– මම වේදිකාවෙන් බිහි වූ නළුවෙක් නිසා වේදිකාවට ආදරෙයි
– අම්මා මාව බලාගත්තා වගේ එයා දැන් මාව බලාගන්නවා
– එයාගේ පළමු පෙම්වතා මම නිසා මගේ ආදරේ එයා ළඟ නතර කරගත්තා
– අද මම හාස්‍යජනක නිර්මාණවලට කොටු වෙලා ඉන්නේ ඒත් ඕනෑම චරිතයක් කරන්න පුළුවන්
වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවට සිනහවෙන් චරිත මවන ඔහු තුළ දක්ෂතා බොහෝමයක් තිබෙනවා. හාස්‍ය රංගන ශිල්පියෙක් හැටියට වැඩිපුර දුටුවත් ඔහු තිරරචනය කළ ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක ඔහුගේ රචනය විවිධයි, ආකර්ෂණීය වගේම බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන නිර්මාණ බවට ඒවා පත් වෙලා. ඒ වගේම ඔහු ගයන්නත් දක්ෂයෙක්. බල්ලොත් එක්ක බැහැ, චරිතේ හොරු අරන්, කෝ කුක්කු, පැන්ඩොරා වගේ වේදිකා නාට්‍යවලින් සජීවීව දකින ඔහු මේ දවස්වල වැඩිපුරම ජනප්‍රිය බේකරි ගෙදර වාටියා විදිහටයි. ඔහු චින්තක පීරීස්, මේ කතාබහ ඔහු හා ඔහුගේ පුංචි පවුල ගැනයි.
බේකරි ගෙදර නාට්‍යයේ වාටියා විදිහට තමයි චින්තක මේ දවස්වල ජනප්‍රිය නේද ..? පිටපතත් ඔබේ…?
දෙරණ ටීවී එකේ සති අන්තයේ හයේ ඉඳලා හත වෙනකල් පැයක් බේකරි ගෙදර විකාශය වෙනවා. මගේ චරිතය වාටියා. මේ නාට්‍යයේ පිටපත මම ලියන එකක්. අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය ජී. නන්දසේන මහත්මයාගේ, මට වගේම නාට්‍යයටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. කොහේ ගියත් වාටියා කියලා කෑ ගහලා ප්‍රතිචාර දක්වනවා. ඒ ගැන හරි සතුටුයි. මගේ පිටපතක් වීමත් මට සතුටක් කියන්න පුළුවන්.
ප්‍රධාන හා ජනප්‍රිය වේදිකා නාට්‍ය පහක ඔබව දකින්න ලැබෙනවා, අනිත් මාධ්‍ය වගේ නෙමෙයි වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්, වේදිකාවට ඇයි මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්නේ..?
බල්ලොත් එක්ක බැහැ, චරිතේ හොරු අරන්, නරි බුරති, කෝ කුක්කෝ, පැන්ඩෝරා මේ නාට්‍ය පහේම මම ඉන්නවා. මම හිතන්නේ මම වේදිකාවෙන් බිහි වූ නළුවෙක් නිසා වේදිකාවට ආදරෙයි. වේදිකාව ඔබ කිව්වා වගේ සජීවී මාධ්‍යයක්. ඒක ලොකු අභියෝගයක් හා හොඳ පුහුණුවක්. වැරදි හදාගෙන රංගනය පොලිෂ් වෙනවා නිතරම. ඒ වගේම ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර සජීවීව ලැබෙනවා. වේදිකා නාට්‍යයක් දිවයින පුරා සති අන්තයේ කොහේ හෝ වේදිකාගත වෙනවා.
මම ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන්. මගේ නාට්‍ය මාස්ටර් තිස්ස ගුණවර්ධන. එතුමා තමයි මාව හදලා ගත්තේ. අද ජනප්‍රිය මට්ටමේ ඉන්න බොහෝ දෙනෙක් සර්ගේ ගෝලයෝ. ඔහු ඇති කරපු ආසාවට මම ඇබ්බැහි වුණා කියන්න පුළුවන්.
ආර්ථික වාසියක් නැතුව ඇති ..?
ආර්ථික වාසි මොන ජොබ් එකෙත් තියෙනවා. ඒක අපි ගන්න දැනගන්න ඕන. මම රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි. පිටපත් රචකයෙක්, ගායකයෙක්, නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා. වේදිකා නාට්‍යවලින් මට හොඳ මුදලක් ලැබෙනවා. ඒ ලැබෙන මුදලින් තමයි කාටවත් ණය නොවි බඩගින්නේ ඉන්නෙ නැතුව ගෙවල් හදාගෙන වාහනයකින් ගමන් බිමන් යන්නේ. ගන්න මුදල් කළමනාකරණය කරගෙන ජීවත් වෙන්න ඕන. ඉස්සර වේදිකා නාට්‍ය නළුවෝ මහ රෑ බස්වල එල්ලිලා ගෙදර යන්නේ. අපි කවුරුත් බස්වල යන්නෙ නැහැ. ඒ ජීවිතේ විඳින්නේ හරියට මුදල් හොයන නිසයි.
