නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ලෝකයේ සිදු කරන ලද පළමු නියෝජිතයන් තේරීමේ අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ 1619 වසරේදී පැවැති වර්ජිනියා මැතිවරණයය. අමෙරිකානු යටත්විජිතයක් වූ වර්ජිනියා කොලනියේ නියෝජිතයන් තෝරා පත්කිරීම සඳහා පැවැති පළමු ප්‍රජාතන්ත්‍ර ක්‍රමවේදය වූ එතැන් සිට මේ තාක් ලෝකයේ සාර්ථකම මහජන නියෝජිතයන් තෝරා ගන්නා ක්‍රමවේදය වන්නේ ඡන්දයය.
2024 යනු එහි කූටප්‍රාප්තිය සලකුණ කරන්නකි. මේ වසරේදී ලොව පුරා බිලියන 3.7ක් වූ ඡන්දදායකයෝ ඡන්ද පොළට එන්නාහ. රටවල් හැත්තෑ දෙකකදී මේ ආකාරයට ඔවුහු ඡන්දය භාවිත කරන්නාහ. ශ්‍රී ලංකාවද මේ ගොනුවට අයත් වන්නේය. තව දින හයකින් පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳ කතාව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ දායාදයකි. රටේ අනාගත ඉරණමේ සන්ධිස්ථානයකි. මේ දෙයාකාරයම සිත්හි ධාරණය කරගෙන එළැඹෙන සෙනසුරාදා ඡන්ද පොළට යන ලෙස මේ රටේ ජනතාවට මතක් කර දිය යුතු වන්නේය.
ප්‍රජාතන්ත්‍රවාදයේදී පාලන බලතල සතු වන්නේ ජනතා පරමාධිපත්‍යය වෙතය. ජනතාව සතු එම බලතල ව්‍යවස්ථානුකුලව නියම කරන ආකාරයට, නියමිත කාලයකට, ඔවුනගේ නියෝජිතයන් වෙත පවරාදීම මැතිවරණ පැවැත්වීමේ අරමුණය.
එකී අරමුණ සහිතව පැවැත්වෙන මැතිවරණයකදී ජනතාව ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි රටක් ලෙස අපට ඉගැන්විය යුතු නැත්තේය.
1833න් පසුව ලක්දිව සිදු වූ සමාජ ආර්ථික පෙරළිකාර තත්ත්වය හේතුවෙන්, ස්වදේශික පිරිස් ඒ සඳහා අනුරූප ආණ්ඩුක්‍රම වෙනසක් ඉල්ලා සිටියේය. ආණ්ඩුකාර හෙන්රි මැකලම් මෙයට එකඟ නොවූයේය. උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් සලකා බලා මැකලම් ආණ්ඩුකාරයා සමඟ සාකච්ඡා කළ යටත්විජිත භාර ලේකම් කෲව් සාමිවරයා විසින් 1910 වසරේදී, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කළේය.
කෲව්-මැකලම් ප්‍රතිසංස්කරණයෙන්, ඡන්දය යන්න කුමක්දැයි, අපි දැන ගත්තෙමු. ඊට පෙර චිරාත් කාලයක පටන් මේ රටේ මිනිස්සු දැන සිටියේ ‘ඡන්දා දෝසා භයා මෝහා, යෝ ධම්මං අතිවත්තතී…” යන ධර්ම විග්‍රහයට අනුව සතර අගතීන් සඳහා අයත් වන ඡන්දය ගැනය.
කෲව්-මැකලම් යන දෙදෙනා අපට හිමි කර දුන්නේ, සීමිත ඡන්ද බලය යන්නය. එය ආකාර ගණනාවකින් සීමා විය. ඡන්ද දායකයා සඳහා සුදුසුකම් කිහිපයක් විය. උගත්, ධනවත් සහ වයස අවුරුදු 21ට වැඩි, පිරිමි යන පෙරහන ඒ සඳහා භාවිත කළේය. මේ ආකාරයෙන් පෙරා ගත් විට රටේ කාන්තාවෝ සියලු දෙනාම, වැඩේට නුසුදුස්සෝ වූහ. වයස 21 ට අඩු පිරිස ද පැත්තකය. ඔය කියන ආකාරයේ උගත්කමක් තිබුණේ රටෙන් අල්පයකටය. ඒ සියල්ල තිබුණත් ප්‍රමාණවත් නොවීය. රුපියල් 1500 ඉක්මවා යන වාර්ෂික ආදායමක් සහ වැටුපක් ද එම තැනැත්තා වෙත තිබිය යුත්තේය.
එහෙම කාලයක් ගත කළ අපට, සර්ව ජන ඡන්ද බලය ලැබුණේ 1931 වසරේය. 1931 ජූනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පැවැත්වුණු මැතිවරණයේදී, මේ රටේ වයස අවුරුදු 21ට වැඩි, ගැහැනු පිරිමි සියල්ලෝම ඡන්දය භාවිත කළහ. ඡන්දය පිළිබඳ අපේ අත්දැකීමට අවුරුදු අනූ තුනකි. පරම්පරා පහක් පුරා එය අඛණ්ඩව දිග හැරී ඇත්තේය. එහෙව් පරිණත ඡන්ද දායකයන් ලෙස, ඡන්දය භාවිත කළ යුත්තේ කෙසේදැයි ලෝකයාට කියා දීමේ ශක්‍යතාවක් අප සතු විය යුත්තේය.
