Home » වනජීවී ඉතිහාසයේ වැඩිම දඩ මුදලට හිමිකම් කියූ ඉතාලි පිය පුතුගේ සත්ත්ව මගෝඩිය

වනජීවී ඉතිහාසයේ වැඩිම දඩ මුදලට හිමිකම් කියූ ඉතාලි පිය පුතුගේ සත්ත්ව මගෝඩිය

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

– වාහනයේ ගමන් මලු තුළ මියගිය කෘමි සතුන් හා සමනලුන් 300 ගණනක් 
– ජාන මංකොල්ලයකට තැත් කළාදැයි සැක මතු කරන සිදුවීමක්

ස්වභාවධර්මය අත්විඳින්නට අකමැති කවුරුන්ද? එහෙත් ස්වභාව ධර්මය නියමාකාරයෙන් අත් විඳින්නෝ ඇත්තේ අල්ප වශයෙනි. එසේ වුවද විටින් විට ස්වභාව ධර්මය අපිට අපූරු පාඩම් කියා දෙන්නේය.

“පරිසරය අත්විඳ යන ගමනේදී මතකය පමණක් රැගෙන යන්න. පා සටහන් පමණක් තබා යන්න…” ඒ, සෑම වන පිවිසුමකදීම දක්නට ඇති ප්‍රකට වදන් පෙළකි. ස්වභාවධර්මය අපූරු පාඩම් අපිට කියාදෙන්නේ මීට පටහැණිව කටයුතු කරනා විටය. මෙය ද තවත් එවැනිම කතාවකි. වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අය කරගත් විශාලම දඩ මුදල වූ රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවන්නට විදේශිකයන් දෙදෙනෙකුට පසුගිය දිනෙක සිදු වූයේද වනයේ සිරිය අත්විඳ මතක සටහන් පමණක් රැගෙන නොගිය නිසාය.

යාල වනාහි සොබාදහමට ඉඩහසර සපයන ජෛව විවිධත්වයෙන් යුත් අපූරු තෝතැන්නකි. නැතිනම් ජෛව විවිධත්වයෙන් හා වන සතුන්ගෙන් අපූරු ගහනයක් රැඳි අඩවියකි. අතීතයේ සියවස් ගණනාවක සිටම අලි, කොටි හා වලසුන් නැරඹීමට වඩාත් ප්‍රසිද්ධ වුවද අපූර්වත්වයෙන් හෙබි ශාක ගහනයකින් හා කුඩා සත්ත්ව ගහනයකින් යුතු මේ යාල ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සංචාරකයන්ට අත්විඳිය හැකි හොඳම සංචාරක ගමනාන්තයක් ලෙසිනි. වනඅලි පමණක් නොව ලෝකයේ වැඩිම දිවි ඝනත්වයකින් ද යුක්ත වන යාල බොහෝ විදෙස් සංචාරකයන්ගේ අපූරු නැරඹුම් ගමනාන්තයක් බවට පත් වන්නේ ඒ සුන්දර මතකයන් තම රටට රැගෙන යා හැකි නිසාය.

එහෙත් පසුගියදා ඉතාලි ජාතික වයස අවුරුදු පනස් අටක් වන පෙරාරි ලුයිගි පියා, වයස අවුරුදු 28ක් වන පෙරාරි මාටියා නමැති සිය පුතු සමඟ ලංකාවට පැමිණියේ යාල සංචාරයකට ද නැතිනම් වෙනත් අරමුණක් වෙනුවෙන්දැයි පැහැදිලි නැතත් මේ සිදුවීම් මාලාව පිටුපස ඇති කතාව හරහා අවබෝධ වන්නේ අපේ උරුමයන් වනසාලන්නට පමණක් නොව මහ පරිමාණ ජාවාරමක් වෙනුවෙන් පැමිණි ගමනක් බවය.

යාල නරඹන්නන්ට උද්‍යානය වෙත පිවිසිම් මාර්ග කිහිපයකි. කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරී පළටුපාන උද්‍යාන පිවිසුම එක් ප්‍රවේශ මාර්ගයක් වන අතර, මහියංගණ, බිබිල, බුත්තල, සෙල්ලකතරගම හරහා කටගමුව ද තවත් එක් පිවිසුම් මාර්ගයකි.

