සෑම දවසක්ම එක වගේ සතුටින් ගත කළ හැකියි
– සොංග්
සොංග් සමඟ ජීවිතය ගත කරන්න මම ආසාවෙන් බලාගෙන සිටිනවා
– පාක්
සොංග් ජි-ඉයුන් (Song Ji-Eun) කොරියානු ටෙලිනාට්‍ය සහ සංගීතය රස විඳින රසික රසිකාවියන් අතර ජනප්‍රිය ශිල්පිනියක්. Sweet Home Sweet Honey, My Secret Romance, Melting Me Softly වැනි ටෙලිනාට්‍යවල සොංග් රඟපෑ අතර ඇය Secrets නමැති සංගීත කණ්ඩායමේ ද සාමාජිකාවක්. මෙම සංගීත කණ්ඩායමේ සිටින්නේ තරුණියන්ම පමණයි. 2009 වසරේ සංගීත කණ්ඩායම ආරම්භ කළ අවස්ථාවේ සිටම ඇය එහි සාමාජිකාවක ලෙස කටයුතු කරනවා. ඔවුන් ගැයූ Madonna, Shy Boy වැනි ගීත රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා.
34 වැනි වියෙහි පසුවන ඇය මේ දිනවල කොරියානු මාධ්‍ය තුළ පුවත් මවන්නියක බවට පත්ව සිටිනු දකින්න පිළිවන්. එයට හේතුව ඇය ළඟදී විවාහ වීමට නියමිතව සිටීමයි. ලබන ඔක්තෝබර් 9 වැනි දින සොංග් යුග දිවියට එළැඹෙන බව සඳහන් වෙනවා. දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට සෝල් නගරයේ චියොංග්දාම්- fදාංග් ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකයි විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ.
සොංග්ගේ ආදර කතාවත් ඉතාම සංවේදී කතාවක් බව සඳහන් කළ යුතුයි. ඇය විවාහ වීමට යන්නේ 37 හැවිරිදි පාක් වෙ (Park We) සමඟයි. ඔහු ඉතා ජනප්‍රිය යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යන්නෙක්. එහි නම Weracle.
පාක් වෙ ශාරීරිකව ආබාධිත තත්ත්වයක පසුවන්නකු වීමත් විශේෂ කාරණයක්. සොංග් ඔහු සමඟ ආදරයෙන් බැඳෙද්දීත් පාක් ආබාධිත තත්ත්වයෙනුයි පසු වුණේ. 2014 වසරේ ඔහු ආබාධිත තත්ත්වයට පත්ව තිබුණේ ඉහළ තැනක සිට ඇද වැටීම නිසා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ගෙල ප්‍රදේශයේ සිට දෙපා දක්වාම අප්‍රාණිකව ගොස් තිබුණා. නමුත් විවිධ ප්රතිකාරවලින් පසු පාක් කෙමෙන් යම් සුවයක් ලැබූ අතර මේ වන විට ඉණෙන් ඉහළ කොටස යථා තත්ත්වයට පත්ව ඇති බව පැවසෙනවා. තවමත් ඔහු ගමන් කරන්නේ රෝද පුටුවක ආධාරයෙනුයි.
කෙසේ වෙතත්, පාක් තම ආබාධිත තත්ත්වය ගැන දුක් වෙමින් පරාජිත ජීවිතයක් ගත කිරීමට කැමැති වුණේ නැහැ. 2019 වසරේ ඔහු Weracle නමින් යූටියුබ් නාළිකාවක් පටන් ගත්තා. එය ඔහු වැනිම ආබාධිත අය ඉලක්ක කරගත් නාළිකාවක් බවත්, ජීවිතය දෙස සුබවාදීව බැලීමට ඔවුන් යොමු කිරීම මෙහි අරමුණ බවත් පැවසෙනවා. මේ වන විට ලක්ෂ 8 කට වැඩි ග්රාහකයන් පිරිසක් මෙම නාළිකාව හා එක්ව සිටින බවත් සඳහන්.
සොංග් සහ පාක් තමුන්ගේ ආදර සම්බන්ධය ගැන පළමු වරට ප්‍රසිද්ධියට පත් කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යි. මේ දෙදෙනා මුලින්ම එකිනෙකා හඳුනාගෙන තිබුණේ දෙදෙනාගේම මිතුරකු මාර්ගයෙන්. කිම්කි-ලී නමැති මෙම මිතුරා පාක් පිළිබඳව සොංග් සමඟ පවසා තිබුණා. පසුව ඇය කිම් සමඟ දේවස්ථානයක දේව මෙහෙයකට සහභාගි වීමට ගිය අවස්ථාවක තමයි මුල්වරට පාක් හමු වී තිබුණේ. සොංග් එම සිදුවීම ගැන සඳහන් කරමින් පවසා තිබුණේ පාක් දුටු ගමන් තමා තුළ ඔහු පිළිබඳ ආදරයක් ඇති වූ බවයි. සොංග් ගැන පාක් ද සඳහන් කර තිබුණේ ඒ ආකාරයෙන්ම යි.
“එදා එම දේවස්ථානයේ තවත් බොහෝදෙනකු හිටියා. නමුත් මගේ ඇස් යොමු වුණේ එකම එක්කෙනෙකු වෙත පමණයි. මම ගෙදර ගියාට පසුවත් ඇය ගැන කල්පනා කිරීම නතර කරන්න බැරි වුණා” පාක් පවසා තිබුණා. එදින වඩාත්ම ඔහුගේ සිත් ගෙන තිබුණේ සොංග් ගේ උද්යෝගිමත් හැසිරීම් විලාසය යි.
මෙම මුල් හමුවෙන් පසු ටික කලක් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ එකිනෙකා ඇසුරු කර තිබුණා. අවසානයේ ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගියේ මේ ආශ්‍රය යි.
“පාක් රෝද පුටුවකින් ගමන් කිරීම ප්‍රශ්නයක් වුණේ නැද්ද?” යයි වරක් මාධ්‍යවේදියකු සොංග් ගෙන් විමසා තිබුණා. ඇය පවසා තිබුණේ තමාට එය කිසිදු ප්‍රශ්නයක් නොවූ බවයි.
මේ වන විට සොංග් ද පාක්ගේ WeracleFactory නමැති සමාගමට එක්ව සිටිනවා. පාක් මෙම සමාගම ආරම්භ කර තිබුණේ 2018 වසරේ යි.
“සොංග් සමඟ ජීවිතය ගත කරන්න මම ආසාවෙන් බලාගෙන සිටිනවා” පාක් පසුගිය දිනෙක එසේ පවසා තිබුණා. “සෑම දවසක්ම එක වගේ සතුටින් ගත කළ හැකි බව ඇයට පෙන්වා දෙන්න මට අවශ්‍යයි” ඔහු තවදුරටත් පවසනවා.
කසුන් අරවින්ද