Home » ජවිපෙයි මාලිමාවයි දෙකක් නොවෙයි… එකක්මයි…

ජවිපෙයි මාලිමාවයි දෙකක් නොවෙයි… එකක්මයි…

ජනතා විමුක්ති පෙරමුණේ 1999 ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

නතා විමුක්ති පෙරමුණේ පූර්ණ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ ජවිපෙ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම 1999 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කටයුතු කළ නන්දන ගුණතිලක මෙවර සිළුමිණ සමඟ සංවාදයකට එක්වෙමින් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ (ජාතික ජන බලවේගයේ) ගමන් මඟ හා රට ගමන් කළ යුතු දේශපාලන දිශානතිය පිළිබඳව සිළුමිණට අදහස් දැක්වීය.

ඔබ ජනතා විමුක්ති පෙරමුණේ 1999 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කළා. පක්ෂය නියෝජනය කරමින් ඇමැතිකම් පවා දැරුවා. එවන් තත්ත්වයක සිටි ඔබ පසුව පක්ෂයෙනුත් අයින් වුණේ ඇයි?

ඒකට කෙටි උත්තරයක් දෙන්න බැහැ.

මේ රටේ අධිරාජ්‍යවාදය පැරදවීමට නම් එල්ටීටීඊ අරගලය පැරදවිය යුතුයි කියන මතයෙ ජනතා විමුක්ති පෙරමුණ හිටියෙ, ඒ නිසා යුද පෙරමුණ පරදවා පසුව රාජ්‍ය බලය ලබා ගැනීම තමයි අපේ ඉලක්කය වෙලා තිබුණෙ. එල්ටීටීඊ වැනි ගරිල්ලා සංවිධානයක් පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි නිසා තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය සමඟ සභාග ආණ්ඩුවකට ගියේ. එහිදීත් අප ජනතාවට බරක් නොවන ලෙසින් තමයි ආණ්ඩුවේ පාලන ව්‍යුහය සකස් කළ යුතු බව කිව්වෙ. නමුත් චන්ද්‍රිකා ජනාධිපතිනිය අතරමඟදි එය පාවා දීලා ගියා. පසුව මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ගෙන එන්න පූර්ණ ක්‍රියාකාරීව කටයුතු කළේ අපි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණායින් පසුව අපේ අරමුණ වුණේ ඔහුත් සමඟ එකතු වෙලා කලින් ජනාධිපතිතුමිය සමඟ සිටි ආකල්පයෙන්ම එල්ටීටීඊය පරාජය කිරීමේ කාර්යයට සම්බන්ධ වීමයි. නමුත් ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාලවලින් එළියට ආපු එහෙම නැත්නම් විශ්වවිද්‍යාලවල සිටි ජවිපෙ ක්‍රියාකාරී සිසුන්ගේ මතය වෙනස් එකක් වුණා. එම සිසුන් තමයි පක්ෂයට නවකයන් බඳවා ගැනීම සිදු කෙළේ.

ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම විශ්වවිද්‍යාල කණ්ඩායම්වල මතය වුණේ‘අමු මාක්ස්වාදී ව්‍යාපාරයක්‘ ලෙස පක්ෂයේ කටයුතු සිදු විය යුතු බවයි. ඒ මතයේ ඔවුන් දැඩි ලෙසින් එල්ලිලා හිටියා, මධ්‍යම කාරක සභාවේ මතය හා දේශපාලන මණ්ඩල මත අතර පරස්පරතාවත් ඇතිවුණා.

වාමාංශික ප්‍රශ්නවලින් ඉවත්වෙලා ධනපති පංති සමඟ හවුල් වීමක් ලෙසයි ‘දඩිබිඩියේ ආපු තරුණ කණ්ඩායම්‘ මේ පසුබිම දැක්කෙ. අවස්ථා කිහිපයකදී අපි මතය ගෙන ආවත් බහුතරය ඒ මතයෙන් බැහැර වුණු නිසා මම දීර්ඝ ලිපියක් ලබා දී පක්ෂයෙන් ඉවත් වුණා.

