ඇවිද්ද පය දහස් වටී කියා පැරැන්නන් කියා ඇත්තේ හේතු සාධක රාශියක් නිසාය. ඇවිදීමෙන් සිරුරට ලැබෙන කායික, මානසික ප්‍රයෝජන බොහෝය. අප කියන්නට යන්නේ දින 11ක් තුළ කිලෝ මීටර් 300ක් ඇවිද ගිය තරුණියක ගැනය. ඇය නමින් සයෝජිතා විජේකුමාර් ය. ඇයගේ මේ අපූරු සංචාරය පිළිබඳ කතාව ඇතැමෙකුට තරමක් ආගන්තුක එකක් විය හැකිය.
ඇය මෙසේ තනිව සංචාරය කළේ ආසියාවේ ඉතා සුන්දර මාර්ගයක් ලෙස සැලකෙන මෙරට මධ්‍යම කඳුකරය හරහා කිලෝමීටර් 300ක සුන්දර මාර්ගයක් වන Pekoe Trail ඔස්සේය. හන්තානෙන් ආරම්භ වන එම ගමන අවසන් වන්නේ නුවරඑළිය පේද්රෝ වතුයායෙනි. ගමනාන්තය දක්වා විශේෂිත ස්ථාන 22ක් මේ ගමනේදී හමුවන අතර, කඳුකර භූමි කිහිපයක් මෙහිදී හමුවේ. එමෙන්ම කඳු කිහිපයක් ද තරණය කිරීමට සිදුවේ. කඳුකරයේ සිසිලසත් විටෙක වලාකුළුවලින් සහ මීදුමින් වැසුණු පරිසරයත් විචිත්‍රවත් කඳු දර්ශනත් සමඟ තණ බිම්වල සිට නිවර්තන වනාන්තර දක්වා විවිධ පරිසර පද්ධති කිහිපයක් ද මේ ගමනේදී නිරීක්ෂණය වේ. සයෝජිතා විජේකුමාර් නමැති 23 හැවිරිදි සුන්දර යුවතියගේ මේ ගමනේ විශේෂත්වය වන්නේ ඇය මේ ගමන යන්නේ තනිව බැවිනි.
“කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක අවදානම් ගමනක් කියලා. නමුත් මම ඒක කළා. “සයෝජිතා හිනැහෙමින් පවසන්නීය. සයෝජිතාගේ මේ සංචාරය අයත් වන්නේ සෝලෝ ට්‍රැවල් වර්ගයටය. සෝලෝ ට්‍රැවල් හෙවත් හුදෙකලා ගමන්වලින් ලැබෙන ප්‍රයෝජන බොහෝය. එවැනි ගමන් තනිව නව ස්ථාන සහ පුද්ගලයන් පිළිබඳ ගවේෂණය කිරීමට නිදහස ලබා දෙන අතර, තමා කැමති තැනකට යෑමට, කැමති විටෙක විටෙක ආහාර ගැනීමට සහ රිසි පරිදි සොබාදහම විඳගැනීමට අවස්ථාව ලබා දේ. ශ්‍රී ලාංකිකයන්ට මෙවැනි හුදෙකලා සංචාර තරමක් ආගන්තුක වුවත් විදේශීය සංචාරකයන් අතර මෙවැනි ගමන් වඩාත් ජනප්‍රිය ය. කෙසේ වෙතත් තනිව සංචාරය කිරීමේ අදහස කොතරම් සුන්දර සහ ආකර්ෂණීය දැයි සයෝජිතාගේ සංචාරයෙන් වටහා ගත හැකිය.
මහනුවර අලවතුගොඩ පදිංචි සයෝජිතා විජේකුමාර් මහනුවර උසස් බාලිකාවේ ආදි සිසුවියකි. 2019 වසරේදී උසස් පෙළ විභාගය සමත් වීමෙන් අනතුරුව පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය ලබාගන්නා ඇය ඉන් පසු රැකියා කිහිපයක නියැළෙන්නීය.
“උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්න ගමන් වසර හතරක් පමණ එක දිගට රැකියාවලත් නිරත වුණාට පස්සේ මට වෙහෙසක් දැනුණා. ඒ අතරේ උපාධියත් ලබා ගත්තා. මට හිතුණා ජීවිතේට වෙනසක් අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා කල්පනා කරනකොටයි මට සෝලෝ ට්‍රැවල් ගැන මතක් වුණේ. පොඩි කාලේ ඉඳලම මම ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලට කැමතියි. කඳු නඟින්න, බයිසිකල් පදින්න, ඇවිදින්න වගේ දේවල් මම පාසල් කාලේ ඉඳලම කළා. ඒ වගේම මට ඕනේ වුණා මගේ ඇතුළාන්තය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, මට මාව හොයාගන්න පුළුවන් දෙයක් කරන්න. ඒ නිසයි මම ඒකට Pekoe Trail තෝර ගත්තෙ. මුලින්ම මම සැලසුම් කළේ දවස් 12න් ඒ ගමන යන්න වුණත් දවස් 11න් අවසන් කරන්න මට පුළුවන් වුණා. කිලෝ මීටර් 300න් කිලෝමීටර් 215ක් මම ඇවිද්දා. කිලෝමීටර් 45ක් විතර කඳු නැඟීම් තිබුණේ. ඉතුරු ටික ගියේ විටින් විට පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරලා. නමුත් මම මේ ගමනෙදි හමුවූ හැම විශේෂ ස්ථානයකටම ගියා.”
ඒ සඳහා තමා සූදානම් වූ ආකාරය ගැන ඇය මෙසේ කීවාය.
“ගමන සැලසුම් කරද්දි මම පළමුවෙන්ම හිතුව දේ මම ලංකාවේ මිනිස්සු එක්ක නවතිනවා, එයාලව හමුවෙනවා කියලා. කඳුකරයේ ජීවත් වෙන කෙනෙන් වුණාට මම වැඩිපුරම ජීවත් වෙලා තියෙන්නේ නගරයට ආසන්නවයි. ඒ නිසා මට කඳුකරයේ ජීවත්වෙන අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන දැනගන්න ආස හිතුණා. එයාලත් දමිළ. මමත් දමිළ. ඒත් මම නිකම් ගිහින් එයාලගේ ජීවිත ගැන විස්තර ඇහුවොත් එයාලා ඒ ගැන කියන්න කැමති වෙන්නෙ නෑ. ඒ නිසා එයාලා ළඟට ගිහින් එයාලා එක්කම ඉඳලා ඒ ජීවිතේ ගැන දැනගන්න මම කැමති වුණා. ඒ නිසා මේ ගමනට මම හෝටල් බුක් කළේ නැහැ. මගෙ යාළුවන්ගෙන් සහ යාළුවන්ගෙ යාළුවන්ගෙන් දැනගත්ත තොරතුරුවලින් නවතින්න තැන් ටිකක් හොයාගත්තා. ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදෙන මගෙ මිතුරු සංජීවන්, මගෙ නංගි සහ පවුලෙ අයත් මට ඒකට උදව් කළා. මුලින්ම මම හිතුවේ දවසකට කිලෝමීටර් 30ක් විතර ඇවිදිනවා කියලා. සාමාන්‍යයෙන් මම හැමදාම උදේට ටිකක් දුවනවා. නමුත් මේ ගමනට සූදානම් වෙන්න ඕන නිසා මම මාසයක් විතර නොකඩවා දිනපතා උදේ පාන්දර කිලෝ මීටර් 7ක් විතර දිව්වා. ඒ දවස්වල මම කොළඹ වැඩ කළේ. ඒ වගේම නුවර ගෙදර ආපු දවස්වල කඳු නැඟලා පුහුණුවීම් කළා. මම හිතන්නේ මේ වගේ ගමනකට ඒ වගේ සූදානමක් අවශ්‍යයි”
සයෝජිතා කියන්නේ මෙවැනි ගමනකදී ශාරීරික යෝග්‍යතාව ඉතා වැදගත් බව පසක් කරමිනි. ඉකුත් මැයි මස 11 වැනිදා ගමන ආරම්භ කළ ඇය එය නිම කරන්නේ මැයි 22 වැනිදාය. ගමනේ සෑම දිනයක්ම තමාට විශේෂිත වූ බව ද ඇය කීවාය.