දිනය 2024 මැයි මස 8 වැනිදාය. එදින උදෑසන කටගමුව පිවිසුම් මඟ පෙ.ව 6.05ට විවෘත වූයේ සුපුරුදු පරිදිය. එදින දවසේ ආදායම රැගෙන කටගමුව වන සත්ත්ව අඩවි ආරක්ෂක කේ. සුජීව නිසාන්ත, ව/නි ඊ.ඒ.එන්.ඒ කුමාර, ක්/ස කේ.ඒ.කේ. තුෂාර හා රියැදුරු එස්.එච්.පී. කුමාර සමඟ දෙපාර්තමේන්තු කැබ් රථයෙන් කතරගම ලංකා බැංකුව කරා සවස 2ට පමණ පිටත් වූයේ අදාළ දවසේ ආදායම බැංකු ගත කරන්නටය.

මේ පිරිස වන අඩවි මැදින් කොච්චිපතාන බීට්ටු කාර්යාලය පසුකරමින් යන විට කොච්චිපතාන රජයේ රක්ෂිත කලාපයට අයත් මාර්ගයේ දකින්නට ලැබුණේ පාර අසල නතර කර ඇති කාරයකි. ජනතාව නොගැවසෙන පළාතක වාහනයක් නතර කර තිබෙනු දුටු ඔවුන් අනුමාන කළේ එය කාර්මික දෝෂයකට හෝ ලක්ව ඇති එකක් බවය. ඔවුන් සිය ගමන නතර කර විමසන්නට උත්සාහ කළද මෝටර් රථයේ කිසිවෙකුත් නොවීය. වාහන දෝෂයක් සිදුව ඇති සෙයක් ද නොවීය. නමුත් වැඩිදුර සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වනය තුළ විදේශිකයන් දෙදෙනෙක් කිසියම් උපකරණ භාවිත කරමින් යම් ක්‍රියාවක් කරන ආකාරය මේ වනජීවී නිලධාරීන්ට නිරීක්ෂණය වන්නට විය.

“අපි ඔවුන් අසලට ගිහින් අපි වනජීවී නිලධාරීන් බව රාජකාරි හැඳුනුම්පත පෙන්වා දැනුම් දුන්නා. ඔවුන් කරන්නේ කුමක්ද යන්න විමසුවා. මේ අවස්ථාවේ ඒ දෙදෙනා තරමක් කලබල වී කරන ක්‍රියාව නතර කර තමන්ගේ වාහනය ළඟට ආවා. නමුත් වාහනය පණ ගන්වන්නට නොදී යතුර අපි යටතට ගෙන ඔවුන්ව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවැසුවා.. මේ අවස්ථාවේ ඔවුන් අත, අතංගු ආකාරයට සකස් කළ උපකරණ දෙකක් හා විදුරු ජෑම් බෝතල් දෙකක් තියෙන බව අපිට පෙනුණා. නමුත් ඔවුන් මුලින් අපිට කිව්වේ තමන් සමනලුන්ගේ ඡායාරූප ලබාගන්නට කැලය තුළට පැමිණි බවයි. මේ නිසා තමන් පරීක්ෂා කරන විට ඔවුන් ඊට දැඩි සේ විරුද්ධ වුණත් මෙහි ඇති නීතිමය තත්ත්වය පහදා දී මේ බෝතල් යුගලය පරීක්ෂා කළා. එක් බෝතලයක කිසියම් ද්‍රව්‍යක් සමඟ මියගිය සමනලයකු සිටියා. අනිත් බෝතලයේ කිසියම් ද්‍රව්‍යයක් සමඟ මියගිය සමනලුන් 14 දෙනෙක් සිටියා. මේ නිසා අපිට ගොඩාක් සැක සිතුණා කාර් එකේ තවත් සතුන්ගේ සිරුරු තියෙන්නට ඇති කියලා. මේ නිසා කාර් එක පරීක්ෂා කරන්නට අවශ්‍යයි කියලා ඔවුන්ට කිව්වත් ඒ දෙදෙනා අපේ රාජකාරියට බාධා කරමින් ඒ ස්ථානයෙන් පලා යන්නට උත්සාහ කළා. මේ අවස්ථාවේ අප යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතාවත් දැනුම්වත් කළා. ඔහු අපට කිව්වේ හැකි ඉක්මනින් තමන් එම ස්ථානයට එන තෙක් කටගමුව හා කොච්චිපතාන පොලිස් ස්ථානවලට ද දැනුම් දෙන ලෙසයි..” ඒ මේ සිද්ධියට මුහුණ දුන් කටගමුව වන සත්ත්ව අඩවි ආරක්ෂක කේ. සුජීව නිසාන්තය.

