– මට තිබුණේ එයා මේකට කැමතිද කියල අහද්දි ඒකට කැමතියි කියන්න විතරයි
– මං සාමාන්‍යයෙන් කාටවත් මැසේජ් කරන්නෑ. ඒත් එදා මට හිතුනා මෙයාට පොඩි කම්ප්ලිමන්ට් එකක් දෙන්න
– එයා ජනප්‍රියයි කියන එක ගැන නම් මට අවබෝධයක් තිබුණේ නෑ
– මං අඳින පලඳින විදිහටත් ඇය අකැමැති වුණේ නෑ
– එයා කවදාවත් මාව වෙනස් කරන්න උත්සාහ කළේ නෑ.
රවී රොයිස්ටර් විවාහ වෙලා. ආරංචිය නම් අලුත්. ඒත් ආරංචිය ඇත්තක්ද? මේ බොහෝ දෙනාට මතුවුණු ගැටලුවකි. රවී රොයිස්ටර් මෙතෙක් කිසි දිනෙක පෙම්වතියක් ගැන වචනයක්වත් කිසිම තැනක පවසා නොතිබීම එයට හේතුව වන්නට ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ පින්තූර පැතිරෙන්නට ගතවූයේ නිමේෂයකි. සොයා බැලීමේදී ආරංචිය සත්‍යයකි. රවීගේ අතගත් මනාලිය ජයෝමි කෝනාරය. ඇය කැනඩාවේ පදිංචිකාරියකි. පසුගිය අගෝස්තු 28 වැනිදා පුවක්ගස්ඕවිට කොකෝලොකේ ගාඩ්න්ඩ්හි දී ඔවුන්ගේ මංගල උත්සවය අලංකාරව නිමවී තිබිණි. ඒ ආදරණීය දවස ගැන තොරතුරු විමසීමේ අදහසින් අපි ඔවුන් හා කතාබහට මුලපිරුවෙමු.
රවී රොයිස්ටර් කියන්නේ ජනප්‍රිය තරුවක්. කොහොමද මේ ආදරය මේ තරම් කල් හංගන් හිටියේ?
මේ වෙනකල් කවුරුත්ම ඒ ගැන දැනන් හිටියෙ නෑ. පළමුවැනි වතාවට එයා ගැන දැනගත්තේ එන්ගේජ්මන්ට් එක නිසා. එයා ජයෝමි කෝනාර. කැනඩාවේ රාජ්‍ය සේවයේ රැකියාවක නිරතවෙලා ඉන්නවා. විවාහ ගිවිස ගැනීමට දවස් තුනකට කලින් තමයි එයා ලංකාවට ආවේ. පහුගිය අගෝස්තු 28 වැනිදා පොල්ගස්ඕවිට කොකෝලොකෝ ගාර්ඩ්න් එකේ අපේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා. එදාම හවස සමීපතමයින් පිරිසකට විතරක් කියලා පොඩි පාර්ටියක් ගත්තා.
ගිවිස ගැනීම ඉවරයිනේ. විවාහ උත්සවය තියෙන්නෙ කවදද?
ඒක නම් තාම තීරණය කරල නැහැ. තව දවස් කීපයකින් ජයෝමි නැවත කැනඩාවට යනවා. මේ අවුරුද්ද අවසානයේ මාත් යන්නයි බලාපොරොත්තුව.
කොහොමද මේ හමුවීම සිදු වෙන්නේ?
සෝෂල් මීඩියා හරහා තමයි. මං සම්බන්ධ වුණු එක් වැඩසටහනකදි මං ජයන්ත පෙරේරාගේ ‘සුදුපාට මල් වැටුණු රතුපාට රැලි ගවුම’ ගීතය ගායනා කළා. ඒ ගීතය එයාගෙ හිතට දැනිලා. ඒ ගැන කියලා මාව අගය කරලා එයා මට මැසේජ් එකක් දාල තිබුණා. මාත් රිප්ලයි කළා. ඒක තමයි දිගින් දිගට ගිහින් මේ තරම් දුරක් ආවේ. ඒ දැනට මාස 8කට විතර කලින්.
ඔබ දෙදෙනා රටවල් දෙකක. සම්බන්ධය පටන්ගෙනත් මාස 8යි. පළමුවැනි හමුවීම ගැන මතක් කළොත්?
අපි මුලින්ම හමුවෙන්නේ එයා ගියපාර ලංකාවට ආපු දවසෙ එයාර්පෝට් එකේදි. ඒ අප්‍රේල් 10 වැනිදා. වීඩියෝ කෝල්වලින් දැකල තිබුණට හැබැහින් දැක්කෙ එදා. දැක්ක ගමන්ම මට හිතුණා මගේ තෝරාගැනීම හරියටම හරි කියලා.
ඇයට කැමැති වෙන්න විශේෂ හේතු තිබුණද?