එකම චරිත රාමුවකට කොටු වුණත් ඔබ රසවත් හරවත් චරිත ඔබ ලියන පිටපත් තුළින් මවන්න උත්සාහ කරනවා නේද ..?
මොනවා කරන්නද අද මම හාස්‍යජනක නිර්මාණවලට කොටු වෙලා ඉන්නේ. ඒත් ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. මිල්ලෑව වලව්ව, කාසිවත්ත, සකල ගුරු, වගේ නාට්‍ය 23ක් මම පිටපත් රචනය කළා. මට රඟපාන්න අවස්ථාව නැති වුණත් මම වෙනස් නිර්මාණ සඳහා චරිත පිටපත් රචනයෙන් එළියට දෙනවා. හොඳ වේදිකා නාට්‍යක්, චිත්‍රපටයක් වගේම ටෙලි නාට්‍යයක් මමම කරන්න අදහසකුත් තියෙනවා, ඒත් ඒකට මේ හොඳ කාලයක් නෙමෙයි.
ඔබට ඉන්නේ පුත්තුම තුන්දෙනෙක්. එක දරුවෙක් රංගනයට සම්බන්ධයි, ඔබේ දැන හැඳුනුම්කම් සමඟ ඔවුන්ට රංගනයට අවස්ථාව හිමි වෙනවා ඇති..?
මගේ ලොකු පුතා උසස් පෙළ කරනවා. එයා දිනුජ චින්තිල. දෙවැනියා තරුල් දුල්මින. එයා 10 වසරේ ඉගෙන ගන්නේ. තුන්වෙනියත් පුතෙක්. එයා හිරුජ දුනුවර. එයා පහ වසරේ ඉගෙන ගන්නේ. දෙවැනි පුතා තරුල් තමයි දැන් රංගනයට සම්බන්ධ. එයා පාසල් සමස්ත ලංකා නාට්‍ය උලෙළේදී හොඳම නළුවා වුණා. දැන් එයා අකුරට යන වෙලාවේ නාට්‍යයේ රුවන්ගේ චරිතයට පණ දෙනවා. ඊට අමතරව ප්‍රධාන වෙළෙද දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා. එයා සමස්ත ලංකා හොඳම නළුවා වුණාට පස්සේ මගෙන් කිහිප දෙනෙක් ඇහුවා එයාව නිර්මාණවලට ගන්න. මම කිව්වා එයාට රඟපාන්න පුළුවන් කියලා දැනෙනවා නම් ගන්න කියලා. රඟපාන්න බැරි නම් හිතවත්කම මත සම්බන්ධ වෙන්න බැහැ. එයාට යමක් කරන්න පුළුවන් නිසා අවස්ථාව ලැබුණා. අනිත් එක මගේ පවුලෙත් කොල්ලො හතරක්. මගේ අම්මා කවදාවත් කිව්වේ නැහැ අපිට මවුපියන් කැමති ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න ඕන කියලා. කැමති දේ කරන්න කියලා කිව්වා මිසක්. ඒ නිසයි මම නළුවෙක් වුණේ. ඒ වගේ තමයි මගේ දරුවොත් කැමති දේ කරයි. කැමති දේ කරන්න ඉඩ දෙනවා.
කොහොමද දරුවන්ගේ ප්‍රතිචාර පියාගෙ රංගනයට ..?
මගේ පළවෙනි කමෙන්ට් එක ලැබෙන්නේ ගෙදරින්. වයිෆ් වගේම දරුවෝ මගේ රඟපෑම් හොඳ නැත්තම් කෙළින්ම කියලා මේ එපිසෝඩ් එක නම් හරි නැහැ කියලා. හොඳයි නම් හොඳයි කියනවා. ඒ වගේම මම අලුත් පිටපතක් ලියද්දි එයාලට කියනවා මගේ අදහස. සමහර වෙලාවට එයාලත් අදහස් එකතු කරනවා,
නළුවෙක් වෙන්න කලින් තමයි පෙම්වතිය, බිරිඳ කරගන්නේ, ඇය ගැන කිව්වොත්..?
බිරිඳ දිනේෂා ජයේන්ද්රි. එයා තමයි පවුල රන් කරන්නේ. ඒ නිසා පවුල් බරින් නිදහස්, අම්මා මාව බලා ගත්තා වගේ එයා දැන් මාව බලා ගන්නවා. එයාට මාත් දරුවෙක් වගේ. මොකද මගේ වැඩ සියල්ල එයා කරන නිසා. හොඳ සහායක් ලැබෙනවා එයාගෙන්.
දෙන්නම එකම ගමේ ..?