” පළමු දවස පටන් ගත්තේ හන්තානෙන්. එදා මගෙ මිතුරියක් මා සමඟ ආවා. එයා පළමු වැනි පොයින්ට් එකට කිලෝ මීටර් 14ක් දුර මා එක්ක ආවා. එතැනින් පස්සේ එයාට ඇවිදින්න බැහැ කියලා බස් එකේ ලූල්කඳුරට ගියා. මම එතැන ඉඳලා පයින්ම ලූල්කඳුරට ගියා. ඒ යනකොට ලූල්කඳුරට හොඳටම වහිනවා. මම තනියම රෑ 8ට විතර ලූල්කඳුර උඩ හිටියා. මගෙ යාළුවා යාපනයේ දමිළ තරුණියක්. ඇයට සිංහල කතාකරන්න බැහැ. ඒ නිසා අපිට පොඩි ප්‍රශ්නෙකට මුහුණ දෙන්නත් වුණා. මම ලූල්කඳුර උඩ ඉන්නකොට ඇය පහළ පොඩි කඩයක් ළඟ නැවතිලා තිබුණා. ඒ වෙලාවේ ඒ කඩේ හිටපු කෙනා ප්‍රශ්න කරලා තියෙනවා, ගෑනු ළමයි දෙන්නෙක් තනියම මේ රෑ මොකද කරන්නේ කියලා. ඔහු අපි ගැන පොලිසියටත් කියලා. යාළුවා කෝල් කරලා මට ඒ ගැන කිව්වම මමත් හොඳටම කලබල වුණා. මම උඩ ඉඳගෙන හොඳටම ඇඬුවා. මම පහළට එන්න පාර දැනගෙන හිටියත් ඒ වෙලාවේ මමත් කලබල වෙලා හිටියෙ. අපි ළඟ පාස් තිබුණා. බයවෙන්න හේතුවක් තිබුණෙත් නැහැ. ඒත් ඒ වෙලාවේ මම කලබල වුණා. කොහොමහරි මම රෑ 9-9.30 වෙද්දි පහළට ආවා. එතැනදි හමුවුණ අංකල් කෙනෙක් අපිව එයාගෙ ගෙදරට එක්නගෙන ගිහින් කන්න බොන්න දීලා අපිට නවාතැන් දුන්නා. ඒ වෙලාවේ පොලිසියෙ අයත් එහෙට ඇවිත් අපිත් එක්ක හොඳට කතා කළ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. දෙවැනි දවසේ මම නැවත තනිවම ගමන පටන් ගත්තා. ”
දෙවැනි දිනයේදී සයෝජිතා මුහුණ දෙන්නේ තවත් අලුත් අත්දැකීමකටය. එදින ඇය ලූල්කඳුරේ සිට තවලම් තැන්න දෙසට කිලෝමීටර් 18ක් පමණ ඇවිද යන්නීය.
“මම ඒ දුරින් භාගයක් විතර යද්දි ගමේ කට්ටියක් හමුවුණා. එයාලා මට කිව්වා මම යන්න හදන පාරේ දිවියො ඉන්න නිසා එයාලා කියන පාරේ යන්න කියලා. එයාලා කියන පාරේ යන එක මගේ ආරක්ෂාවට හොඳ නිසා මමත් ඒ පාර දිගේ ගියා. සෑහෙන දුරක් ගියාට පස්සේ බලද්දි එතැනින් එහාට පාරක් තිබුණෙ නැහැ. හොඳටම වහිනවා. පහළ ප්රපාතය. මම බය වුණා පාරක් නැතිව මම කොහෙටද යන්නෙ කියලා. පැය තුනක් විතර මම එක තැනම කැරකුණා, ඉස්සරටවත් පිටුපසටවත් යන්න බැරිව. හොඳටම වහින නිසා එක පාරක් මාව ලිස්සලා වැටුණා. ඒ වෙලාවේ නම් මම ගොඩාක් බය වුණා. ඒ අතරෙදි මට කෝවිලක සද්දයක් ඇහුණා. කෝවිලක් තියෙනවා නම් එතැන මිනිස්සු ඇති කියලා හිතාගෙන මම පාර හොයාගෙන ගියා. එහෙම යද්දි මට පාර හමුවුණා. නවාතැනුත් ලැබුණා. සමහර දවස්වල මම කලින් කතාකරලා බුක් කරලා ගිය තැන්වල නවාතැන් ගත්තා. ඒ වගේම අහම්බෙන් හමුවුණු අය එයාලගේ ගෙවල්වලට මාව එක්ක ගෙන ගිහින් කෑම බීම නවාතැන් දීලා මාව හොඳට බලාගත්තා. ඒ වගේ අපූරු අත්දැකීම් ගොඩක් මට මේ ගමනින් ලැබුණා. මුල්ම සෝලෝ ටුවර් එක නිසා මම කිලෝ 20ක් බර බෑග් එකක් අරගෙන ගියා. හපුතලේදි මම වැස්සට හොඳටම තෙමුණා. ඒ නිසා මඟදි බෑග් එකේ බර අඩුකර ගත්තා.”
ඒ සුන්දර සහ ත්‍රාසජනක ගමන සයෝජිතා අවසන් කළේ නුවරඑළියේ පේද්රෝ වතුයායෙනි.
