“නෙළා ගැනුමට නොහැකි වූවද
අත්හැරීමක් නොවේ ප්‍රේමය
බලා දුරහිඳ කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය…“
ජනප්‍රිය ගායන ශිල්පී සුනීර සුමංගයන් ගයන මේ ගීතය රචනා කරන්නේ ගේය පද රචක නාරද විජේසූරියය. සුනිරගේ හඬත් නාරදගේ පද පෙළත් තව තවත් අරුත් ගන්වමින් රසික හදට සමීප කරවන්නට සමත් වන්නේ ඊට යොදා ඇති සත්සර රටාවන්ය. මේ සංගීතයේ හිමිකරු වන්නේ වර්තමානයේ වඩාත් රසිකයන් අතර හිඳින සංගීතවේදී කපිල අපරැක්කේය.
අද වන විට සංගීත ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින නිර්මාණකරුවකු ලෙස හඳුන්වා දිය හැකි කපිලගේ සංගීත ගමන ඇරඹෙන්නේ පාසල් වියේදීමය. පාසල් වියේ සිටම විශේෂ දක්ෂතා දැක්වූ ඔහු කෙදිනක හෝ ලංකාවේ ජනප්‍රිය සංගීත වේදියෙකු වේ යැයි එකල සිතන්නට නැතිව ඇත. ගාල්ල හබරාදුව කොක්වත්ත ගමේ උපන් ඔහු සොයුරු සොයුරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ පස්වැන්නා විය.
“මම මුලින්ම පාසල් ගියේ කටුකුරුන්ද ධාර්මික මහ විද්‍යාලයට. දෙවැනි පන්තියේ ඉඳලා ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට පාසල් ගියේ. ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේදී තමයි මගේ සංගීත දිවිය ඇරඹෙන්නේ. මම පුංචි කාලේ ඉඳලම සංගීත විෂයට දක්ෂයි. මගේ අම්මා හික්කඩුව ලියනගේ ජයවතී. තාත්තා අපරැක්කගේ ගුණපාල. තාත්තා පමණයි රැකියාවක් කළේ. තාත්තා සේවය කළේ ගංඟා නිම්මාන සංවර්ධන මණ්ඩලයේ. අම්මා ගෘහනියක්. මගෙ පොඩි අක්කා තමයි මට ඉස්සෙල්ලම බටනළාවක් ගෙනැල්ලා දුන්නේ. එතකොට මම හයේ පන්තියේ ඉගෙන ගන්නවා. පාසල් කාලේ ඉදලම මගේ හැකියාවන් පසලේ ගුරුවරු අගය කළා ඒ වගේම ඔවුන් මාව දිරි ගැන්නුවා. පාසලේ හයේ පන්තියේ ඉන්දැද්දි තමයි සංගීත විෂය ඉගෙන ගන්න පටන් ගත්තේ මගේ මුල්ම සංගීත ගුරුවරයා වුණේ කලංසූරිය සර්. නමුත් සර් ටික කලකින් වෙනත් පාසලකට මාරු වී ගියා. ඉන් පස්සේ අපට සංගීත විෂය ඉගැන්නුවේ සිසිර කුමාර සර්.සිසිර කුමාර සර්ට පසුව පාසලට සංගීත විෂය උගන්වන්න ආවේප්රසන්න ලංකානාත් සර් ඉගැන්නුවේ පෙරදිග සංගීතය. පසුව සංගීත විෂය උගන්වන්න පාසලට පැමිණි දීපානන්ද කුඩාහෙට්ටි සර් බටහර සංගීතය උගන්වන්න පටන් ගත්තා. ෂැක්සෆෝනය, ට්‍රම්පට් එක ආදී බටහිර සංගීත භාණ්ඩ ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ ඉන් පස්සේ තමයි. මගේ හිතේ හැමදාම හීනයක් වෙලා තිබුණේ ලංකාවේ හොඳම සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න. පාසලේ යාළුවෝ එකතු වෙලා “The Aloysiuns“ කියලා සංගීත කණ්ඩායමක් හැදුවා. පාසලෙන් අයින් වුණාට පස්සේ ජයන්ත පුංචිහේවගේ අයියාගේ බ්ලු ෆ්ලේම් සංගීත කණ්ඩායමේ ඕගන් එක ප්ලේ කරන්න මට අවස්ථාව ලැබුණා. ඉන් කෙටි කලකට පස්සේ “The Scorpians“ කියලා සංගීත කණ්ඩායම නිර්මාණය කළා. මම එහි ලීඩ් ගිටාර් එක ප්ලේ කළා. ඉතාම කෙටි කලකින් අපි ගාල්ලේ බොහෝම ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වුණා. මේ කාලෙදි තමයි මට ක්‍රිස්ටෝ ගුණරත්න, සමඟ “The Professionals“ කණ්ඩායමේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ. ඉන් පස්සේ The Super Break Water සංගීත කණ්ඩායම සමඟ කලක් කටයුතු කරනවා. ඉන් පසු සංගීත කණ්ඩායම් ගණනාවක සේවය කළ මට ඇන්තනී සුරේන්ද්‍ර අයියලා සමඟ “ශක්තී“ සංගීත කණ්ඩායමේ වැඩ කරන්න ලැබුණා. “
සිය අතීත ගමන් මඟ සිහි කරමින් කපිල පවසන්නේය. ඒ වන විට සෑම සංගීත භාන්ඩයක්ම වාදනය කිරීමේ දක්ෂතා දැක්වූ කපිල තමන් විසින්ම ගායනා කළ ගීත ඇතුළත් කැසට් පටයක් නිතුත් කිරීමට උත්සාහ ගන්නේය. නමුදු කුමක් හෝ හේතුවක් නිසා එයද වැළකී යන්නේය. ඒ වන විට ඔහුගේ සිතේ සංගීත ක්ෂේත්රය පිළිබඳ තිබුණේ යම් කලකිරීමකි. ඒ කෙසේ වුවත් ඔහුට ශක්ති සංගීත කණ්ඩායම සමඟ යුරෝපා සංචාරයක යෑමට අවස්ථාව ලැබෙන්නේය.