ඇය උගත් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම තමයි තේරුම් ගැනීමත්. අපි දෙන්න ඉන්නෙ රටවල් දෙකක. එයා කැනඩාවේ. මං ශ්‍රී ලංකාවේ. පරිසර දෙකක්. ටයිම් දෙකක්. මං වැඩ කරන වෙලාවට එයා නිදි. එයා වැඩ කරන වෙලාවට මං නිදි. කිසිම ගැටලුවක් ඇතිවෙන්න නොදී මේ දක්වා ආවේ ඒ අවබෝධය නිසා. මං හරි කැමැතියි ඒකට. එයා කවදාවත් මාව වෙනස් කරන්න උත්සාහ කළේ නෑ. මං අඳින පලඳින විදිහටත් ඇය අකැමැති වුණේ නෑ. ඒ නිසා මං නිදහසේ මගේ වැඩ ටික කරන් හිටියා.
සෝෂල් මීඩියා හරහා හමුවුණු ලේලිට ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
අපේ ගෙදරින් කිසිම ගැටලුවක් වුණේ නෑ. එයාල ගොඩක් කැමතියි ජයෝමිට.
විවාහ ගිවිස ගැනීම දවසේ ඇය සප්‍රයිස් කළා කියලා ආරංචියි?
ඔව්. ඔව්. ජයෝමි ලංකාවට ආවේ ගිවිස ගැනීමට දවස් තුනකට කලින්. ඒ වෙද්දි මං ඔක්කොම ලස්සනට ප්ලෑන් කරල තිබුණේ. ඒ වගේම අපේ මතකයන් එකතු කරල ලස්සන වීඩියෝවක් එදා ප්ලේ කළා. ඒවා දැකලා එයා සප්‍රයිස් වුණා. තව තව දේවල් තිබුණා.
රවී දැන් ඉන්දියානු ශිල්පීන්ටත් නිර්මාණ කරන කෙනෙක්?
ඉන්දියානු ගායක විජය ඇන්තනී මං ගායනා කළ ‘පස්ස‘ ගීතය දමිළ භාෂාවෙන් ගායනා කළා. ඒක ජනප්‍රිය වුණා. සැප්තැම්බර් මාසේ පැවැත්වෙන ඔහුගේ සජීවී ප්රසංගයේදී මමත් ඔහුත් එක්ක ඒ ගීතය ගායනා කරනවා. තව මගේ අලුත් ගීත හතරක් එන්න තියෙනවා.
ඔබ ජනප්‍රිය වෙන්නෙ දෙරණ ඩ්‍රීම්ස්ටාර් හරහා. එහිදී වෙනමම ප්‍රතිරූපයක් නිර්මාණය කරගන්න හිතුවේ ඇයි?
හැමදාම එකම විදිහට කරන්නෙ නැතුව වෙනසක් කරන්න ඕන කියලා මට හිතුණා. මට වෙනමම ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න ඕන වුණා. හැමෝම මාව වගේම මගේ ස්ටයිල් එකත් භාරගත්ත කියල හිතෙනවා.
අපේ කතාබහේදී ඔහුට අමතක වන පොඩි තැන් වහා සම්පූර්ණ කළේ ඇය. විමසිල්ලෙන් බලද්දි රවී – ජයෝමි කියන්නේ හොඳ ගැළපීමක් බව වැටහෙනවා. රවීගේ හඳුන්වා දීමත් සමඟින් ජයෝමි අප හා කතාබහට එක්වුණා.
ජයෝමි අපට හමුවෙන්නේ පළමුවැනි වතාවට. ඔබ ගැන දැනගන්න කැමැතියි?
මගේ ගම කුරුණෑගල. දැන් මගේ පදිංචිය කැනඩාවේ. මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි. ඔවුන් ජීවත් වෙන්නේ ලංකාවේ. එන්ගේජ්මන්ට් එකට දවස් තුනකට කලින් තමයි මං ලංකාවට ආවේ. රැකියාව නිසා ලබන සතියේ මං නැවත කැනඩා යනවා.
ඔබට රවී රොයිස්ටර් හඳුනගන්න ලැබෙන්නේ කොහොමද?
මම හැම සෙනසුරාදම ‘මා නොවන මම’ වැඩසටහන බලනවා. එදා රවීගෙ වැඩසටහනත් බැලුවා. රවීගෙ ගීත ගායනය වගේම එයා කතා කරන විදිහත් මගේ අවධානයට ලක්වුණා. කතාබහේදී සමහරු අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ අමුතුයි. ඒත් මෙයා ටිකක් කල්පනා කරලා හරිම බුද්ධිමත් විදිහට ඒවට උත්තර දුන්නා. ඒක මගේ හිතට ඇල්ලුවා. මං සාමාන්‍යයෙන් කාටවත් මැසේජ් කරන්නෑ. ඒත් එදා මට හිතුනා මෙයාට පොඩි කම්ප්ලිමන්ට් එකක් දෙන්න. එහෙම හිතලා මං මෙයාට ඉන්ස්ටග්‍රෑම් එකෙන් මැසේජ් එකක් දැම්මා. ඒත් මං රිප්ලයි එකක්වත් මොකුත් බලාපොරොත්තු වුණේ නෑ. රවී ඒකට රිප්ලයි එකක් දාල තිබුණා. දෙවැනි මැසේජ් එකෙන් එයාගෙ නම්බර් එකත් එවලා තිබුණා. එතැන ඉඳන් අපි දිගින් දිගටම මැසේජ් කළා.