පසුව විමල් වීරවංශ මහතාත් පක්ෂයෙන් ඉවත් වුණා නේද?

ඔව්, ඔහු පක්ෂය ඇතුළේ සිට ඒ මතය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. මම එළියට ගිහින් උත්සාහ කළා. එය කළ නොහැකි තැනයි ඔහුත් පක්ෂයෙන් එළියට ආවෙ.

එදා ගත්ත තීරණය ගැන අද මොකද හිතෙන්නෙ

ඉතාම නිවැරැදි තීරණයක් ගත්ත බව පැහැදිලිවම තේරෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ සමාජවාදය මුල් කරගත් පක්ෂයක්. නමුත් පසුව ඔබ ධනපතිවාදී පක්ෂයක් ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වීම පැහැදිලිවම උඩු යටිකුරු වීමක් නේද?

මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වෙලා එක්සත් ජාතික පක්ෂයට ගියේ නෑ. අපි එකතුවෙලා ජාතික නිදහස් පෙරමුණ හැදුවා. මම එහි ලේකම්වරයා වෙලා හිටියා. විමල් වීරවංශ එහි සභාපතිවරයා වුණා.

එතනින් ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණානෙ.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ විනයක් සහිතව ආරම්භ කරපු පක්ෂයක්. ඒකෙන් කැඩිච්ච ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ ප්‍රතිපත්තිත් ඒ වගේම විය යුතුමයි. එහෙම තමයි පක්ෂයේ ක්‍රියාකාරීත්වය තිබුණෙ. නමුත් එහි ඉන්න අයත් මත්වතුර පානය කිරීම නැත්නම් විනය කැඩෙන දේවල් කරනකොට ඒ පක්ෂයේ සිටීම සුදුසු නැහැ.

අද ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මඟ ඔබ දකින්නේ කෙසේද?

ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ සමාජවාදය මුල් කරගෙන ආරම්භ කරපු පක්ෂයක්, සකසුරුවම්කම ඒ වගේම විනය මුල් කරගත් පක්ෂයක්. නමුත් අද වන විට ධනපතිවාදී පක්ෂයන්ටත් වඩා මේ පක්ෂය නාස්තිකාර ඒ වගේම විනයක් නැති තැනට පත් වෙලා තියෙන්නෙ.

ඔබ ඔය චෝදනාව කරන්නෙ පක්ෂයේ දැන් නැති නිසාද? නැත්නම් ඒ බව සනාථ කළ හැකි සාක්ෂ්‍ය, කරුණු තියෙනවද?

සත්‍යය කතා කළේ පක්ෂය ඇතුළෙ ඉන්නකොටනෙ, ඒ නිවැරැදි දිසාවට පක්ෂය ගමන් නොකරනකොට තමයි ඉවත් වුණේ. අපි වරදාන වරප්‍රසාදවලට දේශපාලනය කරල නැහැ. ඒ නිසා තමයි කැබිනට් ඇමැතිකම් පවා දාල ගියේ.

ජනතා විමුක්ති පෙරමුණට ඉස්සර මුදල් එකතු කළේ කොහොමද? රතු තොප්පි දාගෙන කැට අරගෙන මුදල් එකතු කළේ. ඒ වගේම පක්ෂයට හිතවත් ක්‍රියාකාරී අය පක්ෂයට තම පඩිපතින් යම් මුදලක් ලබා දුන්නා. ඒ හරහා තමයි පක්ෂයේ අරමුදල් තරවුණේ.

ඒ වගේම ඔබ දැකල ඇති ඉස්සර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවන්. පොල්කොට හතරක් අටවලා වහලයක් ගහලා. නැත්නම් කැන්ටර් රථයක් එහෙම නැත්නම් ලොරි භාගයක පැති දොරක් විවෘත කරලා ඒක තමයි වේදිකාව වුණේ. අසුන් ගන්න පුටු තිබුණෙ නෑ. වේදිකාවෙ විතරයි පුටු 5ක් 6ක් තිබුණෙ. ආධාරකරුවො, පාක්ෂිකයො රැස්වීම් බලන්නෙ කතා අහන්නේ අව්වෙ වේළෙමින්, වැස්සෙ තෙමෙමින්.

