මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක් ද කියා තමා විමසූ විට ඊට පිළිතුරු නොදෙන අනුර දිසානායක තමාට විවාදයකට ඇරයුම් කරන බවත්, තමන් සමඟ විවාදයට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම එක්ව වෙනම විවාදයක් සිදු කර තම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන් පසුව තමා මීට පෙරද සඳහන් කළ ආකාරයට අනුර, තමා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එක්වන වීඩියෝ සංවාදයක් සඳහා වේලාව වෙන් කරගත හැකි බව පැවසු ජනාධිපතිවරයා කිසිවෙකුට කථා කිරීමට වේලාවක් ඉතිරි නොකරන නමුත් සජිත්ට ද ඊට ඇරයුම් කළ හැකි බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ කුරුණෑගල අස්ලිය ගෝල්ඩන් ක්‍රැසෙන්ඩා හෝටලයේ ඊයේ (10) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමිනි.
එසේම වියදම රුපියල් බිලියන 8,900ක් සහ ආදායම රුපියල් බිලියන 4,900ක්ව රුපියල් බිලියන 4000ක හිඟයක් ඇති, රටේ ආර්ථිකය බිඳ දමන අය වැයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළේ ඇයිදැයි අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වේදිකාවල බෝරුවට කෑ නොගසා තම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කළයුතු බවද අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මෙම කුරුණෑගල දිස්ත්‍රික්කය සමඟ මගේ දීර්ඝකාලීන සම්බන්ධයක් තිබෙනවා. 1978 වසරේ ගම්පහ ආරම්භ කළ දියුණුව අප මෙම කුරුණෑගල ප්‍රදේශයට ද ගෙන එනවා. එම වැඩකටයුතු ඉදිරියේදී ආරම්භ වෙනවා.
මීට වසර දෙකකට පෙර මට මොකක්ද වුණේ කියා මෙහිදි ප්‍රශ්නයක් මතු කළා. මට වුණ දේ නොවෙයි, සජිත්ට සහ අනුරට මොකක්ද වුණේ කියලයි අහන්න ඕන. ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් හා පොහොර නැතිව දුක් විඳින විට සජිත්ට හා අනුරට ජනතාව පිළිබඳ දුකක් වේදනාවක් දැනුණේ නැද්ද? ජනතාව වෙනුවෙන් යමක් කළයුතුයි කියා ඔවුන්ට හිතුනේ නැද්ද? ඔවුන් එදා එම වැඩකටයුතු කළානම් අද මම මෙතන නැහැ. ඔවුන් වගකිම නිසි ලෙස ඉටු නොකළ නිසා තමයි එක මන්ත්‍රී ධූරයක් තිබු පක්ෂයක මට මේ රටේ ජනාධිපති ධුරයේ වගකීම භාර ගැනීමට සිදු වුණේ.
එහිදී මට දේශපාලන පක්ෂ රැසක සහාය ලැබුණා. එම සහයෝගය සමග මම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉවත් වූ අවස්ථාවේ කථානායකවරයාව භාරකාර ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් මැතිවරණයකට ගියානම් මොකක්ද වෙන්නේ. එම බලයේ හිදැස නිර්මාණය වුවානම් අද බංග්ලාදේශය පත්ව සිටින තත්ත්වයට එදා අපටත් පත්වීමට සිදු වෙනවා.
අපි රටේ වගකීම භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. ලබන වසරේ දී ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම රට පුරා ආයෝජන කලාප ඇති කිරීම, කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අප සිදු කරනවා. එසේම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දෙනවා.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ක්‍රියාකරනවා නම් අපට ණය ලබා ගැනීමට තිබෙන අවස්ථා සිමා සහිතයි. ආණ්ඩුව සකස් කළ අය වැය අනුව ඉදිරියේ දී මෙරට වියදම රුපියල් බිලියන 6,800යි. ආදායම රුපියල් බිලියන 5,100යි. අය වැය පරතරය රුපියල් බිලියන 1700යි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.2%යි. ඒ නිසා කිසි බයක් නැතිව අපට මේ අයවැය පරතරය පියවා ගැනීමට හැකියාව තිබෙනවා.
