Home » මමත් ආදරවන්තියක් එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නම් නෙවෙයි

මමත් ආදරවන්තියක් එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නම් නෙවෙයි

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

– මහේෂි තක්ෂිලා මං ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් යන කෙනෙක්
– වීණාවී රංගන පාසලේ තුන්වැනි කණ්ඩායමේ හොඳම නිළිය වුණේ මම

රංගනය කියන්නෙත් එකිනෙකා මත පිහිටන හැකියාවක්. කෙනෙකුට එය සහජයෙන්ම උරුම විය හැකියි. තව කෙනෙකුට එය හැදෑරීම මඟින් ප්‍රගුණ කළ හැකියි. තවත් කෙනෙකුට එය ලබන අත්දැකීම් ඇසුරෙන් වර්ධනය කරගැනීමේ හැකියාවක් නැතුවාම නොවේ. අද අපේ කතාබහට එක්වන මහේෂි තක්ෂිලා ද හැදෑරීම තුළින් තම දක්ෂතා ඔපමට්ටම් කරගත් රංගන ශිල්පිනියකි. 2021 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය ලැබූ දින රංගනයට ආරාධනා ලැබුණ ද පළමුව රංගනය හැදෑරිය යුතු යැයි ඇය තීරණය කළාය. කලා අඹරේ පෑයූ සැණින් නිවී යන තරුවක් නොවී සැමදා සෙමින් සෙමින් දිලෙමින් තිබෙන තරුවක් වීම ඇගේ අදිටන වී තිබිණ. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ශාන් ජයරත්නගේ MAIN CHARACTOR ටෙලි නිර්මාණයේ නිරාශා ලෙසින් ඔබ හමුවන ඇය සමඟයි අද අපේ කතාබහ.

නිරාශා කියන්නෙ මහේෂි තක්ෂිලා රංගනයෙන් දායක වන අලුත්ම ටෙලි නිර්මාණය. ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

නිරාශා කියන්නේ ශාන් ජයරත්නගේ MAIN CHARACTOR ටෙලි නිර්මාණයේ චරිතයක්. ඒ සඳහා සම්බන්ධ වෙන්න ලැබෙන්නේ අහම්බෙන්. 2021 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය හිමිවුණේ මට. ඒක කවදාවත් මට අමතක නොවන අත්දැකීමක්. ඇත්තටම අවුරුදු කුමරියක් වෙන්න ඕන කියල සිතුවිල්ලක් මට තිබුණෙ නෑ. ඒත් මං රංගනයට ආසයි. මේ වගේ තරගවලින් දිනන අයට රංගනයට අවස්ථාව ලැබෙනවා කියලා මං දැනන් හිටියා. ඒ නිසයි මං මේකට අයැදුම් කළේ. ඒ තරගයෙන් මට දෙවැනි ස්ථානය ලැබුණා. මං හිතුව වගේම ඒ ජයග්‍රහණයත් එක්ක මට රංගන අවස්ථා කිහිපයක්ම ලැබුණා. එතැනදි මට තේරුණා දැනුමක් නැතුව මේකට ගිහින් වැඩක් නෑ. ඒ නිසා හැදෑරීමක් කරලම යන්න ඕන කියලා. ඔය අතරේ තමයි මට අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායකගේ වීණාවී රංගන ඇකඩමිය ගැන දැනගන්න ලැබෙන්නේ. මුලින්ම මං කළේ ඇකඩමියට ඇතුළත් වෙලා රංගනය ගැන හදාරන්න පටන් ගත්තා.

එහෙම ඉගෙන ගන්න කාලෙම ටෙලි නාට්‍ය රූගත කිරීම් බලන්න අපිව යොමු කරන්නේ ඒවායින් අත්දැකීම් ලබාගන්න වගේම ඒවායේ ටෙක්නිකල් පැත්ත ඉගෙන ගන්න. ඒ අතරේ අපිට පුංචි පුංචි චරිතවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ වගේ ලැබුණු මුල්ම අවස්ථාව තමයි බයෝ ටෙලි නිර්මාණය. ඊට පස්සේ මන්දාරම් කතාවේ. ඒත් MAIN CHARACTOR එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ ඊට වෙනස් විදිහට. MAIN CHARACTOR අධ්‍යක්ෂ ශාන් ජයරත්න ධනුෂ්ක රත්නායක හොඳ මිතුරන් නිසා ශාන් ජයරත්න බොහෝ වෙලාවට ඇකඩමියට එනවා එයාට අවශ්‍ය චරිත තෝරගන්න. එහෙම ආපු දවසක තමයි මාව දැකලා මට කතා කළේ. ‘මගේ අලුත්ම ටෙලි නිර්මාණයේ චරිතයක් තියෙනවා. ඒකට ඔයාව තමයි ගැළපෙන්නේ‘ කියලා. ඒ විදිහට තමයි මට MAIN CHARACTOR ටෙලි නිර්මාණයේ නිරාශාගේ චරිතයට‍ අවස්ථාව ලැබෙන්නේ.

වීණාවී රංගන පාසල තුළ ඔබ තමයි හොඳම කෙනා වුණේ?

ඔව්. වීණාවී රංගන පාසලේ තුන්වැනි කණ්ඩායමේ හොඳම නිළිය වුණේ මම. එදා මට හිතුණා මං ගත්ත තීරණය නිවැරැදි කියලා. අද මට නොබියම ඉදිරියට පා තියන්න පුළුවන් වෙන්නේ මං ක්ෂේත්‍රය ගැන දැනුම්වත් වෙලා ආපු නිසා. මං දන්නවා දැන් මගේ ගමන පැහැදිලියි කියලා. උගත් දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑනෙ. අපි භාරගන්න ඕනෙම ක්ෂේත්‍රයක් පිළිබඳව හැදෑරීමක් කරල යනවා නම් මුහුණ පාන්න වෙන ගැටලු අඩුවෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රවීණයන් දිහා බලලත් මං අත්දැකීම් ලබාගන්නවා. කිසිම කලබලයක් නෑ. මං ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් යන කෙනෙක්.

මහේෂිගේ පවුලේ තොරතුරු කොහොමද?

මට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. මං පවුලේ එකම ළමයා. මගේ ගම මොරටුව. මුලින්ම මං මොරටු මහා විද්‍යාලයට ගියේ. උසස් පෙළ හදාරන්න මම O.L.V. එකට ඇතුළත් වුණා. පාසල් යන කාලෙත් ඩාන්සින් වගේම ඩ්‍රාමාත් කළා. විනෝදාංශයක් විදිහට මං ගොඩක් පොත් කියවනවා. ඒ වගේම ෆිල්ම් බලනවා. විශේෂයෙන්ම බලන්නේ හොලිවුඩ් සිනමා පට. ඒවලිනුත් අපට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

ආදරය ගැන මහේෂිට මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ?

ආදරය ගැන අත්දැකීම් තියෙනවා. මමත් ආදරවන්තියක්. එයා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නම් නෙවෙයි. ඒ ටික ඇතිනේ දැනට.

නාමලී ගමගේ ඡායාරූප - ගයාන් පුෂ්පික

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division