Home » නව සන්ධානය පිහිටවූ දා මහින්ද ගැන කතා කළේ මොනවාද?

නව සන්ධානය පිහිටවූ දා මහින්ද ගැන කතා කළේ මොනවාද?

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

නාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ පළමු අදියර පසුගිය සතියේ පවැති නිසා ඡන්ද උණුසුම බොහෝසෙයින් වැඩිවීමට පටන්ගෙන තිබේ.

ජනාධිපතිවරණයට දින ක්‍රමක්‍රමයෙන් ළං වෙද්දීත් නව සන්ධාන බිහිවීම, දේශපාලන පක්ෂ අතර විවිධ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම් ද දක්නට ලැබීම විශේෂත්වයකි.

ජනපති රනිල් වැඩි රැස්වීම් ප්‍රමාණයක

ජනාධිපතිවරණ උණුසුම ඉහළ යද්දී තැපැල් ඡන්ද තීරණාත්මක සංඥාවක් දී තිබුණි. ඒ පොලීසිය හා හමුදාව රනිල් දෙසට යද්දී ගුරුවරුන් ඇතුළු අනෙකුත් පිරිස අනුර දෙසට ඇදී යාමය. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණ තරගය අපේක්ෂකයන් දෙදෙනකු අතට පත්ව ඇති බව පැහැදිලි විය.

ජනපති රනිල් ද පසුගිය සතිය පුරාම රැස්වීම් දෙසට වැඩි කාලයක් යොමු කරද්දී සෙසු අපේක්ෂකයන් ද රැස්වීම්වලට දුවනු පෙනුණි.

ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා මහජන රැලි පහක් අමතද්දී සෙසු අපේක්ෂකයන්ට එවැනි රැස්වීම් මාලාවකට යා නොහැකි වීම ද දේශපාලන පිටියේ කතාබහට ලක්වූයේය. ජනපති ඉරිදා රැස්වීම් හතරක් අමතනු ලැබීය.

රනිල්ට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

ජනපති සඳුදා රැස්වීම්වලට නොගිය ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමුළුවට ගියේ එම පක්ෂයේ ආරාධනයෙනි. සෙනසුරාදා උදෙන්ම බණ්ඩාරවෙල ගිය ජනපති රනිල් එහි පැවැති අති සාර්ථක ජන හමුවකට මුහුණ දුන්නේය. ඉන් පසුව පොලොන්නරුව, ත්‍රිකුණාමලය, කාත්තන්කුඩි හා සමන්තුරේ යන ප්‍රදේශවල ජනහමුවලට ද එක්වූ අතර සමන්තුරේ ජන හමුවට යන විට වෙලාව රාත්‍රී 10 පමණ විය. ජනතාව ජනාධිපතිවරයා පැමිණෙන තුරුම එම ක්‍රිඩාංගණයේ රැදී සිටීම විශේෂත්වයක් විය.

එදින රැලි පහක් ඇමතු ජනපති රනිල් පසුදා වවුනියාව, කැකිරාව, හලාවත හා දොම්පේ යන නගරවලට ගොස් ඒවායේ පැවැති ජනහමුවලට එක්වූයේය. සඳුදා මහජන රැලි නොපැවැතිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුවට හා තරුණ හමුවකට ජනපති රනිල් එක්වූයේය. එසේම පසුගිය සතිය පුරාම සවස් වරුවේ ජනපති සිටියේ ජනතාව සමඟ ජනහමුවලට එක්වෙමිනි.

බණ්ඩාරවෙල ෆොටෝ වැලිමඩට

මැතිවරණ කොමිසමේ නීති අනුව වියදම් සීමාවක් පනවා ඇති බැවින් ජනපති රැස්වීම් ගණනාවක් අවලංගු කරනු ලැබුවේය. මේ අතර ජනපතිට පැමිණිල්ලක් ලැබුණේ ඔහු සහභාගී වූ බණ්ඩාරවෙල රැස්වීමේ ඡායාරූප ගෙන ඒවා අනුරගේ වැලිමඩ රැස්වීමට පැමිණි අය සේ සමාජ මාධ්‍යයෙන් පෙන්වා ඇති බවකි. එහි සිටි වජිර මන්ත්‍රීවරයා කීවේ “මේ මාලිමා රැල්ල හුලං පුම්බපු බැලුමක් වගේ, මීඩියා ෂෝ එකක් විතරයි, ඇතුළ හිස්. සල්ලි තියෙන හින්දා මාධ්‍යය තුළින් බොරු පෙන්වනවා.” කියාය.