“ජීවිතේට එක සැරයක්වත් හැමෝම මේ වගේ සෝලෝ ටුවර් එකක්, ත්‍රාසජනක අත්දැකීමක් ලබනවා නම් ඒක ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඒකෙන් අපට ජීවිතේ ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මම මීට කලින් කඳු නැඟලා තිබුණට ළඟදි එහෙම ක්‍රියාකාරකම් මුකුත් කරලා තිබුණේ නැති නිසාත් මම ශාරීරිකව ගොඩක් ශක්තිමත් කෙනෙක් නොවන නිසාත් අපහසුතා දැනුණා. ඒක තමයි මට මේ ගමනෙදි තිබුණ ලොකුම අභියෝගය. ගමනින් පස්සේ මම දවස් 5ක් විවේක ගත්තා. දවස් 10ක් මම අනුරාධපුරයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයක ගත කළා.”
එවැනි තෝරාගැනීමක් කිරීමට හේතුව ද සයෝජිතාගෙන් විමසුවෙමි.
“සෝලෝ ට්‍රැවල් එකේදි එක දිගටම ඇවිද්දා මිසක් එක තැනක නතර වීමක් වෙන්නෙ නැහැ. මනස සන්සුන් කරගන්න නම් එහෙම නතර වීමක් අවශ්‍යයි කියලා මට හිතුණා. ඒ නිසයි මම ඒ භාවනා මධ්‍යස්ථානයට ගියේ. එතැන හරිම නිදහස් තැනක්. පාන්දර හතරට නැඟිටලා රෑ 9.30 වෙද්දි නින්දට ගියා. ජංගම දුරකථන පාවිච්චිය වගේම කිසිම කෙනෙක් එක්ක කතාවක්වත් නැතිව තමන්ටම ඇරුණු කාලයක් ගත කළා. බෞද්ධ දර්ශනය සහ භාවනාව තුළින් ජීවිතය ගැන අලුතින් කියවා ගැනීමක් කළා.”
එහෙත් මේ අත්දැකීම විඳ ගන්නට සයෝජිතාට පහසු නොවීය. ඒ අන් කිසිවක් නොව ඇතැමුන්ගේ සමාජ ආකල්පය.
“පුංචි කාලේ ඉඳන් අපිට අහන්න ලැබෙන්නේ ගෑනු ළමයින්ට අරක හොඳ නෑ, මේක හොඳ නෑ. අරහෙ මෙහෙ යන්න එපා. මිනිස්සු භයානකයි. එයාලව විශ්වාස කරන්න එපා කියන කතා. මගේ පවුලත් සම්ප්‍රදායික හින්දු ආගම අදහන පවුලක්. ඒ නිසා මගේ පවුලෙ අයත් මම මෙහෙම ගමනක් යනවා කිව්වම කැමති වුණේ නැහැ. කැලෑවෙ, කඳු හෙල්වල තනිවම දවස් ගානක් මෙහෙම ගමනක් යන එක ගෑනු ළමයෙකුට සුදුසු නැහැ කියල ගොඩක් අය කිව්වා.
මගෙ අම්මා විවෘත මනසක් තියෙන කාන්තාවක්, ගුරුවරියක්. ඒ නිසා ඇය මගේ ගමනට අවසර දුන්නත් සමාජය කියන කතා ගැන ඇයගේ හිතෙත් බියක් තිබුණා. නමුත් ගමන ගිහින් ආවට පස්සේ අම්මගේ ආකල්ප වෙනස් වුණා. ඇත්තටම ඒ ගමනින් මම මිනිස්සු ගැන ගොඩක් දේවල් දැන ගත්තා. නරක මිනිස්සු නැතිව නෙවෙයි. එහෙම අයත් මට මේ ගමනෙදි හමු වුණා. නමුත් වැඩිපුරම හමු වුණේ හොඳ මිනිස්සු. තාමත් අපේ සමාජයේ මිනිසුන් අතර ආදරය,කරුණාව, අනුකම්පාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වුණත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නෙ තමන්ට කියලා අපි කිසිම වෙලාවක අමතක නොකළ යුතුයි.”
23 හැවිරිදි සයෝජිතා මේ වන විට පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා සූදානමින් සිටින්නීය. ඇයගේ පවුල හින්දු ආගමිකයන් වුවද මේ සුන්දර අදහස් ඇති මේ යුවතිය පැවසුවේ තමා ආගමික වශයෙන් එක් ආගමකට කොටුවීමට කැමැති නැති බවය.