නමුත් මාලිමාව ලබා දෙන බව කියන දේවල් දෙන්න ගියොත් ඔවුන්ගේ වියදම රුපියල් බිලියන 8,900ක් වෙනවා. ඒ වගේම බදු සහන දෙන බව ඔවුන් කියනවා. එහෙම වුණොත් ඔවුන්ගේ ආදායම වන්නේ රුපියල් බිලියන 4,900යි. එවිට ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 4000ක් වෙනවා. එවිට අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9%යි. ඉතින් ඔවුන් ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි කඩ කර වෙළෙඳ පොළේ මුදල් ගන්න ගියොත් පොලිය 25%ක් වෙනවා. ඔවුන් ලබා දීමට සූදානම් වන වෙනස මෙයයි. මේවා කරන්න ගියොත් මුලින් වෙන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 500ක් දක්වා ඉහළ යාමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කොන්දේසි කඩ කිරීම නිසා ඔවුන්ගේ සහාය ද ලැබෙන්නේ නැහැ. එවිට මෙරට ආර්ථිකය කඩා වැටෙනවා.
රටේ ආර්ථිකය ගොඩනගන්න නම් අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපේ ප්‍රතිත්තිය එයයි. පසුගිය දිනක අනුර කුමාර දිසානායකත් කැළණිය ප්‍රදේශයේ දී ප්‍රකාශ කළා එයත් අපනයන ආර්ථිකයක් ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන බවට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙනවා. වෙළෙඳ ගිවිසුම් නැතිව අපනයන ආර්ථිකයකට යන්නේ කොහොමද, භාණ්ඩ පිටරට යැවීමේ සහනය ලැබෙන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසයි.
අපි ආර්ථික පරිවර්තන පනත ගෙන ආ අවස්ථාවේ අපනයන ආර්ථිකය මේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා සුනිල් හඳුන්නෙත්ති හා හර්ෂණ සුරියප්පෙරුම ගිහින් නඩු දැම්මා.
මම දැක්කා අනුර ආණමඩුවේ දී මට විවාදයකට ආරාධනා කර තිබෙනවා. ඔවුන් අපනයන ආර්ථියකක්ද, ආනයන ආර්ථිකයක් ද ක්‍රියාත්මක කරන්නේ කියලා නොදැන මම කොහොමද විවාදයකට යන්නේ.
ඒ නිසා මම යෝජනා කරනවා හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම අතර විවාදයක් පවත්වා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක් ද, ආනයන ආර්ථිකයක් ද කියා රටට දැනුම් දෙන්න කියලා.
ඒ බව දැනුම් දුන් පසු, මම මීට පෙර සඳහන් කළ පරිදි අනුර කුමාර දිසානයකයි, මමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂවරිය ඇතුළු අප සියලුදෙනා වීඩියෝ සංවාදයකට වේලාව වෙන් කර ගනිමු. ඒකට මම සූදානම්. මමයි මෙම යෝජනාව ගෙන ආවේ.
අවශ්‍ය නම් අපි සජිත් ප්‍රේමදාසවත් ගෙන්න ගමු. සජිත් කථා කරන්න පටන්ගත්තහම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂවරියට කථා කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් අපි සජිත්ට එන්න කියමු.
එසේනම් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක්ද කියා අනුර කුමාර අපට කිවයුතුයි. ආර්ථිකය කඩලා රට බංකොළොත් කරන අය වැයක් ගෙනාවේ ඇයි කියා මම අනුර දිසානයකගෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා වේදිකවේ කෑ ගහන්නේ නැතිව ආර්ථිකය ගැන නිවැරදි ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරන ලෙස අනුර කුමාර දිසානායකට මම කියනවා.
මෙම හමුවේදී වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයන් මතු කළ ප්‍රශ්නවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු
ප්‍රශ්නය
අපගේ ළමා කාලයේ දුටු ශ්‍රී ලංකාව නෙවෙයි දැන් තිබෙන්නේ. වගේ මට මතක ආකාරයට ඒ කාලයේ සාක්ෂරතාව තිබුණේ සියයට පනස් ගණනක්. අද දවසේ අවුරුදු 30 දක්වා සාක්ෂරතාවය 100%ක් බවත් සමස්ත සාක්ෂරතාවය 92%ක් බවත් මට ගුවන් විදුලියෙන් අහන්න ලැබුණා.
