Home » ගජමුතු ජාවාරමුන් අල්ලන්න කොස්තාපල් ගහපු ගැටේ

ගජමුතු ජාවාරමුන් අල්ලන්න කොස්තාපල් ගහපු ගැටේ

by thanushika
September 7, 2024 12:30 am 0 comment

ගජමුතුවලට ඇත්තේ ඉහළ වටිනාකමක් සහ ඉහළ ඉල්ලුමකි. මේ නිසාම ජාවාරම්කරුවන් ගජමුතු වෙළෙඳාමෙන් රුපියල් කෝටි ගණන් මුදල් උපයා ගන්නේ නීති විරෝධි ලෙසය. ඇතැම් ජාවාරම්කරුවන් ඇත් දළ කපා ව්‍යාජ ගජමුතු සාදා ඉහළ මිල ගණන්වලට අලෙවි කරන අවස්ථා ද නැතුවා නොවේ.

මෙවන් පසුබිමක ගජමුතු ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර ගන්නට තිස්සමහරාම පොලිසිය පසුගියදා සමත් විය. විශේෂ කාර්යාංශයේ තිස්සමහරාම පොලිසියට අනුයුක්තව සේවය කරන බුද්ධි අංශයේ නිලධාරියකුගෙන් ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

එම බුද්ධි අංශයේ නිලධාරියා තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. වයි. කුඩාගොඩගේට කියා සිටියේ වැල්ලවාය, මොනරාගල සහ බුත්තල ප්‍රදේශවල සැරිසරමින් ඉතාම සූක්ෂ්ම ලෙස ගජමුතු ජාවාරමේ යෙදෙන පිරිසක් පිළිබඳව තොරතුරකි. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි ගයන් ප්‍රසන්නට දන්වා ඔහුගේ උපදෙස් මත ගජමුතු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කළහ. එහි වගකීම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් (39269) තරංගට පැවැරිණි. පළපුරුදු නිලධාරියකු වූ ඔහු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ සිට මීට පෙර සේවයේ යෙදී සිටියදී ගජමුතු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත් නිලධාරියෙකි.

ඒ අනුව කිරින්ද නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ගජමුතු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ විය. පොලිස් නිලධරයෝ ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් ජාවාරම්කරුවන් තිස්සමහරාම නගරයට උපක්‍රමශීලීව ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.

“හරි… අපි කෝටි එකහමාරකට මේ වැඩේ කරමු. හැබැයි අපිට චෙක් කරන්න ඕනෑ…” ගනුදෙනුකරුවකු ලෙස කතා කළ පොලිස් නිලධාරියා ජාවාරම්කරුට පැවසීය.

ඊට පිළිතුරු ලබා දෙමින් එක් ජාවාරම්කරුවකු දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කෙළේය. “හරි… ඔයාල කොහොමද මේවා චෙක් කරන්නේ? බුලත් කොළේ තියලද ? එහෙමත් නැත්තම් වතුර වීදුරුවට දමලද ? නැත්නම් ටෝච් එකෙන් ද? තාක්ෂණික උපකරණයකින් ද?” ඔහු එක දිගටම ප්‍රශ්න කරන්නට විය.

ජාවරම්කරු අසන ප්‍රශ්නයට සැකයක් නොවන අයුරින් පිළිතුරු ලබා දීමට පළපුරුදු පොලිස් නිලධාරියකු වූ සැරයන් තරංගට එතරම් අමාරු කාරියක් නොවීය.

“හරි එහෙනම් අපි වැඩේ කරමු… ඔයාලා තිස්සමහරාමයට එන්න… ඇවිල්ලා මට කෝල් එකක් දෙන්න. මේක රහසිගතව කෙරෙන්න ඕන…” ගනුදෙනුකරුවකු ලෙස පෙනී සිටි පොලිස් නිලධාරියා ජාවාරම්කරු තුළ විශ්වාසය ඇතිවන ලෙස පැවසීය.

සියලු තොරතුරු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුඩාගොඩගේ වෙත වාර්තා කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුගේ උපදෙස් මත සැකකාර ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කරන ලදි.

ඒ අනුව මගී ප්‍රවාහන බස්රථයකින් ජාවාරම්කරු තිස්සමහරාමය නගරයට පැමිණෙන බවට සියලු තොරතුරු බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබුණි. ඔහු තිස්සමහරාම නගරයට පැමිණ ගනුදෙනුකරු එන තෙක් බලා සිටියදී ගජමුතු දෙකක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්විය. පොලිසිය ඇටවූ උගුලකට තමා හසුව ඇති බව ඔහු අත්අඩංගුවට පත්වන තෙක්ම දැන සිටියේ නැත. අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල, උණාවටුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ගජමුතු ජාවාරමක යෙදෙන තවත් පුද්ගලයකු ළඟ ගජමුතු දෙකක් අලෙවි කිරීමට තිබෙන බවට අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය. එම ජාවාරම්කරු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය උපක්‍රමශීලීව කටයුතු කළේ අත්අඩංගුවට පත් පළමු සැකකරුගේ සහායෙනි.

දීර්ඝ ලෙස සිදුකරන ලද විමර්ශනයකින් පසු දෙවැනි සැකකරු සන්තයේ ඇති ගජමුතු දෙක මිලදී ගැනීම සඳහා දුරකතනය මඟින් ගනුදෙනුකරුවකු ලෙස සාකච්ඡා කළ පොලිසිය රුපියල් කෝටියක මුදලකට ගජමුතු දෙක මිලට ගැනීමට එකඟ විය. ඒ අනුව හාලිඇළ, ගෝඩුන්න, බෝගහළඟගෙදර යන ස්ථානයේ පදිංචිකරුවකු වූ සැකකාර ජාවාරම්කරු තිස්සමහරාම, පන්නගමු ප්‍රදේශයට උපක්‍රමශීලීව ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේ ද පළමු සැකකරුගේ සහායෙනි.

සාර්ථක මෙහෙයුමකින් මෙසේ ගජමුතු හතරක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගරගත කිරීමට තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තරිදු සමීර සිල්වා නියෝග කළේය. සැකකරුවන් සමඟ අධිකරණයට ඉදිරිපත් කරන ලද ගජමුතු සැබෑ ගජමුතු ද නැතිනම් ව්‍යාජ ගජමුතු ද යන්න පරික්ෂාවට ලක්කිරීම සඳහා කොළඹ ‍කෞතුකාගාරය වෙත යැවීමට ද අධිකරණය නියම කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරුවන් ඉකුත් අගෝස්තු 26 දින යළි තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සියලු චෝදනාවලට වරදකරු බවට ඔවුන් පිළිගැනීම නිසා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ මුදලක් ගෙවීමට නියම කළ අධිකරණය ගජමුතු හතර රාජසන්තක කරන ලදි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රීගේ උපදෙස් මත තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරි ගයන් ප්‍රසන්නගේ අධීක්ෂණයෙන් තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. වයි.කුඩාගොඩගේගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් (39269) තරංගගේ මූලිකත්වයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට කොස්තාපල්වරුන් වන (5824) රතනායක, (85274) ධනුෂ්ක, විශේෂ කාර්යාංශයේ (76271) නලින්, (74923) හේරත් යන නිලධාරීහු එක් වූහ.

ඒ. ඒ. පේමසිරි - තිස්සමහාරාම සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division