IMF විවාදය සජිත් – අනුර මග හැරියද?

ජනාධිපතිවරයා අයි.එම්.එෆ් විවාදයකට ආරාධනා කළ ද සජිත් අනුර දෙදෙනාම ඊට සහභාගී නොවී පැන ගියහ. එසේම ජනාධිපති රනිල් මේ වන විට සිය දේශපාලන වේදිකාවේ මොවුන්ට අභියෝග කළ ද ඔවුන් ඒවාට පිළිතුරු නොදී පැන යන තත්ත්වයක් පෙනෙන්ට තිබේ. ජනපති රනිල් මහියංගණයේදී කිවේ සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයට සමාන බවය. එහෙත් ඊට පිළිතුරු බැන්දේ ආශු මාරසිංහය “ජනාධිපතිතුමා කරන දේ කියන නායකයෙක්. කියන කාරණය ජනතාව විශ්වාස කරනවා. මොකද එතුමා විතරයි ඉතිහාසය පුරාම රාජ්‍ය සේවකයන්ට දැනෙන ලෙස වැටුපක් වැඩි කළේ.” කියා ඔහු කීවේය.

බ්ලු ප්‍රින්ට් ගැන ශෙහාන් කීවේ මොනවාද?

“කැබිනට් එක පළාත් පාලන නාමයෝජනා අවලංගු කරපු එක ඉතාම හොඳයි.

මොකද නාම යෝජනා දුන්නු අයට ජනාධිපතිවරණයේදී වැඩ කරන්න බැරුව හිටියේ, පක්ෂයෙන් කචල් දාන නිසා. අනෙක සමගි ජනබලවේගය “බ්ලු” ප්‍රින්ට් නමින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙළ හා සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අතර පැහැදිලි වෙනසක් තියෙනවා.” බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ සිටි ශෙහාන් සේමසිංහ කීවේය.

“ඔව්. බ්ලු ප්‍රින්ට් ආර්ථික වැඩපිළිවෙළ හදලා තියෙන්නේ හර්ෂ, එරාන් හා කබීර් කියන තුන්දෙනා. මේක ඒගොල්ලෝ හදද්දි සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ ඩලස්, ජී.එල්,ගොඩහේවා හා පාඨලි කියන අය . ඒ දෙකේ ප්‍රතිපත්ති වෙනස්.” දොලවත්ත මන්ත්‍රීවරයා කීවේය

“බ්ලු” ප්‍රින්ට් එකෙන් රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියලා සඳහන් වෙනවා. ඒ අය අතරට හමුදා සෙබළුන් පවා ඉන්නවා. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි.” ජනපති රනිල් විමසුවේය.

“ඔව් ජනාධිපති අපේක්ෂකයෝ 39 ක් හිටියට කවුරුවත් කතා කරන්නේ නෑ. අපිවත් මේ ගැන කතා කරමු.” ඇමැති ප්‍රසන්න ද කතාවට එකතු වූවේය.

“ඔව් සජිත්ගෙයි අනුරගෙයි ප්‍රතිපත්ති ප්‍රකාශවල තියෙන තරුණ ප්‍රතිපත්ති පරස්පරයි. ආර්ථික සමාජයීයමය ප්‍රතිපත්ති පරස්පරයි. බොරු කරන්නේ. සමහර ඒවා ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිමයි. ඒවට වෙන නම් දාලා ඉදිරිපත් කරලා තියෙනවා. ලැජ්ජයි මේ අයගේ වැඩ ගැන.” මනුෂ ද කතාවට එකතු වූයේ එලෙසිනි.

රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු ඉවතට

“සජිත්ගේ මැනිෆෙස්ටෝ දෙකක් ආපු එක ගැන ජී.එල් පිරිස් මහාචාර්යතුමා කියන්නේ මොකක්ද දන්නේ නෑ. මොකද එකක් එයානේ දැම්මේ.” එහි සිටි හරීන්ද විමසා සිටියේය.

රජයේ ප්‍රතිපත්ති ගැන එලෙස සඳහන් වෙද්දී සවස්යාමයේ රාජ්‍ය ඇමැතිවරු කිහිපදෙනකුගේ ධූර ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේය. ඒ අනුව බ්‍රහස්පතින්දා සවස ඉන්දික අනුරුද්ධ, ප්‍රේමලාල් ජයසේකර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන අයගේ ඇමැති ධූර ඉවත් කර තිබුණි.