පසුගිය කාලයේ ඇති වූ බංකොලොත්භාවයට හේතු වුණේ සංවර්ධන කටයුතු නොව මූල්‍ය කළමණාකරණය, මූල්‍ය පාලනය සහ මූල්‍ය විනය පිළිබඳ ගැටළුයි. නමුත් සියළු දෙනාටම චෝදනා එල්ල වෙනවා?
පිළිතුර
රටේ අනෙක් දියුණුව පිළිබඳව අමතක කරමු. තඹුත්තේගම තිබුණේ පොඩි පාසැලක්. එය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කිරීම සඳහා ගොඩනැගිලි දුන්නා. ඒ පාසැලේ හිටියා අනුර දිසානායක නමින් ශිෂ්‍යයෙක්. ඔහු පාසැල් අධ්‍යාපනයෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඒකත් ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ ගොඩ නැඟූ විශ්වවිද්‍යාලයක්. එයින් පිට වූ ඔහු මෙරට අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කර තිබූ පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු පාර්ලිමේන්තුවට පැමිණ කියනවා වසර 76ක් මුකුත් කරලා නැහැ කියලා.
ඒ වගේම දකුණු ආසියාවේ හොඳම මානව සංවර්ධන දර්ශකය ( Human Development Index) තිබෙන්නේ අපේ රටේ. එසේ නම් අවුරුදු 76 දී යම්කිසි දෙයක් සිදුව තිබෙනවා. 1947 දී මෙරට පාසැල් තිබුණේ 2000ක වගේ සංඛ්‍යාවක්. දැන් රට පුරා පාසැල් තිබෙනවා. අද රට පුරා විදුලි බලය තිබෙනවා. එදා ගෙවල්වල විදුලිබලය තිබුණේ නැහැ. කුරුණෑගල නගරයට විදුලිබලය දුන්නේ කුඩා ජෙනරේටරයකින්. එදා විශ්ව විද්‍යාල තිබුණේ 01යි. අද විශ්ව විද්‍යාල 17ක් තිබෙනවා. අද කර්මාන්ත කලාප කීයක් තිබෙනවාද?
දැන් එසේ නම් මුකුත් කරලා නෑ කියන්න පුළුවන්ද? අනෙක් අය වැඩ කළේ නැහැ, තමන් පමණයි වැඩ කළේ කියන්නේ, වෙනසක් අවශ්‍යයි කියන එකයි. තමන්ගේ අය පත් කර ගැනීමට තිබෙන අවශ්‍යතාවය මිස වෙනස කියන්නේ වෙනත් දෙයක් නෙවෙයි.
මේ සියලු දෙනා ඉවත් කර අප කාවද පත් කරන්නේ? අර බැනියමේ හිල් තිබෙන කෙනාද? මේක මහා බොරුවක්.
අපට ප්‍රශ්නය ඇති වුණේ ණයට ගත් මුදල් ආදාම් ඉපයිය නොහැකි සියලු කටයුතු සඳහා වැය කිරීම නිසයි. මේමුදලින් යම් ප්‍රමාණයක් ආදායම් ඉපයිය හැකි කටයුතු සඳහා යෙදවූවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
අවසානයේ අපට ණය ගෙවීමට අපට ශක්තියක් තිබුණේ නැහැ. සමාජ දියුණුවට අප ණය ගත්තත් ඉතුරු ණය මුදල් පරිපාලනය සහ යටිතල පහසුකම් සඳහා යෙදවූවා. ඉන් අපට ආදායමක් ලැබුණේ නැහැ. එතන තමයි ප්‍රශ්නය.
ප්‍රශ්නය
ඔබතුමා අග්‍රාමාත්‍යවරයාව සිටියදී දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බොහෝ දෙනෙකුට සහන සැලසූ නමුත් එය පළාත් මට්ටමින් ක්‍රියාත්මක නොවූ අවස්ථා තිබෙනවා. මෙවර ජනාධිපති වූ පසු ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
පිළිතුර
දේශපාලන පළිගැනීම් පිළිබඳ ප්‍රශ්න රැසක් විසඳීමට තිබෙනවා. මා අගමැති කාලයේ සහන ලබා දුන් පිරිසක් සිටිනවා. ඒ වගේම පසුගිය සමයේ නිවාස ගිනිගත් අයගේ ප්‍රශ්නය ද විසඳීමට තිබෙනවා. එක එක පක්ෂවල අයට ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න සියල්ලම විසඳා දීමට සර්ව පාර්ශ්වික දේශපාලන විසඳුමක් ලබා දෙන්න අපේක්ෂා කරනා.