අද මොකක්ද තත්ත්වය. අද අනෙක් පක්ෂ පරයමින් ජනතා විමුක්ති පෙරමුණේ වේදිකා ඉදිවෙනවා. ඔබ දැකල තියෙනවද දැන් කැට අරගෙන සම්මාදමේ යන අය. එතකොට කොහෙන්ද මේ අයට අර අතිවිශාල වේදිකා හදන්න. පුටු 1000ක් විතර ගේන්න සල්ලි. ඒ සියල්ලම මේ අයට විදේශයෙන් ලැබෙනවා.

කොයි රටෙන්ද ඔය සල්ලි එන්නෙ.?

රට හෙළිකිරීම සුදුසු නැහැනෙ.

අර්බුදයකදි, නැත්නම් ස්වභාවික විපතකදි තවත් රටකට උදවු කරනවනම් ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ විදිහට රටක් පක්ෂයකට උදව් කිරීම වෙන්න පුළුවන්ද?

ඒ රට බලාපොරොත්තු වෙන්නෙ තමන්ට හීලෑ කරගන්න පුළුවන් පක්ෂයක් බලයට ගන්න. මොකද ලංකාව යටත් කර ගැනීම විතරක් නෙමෙයි, ඇත්තෙන්ම ලංකාව ආර්ථික මර්මස්ථානයක් නිසා ලංකාව හරහා ආධිපත්‍යයක් ගොඩ නඟා ගැනීමයි මේ හරහා ඒ අය බලාපොරොත්තු වෙන්නෙ. ඒ සියල්ලටම ජනතා විමුක්ති පෙරමුණ යටවෙලා තියෙන්නෙ.

ටිකක් හිතල බලන්න මම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙක්. නමුත් මමත් රැස්වීමකට එනකොට මෙගා බෝතලයකට වතුර බෝතලයක් ගේන්න කියල කියනවා. කැට එකතු කරල සල්ලි හොයපු ජනතා විමුක්ති පෙරමුණ අද වතුර බෝතල් විතරක් නෙමෙයි වෙනත් බෝතල් පවා බස්වලට ලබා දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ තරමට අද වත් පොහොසත්කමින් දියුණුවෙලා ඉන්නෙ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වෙනස් වෙලා කියලද ඔබ කියන්නෙ, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම වැදගත් කරුණු තියෙනවා රට ගොඩ ගන්න පුළුවන්.

ඒක ගැන මතක් කරපු එක හොඳයි, මොනවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නෙ. අපි මේ යන්නෙ සයිබර් අවකාශය කරා, අදට වඩා හෙට හොඳ තැනකට ඉන්න අපි හැමෝම උත්සාහ කරන්නෙ. දැන් කෘත්‍රිම බුද්ධිය ඉස්සරහට එන්නෙ. ඩිජිටල්කරණය කරා යන ගමනක අපි ඉන්නෙ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරි තාක්ෂණික කටයුතු ගැන මොනවද තියෙන්නෙ. අලුත් ලෝකයකට යන්න හිතලවත් තියෙනවද? අද පරපුර කොයිතරම් තාක්ෂණයත් එක්ක ළංවෙලාද ඉන්නෙ. අපි කවුරුත් කැමති ‘ඔන්ලයින්‘ ගනුදෙනු කරන්න. ඒක කාලය ඉතුරු වෙන ඒ වගේම පහසු දෙයක්. එවැනි තාක්ෂණයක් කරා යන ගමනක සංකල්පයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ නැහැ. ඒ අය කොහොමද රටක් දියුණු කරන්නෙ.

ඔබ එසේ කිව්වත් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලට එන සෙනඟ දැක්කහම පුදුම හිතෙනවනෙ..

මම ජනාධිපතිවරණයට තරග කරනකොට ආපු සෙනඟත් ඒ වගේ තමයි. හැබැයි ඒ ආපු ජනතාව සේරම මට ඡන්දය දුන්නනම් මම අනිවාර්යෙන්ම ජනාධිපති වෙන්න එපැයි.

