රනිල් වික්‍රමසිංහයන් විසින් රචිත “දේශපාලනය සහ ධර්මය” යන වටිනා කෘතිය මට අහම්බෙන් ලැබුණේ කෑගලු ප්‍රදේශයේ වන-සෙනසුකිනි. ඊට කලින්, රනිල්-මෛත්‍රී යුවළ එක්ව, ධම්මපදයේ බුද්ධ වග්ගයේ 158 වැනි ගාථාව භාෂා හතරේන්ම සඳහන් කොට, එම අරණටම යවා තිබූ වෙසක් පතේ එම ගාථාවේ සිංහල අනුවාදය වශයෙන් මෙසේ සඳහන් කර තිබුණි.
“අනුන්ව හෙළා තළා කතා නොකළ යුතුය. අනුන්ට හිංසා නොකළ යුතුය. ප්රාතිමෝක්ෂ සංවරයෙහි පිහිටිය යුතුය. ආහාරයෙහි පමණ දත යුතුය, විවේක සේනාසනයෙහි ඇලුම් කළ යුතුය. සමවත් වැඩිය යුතුය; යනු සියලු බුදුවරුන් ගේ අනුශාසනයයි.”
එය දුටු මා සිතුවේ සියල්ල හැර දමා සෙනසුන්ගතව බවුන් වඩන හිමිවරුන් දිරිගැන්වීමට රාජ්‍ය නායකයකුට මීට වඩා උචිත බුදුවදනක් සොයාගත හැකිද යන්නයි.
එබැවින් මේ පොතේ අන්තර්ගතය කුමක් විය හැකිදැයි මට මහත් කුතූහලයක් ඇති විය. කෙසේවතුදු, 2024 ජූනි මස නැවත පළකොට ඇති “දේශපාලනය සහ ධර්මය” කුඩා පොත් පිංච එම දුර බැහැර පිහිටි ආරණ්‍යයට ලැබුණු එකම පිටපත නිසාත්, මිලදී ගත නොහැකි නිසාත් මට එය කියැවීමට ලැබුණේ තවත් සති කිහිපයකට පසුවයි.
මුල් පෙළෙහි සුත්‍ර සිසාරා ගැඹුරින් අධ්‍යයනය කොට, පරිස්සමින් තෝරාගත් උචිත බුදු වදන් නිදසුන් ලෙස ඉදිරිපත් කරමින්, කතුවරයා සිය මතය තහවුරු කොට ඇති ආකාරය සුවිශේෂය.
පළමු පරිච්ජේදයෙහි “ශ්‍රේෂ්ඨතම විප්ලවවාදීයා බුදුන් වහන්සේය” යන්න ස්ථාපිත කිරීමට, ලෝක ඉතිහාසය පිළිබඳ කතුවරයා සතු පුළුල් දැනුම උපයෝගී කරගනියි. ප්‍රචණ්ඩත්වයෙන් නොව, ඉවසීම, කරුණාව, වීර්යය සහ සංයමය ඇත්තාට අභියෝග ජයගත හැකි ය යන බුද්ධ භාෂිතයට අනුකූලව කටයුතු කළ ගාන්ධි සහ ඊට පටහැනි වූවකු ලෙස හිට්ලර්ගේ ක්‍රියාකලාප විශ්ලේෂීව සලකා බලයි.
“බෝ රුක මුලින් ඇරඹුණු නවීකරණය” මැයෙන් ඉදිරිපත් කොට ඇති දෙවැනි පරිච්ජේදය අතිවිශේෂ වන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් මධ්‍යම ප්‍රතිපදාව අතිශය මනෝඥ ආකාරයකට ඉදිරිපත් කිරීම නිසා පමණක් නොවේ. සත්ත කම්ම, අග්ගඥ්ඥ, කූටදත්ත වැනි සූත්‍ර අනුසාරයෙන්, කතුවරයා සිය ප්‍රතිභාව විදහා දක්වමින්, බුදු රදුන් රාජ්‍යකරණය හා පරිසර දුෂණයෙන් තොරව සාමකාමි සහ සමෘද්ධිමත් රටක් පවත්වන්නේ කෙසේදැයි පෙන්වා දී ඇති බව මැනවින් තහවුරු කරන බැවිනි.