“අපි ඒ ගිය සංචාරයේදී ඉතාලියටත් යනවා. ඒ වෙන කොට මගෙ ලොකු අයියා හිටියේ ඉතාලියේ. මගේ අයියා කිව්වා තව දවස් දෙකතුනක් එයත් එක්ක ඉතාලියේ ඉන්න කියලා. ඒ ඉන්න පටන් ගත්ත එක මම දිගටම හිටියේ ඉතාලියේ. ඒ වෙනකොට මම ඉතාලි භාෂාවත් හොඳින් ඉගෙන ගත්තා. 2020 තමයි ලංකාවට එන්නේ. ඒ කොරෝනා කාලයේ. කොරෝනා කාලයේ ලංකාවට ආවට පස්සේ යළිත් ඉතාලි යෑම මඟ හැරෙනවා. මගෙන් මඟහැරුණ සංගීතයට නැවත හිත යන්නේ කොරෝනා කාලයේ.”
සංගීතයට නිති පෙම්බඳින කපිලට ගීත කිහිපයකටම සංගීත නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන්නේය. බාලවියේ සිටම සංගීතය කෙරෙහි විශේෂ ළැදියාවක් හැකියාවක් තිබූ ඔහු අතින් හරි අපූරු තනු නර්මාණයන් බිහිවන්නේය. එය ඔහුගේ ගමන් මඟට නව ආලෝකයක් ගෙන දෙන්නේය.
ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් විසින් ගයන නාරද විජේසූරිය විසින් ලියූ ‘මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක‘, ප්‍රියා නන්ද විජේසුන්දරයන් විසින් ලියූ ‘මඟ හැරුණ සැඳෑවන් අමතක කර මුණගැසුණු සැදෑවන් ගැන සිතමු‘, ඩිෂාන් නානායක්කා විසින් ලියන ලද ශෂිකා නිසංසලා ගයන ‘සමනල වැව ළඟ පුටුවක ඉදගෙන බෙලිහුල් ඔය අහසේ‘
රත්නශ්‍රී විජේසිංහයන් විසින් ලියූ පියාඹා ගිය කෝකිලාවිය, දිලනි කස්තුරි ආරච්චි ලියු කරුණාරත්න දිවුල්ගනේ ගයන එක්වනු බැරි හමු වීමද කඳුළක්, “ආදි ගීත කපිලගේ සංගීතයෙන් හැඩවූ ජනප්‍රිය ගී අතර වේ.
“මම හිතපු නැති විදිහට මේ ගීත ජනප්‍රිය වුණා. එයින් මට තවත් නව නිර්මාණ කරන්නට උද්යෝගයක් ඇති වුණා. මෙහිදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඩිෂාන් නානායක්කාර මගේ මිත්‍රයාව. ඔහු ලියූ ගීත දහයක් පමණ මේ වන විට මගේ සංගීත නිර්මාණයෙන් හැඬවී තියෙනවා. ඔහු ලියූ අලුත්ම ගීතය සංගීතවත් කළේ මම. එය ගයන්නේ ගායන ශිල්පි පාලි බග්‍රා. තව නොබෝ දිනකින් මේ ගීතය අහන්න ලැබේවී.
ප්‍රවීණ පද රචකයන්ගේ නිර්මාණ සඳහා වගේම නවක පද රචකයන්ගේ නිර්මාණ සඳහාත් සංගීත නිර්මාණය කර තිබෙනවා. අලුත් ගී පද රචකයන්ට මම ආරාධනය කරනවා එන්න අපි එක් වෙලා අලුත් වැඩක් කරමු කියලා.“
කපිල එසේ පවසන්නේ හෙට දවසේ තවත් නැවුම් නිර්මාණ කිරීමේ අරමුණෙනි.
අද වන විට සංගීත ක්ෂේත්රයට ඔහු පැමිණ වසර තිහකට වඩා වැඩිය. එදා මෙදා තුර ගායකයෙක් වාදකයෙන් පමණක් නොව තනු නිර්මාණ ශිල්පියෙකු ලෙසින් ඔහු පැමිණි ගමන් මඟ දෙස හැරි බලා කපිල පවසන්නේ මෙවන් අදහසකි.
“ආව මඟ දෙස ආපිට හැරිලා බලන කොට මට තියෙන්නේ විශාල සතුටක්. මම මේ ගමනෙදි වැටුණ නැගිටුණ තැන් බොහෝමයි. ඒත් මං මගේ ගමන ආවා කියන සතුට මගේ හිතේ තියෙනවා. බාලවියේ ඉදලම සංගීතයට ආදරය කල මම දැන් කාලය ගෙවන්නේ සංගීතය සමඟ. ඒක තමයි මගේ ජීවිතයේ එකම සතුට.“
ඉනෝකා සමරවික්‍රම