Home » මන්නා පෙන්නා සුද්දෙ දාන තුන්දෙනා

මන්නා පෙන්නා සුද්දෙ දාන තුන්දෙනා

by sachintha
September 14, 2024 12:20 am 0 comment

මීගමුව, කටාන, කොච්චිකඩේ ප්‍රදේශවල කොල්ලකෑම් කිහිපයක්ම සිදු කරලා

මීගමුව කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු ඔත්තුවක්; වැටලීම සිදු කරන්නේ මීගමුව ඩී.සී.ඩී.බී ය

කොල්ලකෑ ආභරණ දේපළවලින් කොටසක් සොයා ගනී

කඩු පිහි මන්නාවලින් සන්නද්ධ වී කොල්ලකෑම් සිදු කරන කල්ලි කණ්ඩායම්වල අපරාධ චර්යා ද පොලිසිය විසින් හෙළිකර ගෙන ඇත. මෙලෙස තියුණු අවි ආයුධවලින් සන්නද්ධවී අපරාධ සිදු කරන අය ඒවා රැගෙන යන්නේ තමන්ට එල්ල වන ප්‍රතිප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහාය.

උදාහරණයක් ලෙස ගතහොත් කඩුවක් මන්නා පිහියක් වැනි තියුණු ආයුධයකින් සන්නද්ධව නිවසකට කඩා වදින අපරාධකාරයන් ඒවා එල්ලකර නිවෙස් හිමියාට තර්ජනය කරද්දී මේ තියුණු ආයුධයෙන් අපරාධකාරයෝ තමාට නිසැක ලෙසම අනතුරක් සිදු කරාවී යැයි සිතන නිවැසියා දිවි බේරා ගැනීම සඳහා තමන් සන්තකයේ තිබෙන සියලු දේ අපරාධකාරයාට දීමට මැලිකමක් දක්වන්නේ නැත.

එලෙසම අපරාධකාරයන් එවැනි තියුණු ආයුධවලින් සන්නද්ධවී නිවෙස් වෙත කඩා වැදී නිවැසියන් කපාකොටා ඝාතනයකර වටිනා බඩුමුට්ටු රැගෙන පලා යාමේ සිදුවීම් ගණනාවක් ද පොලිස් අපරාධ වාර්තාවල සඳහන්ව ඇති බව අසත්‍යයක් නොවේ.

එසේම තියුණු ආයුධවලින් සන්නද්ධව අපරාධ සිදු කරන කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන් ප්‍රතිප්‍රහාරවලින් අවසන් ගමන් ගිය අවස්ථාද ඇති බව රහසක් නොවේ.

කඩු මන්නා පිහි රැගෙන නිවැසියන් බිය ගන්වා මුදල් හදල් වටිනා බඩු මුට්ටු කොල්ලකන දකුණේ කල්ලියක සාමාජිකයන් දෙතුන් දෙනෙක් ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථානයකට කොටු වූයේද පසුගියදාය. එහි විශේෂත්වය වූයේ එම කල්ලියට නායකත්වය දී ඇත්තේ ද කාන්තාවන් දෙදෙනෙකු වීම නිසාය. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම්ද සිල්වා ඇතුළු කණ්ඩායමක් කොළඹ දිසාවේ ක්‍රියාත්මක වූ කඩු මන්නා පිහි මත්ද්‍රව්‍ය කල්ලියක් පසුගියදා කොටුකරගෙන තිබීම ද සුවිශේෂීය.

කඩු මන්නා පිහිවලින් සන්නද්ධව අපරාධ සිදු කරන සන්නද්ධ කල්ලි කණ්ඩායම්වල ‘චර්යා’ ගැන සොයා බලද්දී මේ අය සම්බන්ධ ආසන්නම සිදුවීම වාර්තා වූයේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙනි. ඒ මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්බල ප්‍රදේශ කීපයක අහිංසක ජනතාව බිය වද්දමින් ක්‍රියාත්මක වූ කඩු මන්නා පිහි කල්ලියක් කොටුකර ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි වීමත් සමඟය.

මීගමුව, කටාන, කොච්චිකඩේ ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් තියුණු ආයුධවලින් සන්නද්ධව නිවෙස්වලට කඩා වැදී ‘ආයුධ එල්ලකර’ නිවැසියන් ඝාතනය කරන බවට තර්ජනය කර නිවැසියන් සතු මිල මුදල් රන් ආභරණ කොල්ලකා පලා යන ‘තුන්දෙනාගේ කල්ලිය’ නමින් හඳුන්වන සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු අල්ලා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණේ පසුගියදාය.