“කිසිවක් ආරංචි මාත්‍රයෙන් නොගන්න. පරම්පරා කතාවෙනුත් නොගන්න. මෙය මෙසේ යැයි කියාත් නොගන්න. අපගේ පෙළ හා සැසඳෙයි කියාත් නොගන්න. තර්ක ග්රාහයෙනුත් නොගන්න. න්‍යාය ග්රාහයෙනුත් නොගන්න. මේ කාරණය සුන්දර යැයි නොගන්න. අප සිත පිළිගත් දෘෂ්ටිය හා සැසඳෙතැයි කියාත් නොගන්න. මොහු පුජ්‍ය පුද්ගලයකු කියාත් නොගන්න. මේ අපගේ ගුරුතුමා ය කියාත් නොගන්න. වරද නිවරද සත්‍ය අසත්‍ය තමන්ම අවබෝධ කොටගෙන එය පිළිගන්න.”
26 පිටුව
භීෂණ සමයේ විශ්වවිද්‍යාල හරිහැටි නොපැවැත්වුණු බැවින් පළමු වසරට කණ්ඩායම් දෙක බැඟින් ඇතුළත් කරගැනීම අරඹා, 1996දී ද කණ්ඩායම් දෙකක් ඇතුළු කළ අවස්ථාවේ කාලාම සූත්‍රය අඩංගු පත්‍රිකාවක් සකසා සෑම සිසුවකුටම ලබා දී උපක්‍රමශීලිව, එම ශාලාව තුළදීම එය කියවන්නට සලස්වා ප්‍රශ්න අසනු මට අද මෙන් මතකය. ඉන් අනතුරුවත් නවකයන්ට පමණක් නොව දෙටු සිසුන්ට පවා බොහෝ අවස්ථාවල කාලාම සූත්‍රය අඩංගු පත්‍රිකාව බෙදා, විමසුමට ලක් කළ බැවින් වික්‍රමසිංහ මහතා එය සාවධානව කියවිය යුත්තක් බව පවසන්නට හේතු ගණනාවක් ඇති බව දනිමි.
යම් අදහසක් පිළිගැනීම කළ යුත්තේ කෙසේදැයි බුදුන්වහන්සේ කාලාම සූත්‍රයේ පවසන්නේ සාමාන්‍යයෙන් සමාජය අදහස්, තොරතුරු පිළිගන්නා දස ආකාරයක් ප්‍රතික්ෂේප කළ යුතු බව පෙන්වා දීමෙන් අනතුරුවය. එබැවින් ඉහත උදෘතයේ අවසන් වාක්‍ය කොතරම් වැදගත්දැයි විමසිලිව බලන්නකුට පැහැදිලිය. එසේ වුවත් බොහෝ විද්වතුන් මෙය ප්‍රකාශ කරන්නේ සාවද්යවය. වැඩිදුර නොගොස් අප අවධානයට යොමු කරන මේ කෘතියට පෙරවදනක් සපයමින් මහ තෙර නමක් vii පිටුවේ කාලාම සූත්‍රයේ මේ තීරණාත්මක වැකිය “තමන්ගේ බුද්ධියෙන් විමසා බලා සත්‍ය යැයි තමන්ට වැටහෙතොත් පමණක් පිළිගත යුතු යැයි කාලාම සූත්‍රයේ උගන්වා ඇත” යනුවෙන් අර්ථ නිරූපණය කොට ඇති හැටි විමසිලිවත්ව බලන්න.
උන්වහන්සේ පමණක් නොව, බොහෝ දෙනා පිළිගත් බුද්ධිමතකුව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා මෙම සූත්‍රය නිරන්තරයෙන් ගෙනහැර දැක්වූ නමුත් මෙම අතිශය වැදගත් අවසන් වැකිය අර්ථ නිරූපණය කළේ සාවද්යවය. එසේවතුදු වික්‍රමසිංහ මහතා ඉතා සරලවත්, සුගමවත්, නිරවද්යවත් එය ප්‍රකාශ කොට ඇති සැටි සැබවින්ම ප්‍රශංසනීයය.
ඒ ප්‍රවේශම් සහගත බව මේ කෘතිය පුරාම දැකිය හැකිය.
