Home » මම පටන් ගත්තේ‍ අම්මගෙ බිස්නස් එකේ පුහුණුවන කළමනාකරුවෙක් විදියට

මම පටන් ගත්තේ‍ අම්මගෙ බිස්නස් එකේ පුහුණුවන කළමනාකරුවෙක් විදියට

ශලින් බාලසූරිය - අධ්‍යක්ෂ/ සම නිර්මාතෘ Spa Ceylon

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

ජැනට් ගේ බාල පුතා යැයි කියනවාටත් වඩා රටක් ලෝකයක් ඔහු හඳුනන්නේ ‘ස්පා සිලෝන්’ සන්නාමයත් සමඟ ය. මිනිස් සිත සුවපත් කිරීමෙහි ලා අපේ ආයුර්වේදයට, සංස්කෘතියට, පැරැණි මල් වැලකට ලියවැලකට සොඳුරු වර්ණාවලියකට ඇති විස්මකර්ම හැකියාව ඔහු හඳුනා ගත්තේ ය. ඉනික්බිති පොඩි අයියා වූ ශෙවන්ත සමඟ ‘ස්පා සිලෝන්’ බ්‍රෑන්ඩ් එකක් බවට පත් කළේ මේ සියල්ල උපරිම ලෙස උකහා ගෙන ය.

ශලින් බාලසූරිය කියැවීම වටින්නේ ඔහු සතු මේ වෙනස් දැක්ම නිසාම ය.

කවුද මේ ශලින් බාලසූරිය…

ව්‍යවසායකයෙක්. නවෝත්පාදන ගැන දැඩි උනන්දුවක් ඇති කෙනෙක්. මේ මහපොළොවේ පැළවෙන දලුලන බෙහෙත් ඖෂධ පැළෑටිවලට බොහොම ආදරේ කරන කෙනෙක්. ඔය සේරටම වඩා අන්තිමේ කවුරුහරි කිව්වොත් එයා හොඳ මිනිහෙක් කියලා ඒ දේ අහන්න කැමැති කෙනෙක්.

Spa Ceylon කියන්නේ ඔබේ බිස්නස් එක…

ඔව් අපේ බිස්නස් එක. හැබැයි Spa Ceylon කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. රටවල් 30කට වැඩි ප්‍රමාණයක ප්‍රදර්ශනාගාර 142කට වැඩිය තිබෙන, මේ ලෝකේ ජයගන්න හදපු ලොකු බ්‍රෑන්ඩ් එකක්. වැදගත්ම දේ එහි හැම අංශුවක් ම ගොඩනැඟී තිබෙන්නේ අපේ රටේ දේවලින්.

අපේ දේවලට ඔය කියන තරම් විදේශිකයෝ ආදරේ ද…

අලුත් දේවල් හොයන ලෝකෙක ලංකාව කියන කුඩා දූපත තවම හරියට ඉස්මතු වෙලා නැහැ. අපිට ආවේණික අත්කම්, අපේ චිත්‍ර අපේ සංස්කෘතිය අපේ ඉතිහාසය තුළ තිබෙන හැම වටිනාකමකම කුමක් හෝ පැත්තක් ස්පා සිලෝන් බ්‍රෑන්ඩ්ස් සමඟ ලෝකෙට යනවා. ඉස්මතු වෙනවා.

අපේ ආර්ට්, අපේ ක්‍රාෆ්ට් විතරක් නෙවෙයි, අපේ ඉතිහාසයේ සංස්කෘතියේ චමත්කාරය සමහර විට පළමු වතාවට ලෝකෙ දකින්නෙත් ස්පා සිලෝන් නිෂ්පාදනවලින්. පළමු වතාවට දකින කෙනෙක් මුලින්ම දක්න්නේ ඒ ඇසුරුම්වලින්. ඊළඟට ඒ ස්පා සිලෝන් නිපැයුම්වලට මුසු වී තිබෙන සුවඳින් සහ දැනෙන ගුණයෙන් ඒවා අත්විඳිනවා. ඔවුන්ට ඒවා අලුත් දේ. කොටින්ම අපේ සම්ප්‍රදායයි මේ හැම ස්පා සිලෝන් නිෂ්පාදනයක් තුළ ම කැටිකොට තිබෙන්නේ. ලෝකේ හොඳම කොස්මැටික්ස් නිපදවන ප්‍රංශයේ නිපැයුම් එක්ක බලද්දී අපි මොන තරම් පුංචි බිස්නස් එකක් ද. අපේ තරගය තිබෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි. වටිනාකම් එක්ක.