මට එයාව මුණගැහෙන්නේ එකම ගමේ නිසා. මීටර දෙතුන් සීයයක දුරින් හිටියේ. එයාගේ පළමු පෙම්වතා මම. මට ඊට කලින් සම්බන්ධතා දෙකතුනක් තිබ්බා. ඇයව මුණගැහෙද්දි මම වෙන රැකියාවක් කරන ගමන් රඟපෑවේ. එයාගේ කැමැත්ත ගන්න කලින් එයාගේ දෙමවුපියන්ගෙන් ඇහුවා, එයාලා කැමති වුණේ නැහැ. ඊට පස්සේ මම එයාට යෝජනා කළා. ඒත් එක්ක අපි පෙම්වතුන් වෙනවා. ඊට පස්සේ ආයෙමත් දෙමවුපියන්ගෙන් කැමැත්ත ඇහුව. දෙන්නා අතර සම්බන්ධයක් තිබ්බ නිසා කැමති වුණා. ඊට පස්සේ අපි දෙපාර්ශ්වයේ ආශිර්වාදයෙන් 2005දි විවාහ වුණා. ඉස්සර අද වගේ නෙමෙයි. නළු නිළියන් කිව්වම ටිකක් බය වෙනවා. ඒ නිසයි මුලින්ම අකමැති වුණේ එයාගේ දෙමවුපියන්. පස්සේ මම ගැන තේරුම් අරන් අපිට එක් වෙන්න අවස්ථාව දුන්නා.
බොහෝ නළුවන්ව බිරින්දෑවරුන් නීතිරීති වලට යටත් කරනවා. ඔබේ බිරිදත් එහෙම ද..?
ක්ෂේත්රයේ ඇතැම් නළුවන් වෙන වෙන සම්බන්ධතාවලට යන නිසා පවුල් ජීවිත අවුල් වෙලා තියෙනවා අපි දකිනවා. මම පවුල රකින්න මහන්සි වෙන කෙනෙක්. එයා මට දීලා තියෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්නෙ නැහැ. එයත් කලාවේ බොහෝ අය දැන් හඳුනනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මම ඉන්න වේදිකා නාට්‍ය නිළියන්ට අදින්නෙත් අපිමයි. ඉතිං ප්‍රශ්න අඩුයි. සැක කරන එක මුල් කාලේ නොතිබ්බා නෙමෙයි තිබ්බා. පස්සේ තේරුම් ගත්තා මම කවුද කියලා.
ඇත්තටම නිළිෙයක්ට එහෙම හිත ගිහිං නැද්ද ..?
මගේ බිරිඳ තමයි මගේ හැම දේම. එයාගේ පළමු පෙම්වතා මම නිසා මගේ ආදරේ එයා ළඟ නතර කරගත්තා. එතැනින් එහාට කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වන්න හිතන්නේ නැහැ. නිළියෝ එක්ක යාළුකම් විතරක් තියෙනවා.
කාර්යබහුල ජීවිතේ එක්ක පවුල් ජීවිතේ මඟ හැරෙනවා කියලා චෝදනා කරනවත් ඇති ඇය..?
සමහර උත්සව අවස්ථා මළ ගෙවල්, දාන ගෙවල් මඟහැරෙනවා මට. ඒත් එයා මම වෙනුවෙන් දරුවෝ එක්ක ඒවාට සම්බන්ධ වෙනවා. මම අට පහ රස්සාවක් කරන්න කම්මැලි කෙනෙක්. මොකද උදේ පාන්දර ඇහැරිලා යන්න බැහැ. දැන් මම සතියට දවස් තුන හතරක් ගෙදර ඉඳලා වැඩ කරන්නේ. පිටපත් රචනය වගේ දේවල්. සමහර නිර්මාණවලට ගිහිං වැඩේ කරලා එනවා. වැඩිපුර ගෙදර ඉන්න නිසා ඒ ප්‍රශ්නෙත් මට නැහැ. ඇත්තටම මට ඉන්නේ ඔළුව කන්නෙ නැති බිරිඳක්. ඒක කලාකරුවෙක්ට හරි වැදගත්.
අලුත් වැඩ කටයුතු ගැනත් කියමු..?
මේ දවස්වල අපි ඔස්ට්‍රේලියා සංචාරයකට සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මේ මාසේ 27 වෙනකල් ඉන්නවා. මම, මිහිර සිරිතිලක හා නිරෝෂා තලගල, අපි තුන්දෙනා සිනහ සාගරය කියලා කොන්සට් එකක් කරනවා. රංගනය, ගායනය, නර්තනය ඔක්කොම ඊට ඇතුළත්. ඊට අමතරව අලුත් රූපවාහිනී වැඩසටහනකටත් ආරාධනා ලැබිලා තියෙනවා. හවුස්ෆුල් වැසටහනටත් ඉසුරු එක්ක සම්බන්ධ වෙනවා. එහි පිටපතත් මගේ. දැනට ඒ වැඩ ටික තමයි කරන්නේ
හර්ෂණී වීරරත්න