ප්‍රසන්න ගමින් ගමට

ජනාධිපතිවරණයට ඇත්තේ සීමිත දින ගණනකි.මේ දිනවල බොහෝ මැති ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංගද ගත කරන්නේ ඉතාම අවිවේකී ජීවිතයකි. ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පැමිණෙන ලෙස ඇමැති ප්‍රසන්නට රට වටින්ම ඇරයුම් ලැබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන අතරදි ඉඩ ලැබෙන ආකාරයට ඔහු රට පුරාම ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩකටයුතු සඳහා සහභාගී වේ. සහභාගී වීමට නොහැකි වුවහොත් දුරකතනය මඟින් සංවිධායකයන්ට කතා කර අවශ්‍ය උපදෙස් නිකුත් කරයි.

රනිල්ගේ සහායට තවත් සන්ධානයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකු දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානය එළිදැක්වීමේ නිල උත්සවය බ්‍රහස්පතින්දා (5) බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සන්ධානය පිහිටුවීමට පෙර අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ මෙන්ම රෝහිත අබේගුණවර්ධන ඇතුළු දිස්ත්‍රික් නායකයෝ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වූහ.

“අපේ මන්ත්‍රීවරුන් හැම තිස්සේම අහනවා එයාලට මොකද වෙන්නෙ කියල. ඒ නිසා මේ සන්ධානය පිහිටුවීම ඉක්මන් කරන්න” ඇමැති ප්‍රසන්න ඒ හැම සාකච්ඡාවකදීම පැවසූහ.

ඒ අනුව නව සන්ධානය පිහිටුවීම ඉක්මන් කිරීමට දේශපාලන නායකයන් තීරණය කළහ.

නව සන්ධානයට නම ප්‍රසන්නගෙන්

මෙම සන්ධානය සඳහා සුදුසු නමක් යෝජනා කිරීම පැවරුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගටය. ඒ අනුව පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන නම තැබුවේ ඇමැති ප්‍රසන්න රණතුංගය.

“මේක මගේ නම. මීට වඩා තවත් හොඳ නම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් නම් කිහිපයක් බලන්න. පක්ෂයට අලුත් ලංඡනයකුත් බලන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදිව වැඩේ කරමු” ඇමැති ප්‍රසන්න මන්ත්‍රී කණ්ඩායමට කීය.

ඒ අනුව මන්ත්‍රීවරුන් නව සන්ධානය සඳහා ජනජය පෙරමුණ ඇතුළු තවත් නම් කිහිපයක්ම යෝජනා කළහ.

එහෙත් බොහෝ නම් සම්බන්ධයෙන් ගැටලු මතු විය. සමහර නම් සඳහා ජ්‍යොතිෂ ප්‍රශ්න බලපෑවේය. එබැවින් ඇමැති ප්‍රසන්න යෝජනා කළ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන නමම තැබීමට මන්ත්‍රීවරුන් තීරණය කළහ.

“මම ඔය නම තිබ්බෙ ගන බලල නෙමෙයි. අපිට සහය දෙන දේශපාලන පක්ෂවල නම් දිහා බලල ඒ අයටත් සාධාරණයක් කරලා. ඒත් අන්තිමට ඒක ජ්‍යොතිෂයටත් ගැළපුණා” ඇමැති ප්‍රසන්න කීය.

“අපි දන්නවා සර් කොහොමත් වැඩ කරන්නේ තව කෙනෙක්ට ඒ වැඩේ කරන්න ඉතුරු කරල නෙමයිනේ.” ‍මන්ත්‍රීනී කෝකිලා කී කතාවට මන්ත්‍රීවරු සිනාසුනහ.

අරුන්දික ස්වාධීන වුණේ ඇයි?

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉක්තුදා තමන් ස්වාධීන වන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ. මෙය ඇසුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමන්දානන්දයට පත් වුයේ ජනපතිගේ පාර්ශ්වයට එක් ඡන්දයක් අඩුවන බවට ගණන් හදමිනි.