ප්‍රශ්නය
ගම්වල සිටින ප්‍රජා නායකයින් රාජ්‍ය පාලනයට හවුල් කර ගැනීමට ඔබතුමාට අදහසක් තිබෙනවාද?ඒ සමඟ මාලිමාව පරාජය කරන ආකාරය ගැනත් දැන ගන්න කැමතියි.
පිළිතුර
වන්නි හත්පත්තුවෙන් පැමිණි පළවෙනි ජනාධිපති මම.
ජනසභා පිහිටුවීමේ කටයුත්ත කරූ ජයසූරිය මහතාට භාර දී තිබෙනවා. ඒ සඳහා ලේකම් කාර්යාලයක් සහ නීති සම්පාදනය කරමින් තිබෙනවා. ඒවා සම්මත කර ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.
මාලිමාව ගැන මොනව කියන්නද? මාලිමාවෙන් දිශාව සොයා ගන්නේ මැග්නට් එකකින්. මැග්නට් එක වැරදුනොත් පෙන්නන්නේ වැරදි දිශාවක්. ඒක තමයි වෙලා තියෙන්නේ.
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ යම් ගැටළුකාරී ස්වභාවයක් තිබෙනවා. ඒ පිළිබඳවත් තරුණයන්ගේ අනාගතය ජයගැනීම වෙනුවෙන් වන ඔබේ අවධානය ගැන දැන ගැනීමට කැමතියි.
පිළිතුර
අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. පාසැල් මණ්ඩල වැනි දේ ස්ථාපිත කරමින් පරිපාලන අංශයෙන් එය විසඳීමට අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කරමින් සිටිනවා.
අධ්‍යාපන විෂයයන් පිළිබඳ අවධානය යොමු කරනවා නම්, දැන් අප ඉලක්ක කර තිබෙන්නේ වසර 2040ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම පිළිබඳවයි. ඒ සඳහා අවුරුදු 5-10ක පමණ කාලයක් ගත වෙනවා.
මම Gen Z පරපුරට කියන්නේ 2050 කියන්නේ ඔබේ අනාගතයයි. මගේ අවධානය යොමු වී තිබෙන්නේ ඒ සඳහා මාර්ගය සූදානම් කිරීමටයි. මම 2050 කියන කොට සජබෙන් ඇහුවා ඇයි 2050 කියලා? මාලිමාවත් ඒ ප්‍රශ්නයම ඇසුවා. ඔවුන්ට මෙය වැටහෙන්නේ නැහැ. ඉදිරියේ තිබෙන්නේ මොන වගේ ලෝකයක්ද කියලා හිතලා බලන්නේ අපි විතරයි.
ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට ස්මාර්ට් ඇග්‍රිකල්චර් හඳුන්වා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොල් වගාව දියුණු කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා. වන්නි හත්පත්තුව වී වගාවටත්, වියළි කලාප කෘෂි කර්මාන්තයටත් වඩාත් සුදුසුයි. කුරුණෑගල කියන්නේ වාසනාවන්ත දිස්ත්‍රික්කයක්. අප ඒ කටයුතු ඉදිරියට සිදු කරමු.
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, ජනතා විමුක්ති පෙරමුණ මේ රටට විශාල වශයෙන් හානි කළ පක්ෂයක්. නමුත් එකපාරටම මේ පක්ෂය මාලිමාව නමින් රැල්ලක් ඇති වීමට හේතුව කුමක්ද?
