කෙනෙකු තව කෙනෙකු හා විවාහ වන්නේ නැතිනම් සංසාරගත බැඳීමකට එක්වන්නේ එක වහලක් යට දිවි ගෙවමින් සැනසිල්ලේ මෙලොවෙන් නික්ම යෑමේ අටියෙනි. එහෙත් එලෙස විවාහ වූ සැමියා නිසා බිරියට තම දිවිය ඉතා අවාසනාවන්ත ලෙස කෙළවර කිරීමට සිදු වුවහොත් එය ඉතාම ඛේදනීය තත්ත්වයකි. පසුගිය දා හබරණ පොලිස් වසමෙන් වාර්තා වූ කාන්තාවක ඝාතනය සිය සැමියා විසින් බිරියට පහර දී සිදු කළ ඝාතනයක් බව හබරණ පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය විය.
දිවා ආහාර වේල ප්‍රමාද වූ නිසා කුපිත වූ සැමියකු තම බිරියට පොල්ලකින් පහර දී ඝාතනය කර සැඟව සිටියදී පැයක් ගතවෙන්නටත් ප්‍රථම අත්අඩංගුවට ගැනීමට හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය.
මෙසේ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇත්තේ හබරණ, පඩිකාරමඩුව, එප්පාවල, පළුගස්වැව ප්‍රදේශයේ පදිංචි මුදලි හාමිනේ අනුලාවතී නමැති 68 හැවිරිදි තිදරු මවකි.
හබරණ පොලිසියේදී හෙළි වූ අන්දමට මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
අනුලාවතීගේ වයස අවුරුදු 68 කි. පුරුෂයා නිමල්ය. අවුරුදු 40ක් පමණ කාලයක් නිමල් සමඟ දීග කෑවද එක දවසක් හෝ දෙදෙනා අතර සමගියක් තිබුණේ නැත.
අනුලාවතී දරුවන් තිදෙනෙකුගේ මවකි. ඔවුන් තිදෙනාම විවාහ වී සිටී. එක් අයෙක්ගේ පදිංචිය කැකිරාව ප්‍රදේශයේය. අනිත් දරුවා ගම්පහ ප්‍රදේශයෙන් විවාහ වී ඒ ප්‍රදේශයේම පදිංචිව සිටී. පළමුවැනි දරුවාද පදිංචිව සිටින්නේ මේ දෙපළ සමඟම මහ ගෙදරය. අනුලාවතී නිමල් සහ ඔවුන්ගේ දරුවන් ද එකම නිවසේ පදිංචි වී එකට ජීවත්වන කාලයේ මේ අඹුසැමියන් කුලී වැඩ කරමින් යමක් හරිහම්බ කරගෙන ජීවිතය ගත කළ ද බීමත්ව නිවසට එන නිමල් කුමක් හෝ දෙයක් අල්ලාගෙන අඬදබර කරන නිසා අනුලාවතී ජීවත් වූ කාලය තුළ ගත කළේ දුක්බර ජීවිතයකි.
අනුලාවතීට වැඩි කාලයක් ජීවත් වෙන්නට මාරයා ඉඩ දුන්නේ නැත. පසුගිය දිනෙක අනුලාවතී සිරිත් පරිදි නිවසේ රැඳී සිටින විට මාළු ඇල්ලීම සඳහා හබරණ, දිවුල්වැවට ගිය නිමල් නිවසට පැමිණියේ වෙනදා මෙන් කසිප්පු ටිකක් පානය කිරීමෙන් පසුව බව අනුලාවතීට වැටහිණි. නිවස තුළට පැමිණි නිමල් ‘දවල්ට බත් ඉව්වේ නැද්ද?‘ කියා අනුලාවතී සමඟ අඬදබර ඇතිකර ගත්තේය. මේ දෙදෙනාගේ අඩදබර අවට ගෙවල්වල සිටින අයට ද ඇසිණි. අනුලාවතීගේ නිවෙස දෙසින් කෑගසන ශබ්දයක් ඇසුණු අල්ලපු ගෙදර චාල්ස් සදෙව් ගිම්හාන් සහ ගඟන චන්දිමද එම නිවස දෙසට නෙත් යොමු කළහ. එබිකම් කළෝය.
“අල්ලපු ගෙදර ඇන්ටි ගේ ඇතුළෙන් එළියට දුවගෙන එනවා“ යැයි ඔවුහු එකිනෙකාට කියා ගන්නේ එවිටමය.
ඒ එක්කම ‘නිමල් අංකල්’ ද පොල්ලකින් අනුලාවතීට පහර දෙන අන්දම මේ දෙදෙනා බලා සිටින්නට ඇත්තේ බය බිරාන්තවය.
ගම්වැසියන් කෑ ගසන ශබ්දයක් ඇසී බලද්දී අනුලාවතී ලේ පෙරාගෙන මිදුලේ වැටී සිටියාය. පොලු පහර දුන් සැකකරු වන නිමල් ඉක්මනින් ඇඳුම් ද රැගෙන දිය නාන්නට ගියේ සිතක් පපුවක් නොමැති මනුෂ්‍යත්වයද නොමැති පුද්ගලයකු ලෙසිනි. පොලු පහරින් බරපතළ තුවාල ලබා මිදුලේ වැටී සිටි අනුලාවතී නිවසේ සිටි කතක් සමඟ ගම්වැසියන් ද එක් වී හබරණ රෝහලට ගෙන ගියද ඇයට තවදුරටත් ජීවත්වීමට මාරයා ඉඩ දුන්නේ නැත.
මේ ඝාතනය වූ අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවගේ නැන්දනිය අනුලාය. ඇය කියන්නේ මෙවැනි කතාවකි.
“මියගොස් සිටින්නේ මම විවාහ වී සිටින මහත්තයාගේ අම්මා”
“තාත්තා බීලා ආපු දවස්වල නිතරම ‘අම්මා’ සමඟ අඬදබර ඇති කර ගන්නවා. සිද්ධිය වූ දවසේ සවස 2.45 – 3.00 අතර කාලයේ මේ පහර දීම් කර තිබෙන්නේ. මමත් පුතාත් ඒ වෙලාවේ නිවස තුළ නිදාගෙන හිටියේ“ යැයි ඇය කීවාය.
මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අඹගහවත්ත විසින් පවත්වනු ලැබීය. මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වන හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු වන නිමල් කරුණාතිලක අනුලාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේදීම අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලේගේ අධීක්ෂණයෙන් හබරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර, උප පොලිස් පරීක්ෂක මද්දුම බණ්ඩාර, සැරයන්වරුන් වන (34183) දිසානායක, (47872) උපාලි, කොස්තාපල් (74195) දිල්රුක් යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ.
ඇළහැර සරත් වෙලගෙදර