එහෙත් ඉකුත් බ්‍රහස්පතින්දා නව සන්ධානය පිහිටුවන උත්සවයට රාජ්‍ය ඇමැති අරුන්දික සහභාගි වීම ජනාධිපතිවරයාට සහය දක්වන මන්ත්‍රී කණ්ඩායමේ සතුටට හේතු විය.

“ආ.. ස්වාධීන මන්ත්‍රීතුමා මොකෝ මේ පැත්තේ” මාධ්‍යවේදියෙකු රාජ්‍ය ඇමැතිවරයාගෙන් විමසීය.

“මාලිමාවේ අශුද්ධ සන්ධානයට විරුද්ධ ඕනම තැනකට මම එනවා. මේ වගේ සන්ධාන තමයි රටට අවශ්‍ය. රටට හොඳක් වෙන තැන්වල මම ඉන්නවා.” රාජ්‍ය ඇමැති අරුන්දික කීය.

මහින්දගේ තීරණය වෙනස් ක‍ළේ කවුද?

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පිහිටුවීමේ උත්සවය දේශපාලන රස කතාවලින්ද අඩුවක් වූයේ නැත. ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමැතිවරුන් තැන් තැන්වලට වී අතීත දේශපාලන රස කතා කියන්න වූහ.

“94 ඉඳල මහින්ද මහත්තය එක්ක හිටපු ඔක්කොම මෙන ඉන්නවා” මන්ත්‍රී ජනක බණ්ඩාර කීවේ ශෝකයෙනි.

“ඒක ඇත්ත සර්..මේ ඉන්න අය දිහා බැලුවම මෙතෙන්ට අඩු මහින්ද මහත්තය විතරයි” රාජ්‍ය ඇමැති ලසන්ත කීය.

“ හැමදාම හරි තීන්දු ගත්ත මහින්ද මහත්තයට මේ පාර වැරදි තීරණයක් ගන්න වුණා” ඒ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දාය. “නෑ මහින්ද මහත්තය එදා පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් එක්ක සාකච්ජා කරලා හරි තීන්දුව ගත්තා. නාමල් මන්ත්‍රීතුමා මහින්ද මහත්තයට විවිධ බලපෑම් කරලා ඒ තීන්දුව වෙනස් කළා” යනුවෙන් එතන සිටි පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.

සජිත්ට යෝජනාවක්

ජනතා ප්‍රශ්නවලට සවන් දෙන නායකයෙක් වන සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපතිවරයා ලෙස තෝරාගත යුතු බව මිහිතලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පසුගිය සතියේ පවසා තිබුණි.

ගෙවී ගිය සතියේ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සජිත් ප්‍රේමදාස අනුරාධපුර රුවන්වැලි මහා සෑය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබුණි. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිහින්තලා පුදබිමට පැමිණ මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන සුහද කතාබහක නිරත විය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ඡන්දයෙන් ජයග්‍රහණය කළහොත් මිහින්තලා භූමියේ අඹ ගසක් යට දිවුරුම් දුන්නොත් හොඳයි යනුවෙන් පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මෙහිදී ප්‍රකාශ ‍කොට තිබුණි.

උතුරේ සංවර්ධනයට සජිත් ජාත්‍යන්තරයේ සහය පතයි

මේ අතර , යාපනයේ සංචාරයක නිරත වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස යාපනයේ නාගදීප විහාරයට ගොස් ආගමික වතාවත් වල නිරත වී මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබුණි. ඒ වගේම විපක්ෂ නායකවරයා යාපනය කතෝලික රදගුරුතුමන් වන ජස්ටින් ඥණප්‍රකාශන් හිමිපාණන් ද හමුවිය. එහිදි සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයද යාපනයේ රදගරුතුමන් වෙත පිළිගන්වා යාපනයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජස්ටින් ඥණප්‍රකාශන් හිමිපාණන් සමග සාකච්ඡා කර තිබුණි.

රංජිත්ගේ දියණියට මංගලම්

ජනපතිවරණය ආසන්නයේම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ දියණියගේ විවාහ මංගල්‍යය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

රංජිත්ගේ දියණිය වෘත්තියෙන් නීතීඥවරියක වන අතර ඇයගේ අත ගත්තේ ඉංජිනේරුවරයෙකි.