වෙසෙසින්ම, “අනුන් කියන නිසා (ආරංචි මාත්‍රයෙන්) නොපිළිගන්නා ලෙස” බුදුන් වහන්සේ පළමුවෙන්ම පවසා ඇතත් අති බහුතරය එම අවවාදය අනුගමනය නොකොට, කට කතා හා බොරු ප්‍රචාර විශ්වාස කිරිම නිසා ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ බරපතළම වින්දිතයා බවට කතුවරයා පත්වීම මෙහිදී සිහිපත් කරනු වටී. ධර්මදීපයක් යැයි කියා ගන්නා මේ දේශයේ ධර්මය අසා, දරා, ඒ අනුව හැසිරෙන්නන් බහුල නම් අපි කොතරම් වාසනාවත් ද?
සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමඟ අද ලොව පුරාම පාහේ වැලඳගෙන ඇති පුද්ගලවාදය ප්‍රථම වරට අනුදැන වදාළේ බුදුරදුන් මිස බටහිර නොවන බව ධම්මපදය සහ ව්‍යග්ගපජ්ජ සූත්‍රය උපයෝගී කරගෙන දක්ෂ ලෙස පෙන්වා දෙයි. රට සමස්තයක් ලෙස සමෘද්ධිමත් කිරීමට මෙතරම් සාර්ථක ආර්ථික ක්‍රමයක් මෙන්ම සශ්‍රීක පොළොවක්, පිරුණු භාණ්ඩාගාරයක් සහ වටිනා මානව සම්පතක් අප සතුව තිබියදී විදේශයන්හි බිහි වුණු අදූරදර්ශි දේශපාලන දර්ශන කරපින්නාගෙන අවාසනාවන්ත ලෙස තරුණයන් නොමඟ යැවීම හේතුවෙන් රටට වූ ව්‍යසනය කෙතෙක්ද? එහි අනිසි ඵල අද දක්වාත් අප සියල්ලන්ම භුක්ති නොවිඳිමුද?
අශෝක රජුගේ ධර්ම ප්රචාරක කටයුතු මඟින්, බුදුන්වහන්සේ අනුදැන වදාළ අයුරින් ක්‍රියාත්මක වීමෙන් ආසියාතික රටවල් ගණනාවක පමණක් නොව ග්‍රීසියෙහි පවා ඉමහත් ප්‍රගතියත් සිදු වූ බවත්, මහින්දාගමනයෙන් ඇරඹුණු ථෙරවාදී සම්ප්රදාය හේතු කොටගෙන ලාංකේය සමාජයේ ඇති වූ ප්‍රගතියත්, අද බටහිර පිළිපදින ලිබරල් ප්රජාතන්ත්රවාදී වටිනාකම්වල මූලාරම්භය බටහිර නොවන බවත්, ලොව ප්‍රථම ලිබරල්වාදී පාලන තන්ත්රය අශෝක රජු යටතේ ක්‍රියාත්මක වූ බවත් පෙන්වා දෙයි.
බුදු දහමෙහි හරය දෙසට යොමු වෙමින් කතුවරයා පවසන්නේ බෞද්ධ සංකල්ප කවරදාටත් වඩා අදට වලංගු බවය.
” අද ක්ෂණ භංගුරතාව හෙවත් සියල්ල මොහොතින් වෙනස්වන, නැසෙනසුළු බව වෙන කවරදාටත් වඩා දැනෙමින් තිබේ යැයි මට සිතේ.
