වතුසුදු මල් නිෙවසේ ඉදිරිපසම…
දොරකඩට මුහුණලා
හැඩ ගැන් වු මල් පෝච්චියක
හරි ආඩම්බර පාටට
දලු ලන ඕකිඩ් මල් පඳුර ………
අම්මගේ දෑතේ පහසින්
නිරතුරුවම සුව විඳිමින්
යන එන හැම නෙත් සිත් ගෙන
පිපි හිනැහෙන ඕකිඩ් මල් කිනිති …………
අතු ගෑ කුණු රොඩු දැවටුණ
අව්ව වැස්ස පිහිටට සිටි
මිදුලේ ඈතින්ම හැදුණ
සුදුම සුදු වතුසුදු මල් පඳුර ……
ළා කොළ පාටින් දිදුලන
අතු අග හරි හැඩට පිපුණ
සුදු සමනල රෑනක් වැනි
වතුසුදු මල් ගොන්න …….
අන්තිමේදි බුදුන් පුදන්න
අත්තම්මගේ ඇස් හෙවුවෙත්
වතුසුදු මල්ම තමයි …
තෙනුරි නවින්මා කීර්තිසේන
– උඩවල්පොළ
දෙටු සොයුර!
ඉටු මිතුර!
අනියත දිවිය තුළ නොවුණද පැවතීම
සුරැකෙනු නියත ඔබෙ නාමය හැමදාම
ඉවසුම් නොදෙන කරුණකි මෙම සමුදීම
මතකය පමණි අප හට ඇති සැනසීම
ඉතුරුම් හුරුව ජාතියටම පුහුණු කළ
බැංකුව රැකුණෙ යෙදුමෙනි ඔබ සියලු බල
කටුකය සටන මිහිරිය ඉන් ලැබුණු පල
“නැණදස්” ගුරුතුමෙකි අපේ ජීවිතය තුළ
බේත හේතෙ මිල නොලැබුණි නම් අපට
මිනී වළෙත් ගස් හැදිලයි මෙලහකට
“නැණදස” ‘යොදා සිදු කළ එම පින්කමට
හැම බත් කටක් ගානේ පින් දෙමි ඔබට
(ලංකා බැංකු සේවක සංගමයේ සහ NSB විශ්‍රාමික සංගමයේ හිටපු ලේකම්, කේ.එච්.ඥානදාස වෙනුවෙනි)
රත්නසිරි වලවෙගේ
ප්‍රේමය…..,
අහිමි වූ නිසාවෙන් මේ හැටිම
ළඟ රැඳෙන,
හිමිවුදා සිටම හෙමි හෙමින්
මියඇදෙන,
එකම විට අත් විඳින
අපූර්ව අරුමැසිය
ප්‍රේමයයි ඔබ,,,,,,,,
විශන්තිකා මල්ලිකාහේවා
– මොරටුව
එක්තරා නිමේෂයක
මහ සයුර නොදකින නිම්තෙර
තරමට මා හඳුනා නොගත් ඔබ
නොකියාම ගිහිල්ලා
ඈත දුරු කතරක
වැලේ – වැල් නැතිව හැඬුවා
වැලේ මල් පෙති තළා දැමුවා
සුළඟ වී මා සොයා ඒවිද
කලක් නිදි නැතිව බැලුවා
සඳක් වී යළි පොහෝදාවක
කන්ද මුදුනෙන් නැඟී ඒවිද
ගෙවුණ හැම දවසක්ම වාගේ
පැතුම් පමණක් ඉතිරි වී හිත
හදාගත් හිත යළි නොපාරා
මලානික ඇස් සිනා පුරවා
මැයි මල් ගස් යාය මැද්දෙන්
දුටිමි ඔබ පිය නඟා එනවා
කමලා ධර්මලතා ජයසූරිය – පරගස්තොට
යළි තොටුපළට
ගඟ අසබඩ කුඹුක් හෙවණදි නිදි වැරුව
අලස සිටිය වතුරට යන්නට බැරුව
කොළ රොඩු පිරී ලියවැල් මුළු ගත දැරුව
ඉසිඹුව මකා නැගිටිනු දිටියෙමි ඔරුව
කොලු රැළ ඇවිත් වෙනදා ගඟ මැදට ගොසින්
මා ගෙන ගියේ මාමට නොම දැනෙන ලෙසින්
ඇහුණොත් උගුර පාදන හඬ දෙවැට දෙසින්
සැඟවෙයි වදුළු යට නොපෙනෙන ලෙසට ඇසින්
වරකට දෙදෙනෙකුට ඉඩ ඇති පහසු ලෙස
වැඩිපුර නොනන්වයි නොබලයි මුදල දෙස
එගොඩහ, මෙගොඩහ ද පැදයන දියට බැස
ගම් වැසියාට පිහිටක් නැහැ ඔබම මිස
රාජ්‍ය කලා භූෂණ – බුළුතොට
පියසේන හේවගේ
ගී සඳ මැකුණේය
සේසත යට ගී කෙත තුළ
සාහිත රස උපද්දවූ
ලාලිත හඬ සත්සර මුසු
ආදර මිනිසෙකු පෙරදා
ගී ස්වර හැර නික්මුණේය
අසාර වූ බව කතරින්
අළු යට නිනි හා රස්නා
අපි කවුරුද සැනසිල්ලේ
ගැයු ගීත සමුච්චයේ
ප්‍රතිභා පිරි ශිල්පියෙකුගෙ
හඬ පෞරුෂය කැටිවුණේය
නමට වඩා වැඩිය හඬින්
රට හදුනන සුලවතෙකියැ
ගී මල් පුබුදවූ දැයේ
නොමියෙන මතකයෙන් සදා
බාල තරුණ මහලු සැවොම
එක පොදියට රස ව්න්දේ
කාටත් කොයි සැණෙකින් හෝ
ස්වරයේ රස විඳගත හැකි
හඬින් ගීත ගැයූ නිසයි
හැට හය වසරෙකිය සිටියෙ
ඉන් අඩකියැ ගීත ගැයුවෙ
බටගොඩ සේනක මිතුසඳ
ගියේ කිමැයි නොඑන ගමන්
කිසිවෙකු නොසිතූ මොහොතක
ඉදින් ඔබට ඉඩ සලසමි
ඔබේ පැතුම් මල් පිපෙනා
ලොවක යළින් ඉපදෙන්නට
කිවිපති – ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි