– ගුරුවරියක් සහ කලා ශිල්පිනියක් මගේ ජීවිතේ පැති දෙකක් තියෙනවා
– එදා හිටිය ගම දෝණි වගේ තරුණ පෙනුම දැන් නැහැ ඒත් මිනිස්සු තාමත් ආදරෙයි
– මගේ ජීවිතේ එකම චරිතයකට කොටු වෙලා නැහැ. කලාත්මක සහ කොමඩි කියන දෙකේම රඟපාලා තියෙනවා
ඇය ලක්ෂ්මි දමයන්ති. වසර දහසයක් නරිබෑනා නාට්‍යයේ ගමදුව ලෙස රඟපෑ ඇය ගැන මතකය ඔබගේ මතකයෙන් ගිලිහී නැතිව ඇති. ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක, ගායිකාවක, කවිකාරියක මෙන්ම රංග කලා කථිකාචාරිනියක ලෙස ද එක සේ ජනප්‍රිය ආචාර්ය ලක්ෂ්මි දමයන්ති වඩාත් කතා බහට ලක්වුයේ දයානන්ද ගුණවර්ධනයන්ගේ “නරි බෑණා” නව නිෂ්පාදනයේ ගම දුව ලෙස කළ රංගනයෙන් ය. මේ වන විට ඇය නිව්යෝර්ක් බිංහැම්ටන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන්නීය.
ඉතිං ලක්ෂ්මි කොහොමද ජීවිතේ?
ජීවිතේ ඉතා සුන්දරව ගෙවිලා යනවා. විශේෂයෙන්ම දරුවන් එක්ක නිදහසේ ජීවිතේ ගෙවන්න ලැබෙනවා කියන එක තරම් සැපතක් මේ ලෝකේ අම්මා කෙනෙක්ට වෙන නැහැ. මගේ ස්වාමියා, මගේ දියණිය ඔහුගේ ස්වාමියා සහ එයාලගේ චූටි දරු පැටියා මහිම සනහස් අපි ඔක්කොම අමරිකාවේ එක ගෙදරක එකට ඉන්නේ. උදේ හවස දරු පැටියාගේ කටහඬ අහමින් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරමින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා.
කොච්චර කාලයකින් ද චිත්‍රපටයක රඟපෑවේ
මම අමරිකාවට ගිහින් දැන් අවුරුදු 17ක්. හැබැයි මේ අවුරුදු 17 තුළම මම ලංකාවට එනවා යනවා. ඒ එන්නේ මගෙ අම්මා බලලා යන්න. ඒ නිසා මම ලංකාවේ නැහැ කියන එක මගේ අයට දැනෙනවා නම් බොහොම අඩුයි. චිත්‍රපටවලින් ජයන්ත චන්ද්‍රසිරිගේ සහ සුනිල් ආරියරත්න මහතාගේ ක්ෂිර සාගරය කැලඹිණ චිත්‍රපටයේ රඟපෑවා. මම පරණ වැඩ කරපු අයගේ නිර්මාණ වලට මම හිටියොත් මාව දායක කරගෙන තියෙනවා.
කාසි වාසි අලුත් චිත්‍රපටයේ අත්දැකීම කොහොමද?
කාසි වාසි හි අත්දැකීම නම් ඉතාම සුවිශේෂියි. ගිරිරාජ්ගේ පිටපත සිවගුරුනාදන්ගේ චිත්‍රපට අධ්‍යක්ෂණය යටතේ රොඩ්නි, ප්‍රියන්ත, සරත් කොතලාවල මා එක්ක වැඩ කරපු පිරිස එක්ක කළ ලස්සන වැඩක්. ගිරාගේ බිරිඳ හැටියට තමයි මම රඟපෑවේ. ගිරාගේ දුව අපේ දුව හැටියටම රඟපෑවා. මම හරිම ආසාවෙන් කළ නිර්මාණයක්. කාසි වාසි චිත්‍රපටය නිසාමයි මේ සැරේ ලංකාවට ආවේ. ගිරා කියන්නේ මට විශේෂ යාළුවෙක්. ගිරා එක්ක මට දුර නෑකමකුත් තියෙනවා. ගිරා නැවත නිර්මාණයක් කිරීම ගැන මට තියෙන්නේ පුදුමාකාර සතුටක් සහ ආදරයක්. ගිරා අපි කාගේත් යාළුවෙක්. හිත හොඳ මනුස්සයෙක්. ගිරා අසනීපයෙන් හිටියා. ඔහුට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
දැන් ඉඳලා හිටලා රඟපාන අත්දැකීම දැනෙන්නේ කොහොමද ?