මීගමුව, කටාන, කොච්චිකඩේ පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශවල නිලධරයන් මේ තුන්දෙනාගේ කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනවල නිරතව සිටියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ද මේ කල්ලිය ගැන සොයමින් සිටියේය. ඒ දුටු තැන ඔවුන් අල්ලා ගැනීම සඳහාය. මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් අනුව මේ විමර්ශන ක්‍රියාත්මක කැරිණි. මීගමුව කොට්ඨාස බුද්ධි අංශයද මේ ‘තුනේ කල්ලියේ‘ ක්‍රියාකාරකම් ගැන හොඳ සෙවිල්ලේ සිටියේ ඔවුන් යනඑන තැන් සහ ඇසුරු කරන අය පිළිබඳවද තමන්ගේ ඔත්තුකරුවන් මඟින් තොරතුරු දිගින් දිගටම ලබා ගනිමිනි. බුද්ධි අංශ නිලධරයෝ ඒ වනවිටත් මේ ‘තුනේ කල්ලිය‘ පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් සොයා ගෙන සිටි අතර මේ කල්ලිය අල්ලා ගැනීම සඳහා කල්යල් බලමින් සිටියේ හැකි ආසන්නතම අවස්ථාවක ඔවුන් කොටුකර ගැනීම සඳහාය.

‘තුනේ කල්ලිය’ ගැන ඉතා වැදගත් හෝඩුවාවක් පසුගිය දිනෙක හෙළිකර ගත් මිගමුව කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් එම තොරතුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහට ලබා දෙන්නේ ක්ෂණිකවය. මේ පිළිබඳව මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාද දැනුම්වත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ තම කණ්ඩායම සමඟ ‘තුනේ කල්ලිය’ අල්ලා ගැනීම සඳහා සැලසුම් සකස් කරන්නේ මීගමුව කොට්ඨාස බුද්ධි අංශයේ නිලධරයන්ගේද සහයා ඇතිවය. එම මෙහෙයුම ඉතාම සාර්ථක වන්නේ තුනේ කල්ලියේ සාමාජිකයන් කොට්ඨාස බුද්ධි අංශයේ නිලධරයන්ට කොටුවීමත් සමඟය. එතෙක් කල් මීගමුව, කටාන, කොච්චිකඩේ ප්‍රදේශවල සාමකාමී ජනතාව කඩු මන්නා පිහි එල්ලකර බිය ගැන්වූ තුන්දෙනාටම මාංචු වැටෙන්නේ එහිදීය.

සැකකරුවන් තිදෙනා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ගෙනැවිත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් තිදෙනා එක්ව සිදු කරන ලද කොල්ලකෑම් සියල්ලේම සුල මුල හෙළි විය. ‘තුනේ කල්ලිය’ විසින් මහජනතාවගෙන් කොල්ලකන ලද රන් ආභරණ ඇතුළු දේපළවලින් කොටසක් සොයා ගැනීමට ද පොලිස් නිලධාරීන්ට හැකි විය. කොල්ලකෑම් සඳහා මේ කල්ලිය උපයෝගී කරගත් කඩු, මන්නා, පොරෝ ඇතුළු තියුණු ආයුධ සහ ජංගම දුරකතන මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් සොයා ගනු ලැබිය.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් හතළිස් හැවිරිදිය. ඔහු පින්තාරුකරුවෙකි. පදිංචිය කටාන, කඳවල ශාන්ත ජෝශප් මාවතේය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු 27 හැවිරිදිය. ඔහු වෘත්තියෙන් රියැදුරෙකි. පදිංචිය කොච්චිකඩේ හේනමුල්ල ප්‍රදේශයේය. අනෙක් සැකකරු 19 හැවිරිදි අයෙකි. ඔහු කුලී වැඩවල නිරත වන අතර ඔහු කොච්චිකඩේ බටපත්වල පදිංචිකරුවෙකි.

මේ තිදෙනාගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මීගමුව ඩී.සී.ඩී.බී නිලධරයන් විසින් භාර දෙන්නේ කටාන පොලිසියටය. එහිදී තුනේ කල්ලියෙන් ප්‍රශ්න කරන කටාන පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීන් මේ තිදෙනා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළේ කටාන පොලිසියේ අපරාධ නඩු කටයුතු මෙහෙයවන උපපොලිස් පරීක්ෂක ප්‍රියන්ත ලාල් විසිනි.

මීගමුව කොට්ඨාස බාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ පොලිස් පරීක්ෂක පී.ආර්. සරත්, උප පොලිස් පරීක්ෂක සචිල මධුෂාන් සැරයන්වරුන් වන (268110) ප්‍රනාන්දු, (5775) විජේනායක, (48929) චන්දන, කොස්තාපල්වරුන් වන (37928) වන්නිනායක, (86500) සේනාධීර, (33113) සංජීව, (345531) බණ්ඩාර, (37927) දිසානායක සහ කොස්තාපල් රියැදුරු (14969) ජනක යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

ඡායාරූප – කොච්චිකඩේ ඩී. මිහිඳුකුල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division