ජාත්‍යන්තරයට යනවා කියන්නේ කොයිතරම් අමාරු දෙයක්ද…

ගමේ විකුණපු මනුස්සයා නගරෙට ඇවිත්, නගරේ මනුස්සයා පිටරටට ගිහින්, පිටරටින් තව තවත් රටවලට ගිහින් ජාත්‍යන්තරයට යන ගමනේ යතුර තමයි තමන්ගේ පාරිභෝගිකයා. ඒ පාරිභෝගිකයාව හඳුනා ගැනීම අංක එක. මොකද අපි මේ භාණ්ඩ හා සේවා හදන්නේ අපේ ‘ආතල් එකට’ හෝ අපේ විඳීමට නෙවෙයි. වෙන කෙනෙකුගේ ‘ආතල්’ එකට. කොටින්ම වෙන කෙනෙකුට යම්කිසි තෘප්තියක් ලබා දෙන්න. ඒ නිසා ඕනෑම මාකට් එකකට යන්න කලින් ඒ මාකට් එකේ පාරිභෝගිකයා හොඳින් හඳුනා ගන්න. අධ්‍යයනය කරන්න. ඒ පාරිභෝගිකයාගේ ජීවිතයට යමක් එකතු කරන්නේ කොහොමද… ඔහු තෘප්තිමත් කරන්නේ කොහොමද… කියන වැඩේ තමයි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ජාත්‍යන්තරයට යන එක කොයිතරම් අමාරු වුණත් මේ දේ හරියට කරනවා නම් මඟක් පෑදෙනවා

ස්පා සිලොන් කොහොමද මේ දේ කළේ….

ලංකාවේ ආයුර්වේදය සංස්කෘතිය සහ මේ පොළොවේ වැවෙන ඖෂධ අපි ලෝකෙට අරන් යන්නේ ඒ වටිනාකම් මුසු කළ Skin Care, Body Care, Hair Care, Fragrances සහ Lotion විදියට. ඒ විතරක් නෙවෙයි, මේ ආලේපන සහ සුවඳ විලවුන්වලට අමතරව මේ රටේ පැරැණි දේශීය මල් ලියකම්වලින් හැඩ වූ සෙරමික් පිඟන් කෝප්ප සහ ‘බැම්බු මග්’ අපි නිෂ්පාදනය කරනවා. ඒ සියල්ලම හැඩවෙලා තියෙන්නේ පලා පෙත්තෙන්. නෙලුම් පෙති මෝස්තරයෙන්. නැත්නම් අන්නාසි මලෙන්. ඉස්සර චිත්‍ර පාඩමට ඉගෙන ගත්තු, මේවා අපිට මොනවට ප්‍රයෝජන වේවිද කියලා හිතුවේවත් නැති හුඟක් චිත්‍ර මෝස්තර අපි දැන් හැබෑවටම පාවිච්චි කරනවා. අපේ මේ බිස්නස් එක රැඳී පවතින්නේ දේශීය දේ සහ එහි වටිනාකම් තව තවත් සොයා යන ගමන එක්කයි.

ශලින්, අයියා සහ අම්මා සමඟ

ශලින්, අයියා සහ අම්මා සමඟ

අපි නොදැකපු නොඇසූ ඉතිහාසය සමඟ මේ මහ පොළොවේ වැළලිලා ගිය හුඟක් දේ අපිට යළි ඉගෙන ගන්න ලැබුණු ව්‍යාපාරයක් බවට ස්පා සිලෝන් පත්වෙමින් තිබෙනවා.

හුඟක් අය හිතන්නේ මේ ඔබට අම්මාගෙන් ලැබුණු බිස්නස් එක කියලා…

වැරැදියි. අම්මා ජීවතුන් අතර ඉඳිද්දී අම්මගේ ජැනට් නිෂ්පාදන අතිශය ජනප්‍රිය වෙලා තිබියදී තමයි ස්පා සිලෝන් බ්‍රෑන්ඩ් එක අපි හඳුන්වා දෙන්නේ. ඒක අයියටයි මටයි තිබුණු මහ විශාල පිස්සුවක්. මොකද, අම්මා හදපු බ්‍රෑන්ඩ් එක ජනප්‍රිය වුණේ ලංකාව ඇතුළේ. අපිට ඕනේ වුණේ ලෝකෙට ගෙනියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් හදන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ස්පා සිලෝන්.