ඒ වෙද්දිත් ඔහු ජනප්‍රිය තරුවක්. ඒ ගැන මොකද හිතුනේ?
එයා ජනප්‍රියයි කියන එක ගැන නම් මට අවබෝධයක් තිබුණේ නෑ. එයා කතාකරන විදිහෙන්, මට සලකන විදිහෙන් මට තේරුණා හොඳ කෙනෙක් කියලා. ඒක තමයි මං බැලුවේ. ජනප්‍රියත්වය කියන්නේ එයාගෙ ජොබ් එකත් එක්ක ලැබෙන දෙයක්නේ.
ඔබ ඔහුට කැමති වෙන්න විශේෂ හේතු තිබුණද?
ඔව්. එක තමයි එයා හරිම කෙයාරින්. මං ඒකට කැමතියි. අනිත් එක තමයි එයාට හොඳ කොමිනිකේෂන් එකක් තියෙනවා. අපි රටවල් දෙකක ටයිම් දෙකක වැඩ කරන්නේ. එයාට වැඩ වෙලාවට මං නිදි. මට වැඩ වෙලාවට එයා නිදි. ඒ වුණාට අපේ දවස කොහොමද කියන එක අපි දන්නවා. ඒක හරිම පහසුයි. රණ්ඩු වෙන්න දෙයක් නෑ. අපි කෙනෙක් පස්සෙ පන්නලා උත්තර ගන්නවට වඩා එයාගෙ පුරුද්දක් විදිහට එයාගෙ දේවල් කියද්දි ඒක හරිම ලේසියි.
ජයෝමිගෙ ගෙදරින් කැමති වුණා ද ජනප්‍රිය කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවට?
මුලින්ම අපි හමුවුණේ මං ලංකාවට එන වෙලාවෙ එයාර්පෝට් එකේදි. අපේ ගෙදරින් මාව ගන්න ඇවිත් හිටියා. රවීත් ඇවිත් හිටියා. අපේ පළමුවැනි හමුවීම සිදුවුණේ අපේ අම්මල ඔක්කොම එක්ක. එතකොට මෙයා කවුද කොහොම කෙනෙක්ද කියන එක තේරුම් ගන්න පහසු වුණා. ඒ වෙනකල් ගෙදර අයත් දැනන් හිටියෙ නෑ. එදා දැනගෙන අඳුනගෙන එයාලත් රවීට කැමති වුණා. පහුවදා එයා අපේ ගෙදර ආවා. ජනප්‍රියයි කියන එක එයාලටත් ගානක් වුණේ නෑ. එයා හැසිරුණේ හරිම සාමාන්‍ය කෙනෙක් විදිහට.
විවාහයෙන් පස්සේ රවීත් කැනඩාවේ පදිංචියට යනවා කියල ආරංචියි. ඔහුගේ නිර්මාණවලට බලපෑමක් වෙන එකක් නැද්ද?
ඔහුට නැති වෙනව නම් නැති වෙන්නෙ ප්‍රසංග විතරයිනේ. අනෙක් දේවල් එහේ ඉඳන් කරන්න පුළුවන්. අපි අවුරුද්දට වතාවක්වත් කොහොමත් අම්මලා තාත්තලා බලන්න එනවා. ඒ වෙලාවට නිර්මාණවලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහේ හැමදේම තියෙනවා. රවීට තියෙන්නේ එන්න විතරයි.
ඔබ ලංකාවට ආවෙත් ගිවිස ගැනීමට දවස් තුනකට කලින් වුණත් ගිවිස ගැනීමේ උත්සවය ලස්සනට ප්ලෑන් කරල තිබුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. හරිම ලස්සනට තිබුණා. රැකියාවේ කටයුතු නිසා මට ගොඩක් කලින් එන්න බැරි වුණා. රවී තමයි ඔක්කොම හොයලා බලලා තෝරලා ඔක්කොම වැඩ ටික කරල තිබුණේ. මට තිබුණේ එයා මේකට කැමතිද කියල අහද්දි ඒකට කැමතියි කියන්න විතරයි.
විවාහ උත්සවය ගැන කතා කළොත්?
ඒක නම් තාම ප්ලෑන් කරල නෑ. දැන් රවීත් මේ අවුරුද්ද අන්තිමේ කැනඩාවට එනවා. ඒ නිසා සමහර විට එහේ ගන්නත් පුළුවන්. තාම ස්ථිර තීරණයක නැහැ.
ඡායාරූප – හේමාල් පෙරේරා
නාමලී ගමගේ