දේශපාලකයන්ට වඩා ඥාතීන් හා පුද්ගලික හිතමිතුරන් පිරිවරා පැවැති මංගල උලෙළට සපැමිණි දේශපාලකයන් වූයේ සජබ නායක සජිත් ප්‍රේමදාස හා බිරිඳ ජලනි, කබීර් හෂීම් යුවළ, ඉම්තියාස් බාකීර් මාකාර් යුවළ, එරාන් වික්‍රමරත්න යුවළ, ලක්ෂ්මන් කිරිඇල්ල, කරු ජයසුරිය, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන් ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර හා සජබ ප්‍රබලයකු වූ ලක්ෂ්මන් ෆොන්සේකා ආදීන්ය. එමෙන්ම රංජිත් හා ආනන්දයේ නේවාසිකාගාරයේ එකම කාමරයේ සිටි මිතුරන්ද අමතක නොකරන්නට ඔහු කටයුතු කර තිබිණි. රංජිත්ගේ සමකාලීන ආදී ආනන්දීයයන් වූ සිතෙන්ද්‍ර සේනාරත්න, රංජිත් හා මොහාන් පණ්ඩිතගේ සොහොයුරන්, ලාල් හේවාගම, තේජාන් ද සිල්වා හා නිමල් ද සිල්වා තවත් මිතුරන් රැසක්ද එහි වූහ.

ගාල්ලේ ජනතාව වජිරට කිව්වේ මොනවාද?

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට පසුගිය සති අන්තය ඉතාමත් කාර්ය බහුල සති අන්තයක් විය. පසුගිය සෙනසුරාදා සහ ඉරිදා උදෑසන සිට රාත්‍රීය දක්වාම වජිර මෙම ජනහමු සහ බලමණ්ඩල සඳහා සහභාගී වූ අතර මේ සෑම ජනහමුවකදීම පැමිණ සිටි පිරිස සමඟ සුහදව කතාබහ කරමින් ග්‍රාමීය මට්ටමින් ජනාධිපතිවරණය සඳහා ඇති සූදානම විමසූ අතර ජනාධිපතිවරණය සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ ග්‍රාමීය ජනතාව දරන මතය විමසීමටද වජිර ‍මෙහිදී අමතක නොකළේය.

“කොහොමද ඉතින් දැන් මේ පැත්තේ තත්ත්වේ?” වජිර රැස්වීමට සහභාගී වෙත්ම පැමිණ සිටි පිරිසෙන් විමසන්නට විය.

“ජනාධිපතිතුමා දිනනවා සර්. ආයේ ඒකේ දෙකක් නෑ.” සිටි පිරිසෙන් එක් අයෙක් ප්‍රශ්නය අසා ඉවර වෙන්නටත් පෙර ප්‍රකාශ කළේ ය. “ඒක හරි ඉතින්, ඒත් ඉතින් එහෙමයි කියලා බෑනේ ජනාධිපතිතුමා දිනවන්න ඔය අය එළියට බැහැලා වැඩ කරන්න එපැයි” වජිර නැවත වරක් ප්‍රකාශ කළේය.

2001 දී රනිල් කළ සැලසුම් වජිර සිහිපත් කරයි

මට මතකයි 2001 වසරේදී රජයේ මැති ඇමතිවරු 17 ක් පමණ විපක්ෂයට එනවා. පැමිණීමට හේතුවූයේ චන්ද්‍රිකා මැතිනියගේ රජය යටතේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන බව ඔවුන් කලින්ම දුටු නිසා එයින් පසු මැතිවරණයෙන් රනිල් බලයට පත් වුණා. ඔහු රට බංකොලොත් වීම වැළැක්වීමට සැලසුමක් සැදුවා. එයට කිව්වේ “ යළි පුබුදුමු ශ්‍රී ලංකා ” මෙම සැලසුම රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ සම්මේලනයට රැගෙන ගොස් පෙන්වලා රට ගොඩ නඟන්න ආධාර මුදල් ලබා ගත්තා. මේ වේලාවේ යළිත් දේශපාලන කුහකකම් ඉස්මතු කළ සමහර පිරිස් රනිල්ගේ රජය කොල්ලකා එම පාලනය උදුරා ගත්තා. එදා යළි පුබුදුමු ශ්‍රී ලංකා වැඩසටහනට විරුද්ධ වූ ඇතැම් දේශපාලන පක්ෂ අද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට එම යෝජනා තමන්ගේ යෝජනා වගේ ඇතුළත් කරලා …“

නිවැරැදි තීන්දුව නොගත්තොත් රට අගාධයට

ඉදිරියේදී දේශපාලනය කිරීම සඳහා සුරංගනා කතා කියලා වැඩක් නැහැ. හැම දෙයකටම පාර්ලිමේන්තුව ඒ ඒ දේවල් වලට වගකිවයුතු හා වගවිය යුතුයි. මේ අනුව ජනතාවට බොරු පොරොන්දු දීම නොකළ යුතුයි.