ඇත්තටම අම්මගෙන් මට ලැබුණු දේ තියෙන්නේ හදවතේ සහ ඔළුවේ. ඒ කියන්නේ ආදරය සහ දැනුම. මේ බිස්නස් එක පටන් ගනිද්දී අම්මා ළඟ වැඩ කරලා ලබපු දැනුම සහ අත්දැකීම් ලොකු උදව්වක් වුණා. ෆීල්ඩ් එකේ වගේම කර්මාන්ත ශාලාවක පරිපාලනමය අත්දැකීම් සියල්ල අපි හැමෝම අත්දැක්කේ අම්මගේ බිස්නස් එකෙන්. හැබැයි මේක සම්පූර්ණයෙන් වෙනස් බිස්නස් එකක්. මේක කළා කියලා අම්මගේ බිස්නස් එක අත්හැරියෙත් නෑ. ඒක නොසලකා හැරියෙත් නෑ. අම්මගේ ව්‍යාපාරය තිබුණට වඩා සිය ගුණයක් ඉදිරියට අද අපි ගෙනත් තිබෙනවා.

ඇත්තටම දැන් ශලින් කරන දේ මොකක්ද…

බිස්නස් මොඩ්ල් එකක් ලංකාවේ දුවන විදියයි පිටරට දුවන විදියයි ටිකක් වෙනස්. හැබැයි බ්‍රෑන්ඩ් එකක පොදු සංයමයක් අනුකූලතාවක් තිබෙන්නට ඕනේ. ඒ කියන්නේ ලෝකේ කොහෙන් ගත්තත් ස්පා සිලෝන් බ්‍රෑන්ඩ් එක එකක් විය යුතුයි. හැබැයි රටින් රටට යද්දී ඇසුරුමේ, ලේබලයේ පොඩි පොඩි වෙනස්කම් තිබෙන්නට ඕනේ. ගුණය මොනම ආකාරයකටවත් වෙනස් වෙන්නට බැහැ. එතැනත් යතුරු තිබෙන්නේ පාරිභෝගිකයා ළඟ. පාරිභෝගිකයා දේශීය වූවත් ජාත්‍යන්තර වූවත් අවශ්‍යතාව හඳුනාගැනීම, අධ්‍යයනය කිරීම සහ ඒ වුවමනාව අනුව තමන්ගේ නිෂ්පාදනය ඉදිරිපත් කිරීම තමයි වැදගත් දේ. අපි කරන්නේ ඒ දේ. මගේ අයියා අලුත් දෑ පිළිබඳ වෙහෙසෙනවා. හැබැයි අලෙවිකරණයේ වගකීම තිබෙන්නේ මට.

මේ අලුත් දේ කරන්න හොඳ කාලයක් ද…

මේ තමයි ස්වර්ණමය යුගය. ඉස්සර අපි නිෂ්පාදනයක් කළාම මිනිස්සු අතරට ගෙනියන්න මොන තරම් මහන්සි වුණාද. තිබුණේ සීමිත ක්‍රම කිහිපයක් විතරයි. දැන් මොනවද කරන්න බැරි? සෝෂල් මීඩියා කියන්නේ ක්ෂණිකවම ලෝකෙටම තමන්ගේ නිෂ්පාදන ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක්. හැබැයි ඉස්සෙල්ලාම වැඩේ හරියට ඉගෙන ගන්න. අත්දැකීමක් ලබන්න. වැඩේට බහින්න, ලොකු තැනකට යන්න නම් පොඩියට හරි කමක් නෑ, BID සංකල්පයට අනුව පුළුවන් තැනින් පටන් ගන්න.

මොකක්ද ඔබ ඔය කියන BID සංකල්පය …

Break it down… ඕනෑම ලොකු ප්‍රශ්නයක් පොඩි කෑලිවලට කඩා ගන්න. පොඩි ඉලක්කවලට වෙන් කරගන්න. පුළුවන් තැනින් පටන් ගෙන ටිකෙන් ටික සම්පූර්ණ කරන්න.