“අපි ඒ අයට තමන් කරන වැරැද්ද පහදා දී ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කරන්න උත්සහ කළා. මේ අයගේ බලවත් විරෝධය මැද වාහනයේ වූ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කළා. එහි තිබී නිශ්චිතව හඳුනා නොගත් සත්ත්ව නිදර්ශක 300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත්තා. ඒ වගේම සත්ත්ව නිදර්ශක ඇතුළත් වීදුරු හා ප්ලාස්ටික් බෝතල්, කෘමි සතුන්, විදුලි ආලෝක ධාරාවකින් අල්ලාගත හැකි ලෙස සකස් කළ ආධාරකයක්, ආලෝක ටියුබයක්, විදුලි බුබුළු, හෝල්ඩර් සහිත වයර් කෝඩ, මාර්ගෝපදේශක අත්පොතක්, ලෝහ කතුරු, ප්ලාස්ටික් පෙට්ටි මේ අතර තිබුණා. ඉන්පසුව අපේ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඔවුන් දෙදෙනා ඉදිරියේ නඩු භාණ්ඩ ලෙස මුද්‍රා තැබුවා. එදින රාත්‍රියේ ඔවුන් අපේ ආරක්ෂාව සහිතව පහළ හේන්තොට සංචාරක නිවාසයේ රඳවා තබාගෙන පසුවදා උදෑසන මෙම සැකකරුවන් දෙදෙනාත්, නඩු භාණ්ඩත්, හොන්ඩා වර්ගයේ මෝටර් රථයත් සමඟ බී වාර්තාවක් මඟින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා…”

වනජීවී නිලධාරින් විසින් දිගින් දිගටම කරුණු විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ තම රටේ වූ කෞතුකාගාරයක් සඳහාත් අධ්‍යාපන කටයුතු සඳහාත් ඔවුන් මේවා ගෙනියන්නට කටයුතු කළ බවකි. තමන් මේ කටයුත්ත නීති විරෝධී බව නොදැන සිටි බව ඔවුන් සඳහන් කළත් මේ සිදුවීම හරහා පෙනී යන්නේ දැනුවත්ව මෙසේ නීති විරෝධී ආකාරයෙන් ගෙන යාමට උත්සාහ දැරූ බවකි. බොහෝ විට මෙවැනි දේ හරහා සිදු වන්නට හැකියාව ඇත්තේ සත්ත්ව හා ජාන වෙ‍ෙළඳාමක්ද විය හැකිය.

මාස 4කට ආසන්න කාලයක් මෙම නඩුව විභාග වූයේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේදීය. මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා විසින් මීට අදාළ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කළේ ඉතිහාසයේ මෙතෙක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අය කරගත් විශාලම දඩ මුදල වූ රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවන ලෙස වැරදිකරුවන් වූ ඉතාලි ජාතික පෙරාරි ලුයිගි හා ඔහුගේ පුත් පෙරාරි මාටියාට නියම කරමිනි. මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල බව ද වාර්තා වෙයි. ඒ, යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කිරීමේ වරදටය.

ඉතාලි ජාතිකයන් දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ කණ්ඩායම විත්තිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඉතාලි ජාතිකයන් දෙපළ සතුන්ට ආදරය කරන පුද්ගලයන් බවත්, ඔවුන්ගේ නිවසේ මෙවැනි සත්තු සිටින බවත් එහෙයින් සානුකම්පිතව බලා අවම දඩයක් නියම කරන ලෙසත්ය.

මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් විදේශ ජාතික‍යන් නිසා මෙම නඩුකරය ඉක්මනින්ම විසඳීම සඳහා අධිකරණය කටයුතු කළ බවත් මෙම විත්තිකරුවන් මූලික අවස්ථාවේදීම වරද පිළිගන්නා බව ප්‍රකාශ කිරීම පරීක්‍ෂණ කඩිනම් වීමට ඉවහල් වූ බවත්ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙය ආරක්ෂිත සතුන් සම්බන්ධයෙන් කරනු ලැබූ වරදකි. එබැවින් ගොනු කරන ලද චෝදනා තුන්සිය හතරටම ඔවුන් වැරදිකරුවන් වී ඇත. මෙම රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදල ගෙවීමට නොහැකි හෙයින් මේ මස 29 වන දින දඩ මුදල ගෙවන ලෙසට නියෝග කළේය. එම දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයන් දෙපළට රටෙන් පිටව යාමට අවසර හිමි නොවීය.

මෙසේ අත්අඩංගුවට ගත් විදේශකයන් සතුව සත්ත්ව නිදර්ශක තුන්සිය හැටකට වැඩි ප්‍රමාණයක් තිබූ බවත් එම සතුන් හඳුනා ගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂඥ වාර්තාවක් කැඳවූ බවත් සතුන් 360 කින් සතුන් 108ක් හඳුනාගෙන වාර්තාවක් ලබාගත් බව ද සඳහන් කළේය. එම සතුන් ලෙස ලිපි ඩෙකප්ටරා ගෝත්‍ර විශේෂ අනූ දෙකකුත් ඔඩනාටා ගෝත්‍ර විශේෂ නමයකුත් ඒ අතර වෙයි. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා සියල්ල ගොනුකර ජාත්‍යන්තර සත්ත්ව හා ජාන වෙළඳාමට එරෙහි විශිෂ්ට නඩු තීන්දුවක් තිස්සමහාරාම මහාධිකරණය විසින් ලබා දී ඇති බවද සඳහන් කළේය.

කිසියම් රටක සිටින සතෙක් හෝ ආවේණික ශාකයක පටකයක්, ජාන කොටසක්, ජෛව රසායනික සංඝටකයන් පිළිබඳව තිබෙන බුද්ධිමය දේපලක් එම රටේ නිසි අවසරයකින් තොරව වෙනත් රටකට රැගෙන යාම ජාන මංකොල්ලයක් ලෙස හදුන්වනු ලබයි. අපට ජාන මංකොල්ලය පිළිබද පුවත් අලුත් දෙයක් නොවන බව මුලින්ම පැවැසිය යුතුය. මෙරට සිදුවන ජාන මංකොල්ලය වැළැක්වීම වෙනුවෙන් රේගුව හරහා වෙනම ජෛව සම්පත් ඒකකයක්ද ආරම්භ කර ජාන මංකොල්ලයට වැට බැඳ ඇති නමුත් විවිධ පුද්ගලයින් හරහා ලංකාවට එන ඇතැම් විදේශිකයන් ඉතා කූට ලෙස මෙම ජාන හොරකම සිදුකරන බව නොරහසකි. එවැනි පුවත් ගණනාවක්ම පසුගිය කාලය පුරාවට මාධ්‍ය හරහා වාර්තා කෙරුණි.

මීට පෙර නුවරඑළිය ප්‍රදේශයෙන්ද මීට සමාන ජාන මංකොල්ල කෑමක නිරත වූ රුසියානුවන් තිදෙනෙකුටද නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා රුපියල් අසූහය ලක්ෂ පනස් දහසක දඩ මුදලක් නියම කෙරුණි. එහිදි රුසියානුවන් තිදෙනෙකු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු වී මෙරටට ආවේණික සත්ත්ව විශේෂ කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කර තිබුණි.

දිගින් දිගටම සිදුවන මෙම ජාන කොල්ලයට තිත තැබීමට කාලය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.එය එසේ නොවන්නට වැඩිකල් නොයන්නට අපේ රටට අවේණික සතුන්ගේ පවා අයිතිය විදෙස් ජාතිකයන්ට හිමිවන කාලය වැඩි ඈතක නොවනු ඇත.මේ නිසා වනජීවී නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාවත් වනාන්තරවල සංචාරය කරන විදේශිකයන් ගැන විමසිල්ලෙන් සිටීම ජාන මංකොල්ලයට තිත තැබීමට තරමක් හෝ ඉවහල් වනු ඇත.

 

තිස්සමහාරාම, අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු 
සූරියවැව විශේෂ, නුවන් ජයසේකර

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division