අපට පසු ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද බලය ලැබුණු පිරිස් වෙතින් වැඩේ ඉගෙන ගන්නා තරමට ඒ පිළිබඳව අප මොට වී ඇති බව කිව හැක්කේය. ප්‍රතිපත්ති ප්‍රකාශය සහ රටේ ඉදිරි න්‍යාය පත්‍රය ගළපා, ජාතියේ අනාගතය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම අන් රටවල වැසියෝ ප්‍රිය කරන්නාහ. එහෙත් අපේ රටේ සිටිනා සමහරක් ඡන්දදායකයෝ, රැල්ල පස්සේ පන්නති. අද රැලි එන්නේ ජනතාව අතරින් නොව සමාජ මාධ්‍යයට මුදල් ගෙවා උඩුගත කරන දේ අනුවය.
මේ සියල්ල දෙස නොව ළඟ ළඟ සිදු වූ දෑ දෙස බලා, පළමු මිම්ම අපට ගත හැක්කේය.
අනික් අතට මේ රට දැන් ධාවනය කළ යුතු මං තීරුව සියල්ලෝ දනිති. ඒ සඳහා වූ ප්‍රතිපත්තියක් සහ ශක්‍යතාවක් සතුවන්නේ, කොයි අපේක්ෂකයාට ද යන්න තීරණය කිරීම අපහසුවක් නැත. කලාපයේ අනෙක් රටවල් දෙස බැලීම හෙවත් වටපිටාව අධ්‍යයනය කළ හැකිය. බංග්ලාදේශය දැන් පැය දහ නවයක් විදුලිය විසන්ධි වූ රටකි. එහි පාලනය ගෙන යන්නේ මාධ්‍ය දඩයම් කරමිනි. කඩයක් කඩාගෙන බඩු බෙදා ගන්නා හෙයින් ගනුදෙනු අඩුය. මූලික ජනතා අවශ්‍යතා සඳහා ඇති එකම මාර්ගය බලහත්කාරය පමණය. විදුලිය විසන්ධි කර ඇති හෙයින් ළගම ඇති විදුලි පොළ අසල ජනතාවෝ උද්ඝෝෂණය කරන්නාහ. බංග්ලාදේශයේ තත්ත්වය කුමක්දැයි නිශ්චිතව වාර්තා කිරීමට ලෝක මාධ්‍ය හෝ එරටට යන්නේ නැත. ඒ තරමට තත්ත්වය භයානකය.
මාලදිවයිනේ ණය සේවා කළමනාකරණ හැකියාව දියවෙමින් පවතින්නේය. මේ අනුව තව ටික දිනකින් එරටට, බංකොලොත් ලේබලය ඇලවෙනවා ඇත.
පාකිස්ථානය සිය ණය බරෙන් මිදීම සඳහා මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්නේය. ඒ සඳහා වූ කාර්යය මණ්ඩල එකඟතාවය ලැබුණේ මුත්, මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය සඳහා තවම පාකිස්තානය ස්ථානගතව නැත.
වත්මන් පාකිස්ථානයේ භාණ්ඩ සහ සේවා මිල සමස්තයක් ලෙස 30%කින් ඉහළ ගොස් තිබේ. නිදහස් පාකිස්ථානයේ ඉහළම උද්ධමනය වාර්තා වන්නේ මේ සමයේය. විදේශ ණය ගෙවීමට අපොහොසත් වීම මෙම ආර්ථික පසුබෑමේ ජයගත නොහැකි කඩ ඉම වී තිබේ. එරට රුපියල් බිලියන 80ක ණයක් සමග තරග වදින හෙයින් ඒ සඳහා වූ සහනයක් පතා මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වාගෙන යන්නේය.
මේ ආකාරයේ වටපිටාවක් අපට දැක ගැනීමට තිබේ. ඒ සිහිවටන සහිත අතීතයක්ද අප අත්දැක තිබේ.
ඒ සියල්ල පසු කර, වර්තමාන සුවපහසු ආස්ථානයක් කරා අප පැමිණ තිබේ.
දැන් අප සිටින්නේ සන්ධිස්ථානයකය. මෙතැන් සිට පල්ලම් බසිනවා ද ජයග්‍රහණයේ ඉම තෙක් දේශය ගෙන යනවාද යන්න, ලබන සෙනසුරාදා දිනය තීරණය කළ යුත්තේය. සර්ව ජන ඡන්ද අයිතිය යනු ඇඟිල්ලේ තීන්ත ගාගෙන ඇවිත්, වටේට පෙන්වා ගෙන යාමක් නොවේ. දේශයක වර්තමානය සහ අනාගතය වෙනුවෙන් ගන්නා තීන්දුවය. වසර අනූ තුනක ඡන්ද බලයේ අත්දැකීම, වසර දෙකහමාරකට පෙර ජිවත් වූ දේශය සිහිපත් කර ගැනීම සහ කලාපයේ අනික් රටවල් අද විඳින වේදනා, යන්න සම්මිශ්‍රණය කරගත් විට, සෙනසුරාදා තීන්දුව ගැනීමට පහසු වනු ඇත.