. අවාසනාවට එම අවස්ථාවේ ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරියාය. නැවත 2015 යහපාලන රජයේ අගමැති ලෙස ද ඔහුට හිමිවූයේ රාජපක්ෂවරුන් විසින් විනාස කර තිබූ ආර්ථිකයක් සහිත රටකි. වසර තුනක් තුළ එය යථා තත්ත්වයට පත්කරනට ඔහු සමත් වුවද 2018 දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල්ගේ අගමැතිකම උදුරා මහින්දට ලබා දෙන්නේය. 2022 උදාවනුයේ ඊට ඉඳුරාම වෙනස් තත්ත්වයකි එහිදී ඔහු බාර ගන්නේ නිල වශයෙන් බංකොලොත් රාජ්‍යකි. එයද දෑවසරකින් ගොඩ ගන්නට ඔහු සමත්වන්නේ ලෝකයම විස්මයට පත් කරමිනි. ඒ අනුව විනාශව ගිය ආර්ථිකය අවස්ථා තුනකදී ගොඩගෙන පෙන්නු විශ්වකර්මයා ඔහුය. නමුත් මෙවර ඔහු ජනාධිපති කළ යුත්තේ ඒ නිසාම නොවේ.

රටක මැතිවරණයක් පැවැත්වීම සඳහා සපුරා ගත යුතු ඉලක්ක කිහිපයකි. ආර්ථික ශක්‍යතාව ඉන් එකක් පමණි. ඊට අවශ්‍ය ප්‍රජාතාන්ත්‍රවාදී වටපිටාව සහ දේශපාලන නිදහස රට තුළ ස්ථාපිත කිරීම අනෙක් වැදගත් අවශ්‍යතාවයය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ සපුරාලූ වඩාත් අසීරු ඉලක්කය මෙවර ජනාධිපතිවරණය සඳහා වැයවන රුපියල් බිලියන 10 ක මුදල භාණ්ඩාගාරයෙන් වෙන්කර දීම නොව ඡන්දයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් රටේ නිර්මාණය කිරීමය. මීට දෙවසරකට පෙර ශ්‍රී ලංකාවේ පැවතියේත්, අදවන විට අසල්වැසි බංග්ලාදේශයේ පවතිනුයේත් එක හා සමාන අවාසනවන්ත තත්ත්වයකි.

එදා අසාර්ථක පාලනයකට එරෙහිව වීදිබට ලාංකිකයන්ගේ සාධාරණ විරෝධය සිය පටු දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් මහ දහවල් මංකොල්ල කෑ ඊනියා අරගලකරුවෝ සෘජුව අභියෝග කළේ රටේ ප්‍රජාතාන්ත්‍රවාදී පාලනයටය. එමතුදු නොව ඔවුන් උත්සහගත්තේ මැතිවරණයකින් පමනක් සිදු කිරීමට අප පුරුදුව සිටි ආණ්ඩු මාරු කිරීම මැර බලයෙන් කිරීමටය. ජනාධිපති මන්දිරය, ජනධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය අල්ලාගත් අරගලකරුවෝ තමන්ට අවශ්‍ය ඕනෑම තැනක් අල්ල ගන්න බවට පාරම්බෑහ. ආරක්ෂක හමුදාවන්ට නිසි නායකත්වය ලැබුණේ නැත. පොලිස් නිලධාරීහු නිල ඇඳුම පිටින් ගොස් ත්‍රස්ත වේශයෙන් පෙනි සිටි අරගලකරුවන්ට එකතු විය. කලහකරුවෝ රුපවහිනී සංස්ථාවට කඩා පැන එහි වැඩසටහන් නතර කර තම අදහස් පළ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මහමඟ පහර දී මරා දැම්මේය. විපක්ෂ දේශපාලන මතධාරීන්ගේ ගාලු මුවදොර පිටියේදී එළවා එළවා පහර දුන්නේය. එදා ඔහු පණ නළ රැක ගත්තේ සිය දෙපාවලට සහ ආරක්ෂක නිලධාරීන්ට පින් සිදුවෙන්නටය.

තව දුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලංගු නැති බවත්, බලය ඇත්තේ අරගල කරුවන් අත බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා එළිපිටම කීවේය. අවසානයේ පාර්ලිමේන්තුව අල්ලා ගනුවස් අරගලකරුවෝ පොල්දූව හන්දිය තෙක් ගමන් ගත්හ. ඒ මැරයන් අතර අනුර කුමාර දිසානායක ජනාධිපති කරවන්නට වේදිකා ගානේ මොරදෙන ලාක් කාන්ත, හඳුන්නෙත්ති වැන්නෝ ද වූහ. එදා ඒ උත්සහය සාර්ථක වූයේ නම් අද ජනාධිපතිවරණ නැත. ඡන්ද ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට යන්නට උසාවියක් ද නැත. එසේනම් අද රට පාලනය කරන්නේ රැවුල්, කොණ්ඩ වවා, කරාඹු දමා, සර්වංගයේම පච්ච කෙටූ මැරයන් ය. ඒ ව්‍යසනය වළකා ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දුර දකිනා නායකත්වය සහ ආරක්ෂක හමුදාවට නිවැරදිව ලබා දුන් උපදෙස් නිසාය.

ලංකාවේ රාජ්‍ය බලය අරගකකරුවන් ලෙස වෙස් වලාගත් මැරයන්ගෙන් බේරා ගන්නට රනිල් වික්‍රමසිංහ සමත් වනුයේ අන්තිම පැය විසිහතරේදීය. එහෙත් බංගලිදේශය ලංකාව එතරම් වාසනාවන්ත වූයේ නැත. ෂෙයික් හසීනාට ඉවත්වන්නැයි බල කළ අරගලකරුවෝ ඇය ඉවත් වූ පසු අරගලය නතර කළේ නැත. පාර්ලිමේන්තුවට ගිනි තැබුවේය. අනතුරුව ඔවුන් අත තැබුවේ එරට අධිකරණයටය. මේ වනවිට බංග්ලාදේශ‍යේ විනිසුරුවරුන් 70 කට ආසන්න ගණනක් ඉල්ලා අස්වී ඇත. රටේ නීතිය හා සාමය නැත. නැවත මැතිවරණයක් පවත්වන දිනයක් සිතා ගන්නට නොහැකිය. ආයෝජකයෝ එරට හැර යමින් සිටිති. දෛනිකව රැකියා දහස් ගණනින් අහිමි වෙයි. බොහෝ පළාත්වල භාණ්ඩ හිඟයක් මතුවෙමින් ඇත. එදා එකට අරගල කළවුන් අද මහමඟ මරාගනිති. මේ ලංකාවට ද නියත ලෙස හිමිවීමට තිබූ ඉරණමය.

එය වෙනස් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිස අන් කිසිවෙක් නොවේ. එසේනම් අප ඔහු නැවත ජනාධිපති කළ යුත්තේ ආර්ථිකය ගොඩගත් නිසා පමණක් නොව ඡන්දයක් තියන්නට රටක් ඉතුරු කර දුන් නායකයා නිසාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division