Home » හොර පාරෙන් මෙරටට ගෙනා ලැප්ටොප් සහ අයි ෆෝන් කටුනායකදී ඇල්ලූ සී. අයි. ඩී. මෙහෙයුම

හොර පාරෙන් මෙරටට ගෙනා ලැප්ටොප් සහ අයි ෆෝන් කටුනායකදී ඇල්ලූ සී. අයි. ඩී. මෙහෙයුම

by thanushika
September 14, 2024 12:30 am 0 comment

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් නව ව්‍යාපාරික වෘත්තියක් ස්ථාපිත වෙමින් පවතී. එනම්, මෙරට පුරා විසිර පැතිර සිටින ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විදේශයන් වෙත ගොස් රැගෙන විත් දීම එම නව ‘වෘත්තීය’ වී තිබේ.

එහිදී භාණ්ඩවල වටිනාකම මත නොව භාණ්ඩ තොගය ගුවන් මඟින් ප්‍රවාහනය කර දීමට වැය වන කිලෝග්‍රෑමයක් සඳහා මුදල් අය කිරීම ඔවුන් විසින් සිදු කරගෙන යමින් පවතී.

නව ව්‍යාපාරිකයන් ලෙස හැඳින්වුවද ඔවුන් සත්‍ය වශයෙන්ම ‘ප්‍රවාහකයින්’ පිරිසකි. ඔවුන් ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ අවශ්‍යතා මත ඇණවුම් භාර ගෙන ඒවා එම ව්‍යාපාරිකයන් වෙත රැගෙන විත් දීම මොවුන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය වේ. මොවුන් ඕනෑම භාණ්ඩයක් රැගෙන විත් දීම සඳහා ඇණවුම් භාර ගනු ලබයි. ඒ සඳහා ඔවුන් ඩුබායි රාජ්‍යය බොහෝ විට තෝරා ගනු ලබන්නේ එහි මිල ගණන් සෙසු රටවල් හා සාපේක්ෂ වශයෙන් අවම වීම, ගුණාත්මකභාවයෙන් උසස් වීම, ප්‍රවාහනයට පහසු වීම යනාදී කරුණු මුල්කර ගනිමිනි.

මොවුන්ට මෙම එක් ගුවන් ගමන් වාරයකින් රුපියල් 25,000ක් වැනි මුදලක් ලාභය සේ උපයාගත හැකිය. ඒ අනුව ඔවුන් නිතර ගුවන් ගමන්වල නිරත වෙමින් මෙම භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව මෙන්ම වැඩි වාර ගණනාවක් සිදුකර වැඩි ලාභයක් ලබාගැනීමට යත්න දරමින් සිටිති.

මෙහිදී මෙම පුද්ගලයන් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” භාවිත කරමින් රැගෙන එන භාණ්ඩ සඳහා රේගු නිලධාරීන් වෙත තීරු බදු ගෙවීම ද මඟහැර යාමට පටන්ගෙන තිබේ.

එසේම ව්‍යාපාරිකයන්ට ද මොවුන්ගේ සේවය ලබාගැනීම නිසා ඔවුන්ට සිය කාලය, ධනය ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමි වී තිබේ.

ඒ ආකාරයට පසුගිය දිනෙක අලුයම කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 – 45ත් අතර වයසේ පසුවූ තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ එම නිලධරයන් මේ තිදෙනා ගැන සූක්ෂ­්මව කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

ඒ ඔවුන් රුපියල් කෝටියක් පමණ වටිනා ‘අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකතන 36ක් සහ ලැප්ටොප් පරිගණක 06ක් සිය ගමන් මලු තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් තීරු බදු නොගෙවා පිටකර ගෙන යාමට තැත් කරමින් සිටියදීය. අනතුරුව මේ තිදෙනා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය ආසන්නයේ මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රඳවා තබා ඇත්තේ මෙලෙස තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පැන යාමට තැත් කරන ගුවන් මගීන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහාය. මොවුන් තිදෙනා ඩුබායි සිට පසුගිය දිනෙක අලුයම 12.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයෙන් පැමිණ තිබුණි.

මේ තිදෙනාගේ හැසිරීම ඉතා හොඳින් නිරීක්ෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිසැකවම මොවුන් සන්තකයෙහි තීරු බදු නොගෙවා හොරෙන් ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට සූදානම් කළ භාණ්ඩ තොගයක් ඇති බව අත්දැකීමෙන් වටහාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකර ඔවුන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු විසින් පවත්වා තිබූ අතර, එහිදී මෙම ව්‍යාපාරිකයන් තිදෙනා විසින් නීති විරෝධී ලෙස රැගෙන ආ අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක තොගය රාජසන්තක කෙරිණි. මෙම ව්‍යාපාරිකයන් තිදෙනාට රුපියල් ලක්ෂ 16ක දඩ මුදලක් ගෙවීමටත් නියෝග කරන ලදි.

මෙම ව්‍යාපාරිකයන් තිදෙනා වෙනුවෙන් දඩ මුදල් ගෙවා දැමූ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් මොවුන් නිදහස් කරගෙන ගොස් තිබිණි.

කටුනායක - ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division