“මේ ලිපිය කියවන ඔබ අත පවතින ජංගම දුරකතනයේ ඇති පහසුකම් ඔබ එය මිලදී ගෙන සාප්පුවෙන් එළියට එන නිමේෂයට වෙනස් වී තිබීම යථාර්ථයයි. එබැවින් එය පරණ වැඩි යැයි සිතා යළි සාප්පුවට ගොස් අලුත් කරගෙන එළියට එන මොහොත වනවිට එය තවදුරටත් වෙනස්වී තිබේ. වෙනස්වීම ලොව පිළිගත් ධර්මතාවක් බවට පත් වී තිබේ. කැම බීම, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, සිතුම් පැතුම් සියල්ල ඉක්මනින් වෙනස් වන බව කවුරුත් දනිති. අදහති. ථේරවාද බුදු දහමෙහි හරය මෙය නොවේ ද? අනිත්‍යතාව යනු මෙය නොවේද?” 32/33 පිටු
පෙර’පර දෙදිග ඉතිහාසයන් සහ දර්ශනවාදයන් සිසාරා මැනවින් කිමිඳ, තුලනාත්මක අධ්‍යයනයකින් බුදුරදුන්ගේ ප්‍රඥා මහිමය සහ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලීමට කතුවරයා ගෙන ඇති ප්රයත්නය ඉතා සාර්ථකවී ඇත. බුදුන්ගේ මඟ පෙන්වීම අනුව ඇරඹි මානව අයිතීන්ගේ සුරක්ෂිත බව, සමාජ විප්ලවය, ආර්ථික සංවර්ධනය, අවිහිංසාවාදය සහ පරිසරහිතකාමීත්වය පමණක් නොව කරුණාව සහ දයාව පෙරදැරි කොටගත් සංවරශීලි බව ද අගයන සංකල්ප ප්‍රවේශමෙන් සහ අවස්ථාවෝචිතව තෝරාගත් සූත්‍ර උදාහරණ ලෙස දක්වමින් පැහැදිලි කොට ඇති සැටි කදිමය. භාරතයෙන් ඇරඹි මේ ඓතිහාසික චින්තන විප්ලවය අශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරය ඔස්සේ ලක්බිමට සහ ආසියාතික රටවල් කිහිපයකට පමණක් නොව ග්‍රීසියට පවා සම්ප්‍රාප්ත වූ අයුරුත්, ඒ වනවිට පැවති පසුබිමට ගැළපීම හේතුවෙන් ඔවුන් ඒවා වැලඳගත් අයුරුත් පෙන්වා දෙයි.
අවසානයට ඇති “දේශපාලනය සහ ධර්මය” පරිච්ජේදය විසිවැනි සියවසේ මුල් භාගය වනවිට ඇතිවෙමින් පැවති ආගමික පුනරුදයෙන් අරඹා, නිදහස ලැබීමෙන් පසු සිදු වූ දේශපාලන පෙරළි, දේශපාලන වාසි ලබා ගැනීමට සමහර පක්ෂ, විනය නීතිවලට පටහැනිව භික්ෂූන් තම දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර ගත් ආකාරය සිය සජීවී අත්දැකීම් අනුසාරයෙන්, කිසිවකුගේ සිත් අමනාප නොවන පරිදි කවදත් සුපුරුදු පිළිවෙත අනුගමනය කරමින්, මනා අවබෝධයකින් යුතුව කතුවරයා විශ්ලේෂණය කරයි.
මෙරට බෞද්ධ පුනර්ජීවය සිදු වූයේ ලෝක කාර්මික විප්ලවයට සමගාමීව බැවිනුත්, වැඩවසම් යුගයේ බිඳවැටීමත් සමඟ නව වාණිජ ආර්ථිකයක් බිහිවීම හේතුවෙනුත් බුද්ධ කාලයට වෙනස් වටපිටාවක් නිර්මාණය වීම බුදු සසුනට බලපෑ අයුරුත් සංවේදීව අවධානයට ලක්කර ඇත. නේවාසික විශ්වවිද්‍යාලයක් වූ ලංකා විශ්වවිද්‍යාලයේ භික්ෂුන් ද නේවාසිකව වැඩ වෙසෙමින් අධ්‍යාපනය ලැබිය යුතු යැයි තීරණය වූ විට, පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් නේවාසිකාගාරයක් ගොඩනඟා දීම අගය කළ යුතුය.
පසුගිය වකවානුවේ දේශපාලන ක්ෂේත්රයේ කැපී පෙනෙන කණ්ඩායමක් වූ භික්ෂූන් දේශපාලනයට ප්‍රවිෂ්ට වීමේදී ඇතිවූ මතභේදාත්මක පසුබිම සජීවී ලෙස විස්තර කොට ඇත.
‘සිංහල බෞද්ධ විරෝධී ලේබලය ඇලවීම’ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ උපාය මාර්ගය ලෙස හඳුනා ගත් භික්ෂු පෙරමුණ මාක්ස්වාදය බුදුදහමට එකඟ බව හුවා දක්වමින් යළි යළිත් කරළියට පැමිණි සැටි වික්‍රමසිංහයන් තවදුරටත් පහදා දෙන්නේ ඉමහත් සංයමයකිනි. මෙම ක්‍රියාවලිය ඔහුගේ දේශපාලන ජීවිතයටත්, රටටත් කොතරම් ව්‍යසනයක් කළේ ද යන්න දන්නා අතළොස්ස, කතුවරයාගේ උපේක්ෂා සහගත පිළිවෙතින් මවිත වනු නිසැකය.