ජනාධිපතිවරණය 21 වැනිදා සති දෙකක්වත් නැහැ. මොනව වෙයි කියලද හිතෙන්නෙ.

මේ රටේ ජනතාව කළගුණ දන්න ජනතාවක්. ඒ අය දන්නවා 2022 අවුරුද්දෙ රටේ තිබුණු තත්ත්වය. ඒ තරමට රට බංකොලොත් වෙලා තියෙද්දි රට භාර ගන්න කිව්වහම කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. අනුර කුමාර දිසානායකට අඩු ගානෙ රට ගැන හිතන්නෙ තිබුණ. මම හිතන්නෙ නෑ එයාට රට ගොඩගන්න පුළුවන්කමක් තියෙනව කියල, අඩුම ගානෙ හිතන්න තිබුණනෙ ඇත්තටම රටට ආදරය කළානම්, අරගලය නවත්වලා යා යුතු මඟ දකින්න තිබුණා.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයටත් ඒ වෙලාවෙ මන්ත්‍රීවරු 53ක් හිටිය. එයත් මඟ ඇරල ගියා රට භාර ගන්නේ නැතුව. ඒ හැම කෙනෙක්ම කල්පනා කළේ බංකොලොත් වෙච්ච මේ රටට ඇඟිලි ගහන්න ගියොත් තමන්ගේ දේශපාලනයට බාධා එල්ල වෙයි කියන එක මිසක් මොනව හරි කරල රට ගොඩගන්න එක ගැන නෙමෙයි. ඒක නිසයි ඒ අය මඟ ඇරියෙ.

නමුත් ඒ අය දැන් රට භාරගන්න සූදානමින් ඉන්නෙ.  

ඔව්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට හදල ජනතාවට ගෑස් ටික, විදුලිය, තෙල් ටික දෙන්න පටන් අරගෙන රට යථා තත්ත්වයට පත් කළයින් පස්සෙ තමයි ඒ අය රට භාර ගන්නෙ එන්නෙ. එදා භාරගන්න එන්න කිව්වහම කවුරුත් නෑ. මේ පාර ජනාධිපතිතුමා ඇරුණහම තවත් 37ක් ඉන්නවා රට භාර ගන්න ඇවිත්. එදා නිකම්ම භාර ගන්න කිව්වහම කවුරුවත් නැහැ. අද රැස්වීම් තියල, වියදම් කරගෙන භාර ගන්න පොරකනවා. වෙනස තේරුම් ගන්න පුළුවන්නෙ.

අරගලය පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටි බව ඔබගේ කතාවෙන් හැඟවුණා.

ඔවුන් ඒ අරගලයේ කොටස්කරුවන් වුණා. ඒ හරහා බලපෑමක් එල්ල කළා. ඔවුන්ගේ නායකත්වයෙන් සම්පූර්ණයෙන්ම ඔවුන් එහි සිටියේ නැහැ. සිටියා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහ දවල් පාර මැද ඝාතනය කරල, ඉතා සුළු වේලාවක් ඇතුළත මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා මහා අරගලයක් ඇති කළා.

එ වගේම ලාල්කාන්තලා හඳුනෙත්තිලා පාර්ලිමේන්තුව අල්ලන්න කටයුතු කරල තිබුණෙ. නමුත් අරගලයේ හරි මෙහෙයවන්නෙක් නොසිටිය නිසා ඒක යථාර්ථයක් කර ගන්න ඒ අයට ඉඩ ලැබුණෙ නැහැ. ඒ අරගලය අර්බුදය කඩිනමින් අවසන් කරන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඒ අභියෝගය භාර ගැනීම ඔබ දකින්නේ කෙසේද?

රනිල් වික්‍රමසිංහ කියන්නේ එදා සිටම අභියෝග භාරගත් දේශපාලනඥයෙක්. ඔහු අරගල අභියෝගය භාර ගත්තේ පාර්ලිමේන්තුවේ සිටි එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා ලෙසින්, පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්තෙන් අගමැති වෙමින් හා ඉන්පසු ජනාධිපතිධුරයට පත් වෙමින්.

