Home » උද්දික රංග­න­යෙන් පසු රටින් පැන්න ඒ.එස්.පී. කෝටි­ප­ති­යාගේ ගෙද­රින් මතු වුණු හැටි

උද්දික රංග­න­යෙන් පසු රටින් පැන්න ඒ.එස්.පී. කෝටි­ප­ති­යාගේ ගෙද­රින් මතු වුණු හැටි

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික නිදහස් පෙරමුණෙන් අනුරාධපුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණි උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ රංගනයේ සටන් නළුවා ලෙස සැලකෙන‍ සංජීව මහනාම නැමැති සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය බ්‍රහස්පතින්දාය. ඒ හෝකන්දර උතුර ලැරෝමා මාවතේ අංක 165/1 දරණ නිවසේ රැඳී සිටියදීය. මෙම නිවස ද ආන්දෝලනාත්මක චරිතයක් වන විරන්ජිත් තාඹුගලට අයත් එකක් යැයි කියැවෙනි. ඒ ගැන පොලීසිය නිල නිවේදනයක් මඟින් තහවුරු කිරීමක් නොකළත් නිල නොවන මට්ටමින් දැන ගන්නට ඇත්තේ නම් සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ විරන්ජිත් තාඹුගලට අයත් නිවසකදී බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් ඇති තොරතුරුවලට අනුව නම් සති කිහිපයක් තිස්සේම සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සැඟවී සිට ඇත්තේ එම නිවසේය. ඒ විරන්ජිත් තාඹුගල හා සංජීව මහනාම අතර ඇති හිතවත්කම මත විය හැකිය. සංජීව මහානාම අත්අඩංගුවට ගන්නා විට එකී නිවසේ විරන්ජිත් තාඹුගල රැඳී සිට ඇති බවට වූ තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගතව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු නම් සඳහන් කරනු ලබන්නේ සංජීව මහනාම අත්අඩංගුවට ගන්නා විට එම නිවසේ රැඳී සිටියේ ඔහු පමණක් බවය.

සංජීව මහානාම

සංජීව මහානාම

සංජීව මහානාම මෙම නිවසේ සැඟව සිට ඇත්තේ මලයාසියාවට පලාගොස් නැවතත් හොර රහසේ පැමිණීමෙන් අනතුරුවය. ඔහු මලයාසියාවට පනින්නේ උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ විමර්ශන උච්චතම අවස්ථාවේදීය. ඒ සංජීව මහානාමට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබුණු ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම අවි ගබඩාවෙන් ලබාගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමත් සමඟිනි. ඒ උද්දිකගේ මෝටර් රථයට වෙඩි තබා ඇත්තේ එම ගිනි අවියෙන් බවට වූ සැකයක් මතුවීම හේතුවෙනි.

එම ගිනි අවිය පිස්තෝලයකි. කාලයක්ම එම පිස්තෝලය පරිහරණය කළ සංජීව මහනාම එම අවිය දෝෂ සහිත බව සඳහන් කරමින් පොලිසියේ මධ්‍යම අවි ගබඩාවට භාරදී වෙනත් අවියක් ඒ වෙනුවට ලබා ගන්නේ පසුගිය වසරේ සැත්තැම්බර් 17 වෙනිදා උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමෙන් හරියටම දවස් දෙක තුනකට පසුවය. කිසිදු දෝෂයක් එහි නොවූවත් සංජීව මහානාම දෝෂයක් ඇතැයි පැවසීම හේතුවෙන් එම අවිය මාරුකර වෙනත් අවියක් ඔහුට ලබාදීමට මධ්‍යම අවි ගබඩාවේ නිලධාරීන් කටයුතු කරනු ලබන්නේ ඔහුට ඇති විවිධාකාර සම්බන්ධකම් ගැන දැන සිටි බැවිනි.

උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබූවේ එම අවියෙන් බවට වූ සැක කටයුතු තොරතුරු රැසක් මුල්කර ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවිය සිය භාරයට ගෙන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියදී සංජීව මහානාම මලයාසියාවට පනින්නේ පසුගිය ජූනි 12 වෙනිදාය. ඒ වන විට ඔහු සේවයේ නිරතව සිටියේ පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසිනි. යම් පොලිස් නිලධාරියෙක් සේවයේ නිරතව සිටියදී පුද්ගලික සංචාරයක් සඳහා හෝ රටින් පිටව යන්නේ නම්; ඊට අවසර ගැනීම් ඇතුළු ක්‍රියාවලියක්ම පවතී. එය සෑම රාජ්‍ය සේවකයකුටම පොදුය. ඒ කිසිවක් තකන්නේ නැතිව ඔහු මලයාසියාවට යන්නේ උද්දිකගේ මෝටර් රථයට තැබූ වෙඩිල්ල කාගේ ගිනි අවියෙන් පත්තුවූවක් දැයි පැහැදිලිවම අනාවරණ කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංජීව මහානාම පරිහරණය කළ ගිනි අවිය සිය භාරයට ගැනීමත් සමඟනි. රටින් යන්නට තරම් සංජීව මහානාම කලබල වන්නේ කලක් ඔහු පරිහරණය කළ ගිනි අවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් භාරයට ගැනීම නිසා මිස ඔහුව එම වෙඩි තැබීමේ සැකකරුවෙක් ලෙස නම් කරන්නට පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතන්නටත් පෙරය. සංජීව මහානාම එදා මලයාසියාවට පනින්නේද ඔහු සතුව ඒ වන විට තිබුණු රාජකාරි ගිනි අවිය පවා ගුවන්තොටුපොළ පරීශ්‍රයට ගෙන්වා ගත් පොලිස් නිලධාරියකුට භාරදෙමිනි.

උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමට සහකාර පොලිස් අධීකාරී සංජීව මහානාමගේ සම්බන්ධය ගැන මුළු රටම දැන ගන්නේ ඔහු මෙසේ රටින් පලාගොස් පැය 24ක් යන්නට මත්තෙනි. එනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍ය හමුවක් පවත්වමින් කළ හෙළිකිරීමත් සමඟිනි. ඒත් සමඟම සංජීව මහානාමගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට සංජීව මහානාම වෙනුවෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් පවා ඉදිරිපත් කරන්නට වූයේ ඒ වන විටත් ඔහු සැකකරුවෙක් ලෙස නම් නොකර තිබුණු පසුබිමක් තුළදීය. ඒ අතර සංජීව මහානාම සේවය අතහැර ගිය නිලධාරියෙක් ලෙස සලකන්නට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගන්නේ ඔහු නිසි අවසර නොගෙන රටින් පිටව යාම හා දිගින් දිගටම සේවයට වාර්තා නොකිරීම හේතුවෙනි. සංජීව මහානාම රටින් පැනගත්තද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සම්බන්ධයෙන් එතෙක් කරගෙන ආ විමර්ශන අතරමග අතහැර දැමුවේ නැත. ඒ නිසාම සංජීව මහානාම සැකකරුවෙක් ලෙස නම් කිරීමට හැකි සාක්ෂි බොහෝමයක්ම සොයා ගත්තේය. ආරක්ෂක කැමරා දර්ශන, දුරකතන දත්ත විශ්ලේෂණ ආදී විද්‍යාත්මක සාක්ෂිවලින්ද අඩුවක් ඒ අතර නොවීය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ බව අධිකරණයට දැනුම් දීමට තරමක් කල් මරන්නට වූයේ එම සාක්ෂි තවදුරටත් විශ්ලේෂණය කරමින් සිටි බැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම ඒ කාලය තුළ අධිකරණය හමුවේ පවසන්නට වූයේ සංජීව මහානාම උද්දිකගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම්කර නොමැති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙසේ අධිකරණයට කරුණු දක්වන්නට වූයේ සංජීව මහානාමගේ නීතීඥයින් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටින මොහොතකය.

හොර රහසේ රටින් ගිය ආකාරයටම නැවතත් සංජීව මහනාම හොර රහසින්ම බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් පැමිණෙනුයේ මේ අතර තුරදීමය. කාටත් හොරෙන් සංජීව ඒ එන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍යතාවක් තිබුණි; නම් ගුවන්තොටුපොළේදීම ඔහුව අත්අඩංගුවට ගැනීමට ඕනෑතරම් අවකාශ පැවතුණි. ඒ විදෙස් ගමන් බලපත්‍රයේ අංකයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු කුමන මොහොතක හෝ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බැවිනි. උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සැකකරුවෙක් ලෙස සංජීව මහානාම නම් කෙරෙන්නෙත් නැවතත් රටින් පලායාමට ඉඩක් නොතබමින් විදෙස් ගමන් තහනමක් ඔහුට එරෙහිව අධිකරණය මඟින් ලබාගන්නේත් ඒත් එක්කමය. ඒ අතර අපේක්ෂිත ඇපයද අධිකරණයෙන් විසිවෙමින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයන් පවා නිකුත් වන්නේ සංජීව මහානාම සෑම පැත්තෙන්ම හිරවෙමිනි.

ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංජීව මහානාමගේ ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂණය කරමින් සිටින්නේ ඔහු යන එන තැන් සහ සැඟවී සිටින ස්ථාන හදුනා ගැනීමටය. එහෙත් ඔහු පොලිස් විමර්ශන ගැන හොඳින් දන්නා කියන චරිතයක්; වූ බැවින් ජංගම දුකරතනය පැත්තක දමා වෙනත් ක්‍රම මඟින් පවුලේ උදවිය හා සම්බන්ධකම් පවත්වන්නට ගත්තේය. මේ හේතුව නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුවන්නේ එතෙක් හදුනාගෙන තිබුණු සංජීව මහානාම ආගිය තැන්වලට පැන ඔහු ඒ තැන්වල සිටීදැයි පරීක්ෂාකර බලන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වූයේ අනුරාධපුර පැත්තටය. සංජීව මහානාමගේ උපන්බිම මෙන්ම වැඩිපුරම ගැවසී ඇති භූමිය අනුරාධපුරය වූ බැවිනි.

සංජීව මහානාම 1980 වසරේ සැප්තැම්බර් 09 දා ඉපදී හැඳී වැඩි ඇත්තේ කැකිරාව කාසිගමය. පාසල් ගොස් ඇත්තේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයටය. උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වන්නේ පාසල් ගමනට සමූදීමත් සමඟිනි. වැඩි කාලයක් ඔහු පොලිස් සේවයේ රැඳී සිට ඇත්තේ අනුරාධපුරය හා ඒ ආශ්‍රිතව කේන්ද්‍රගතවය. මුල්ම ස්ථානාධිපති පත්වීම ලැබී ඇත්තේ මිහින්තලයටය. ඒ ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයේ නිරතව සිටියදීය. සංජීව මහානාම මෙතෙක් කලක් සේවය කර ඇති සෑම පොලීස් ස්ථානයකම ඔහු නමක් තබා ඇති අයෙකි. ඒ හැම පැත්තකම ඔහුගේ නම බබළවා ඇත්තේ පොලිස් සේවයත් සමඟිනි. ඔහු පොලීසියේ ජනප්‍රිය චරිතයකි. තමන් සේවය කරන සෑම පැත්තකම ජනතාවගේ මෙන්ම දේශපාලනඥයන්ගේ හිත් දිනා ගැනීමට සමත්කම් පා ඇත්තේය. එය සහජයෙන් උරුම වූ දෙයක් විය හැකිය. මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙක් ලෙසද පත්වීමක් ඔහුට අධිකරණ අමාත්‍යාංශයෙන් ලැබී ඇත. ඒ 2017 වසරේ ජුනි 30 වෙනිදා ය.

“මහානාම කියන්නේ හොඳ නිලධාරියෙක් විදිහටයි; මම මෙතෙක් කලක් දැනගෙන හිටියේ. ඔහු මේ තැනට පත්වුණේ ඇසුරු කරන්න සුදුසු නැති අය සමඟ ඇසුරු කරන්න ගිහින්” යැයි ශ්‍රී ලංකා පොලීසියේ නමක් තබාගෙන සිටින ඉහළ පොලිස් නිලධාරියකු මහානාම ගැන සඳහන් කළේය.