තුන් හවුල් රජය මඟින් ජනසතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් සතුව තිබූ ව්‍යාපාර සියල්ලම පාහේ රජයට පවරා ගත් බවත්, බෞද්ධ විහාරස්ථානවලට සිය ධනය පරිත්‍යාග කරමින් සිටි ව්‍යාපාරිකයන්ගේ ආර්ථික බලය බිඳ වැටුණු බවත් පෙන්වා දෙන කතුවරයා, විහාරස්ථානවලට ආධාර කිරීම සඳහා මැදිහත් වීමට 1977දී රජයට සිදුවූ බව පෙන්වා දෙයි.
ලංකාවේ මාක්ස්වාදය අත්හදා බැලීමට කළ වෑයම අසර්ථක වූ බව 1977දී ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරින් පැහැදිලි වේ.
මේ යුගය ගැන පුළුල් පිළිගැනීමක් ඇති මත දෙකක් වශයෙන්, ෆ්‍රැන්සිස් ෆුකයාමාගේ ‘ඉතිහාසයේ අවසානය’ යන කෘතියෙන් ඉදිරිපත් කරන අදහසුත්, සැමුවෙල් හන්ග්ටින්ටන්ගේ මතෙයනුත් කතුවරයා පෙන්වා දෙයි.
වාණිජ්ජා සූත්‍රය, අනන සූත්‍රය, මහා චත්තාරීසක සූත්‍රය, කාලාම සූත්‍රය වැනි සූත්‍ර ගණනාවක් සහ අංගුත්තර නිකායේ පුද්ගල වර්ගය, ධම්ම පදය යනාදිය ගෙනහැරපාමින්, අද ලෝකය වැලඳ ගන්නා නවීකරණය, ආර්ථික ප්‍රතිපත්ති, නිදහස් චින්තනය, සත්ත්ව අයිතිවාසිකම් ද ඇතුළුව නිතරම කන වැකෙන පරිසර හිතකාමීත්වය ලොවට ප්‍රථමයෙන්ම හඳුන්වා දුන්නේ බුදු හිමියන් බව අතිශය ප්රශස්ත අයුරින් පෙන්වා දෙයි.
අද ලොව පවතින ආර්ථික හා තාක්ෂණික දියුණුව මිනිසාගේ ලෞකික අංශයේ විශාල ජයග්‍රහණයක් වුව ද, එම තාක්ෂණයම ලෝකය විනාශ කිරීම උදෙසා ද භාවිත කළ හැකි බැවින්, මනස දියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.
අවසන් වශයෙන් කතුවරයා පවසන්නේ පුද්ගලයාගේ මනස සැකසීම රජය නොව ආගම ධර්මය මැදිහත්ව කළ යුත්තක් බවත්, එය පියවර දෙකකින් යුතු බවත්ය.
“පළමුවැන්න: ස්වකීය අභ්‍යන්තරය දෙස නෙත් යොමා බලා තම ප්රතිපත්තිවල පාරිශුද්ධභාවය ඇතිකර ගැනීමය. දෙවැන්න: එහි අධ්‍යාත්මිකභාවය පතුරුවා හැරීමය.”
78 පිටුව
පොත කියවීමෙන් අනතුරුව කතුවරයාගේ පරිණත ධර්ම ඥානය පිළිබඳ මවිතයට පත්වූ බැවින්, පොත ගැන තොරතුරු දැනගැනීමට අන්තර්ජාලය පිරික්සීමේදී, පොතේ දෙවැනි සංස්කරණයේ එළි දැක්වීම, 2005 ඔක්තෝබරයේ සිදුව ඇති බව දැනගත් පසුව මා සිතුවේ, මිට විසිපස් වසරකටත් පෙර, රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැතිව ද සිටි අවදියේදී ලියා ඇති මෙතරම් වටිනා කෘතියකට ලැබිය යුතුව තිබූ ඇගයීම සහ ප්‍රචාරය නොලැබුණේ මන්ද යන්නයි.
අදත් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන්නේ එම පිළිවෙතම නොවේද?
සේවාර්ජිත මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්