ඔහු කෙරෙහි ඇති විශ්වාසය නිසා තමයි අරගලකරුවන් රැසක් ස්වේච්ඡාවෙන් අරගලයෙන් ඉවත් වුණේ. ඒ වගේම ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මඟින් අවම බලය යොදා අරගලය නවත්වා දැමුවා. මාස ගණනාවක් අරගල කරපු අය එක්වරම ඉවත්වීමක් අපට බලාපොරොත්තු වන්න බැහැ. නමුත් ඒ අයට ඇතිවුණු විශ්වාසය මේ සඳහා බලපෑ බවයි මා සිතන්නේ.

ඒ වගේම අරගලය සිදු වෙද්දී සිටි රාජ්‍ය නිලධාරීන් හරහාම රටේ ඉදිරි කටයුතු දෛනික කටයුතු සිදු කරන්නත් එතුමා කටයුතු කළා.

එහෙම නොවෙන්න අපේ රටත් තවත් බංග්ලාදේශයක් වන්නට ඉඩ තිබුණා. අප දුටුවා බංග්ලාදේශයේ සිදුවුණු අපරාධ රැල්ල, හමුදා නායකයන් දෙපයින් එල්ලා පාලම්වල ගැටගසා තිබුණේ. සිය ගණනක් ඝාතනය වුණා. එහෙම වුණේ ඒ රට භාර ගන්න කෙනෙක් නොසිටිය නිසයි. නමුත් අපේ රටේ ජනතාවගේ වාසනාවට රට භාරගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත්වුණා.

මම කලිනුත් කිව්වෙ ඒක තමයි. එහෙම නොවුණානම් අද පාර්ලිමේන්තුව තිබුණු තැනක්වත් සොයාගන්න බැරිවෙන්න තිබුණා. අපේ රටෙත් පාලම්වල ලයිට් කණුවල සිරුරු එල්ලෙන්න තිබුණා.

රනිල් – සජිත් එකතු විය යුතු බවට මතයක් තියෙනවා, ඔබත් ඒ ගැන කියලා තිබුණා..

ඔව් ඒ දෙදෙනා එක්ව කටයුතු කළ යුතුයි. මෙහිදී හැම තිස්සෙම කල්පනා කළ යුත්තේ ඉවසීම මෙන්ම තමන්ට අවස්ථාව එනතුරු අත්දැකීම් ඇතිකර ගැනීමයි.

උදාහරණයක් හැටියට කියවානම් ජේ.ආර්. ජයවර්ධන මහතා 1947 මුදල් ඇමැති වුණත් ජනාධිපති ධුරයට පත්වෙන්නෙ 1978 දි. අවුරුදු කීයක් ඉවසලා හිටියද කියල පැහැදිලියිනෙ. ඒ ඉවසීම හැම දේශපාලන නායකයෙක් තුළම තියෙන්න ඕන. ජනතාව ඒ දෙස තමයි බලාගෙන ඉන්නෙ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් රටට අඩුපාඩු වුණු තැන් තියෙනවා. නමුත් මහවැලි ව්‍යාපාරය වැනි බහුකාර්ය යෝජනා ක්‍රම වගේම විද්‍යාව හා තාක්ෂණයත් එතුමා නිසා මෙරටට ලද දේවල්. ඒ ගැන අප අගය කළ යුතුයි.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ මේ රට වසර 76ක් තිස්සේ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට කාබාසිනියා කළා කියලනෙ. විදේශ ණය අර්බුදයකට පත්වීම වගේම ජනතාවට ඉන්ධන, ගෑස් නැතිවීමේ වගකීම ඒ ප්‍රධාන පක්ෂවලට යොමු කරනවානෙ.

රට ණය වෙන්න පටන්ගත්තෙ 1950 ගණන් වලින් පස්සෙ තමයි ඒක හරි, ඒත් අවුරුද්දක් ණය ගත්තත් එකයි. අවුරුදු ගාණක් ණය ගත්තත් එකයි. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ අය – වැය සම්මත කරන්න , අය – වැයට ජනතා විමුක්ති පෙරමුණ අත ඉස්සුවෙ නැද්ද?