මහානාමගේ ඉතිහාසය පිරිස්සීමේදී ඔහුට එතෙක් මෙතෙක් එල්ලවී ඇති එකම කළු පැල්ලම වන්නේ උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමේ චෝදනාව පමණක් යැයි කියන්නටද බැරිය. ඒ ඔහු සම්බන්ධයෙන් තවත් විමර්ශන ගණනාවක්ම අප්‍රසිද්ධියේ සිදුවෙමින් පවතින බැවිනි. ඒ හැම විමර්ශනයකින්ම ගැලවිල්ලක් තිබුණත් උද්දිකගේ මෝටර් රථයෙන් ගැලවෙන්නට බැරි තරමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කොටු කර තිබුණේය. අඹු දරුවන් සමඟ ඔහු රටින් පනින්නට ඇත්තේද ඊට මුහුණ දීමට නොහැකි බව දැනගෙන නිසාද විය හැකිය. නැවතත් ඔහු පැමිණීමේ පිටුපස ඇති රහස තවමත් පැහැදිලිවම අනාවරණ වී නැත. ඒ ඇතැම් විට ගැලවිල්ලක සේයාවත් ඔහු දුටු නිසාද විය හැකිය. ඒ එන විට ඔහුට පොලිස් රැකියාවද අහිමි වී ගොසිනි. පොලිස් රැකියාව අහිමිවූවත් සංජීව මහානාමට රැකවරණය දෙන්නට මෙන්ම උදව් පදව් දෙන්නට ඇති තරම් සඟයන් අනුරාධපුරයේ සිටියේය. ඒ අය කවුරුන්දැයි හදුනාගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මාසයක කාලයක් පුරාවටම සංජීව මහනාමගේ මිතුරන් පිරිසක් පිටුපස පැන්නුවේය. ඒ අතර තාඹුගලගේ පස්සේ පැන්නීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිසේත්ම අමතක නොකළේය. ඒ තාඹුගල හා සංජීව මහානාම අතර ඇති කිට්ටු සම්බන්ධකම් හා ඔවුන් කර කී දෑ බොහෝමයක් ගැන දැන සිටි බැවිනි. ඒ අතර මහනුවර පිහිටි සංජීව මහානාම පදිංචිව සිටි නිවසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි පරීක්ෂාවකටද ලක්විය. මහනාම තබා ඔහුට ගෑවුණු කිසිවකුත් ඒ වන විටත් එහි සිටියේ නැත. සොයන්නට හැකි හැම තැනක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා බලා අවසානයේදී තාඹුගලට අයත් බව කියන උතුරු හෝකන්දර ජයමාවතේ නිවසක් වටකර පසුගිය 05 වෙනිදා පරීක්ෂා කරනු ලබන්නේ කල්තියා ලද තොරතුරකට අනුව කළ අවේක්ෂණයකින් අනතුරුවය. මාස ගණනාවක් තිස්සේ පොලීසියට කට්ටිපනිමින් සිටි හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වන්නේ ඒත් සමඟිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවට රැගෙනවිත් උද්දිකගේ මෝටර් රථයට තැබූ වෙඩිල්ල ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කළද සංජීව මහානාම ඒ ගැන කටක් අරින්නේ නැත. උද්දික සමඟ ඇති හිතවත්කම් මත දෙදෙනා කළ සැලසුමකට අනුව නිල රථය ලෙස තමා පරිහරණය කරන සුඛෝපභෝගී මෝටර් රථයෙන් උද්දිකගේ අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පිහිටි නිවස කිට්ටුවට පැමිණ සිය රාජකාරි ගිනි අවියෙන් තමා උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබූ බව ඔහු කියන්නේ නැත. එදා උද්දික මිතුරන් පිරිසක් සමඟ ලහිරු ක්‍රීඩාංගණය අසල මත්පැන් සාදයක් පැවැත්වූ බවත් කල්තියා කළ සැළසුමකට අනුව එතැනට අඩුපාඩු මත්පැන් ගෙන ඒමට උද්දික නිවසට පැමිණි විට තමා නිවස ඉදිරිපිට නවතා තැබූ උද්දිකගේ මෝටර් රථයට වෙඩි දෙකක් තැබූ බවක්වත් සංජීව මහානාම පවසන්නේ නැත. සංජීව මහානාම කියන්නේ මේ හැම දෙයක්ම කුමන්ත්‍රණක් බවය.

සංජීව මහානාමගේ නීතීඥවරු ඔහුට අපේක්ෂිත ඇප ඉල්ලමින් ද කුමන්ත්‍රණ කතාවක් අධිකරණය හමුවේ කියා තිබුණේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විරන්ජිත් තාඹුගගෙන් රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලීමේ සිදුවීමකට සම්බන්ධ පුද්ගලයින් නීතීයේ රැහැනට හසුකර දීමට සංජීව මහානාම කටයුතු කර ඇති බැවින් පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පළිගනිමින් සිටින බවය.

උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අදටත් ඇසින් දුටු සාක්ෂි කිසිවක් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකර නැත. මේ තත්ත්වය මත උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමට සංජීව මහානාම සම්බන්ධ බව තහවුරු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ විද්‍යාත්මක සාක්ෂි මෙන්ම පරියේෂණාත්මක සාක්ෂි මත පමණක් විශ්වාසය තැබීමටය.


ඒඑස්පී සංජීව මහානාම සැප්තැම්බර් 13 දා තෙක් රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්න යැයි ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මේ මස 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය සිකුරාදා (06 වැනිදා) නියෝග කළාය.

උපාලි ආනන්ද 
(අනුරාධපුර අධිකරණ වාර්තාකරු)

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division