පිළිතුර
මාලිමාව ඉදිරියට පැමිණියේ සාම්ප්‍රදායික විපක්ෂය නිසි අයුරින් වැඩ කටුයුතු නොකළ නිසයි. විපක්ෂ නායකවරයා විපක්ෂයේ වගකීම ඉටු කළා නම් එහෙම වෙන්නේ නැහැ. ඩඩ්ලි සේනානායක මහතාගේ සිට පැමිණි සෑම නායකයෙකුගෙන්ම පැවත ආ සම්ප්‍රදාය එයයි. ඒ සෑම කෙනාම වගකීමෙන් වැඩ කර තිබෙනවා. තමන් විපක්ෂනායක වී තවත් පක්ෂයකට ඉදිරියට ඒමට ඉඩ දෙනවා නම් වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න බැහැ. ඔවුන්ට ඡන්දය ලැබෙනයි නැද්ද කියන්න අපි දන්නේ නැහැ. සමහර ජනතාවට ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය නම් ඔවුන් මාලිමාව දෙසට යොමුව සිටිනවා. පාර්ලිමේන්තුවේ පැය ගණන් දේශන සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කාලය නාස්ති කරනවා. ප්‍රශ්න යට යනවා, දේශනය උඩට එනවා. නමුත් මැතිවරණයේදී කොපමණ ප්‍රතිශතයකින් ඡන්දය හිමිවෙනවාද යන්න පිළිබඳ ගැටළුවක් තිබෙනවා. මේ දෙදෙනාම දෙවනි තැනට සටන් කරමින් සිටිනවා. තැපැල් ඡන්දයේදී සජිත් ප්‍රේමදාස 3 වැනි තැනට වැටී තිබුණා. තමන්ගේ විපක්ෂනායකකම ආරක්ෂා කරගැනීමට නොහැකි සජිත්, රට ආරක්ෂා කරන්නේ කොහොමද?
ප්‍රශ්නය
අපේ රටේ පරමාණුක බලශක්තිය භාවිතා කිරීමට සූදානමක් තිබෙන බව දැනගන්නට තිබෙනවා. අපේ රටේ එවැන්නනක් සඳහා හැකියාවක් තිබෙනවාද?
පිළිතුර
ඔව්. ස්වභාවික බලශක්තිය භාවිතා කරන අතරතුර අපට පරමාණුක බලශක්තියත් අපට අවශ්‍ය විය හැකියි. බෙහෝ රටවල එය භාවිතා කෙරෙමින් තිබෙනවා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේද පරමාණුක බලාගාරයක් තිබෙනවා. අප ඒ යුගයට ගමන් කළ යුතුයි. 21 වැනිදා ඡන්දය භාවිතා කළොත් ඒ යුගයට ඔබට ගමන් කරන්න පුළුවන්.
ප්‍රශ්නය
කුරුණෑගල, දඹදෙණිය යාපහුව සහ පඩුවස්නුවර යන ප්‍රදේශ සංචාරක සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට අදහස් කරනවාද? ඒවගේම ලෝකයේ හොඳම මිනිරන් තිබෙන කුරුණෑගල ඒ ආශ්‍රිත කර්මාන්තයක් දියුණු කිරීමට ඔබතුමා දියුණු කිරීමට කටයුතු කරනවාද?
පිළිතුර
අපේ විශාලතම මිනිරන් පතල කහටගහ පතලයි. මේ වන විට එහි පවතින මිනිරන් සංචිතය පිළිබඳ ගැටළුවක් ඇතිවී තිබෙනවා. ඒ පිළිබඳ නවීන විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් ලබාගැනීමට නියමිතයි. තවද රාගෙදර මිනිරන් පතලත් තිබෙනවා. කහටගහ පතලේ මිනිරින් ලොව හොඳම මිනිරන් අතර එක් වර්ගයක් වෙනවා. ඒවගේම රට පුරා පවතින ඛනිජ සම්පත් සොයාගැනීමට ද අප වැඩසටහනක් දියත් කිරීමට සූදානමින් සිටිනවා. ඒවගේම කුරුණෑගල, දඹදෙණිය යාපහුව සහ පඩුවස්නුවර යන ප්‍රදේශ, සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත් අපගේ අවධානය යොමුවී තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළට ආසන්නව තිබෙන නිසා මේ ප්‍රදේශයේ නව හෝටල් ඉදි කිරීමේ හැකියාවත් පවතිනවා. විශේෂයෙන්ම යාපහුව ලෝක ප්‍රසිද්ධියට පත් ඇති නිසා ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
ප්‍රශ්නය
අපේ රට කෘෂිකාර්මික රටක් නිසා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එයින් 65%කට පමණ කෘෂිකර්මාන්තය බලපානවා. ඒවගේම අපනයන ආර්ථීකයක් ඇති කරගැනීම සඳහා අපේ රට සතුව විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් පවතිනවා. ඒ සදහා ඔබතුමාගේ අවධානය යොමු වී තිබෙනවාද?