බඳින්න තියෙන්නෙ ලොකු තාප්පයක් නම් තාප්පේ ප්‍රමාණයයි තියෙන ගඩොල් ගොඩයි දිහා බලලා වැඩේ අතාරින්න එපා. කටයුත්ත මොන තරම් දුෂ්කර වුණත් පළමු පියවර ගැන විතරක් අවධානය යොමු කරන්න. ඊළඟට, ඊළඟ පියවර ගැන හිතන්න. තමන්ට පුළුවන් දේවල් ඒ එක්කම නොදැනීම ඉස්සරහට එනවා. පියවර පියවරෙන් ඉදිරියට යද්දී මඟ පෑදෙනවා. වැටෙයි. පැරදෙයි. ඒවාට මුහුණදෙන්න. මමත් මේ වැඩ කළ අවුරුදු විසි ගණන පුරා ඕනෑ තරම් වැටිලා, පැරදිලා තිබෙනවා. හැබැයි ඒ හැම තැනකම මම ආපහු නැගිට්ටා.

අපි ස්පා සිලෝන් පටන් ගනිද්දී හැම දෙයක්ම තිබුණේ කොළ පාටට. මොකද, අපිට පාට පාට දේවල් කරන්න ඒ වෙලාවේ වියදම් කරන්න මුදල් තිබුණේ නැහැ. හැබැයි එක පාටකින් පටන් අරන් මේ වගේ විචිත්‍ර වර්ණවලින් හැඩවුණු, වර්ගවලින් වැඩිවුණු බිස්නස් එකක් හදන්න තරම් අපි ටිකෙන් ටික දියුණු වුණේ එහෙමයි.

ඔබ මොනතරම් සංස්කෘතිය ගැන කතා කළත් ඔබේ ආයතනවල තායි ලඳුන් වැඩ කරන බව කියවෙනවා…

එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලින් ටික වෙලාවකට මිදිලා මානසික සහ කායික සැහැල්ලුවක් උදාකර දෙන ආයුර්වේදය සහ භාවනාව මුසු වූ සත්කාර ක්‍රමවේදය අපේ ආයතනයෙන් සිද්ධ වෙනවා. ස්පා සිලෝන් එකකට ඇතුළු වුණාම එහි වර්ණ, එහි සුගන්ධය, එහි මිහිරි සංගීතය, ධ්‍යානයකට සම වැදුනාක් මෙන් දැනෙන ගතිය, කොටින් ම relaxation කියන හැඟීම… ස්පා සිලෝන් පරිශ්‍රයකටම ආවේණික දේ. මේ සේවාව පාරිභෝගිකයාට ලබා දෙන්න සේවක මඬුල්ලක් අවශ්‍යයි. අපි පුහුණු කරලා ගන්න කැමැති වුණත්, පුහු මත නිසා අපේ රටේ කාන්තාවන් මේ ක්ෂේත්‍රයට එනවා අඩුයි. විශේෂයෙන් මේක සංචාරක ව්‍යාපාරය හා බැඳුණු බිස්නස් එකක්. අපේ කාන්තාවන් එන්නේ නැත්නම් ඉන්දුනීසියාවෙන් සහ ඉන්දියාවෙන් කාන්තාවන් ගෙන්න ගන්න අපට සිදු වුණා. ඕනෑම කෙනෙකුට මෙහි සිදුවන සේවාව ඇවිත් බලන්න පුළුවන්. අත්විඳින්න පුළුවන්. මෙය අපේ ආයුර්වේදීය සත්කාර ක්‍රම ලෝකයට ගෙන යන උත්සාහයක්.

කොහෙද ඔබ ඉගෙන ගත්තේ…

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ. ඊළඟට බ්‍රිටිෂ් ස්කුල් එකේ. මම ඔස්ට්‍රේලියාවේ Macquarie University එකේ ආර්ථික විද්‍යාව සහ අලෙවිකරණය පිළිබඳ උපාධිධාරියෙක්. අම්මට ඕනෙ වුණේ අපි හොඳට ඉගෙන ගන්නවා බලන්න. ඊළඟට අපි මොකක් හෝ ආගමක් හොඳින් අදහනවා දකින්න. එතැනින් එහාට කිසි දෙයකට එයා බලපෑම් කළේ නැහැ. අපි කසාද බැඳිය යුතු කෙනා, ජීවත් විය යුතු රට… මේ කිසි දෙයක් එයාට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ .

මොකක්ද ඔබේ පළමු රස්සාව…

මම විශ්වවිද්‍යාලයෙන් ආවට පස්සේ අම්මගේ ජැනට් ව්‍යාපාරයේ පුහුණුවන කළමනාකාර රස්සාවක් ලැබුණා. එතකොට අයියා තමයි බිස්නස් එක කරගෙන ගියේ. මම සේල්ස් රෙප්ලා එක්ක යාපනේ හැර ලංකාවේ හැම පළාතකම වැඩ කළා. ලොරිවලට බඩු පැටෙව්වා. පෙට්ටි බෑවා. අම්මගේ ආයතනයේ කරන්න තියෙන හැම වැඩක්ම වගේ මම ඒ කාලේ කළා.

උපාධියක් තියාගෙන බඩු බාන, පටවන වැඩ කළේ සතුටින් ද…

පළවෙනි මාස කිහිපය තුළ මේ දේවල් නැවත නැවත කරන්න වෙද්දි මමත් එහෙම හිතුවා. මං පුතා වෙලත්, උපාධියක් තිබිලත් මොකටද මේවා කරන්නේ කියලා. අඩුම තරමේ මීට වඩා පොඩ්ඩක් හරි උඩින් පටන් ගන්න තිබුණා නේද කියලා සමහර වෙලාවට තරහෙන් හිතුවා. හැබැයි වැඩ කරද්දි කරද්දී යම් තෘප්තියක් ලැබුණා. ඒ වගේම සේවකයන් අතරේ මං ඔවුන් කැමැති චරිතයක් බවට පත්වුණා. ඔවුන්ගේ ආකල්පවලත් යම් වෙනසක් සිදු වුණා. කොහොම වුණත් අදටත් පිට පළාත්වල මුදලාලි ලා එක්ක කතා කරන්න ඕන විදිය, අපේ වැඩියෙන් විකිණෙන නිෂ්පාදන ගැන ඉතා හොඳ ඉවක් මට තිබෙනවා. ව්‍යාපාරයකදී වැදගත් ඒ සියුම් දේවල් මට ලැබුණේ අම්මයි අයියයි නිසා.

අයියට තමයි ඕනේ වුණේ මාව ඒ අඩියෙන්ම පටන් ගන්න. ඒත් මං දැන් හිතන්නේ කවදාහරි මගේ ළමයි මේ බිස්නස් එකට එද්දීත් ඒ අය පටන් ගන්න ඕනෙත් පහළම තැනින් කියලයි.

මොකක්ද මේ බිස්නස් එකේ හැරවුම් ලක්ෂ්‍යය…

ඒ, එක පැත්තකින් බෝම්බ පිපිරෙන, අනිත් පැත්තෙන් යුද්ධය යන කාලයක්. බොහොම හෙමින් ව්‍යාපාරය ඉදිරියට ගියේ. අපි තරුණයි. මොනවා හරි කරලා වෙන අතක් බලන්න ඕනේ කියන අදහස ඔළුවට වද දුන්නේ මේ පසුබිමත් එක්ක. 2000 ගණන්වල මැද ඉඳලා අයියත් මාත් උත්සාහ කළා. අන්තිමේ එළිදක්වන්න පුළුවන්නේ 2009 අවුරුද්දේ. අපේ වෙලාවට යුද්දෙත් නැවතුණා. සංචාරක කර්මාන්තය ටිකෙන් ටික හිස එසෙව්වා. අනෙක් පළාත්වලටත් යන්න පුළුවන් වුණා. ඒකත් එක්ක තමයි බිස්නස් එක ඉස්සරහට ආවේ. ඒකම තමයි අපේ ව්‍යාපාරයේ ටර්නින් පොයින්ට් එක වුණෙත්.

මේ බිස්නස් එක සාර්ථක වෙයි කියලා හිතුවේ කොහොමද…

අපි වෙනස් විදියේ බිස්නස් එකක් හෙව්වා. බැලුවා. අධ්‍යයනය කළා. පිටරට ෂෝස්වලට ගියා. ඒත් අදහසක් ගන්න ලේසි වුණේ නැහැ.