“මම විශ්වාස කරන්නේ ආගම නෙවෙයි, සොබාදහමයි. අවුරුදු තුනකට විතර කලින් මම මගේ අම්මාට කිව්වා මට ආගමක් නැහැ කියලා. එදා මගේ අම්මා, නංගි, මල්ලි හැමෝම ඒ ගැන තර්ක කළා. දැන් කවුරුත් මා එක්ක ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් අම්මා මම කියන කරන දේවල්වලට සහයෝගය දෙනවා. ඇයගේ තේරුම් ගැනීම මගේ ජීවිතයට පහසුවක්. ”
දින එකොළහේ ගමන තුළ ඇය කඳුකරයේ සුන්දරත්වය මැනවින් අත්වින්දාය. ඒ සුන්දරත්වය විටෙක තමා මවිත කළ බව ද ඇය කීවාය.
“ලංකාව කියන්නේ හරිම ලස්සන රටක්. ඒ වගේම දේශගුණය හරිම විස්මිතයි. නුවරඑළියෙදි අපිට සීතල දේශගුණයක් වුණත් නුවරදි ඊට වඩා උණුසුම් දේශගුණයක් අත්විඳින්න පුළුවන්. අපේ රටේ සංස්කෘතියට, ස්වාභාවික සුන්දරත්වයට මම හරිම කැමතියි. මේ ගමනෙදි මම ගොඩක් මිනිස්සු දැක්කා. හමු වුණා. ඔවුන්ගේ ජීවිත විලාසය දැක්කා. දැන් ජාතීන් විදිහට ඉස්සර තරම් මිනිසුන් අතර බෙදීමක් නැහැ කියලා මට හිතෙනවා. එහෙම තැන් ඉඳහිට හමු වුණත් මට එයින් ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ඒ වෙනුවට මම වැඩිපුර දැක්කේ අපේ මිනිසුන් අතර තියෙන ආගන්තුක සත්කාරය සහ ආදරය, එකමුතුකම. ඒ නිසා මම ලංකාවට ගොඩක් ආදරෙයි.
පශ්චාත් උපාධිය හදාරන්න පිටරටකට ගියත් ආපහු ලංකාවට ඇවිත් ලංකාවට සේවයක් කරන එකයි මගේ බලාපොරොත්තුව.” ඇයගේ අදහස් නම්‍යශීලීය; මෘදුය; සුන්දරය. ආත්මාර්ථය සඳහා රට හැර යෑමට සිහින දකින ඇතැමෙකුට මේ උගත් බුද්ධිමත් සුන්දර යුවතියගේ වදන් ආදර්ශයකි.
“තමන් කැමති දේ කරන්න ගැහැනුකම බාධාවක් කරගන්නෙපා. තමන් ගැන විශ්වාස කරන්න. තමන් කැමති දේ කරන්න. නමුත් ඒ කිසිම දෙයක් තවත් කෙනෙකුට රිදවීමක් නොවිය යුතුයි.” ඇයගේ සිතිවිලි තුළ ඇත්තේ අපූර්ව චමත්කාරයකි.
” අපි හැමෝම හැමදාම බාහිර අය එක්ක කතා කරමින් බාහිර ලෝකයෙන් තමයි හැමදේම හොයන්න උත්සාහ කරන්නෙ. තමන්ගෙ සතුට, සැනසීම මේ හැමදේම අපි හොයන්න උත්සාහ කරන්නේ බාහිර ලෝකයෙන් හෝ බාහිර පුද්ගලයන්ගෙන්. මේ වගේ ත්‍රාසජනක ක්‍රියාකාරකමක්, සෝලෝ ටුවර් එකක් කරද්දි තමාට තමා සමඟ වැඩි කාලයක් ඉන්න අවස්ථාව ලැබෙනවා. තමාට තමා වෙනුවෙන් වෙලාවක් ලැබෙනවා.
ඒ තුළින් තමන්ට තමා සොයාගැනීමටත් තමා ඇත්තටම ආදරය කරන දේවල් සොයා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම මට ලැබුණා වගේම මම ඒක අත්වින්දා. ඒ ගමන මට ජීවිතයට අමතක නොවන අත්දැකීමක්. ඒ අත්දැකීම් අනිත් අය සමඟත් බෙදා ගත යුතුයි කියල මම විශ්වාස කරනවා. ඒ නිසා මම ඒ ගමනේ අත්දැකීම් ඇසුරින් පොතක් ලියමින් සිටිනවා. “
සුරේකා නිල්මිණි ඉලංකෝන්