පිළිතුර
සුහුරු කෘෂිකර්මාන්තය වෙත මාරු වීම සඳහා අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒවගේම වන්නි හත්පත්තුවේ සූර්ය බලශක්තිය සඳහා හැකියාව තිබෙනවා. නමුත් මම කුරුණෑගල දිස්ත්‍රික්කය දෙස අවධානය යොමු කළේ ඩිජිටල් ආර්ථිකය සමඟ දියුණු කරවීමයි. කුරුණෑගල විශ්වවිද්‍යාලය ඇතිකිරීමෙන් පසුව විශාල ඩිජිටල් ආර්ථික කලාපයක් ඇතිවෙනවා. ඒ සමඟම මහනුවර තවත් ඩිජිටල් ආර්ථික කලාපයක් ඇති කරනවා. මේ කලාප දෙක මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වෙනවා. එම කටයුතු ඉදිරියේදී සිදුකරනවා. ඒ වගේම ආදායම් ඉපැයීම සඳහා ඛනිජ සම්පත් ඇතුළු ස්වාභාවික සම්පත් දියුණු කිරීම පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා. අපනයන කෘෂිකර්මාන්තය සැලකූ විට, චීනයට අවශ්‍ය දූරියන් අපනයනය කිරීම සඳහා අප මාවතගම ප්‍රදේශයේ නව දූරියන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ සඳහා යෝග්‍ය ප්‍රදේශ මේ කලාපයේ පවතිනවා. ඒ නිසා අලුතින් සිතා අලුත් දේ සොයාගත යුතුයි. කුරුණෑගල, කුලියාපිටිය සහ හලාවත යන නගර 3 එක් කර එක් කලාපයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් දියුණු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය
නිශ්චිත වැටුප් නොලබන, තමන්ගේ මහන්සියෙන් වැඩ කර, මේ රටේ ජීවත් වෙන පිරිස වෙනුවෙන් ඔබතුමාට යම්කිසි වැඩපිළිවෙළක් තිබෙනවා ද?
පිළිතුර
මේ රටේ බහුතරයක් ජනතාව වැටුප් ලබන අය නොවෙයි. කෘෂි කර්මාන්තය, ධීවර, ස්වයං රැකියා ඇතුළු කුඩා පරිමාණයේ ව්‍යාපාර පවත්වා ගෙන යන පිරිසක් සිටිනවා. අපි මේ අවිධිමත් අංශය වෙනුවෙන් වෙනම වැඩසටහනක්, සැළසුම් කර තිබෙනවා. වෙනම අරමුදලක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඊට අයත් වෙනවා. සියලුම දෙනා ඒ සඳහා එක් වනු ඇතැයි හිතන්න බැහැ. නමුත් යම් කණ්ඩායමක් ඊට එක් වෙයි. ඒ වගේම පෞද්ගලිකව ආයෝජන කරන විශ්‍රාම අරමුදල් වැඩසටහන් ද ආරම්භ කළ යුතුව තිබෙනවා. ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල වැඩි දෙනෙක් එවැනි විශ්‍රාම අරමුදල් මඟින් ජීවත් වෙනවා.
අපේ රටේ එවැන්නක් නැහැ. නමුත් ඉන්දියාවේ එය ආරම්භ කර තිබෙනවා. එසේ නම් අපිත් ඒ සඳහා යොමු විය යුතුයි.
එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාර්යවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, මංජුලා දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් විද්වත් හා ව්‍යාපාරික හමුවේ කැඳවුම්කරු එම්. බී. දිසානායක, ආචාර්ය චමින්ද මල්ලසේකර, පොල්ගහවෙල එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක ධම්මි රත්නායක, කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක නුවන් ලියනගේ යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, වෘත්තියවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.