“පස්වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා” සැලසුම යටතේ වැටුණු රට යළි ගොඩනැගීම සඳහා ඉදිරිපත් කළ ජාතික සැලසුමක් 2015 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා. බංකොලොත් වූ රටක් තුළ එතුමා යළිත් රුපියල් දස දහසයකින් වැටුප් වැඩි කළා. එය ඉදිරියටත් වැඩිවෙනවා. මෙම ජනාධිපතිවරණයේදී මනා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි. එසේ නොවුණහොත් රටත් ආර්ථිකයත් වැටෙන ආගාධය මෙතරම් යැයි කිසිවෙකුට කිව නොහැකියි.”යනුවෙන් වජිර අබේවර්ධන තවදුරටත් ප්‍රකාශ කළේය.

නාමල්ට විශේෂ වූ දෙහිවල රැස්වීම

ලංකාව වටේම යන නාමල්ට දෙහිවල රැස්වීම සුවිශේෂී එකක් වී තිබිණි.එනම් මෙය සංවිධානය කර තිබුණේ තරුණයින් පිරිසක් විසින් වීමයි. දෙහිවල රැස්වීමට අත්සන් ලේඛනයේ පමණක් දසදහසක් අත්සන් කර තිබිණි.නාමල් දෙහිවලට පැමිණෙන විට රෑ බෝ වී තිබුණත් සියලු දෙනාම නාමල් එනතුරු රැඳී සිටියහ.

“ලොකු සෙනඟක් ඉන්නවා බොහෝම හොදයි “නාමල් සංවිධායක මණ්ඩලයට සිය ස්තුතිය පුද කළේය. “ඔව් අපි හතරදෙනෙක් එකතු වෙලා තමයි මේ රැස්වීම සංවිධානය කළේ “මෙහිදී සංවිධානය කළ තරුණයින් හතරදෙනාම පැවසීය. “කවුරුත් ගියැයි කියලා වැඩක් නෑ. තරුණ අපට පුළුවන් ඕනෙ බරක් අදින්න “තරුණයින් නාමල්ට පැවසීය.“ඔව් කොහොමත් අපි ඉදිරියේදී තරුණ ඔයගොල්ලො වගේ දක්ෂ අයව ඉස්සරහට ගේනවා.මොකද තරුණ අයගෙ හයිය තමයි අපට ඕනෙ. මේ රැස්වීමම හොඳ උදාහරණයක් ඒකට“ නාමල් පැවසීය.

නාමල් දැක්ම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂයේ ප්‍රධානීන්ගේ කොළඹ අයි.ටී.සී රත්නදීප පරීශ්‍රයේදීය. එය නම්කර ඇත්තේ ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි.

මීළඟ වසර 10 ඇතුළත දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ පැවසීය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔහු පැවසුවේ රටේ ආර්ථිකය බැංකු පද්ධතිය තුළට පරිවර්තනය කිරීම තුළින් වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය නැමැති සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවය. තව ද ඔහු පැවසුවේ රට ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් මෙරට බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි බවය. එමෙන්ම ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණය මඟින් බදු ආදායමද ඉහළ දැමිය හැකි බවත් ඔහු පැවසීය

අජිත් හම්බන්තොට පුරාම

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මේ දිනවල වැඩිපුර ගත කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේය. පාර්ලිමේන්තු‍ රැස්වීම් මේ දිනවල නොමැති වීම සහ ජනාධිපතිවරණය යන කරුණු දෙකම හේතුවෙන් අජිත් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම සැරිසරයි.

තිස්සමහාරාම, මුල්ගිරිගල, තංගල්ල, බෙලිඅත්ත යන මැතිවරණ කොට්ඨාස හම්බන්තොට දිස්ත්‍රික්කය සතු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 12කි.

උදේ සිට මධ්‍යම රාත්‍රිය පසුවනතුරුත් අජිත් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා සැරිසරමින් හම්බන්තොට ජනතාවට ප්‍රකාශ කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා දිනවිය යුතු බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division