අය – වැය පරතරය පියවන්න දේශීය මෙන්ම විදේශීය ණය ගන්න ජනතා විමුක්ති පෙරමුණත් එක් වුණානෙ. ඇයි දැන් මැරිල ඉපදුණු අය වගේ කතා කරන්නෙ. ඒ සියල්ල අමතක වුණා සේ අත පිසදා ගැනීමට කටයුතු කිරීම ඇත්තෙන්ම කපටිකමක් ලෙසටයි දකින්නෙ.

අපේ රටේ ආර්ථික අර්බුදය දැඩිව පැවතුණා, රටේ ආර්ථික ස්ථාවරය ඇති කරන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඔබ දකින පුද්ගලයන් ගැන විවරණයක් කළොත්….

එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විතරයි. කලින් කිව්ව වගේ ජනතාවට හොඳට මතකයි ගෑස් පෝලිම්, ඉන්ධන නැතුව විදපු දුක් කන්දරාව, ජනතාව කැමතිද ආයිත් ඒ වගේ යුගයකට යන්න. ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහාය දෙන්නෙ නෑ කියලනෙ සමහරු කිව්වෙ.

නමුත් ජනාධිපතිවරයා අද වෙනකොට රට ආර්ථික ස්ථාවරයකට ගෙනැල්ල තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළා. වෙනදට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්නෙ සල්ලි අච්චු ගහල, ඒ වුණත් සල්ලි අච්චු ගහන්නෙ නැතුව වැටුප් වැඩි කරල විතරක් නෙමෙයි මේ වෙනකොට ගෙවුම් ශේෂය ධන මට්ටමකට ගෙනැත් තියෙන්නෙ. ඒ ආර්ථික දැක්ම අනුව තමයි රට ගොඩ යමින් තියෙන්නෙ.

නමුත් අපි තාම විදේශ ණය ගෙවීම් ආරම්භ කරල නෑ.

ඔව්, රට වැටුණු ආර්ථික ප්‍රපාතය නිසා ආර්ථිකය හසුරවන ක්‍රමවේදයක් ජාත්‍යන්තර මූලය අරමුදලත් එක්ක එකතුවෙලා හදලනෙ තියෙන්නෙ. ඒ ක්‍රමයට අනුව තමයි මේ මූල්‍ය පාලනය යන්නෙ. ඉදිරියේදී ඒ ආර්ථික කටයුතුත් ඒ විදිහටම සිදු වෙයි.

අද වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා නැත්නම් මාලිමාව ඉන්නෙ ඉහළම තැනක කියල කිව්වොත් ඔබ එය පිළි ගන්නවද?

ඔව්, මම කලින් කිව්ව වගේ ඒ සියල්ලම අර විදේශයෙන් ලැබෙන උපදෙස්, සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය පුරාම ප්‍රචාරණය ඉතා ඉහළින් සිදු වෙනවා. ඒක හරි, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය විතරක් නෙමෙයි, ඊට අදාළව ප්‍රචාරක කටයුතු කළ යුතු ආකාරයන් ගැන විශේෂඥ උපදෙස් පවා විදේශයෙන් මාලිමාවට ලැබී තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කිව්වත් එකයි, මාලිමාව කිව්වත් දෙකම එකයි.

මොනව වුණත් මේ රටේ පහළම ස්ථරයේ සේවකයාගේ සිට ඉහළම ස්ථරයේ රාජ්‍ය නිලධාරියා දක්වා අයගෙන් අප කළ විමසීමකදී ඔවුන් පවසන්නේ ජනාධිපතිතුමාට නිශ්ශබ්ද මනාපයක් පළ කරන බවයි. ඒ නිසා ජනාධිපතිතුමාට වැඩි ප්‍රචාරණයක් අවශ්‍ය නැහැ. ජනතාව එතුමා කළ සේවාව හා කරගෙන යන සේවාවත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන සේවාවත් ඉතා හොඳින්ම දන්නවා.

දේශපාලන ලියුම්කරු 
සේයාරූ – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division