ඊට පස්සේ තමයි ජාත්‍යන්තරයට හරියන බිස්නස් එකක් අධ්‍යයනය කළේ. ඒකෙන් අපි දේවල් දෙකක් හඳුනා ගත්තා.

එකක් ග්‍රීන් කියන සංකල්පය. ඒ තුළ Nature හෙවත් සොබාදහමට නැඹුරුවක් ඇතිවෙමින් තිබුණා. අනික තමයි Luxury කියන දේ. අනූ ගණන්වල Luxury, එක ගැන බැලුවේ ඉහළම පැළැන්තිය විතරයි. හැබැයි 2000 දශකයේදී හැම මට්ටමකම මිනිස්සු Luxuryවල කොටසක් භාණ්ඩ හා සේවාවලින් බලාපොරොත්තු වෙන්න ගත්තා. හොයන්න ගත්තා. මේ Luxury සහ Natural කියන දේ අපි දන්නා කොස්මැටික්ස්වලට ආදේශ කරන්න පුළුවන් ද කියන එක ගැනයි අයියයි මායි ඊළඟට හෙව්වේ.

එතැනදි තමයි ආයුර්වේදය ගැන බොහොම හොඳින් දැනගත්තේ. ඒ වෙනකොට ආයුර්වේදය ගැන තිබුණේ සාම්ප්‍රදායික වෙද මහත්තයා, මැටි ගෙදර, තෙල් බෙහෙත් සැර, දුප්පත් මනුස්සයගේ බෙහෙත… වගේ සරල බාල සිතුවිලි ටිකක්. ඒ වුණාට රජවරු පවා ආයුර්වේදය දැනගෙන හිටියා. ඉතින් luxury Ayurveda as practiced in the Grand Palaces… හෙවත් ‘රාජධානිවල පවා භාවිත වූ ආයුර්වේදය…’ යන අර්ථයෙන් Body Care නිෂ්පාදන කිහිපයක් අලුත් සංකල්පයක් ලෙස හඳුන්වා දුන්නා. ඒ නිෂ්පාදනවල ඇසුරුම්වලට පවා Luxury ගතියක් එක් කළා. ඒ වෙලාවේ අපනයන ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්න, ආයෝජනයට ලොකු මුදලක් නොතිබුණු නිසා මුලින්ම ලංකාවට මේ නිෂ්පාදන පෙළ හඳුන්වා දුන්නා. එය, යම් මට්ටමකට ආවට පස්සේ ලෝකෙට යන්න බලාගෙන ආරම්භ කළ ව්‍යාපාරයක්. නිෂ්පාදන 30කින් පටන් ගත්තු බිස්නස් එක දැන් නිෂ්පාදන 680ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා.

මේ අවශ්‍ය දේශීය දැනුම ගන්නේ කොහොමද…

අපේ බිස්නස් එකේ පදනම තිබෙන්නේ සාම්ප්‍රදායික ආයුර්වේදය සහ නවීන විද්‍යාවේ කොටස් සමඟ මිශ්‍ර වෙලා. ඒ නිසා අපිට ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් සිටිනවා. ඒ වගේම රසායනඥයින් කණ්ඩායමක් සිටිනවා. අපිට රසායන විද්‍යාව අවශ්‍ය වන්නේ, ආයුර්වේදයේ ගුණය රැක ගෙන මේවාට සුවඳ වර්ග, දැනෙන ගතිය, ආලේපනවල Skin Feel ගතිය එකතු කිරීමට අවශ්‍ය නිසා.

ස්පා සිලෝන් නිසා කී දෙනකුට රැකියා අවස්ථා උදා වුණාද…

මේ රටේ 1,300ක විතර පිරිසකට. වක්‍රව ඊටත් වැඩියි. ඒ වගේම ඒ ලංකාවේ පිරිස විතරයි. පිටරටට අපි යවන්නේ අපේ නිෂ්පාදන පමණයි. එහේ රැකියාවලට බඳවා ගැනීම් සිදුකරන්නේ ඒ රටවල ඒජන්තකරුවන්.