මම නිෂ්පාදන පැත්තට යොමු වුණෙත් කලාවට තියෙන කැමැත්ත නිසා. 2018 අපි “සුළඟ මහ මෙරක” කියලා නාට්‍යයක් කළා. ඊට පස්සේ චිත්‍රපටයක් කළා. මගේ විශ්වවිද්‍යාලයේ තියෙන වාසිය තමයි මගේ කලා කටයුතුවලට ලැබෙන අනුග්‍රහය. මම PHD එක කරන කාලේ නම් මට රංගන කටයුතුවලට කාලය යොදවන්න බැරි වුණා. දැන් මම උගන්වන නිසා ඉස්සරට වඩා විවේකය තියෙනවා.
සිකුරු හතෙන් පස්සේ නැවත ඒ කණ්ඩායම එක්කම වැඩ කරන්න ලැබුණ අත්දැකීම කොහොමද?
ඇත්තටම සිකුරු හත එක්ක තියෙන්නේ පුදුම බැඳීමක්. පොඩි කාලයක කරපු සුළු චරිතයක් එහි තියෙන්නේ. හැබැයි ඒ කොටස ප්‍රේක්ෂකයින් අතර මතකයේ රැඳුනා. ඒ බව හොඳින්ම දැනුණේ අපි “සුළඟ මහ මෙරක” ෂූටින් කරද්දී එතැන හිටිය අය ‘ආනේ මේ සිකුරු හතේ කිඹුලා බනිස්…‘ කියනවා ඇහුනා. මම ඇත්තටම සතුටු වෙනවා මගේ ජීවිතේ එකම චරිතයකට කොටු වෙලා නැහැ. කලාත්මක සහ කොමඩි කියන දෙකේම රඟපාලා තියෙනවා.
අපි මතක් කළොත් ඔබ උගන්වන විශ්වවිද්‍යාලය?
Binghamton University එක. මම උගන්වන මේ විශ්වවිද්‍යාලය නිව් යෝර්ක් ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාල අතරින් එකක්. මේක හඳුන්වන්නේ රිසර්ච් විශ්වවිද්‍යාලයක් ලෙස. මෙහි PHD ඔක්කොම තියෙනවා. 20,000කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉගෙන ගන්නවා.
බෙරහඬ නාට්‍යය ඔබ ඉංග්‍රීසියෙන් අධ්‍යක්ෂණය කළා නේද?
බන්දුල ජයවර්ධනගේ බෙරහඬ නාට්‍ය අපි ඉංග්‍රීසියෙන් කළා. ඒක අපි ලබපු විශාල ජයග්‍රහණයක්. ඇත්තටම බෙරහඬ නාට්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා කියන එකම අමාරු දෙයක්. ඒක පරිවර්තනය කළේ සුලාම් මහගමආරච්චි. එතකොට ලංකාවෙන් හතර දෙනෙක් දායක වුණා. මම බෙරහඬ නාට්‍ය ඉංග්‍රීසියෙන් අධ්‍යක්ෂණය සහ නර්තන නිර්මාණය කළා. වෙස්මුහුණු සහ ඇඳුම් නිර්මාණය කළේ මගේ දියණිය ගයනි චතුරිකා. ඇයත් බිංහැම්ටන් විශ්වවිද්‍යාලයේම මාස්ටර් එක කරපු කෙනෙක්. ඊට අමතරව ජිතේන්ද්‍ර විද්‍යාපති බෙර වාදනයෙන් දායක වුණා. මේ වෙද්දී අපි චීන භාෂාවෙන් පරිවර්තනය කළා. තව ඉදිරියට භාෂා කිහිපයකින්ම පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ලංකාවේ ප්‍රථම වරට භාෂා කිහිපයකින් පරිවර්තනය වන පළමු නාට්‍යය වෙයි. අපේ රටේ නිර්මාණයක් අමරිකාව වගේ රටකට හඳුන්වා දෙන්න ලැබීම ගැන සතුටුයි.
තාමත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලැබෙන එක ගැන මොකද හිතෙන්නෙ?
අදටත් මාව අඳුනන මිනිස්සු ඉන්න එක ගැන මට සතුටුයි. ඉස්සර ගම දෝණිගේ පෙනුමට වඩා මගේ කොණ්ඩේ වෙනස් වෙලා. එදා හිටිය ගම දෝණි වගේ තරුණ පෙනුම දැන් නැහැ. හැබැයි තාමත් මිනිස්සු හඳුනාගෙන කතා කරනවා. ඉතින් ඒ ගැන සතුටුයි. කලාශිල්පියෙක්ට තියෙන ලොකුම වාසනාව තමයි මිනිස්සු අතරේ ජීවත් වෙන්න ලැබීම.
අනුෂා රණසිංහ