ඔබ මොන දේ කිව්වත් සාමාන්‍ය ජනතාවට ස්පා සිලෝන් නිෂ්පාදන මිල දී ගන්න බැහැ…

මිල සහ අගය කියන්නේ දෙකක්. අගය තියෙන තාක් කල් ඒ මිල ගෙවලා මිනිස්සු ඒ භාණ්ඩය හෝ සේවාව මිල දී ගන්නවා.

අනෙක ඉස්තරම් අමුද්‍රව්‍ය භාවිත කරන නිසා කොහොමටත් අපේ නිෂ්පාදන මිල ඉහළයි. මිල අඩු කරන්න කියලා අමුද්‍රව්‍ය අඩු කරන්න බැහැ. හැබැයි සාමාන්‍ය ජනතාවට දරන්න පුළුවන් මිලකට අපේ ජැනට් නිෂ්පාදන මිලදී ගන්නට පුළුවන්.

මේ ඖෂධ මිලදී ගන්නේ කොහොමද…

අපිට ප්‍රබල සැපයුම්කාර ජාලයක් සිටිනවා. කල්පිටිය වෙරළ සංවර්ධන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව ඒ පළාත්වල ජීවත්වන අය වාරකම් කාලෙට මුහුදු යන්න බැරිව මත්ද්‍රව්‍ය විකුණනවා කියා, මේ තත්ත්වය වෙනස් කරන්න මොනවා හරි කරන්න පුළුවන්ද කියලා ඔවුන් අපෙන් ඇහුවා. අපි එයාලට කෝමාරිකා වවන්න කිව්වා. දැන් අපිම ඒ කෝමරිකා මිලදී ගන්නවා. හරි උනන්දුවෙන් පොඩි ළමයි පවා කෝමරිකා වගාවේ යෙදෙනවා. විශේෂයෙන් ඒ කාන්තාවන් අපිට විතරක් දෙන්න සීමා නොවී වැඩිපුරත් වවලා, බීම හදන තැන්වලටත් විකුණනවා. අපි සහ රාජ්‍ය නොවන සංවිධානයක් එකතු වෙලා තමයි මේ වැඩේට අරමුදල් සැපයුවේ. කෝමාරිකා විතරක් නෙමෙයි අපිට අවශ්‍ය සඳුන්, දොඩං තෙල් වැනි ඖෂධ වර්ග ගණනාවක් අපේ ඒ සැපයුම්කාර ජාලයෙන් මිලදී ගන්නවා. අපේ ව්‍යාපාරය නිසා ගමට ආර්ථිකයක් හැදිලා තිබෙනවා.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කුමක් ද…

මගේ අම්මා ගැන නම් රටම දන්නවා. ජැනට් කියන්නේ මිනිසුන්ගේ ආදරය දිනූ ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පිනියක්. උසස් මනුස්සකම් තිබුණු අම්මා කෙනෙක්. මගේ තාත්තා ටර්ස්ටන් බාලසූරිය. විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යවන රැකියාවක් කළේ. අදටත් සමහර හෝටල්වලට ගියාම සමහර නිලධාරීන් කියනවා මගේ පළවෙනි ජොබ් එක හොයලා දුන්නේ ඔයාගේ තාත්තා කියලා. අම්මා තාත්තා කරපු උදව් ගැන, හොඳ ගැන මිනිස්සු තාමත් කතා කරනවා. ඒ වගේ මවුපියන්ගේ දරුවෙක් වීම බොහොම ගෞරවයක්.

ඔබේ සහෝදර සහෝදරියන් ගැනත් කියන්න…

මගේ ලොකු අයියා හිලරි. එයා ඔස්ට්‍රේලියාවේ පදිංචි සූපවේදියෙක්. එයා මට වැඩිය අවුරුදු 25ක් වැඩිමල්. ලොකු අක්කා ශාමෙන්. ඊළඟට ශෙරින් අක්කා. ඉස්සර අම්මත් එක්ක සැලෝන් කළේ මේ දෙන්නා. මම මාමා වුණාට අක්කලා ගේ ළමයි මට කතා කරන්නේ ශලින් අයියා කියලා. මොකද මම ඒගොල්ලන්ට වඩා අවුරුදු හතරයි වැඩිමල්. ඇත්තටම අපි එකට වැඩ කරන පවුලක්. මේක පවුලේ බිස්නස් එකක් විදියට මේ තරම් දුර ඇවිත් තිබෙන්නේත් ඒ නිසා.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division