අප රටේ දශක තුනක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදය හා සබැඳිව විවිධ ලේඛකයන් විසින් රචනා කළ පොත්පත් රාශියක් පාඨකයා අතට පත්වුණු නමුත් ඉන් වැඩි හරියක් කියවන්නට ලැබුණේ ත්‍රස්තවාදය ආශ්රිත කරුණුවලට වඩා ලේඛකයන්ගේ පෞද්ගලිකත්වය ඉස්මතු වන අන්දමේ කරුණුය.
එවැනි පොත්පත් අතර මෑත කාලයේදී ඉහත සඳහන් පථයෙන් ඉවත් වී විෂයට පමණක් සීමා වී රචනා කළ ග්රන්ථයක් මා අතට පත්විය. මා එය එක හුස්මට කියවීමි. එසේ එම ග්‍රන්ථය එක හුස්මට කියවීමට මගේ සිත පෙලඹවූයේ මගේ තිස්හතර අවුරුදු හමුදා ජීවිතය තුළ මා අත්විඳි කරුණු එහි ඇතුළත්ව තිබීමයි.
මේ ග්‍රන්ථයේ කර්තෘවරයා වන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දැනට ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින රත්නපාල ගමගේය.
ඔහුගේ මුල්ම කෘතිය වන රණබිමක පන්හිඳ (Note from the Battlefield) කෘතිය කොළඹදී ජනගත විය. මෙම ග්‍රන්ථයේ මා දුටු වැදගත්ම කරුණ වන්නේ සෑම සිදුවීමකම විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමය. ඔහුට ඉතා රසවත්ව යම් සිදුවීමක් කතාන්තරයක් ලෙසට ගොතා පාඨකයා වෙත දායාද කිරීමේ හැකියාව තිබූ බව මම දැන සිටියෙමි. ඒ ලක්ෂණය මේ පොතේ හැම තැනම දක්නට ලැබුණි. ඔහු පුවත්පතේ සේවය කරන කාලයේ ඉරිදා කලාපයට ලියූ ආරක්ෂක ලිපිය යුද හමුදාවේ ඉහළ පහළ සෑම නිලධාරියෙක් පමණ මෙන්ම සෙසු නිලයන් වැඩි පිරිසක් කියැවූ බව මම දනිමි. හොඳම නිදසුන වන්නේ හිටපු හමුදාපතිවරයකු වන ලුතිනන් ෙජනරාල් සිසිල් වෛද්‍ය රත්න සෑම ඉරිදාවකම බම්බලපිටිය හන්දියට ගොස් ඉරිදා පත්තරය මිලදීගෙන ආරක්ෂක තොරතුරු ලිපිය පමණක් කියවීමය.
මෙහි කතාවන් සඳහා කරුණු ඉදිරිපත් කිරීමේදී නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ වැරදි තීරණ නිසා ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට නොහැකි වූ බව මෙම ග්‍රන්ථයේ නිදසුන් සහිතව පෙන්වා දෙයි.
සත්‍යයට තුවාල සිදු නොකර මෙම කරුණු සම්බන්ධයෙන් රත්නපාල ගමගේ දක්වා ඇති උනන්දුව අතිමහත්ය. මෙම ග්‍රන්ථයේ මා දකින සුවිශේෂ කරුණ වන්නේ ප්රභාකරන්ගේ පුවත්පත් සාකච්ඡාවය. මුල්වරට සහ අවසන්වරට ප්රභාකරන් මහජනයා ඉදිරියට පැමිණ පව් සෝදා ගැනීමක් හොඳ බව ප්රභාකරන්ගේ වචනවලින්ම පාඨකයාව දැනුම්වත් කරයි.
රජීව් ගාන්ධි ඝාතනය එල්ටීටීඊ සංවිධානය ගත් වැරදි තීරණයක් බවත් ඒ ගැන සමාව ඉල්ලන බවත් ප්රභාකරන් මෙහිදී පවසා ඇති අතර එම සාකච්ඡාවට සහභාගි වූ ඉන්දීය මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී සුපුරුදි කපටි දේශපාලකයකු සේ ප්රභාකරන් කළ ප්‍රකාශයක් ගමගේ සටහන් කරගෙන තිබෙනවා. ඒ තමයි “ඇයි පරණ දේවල් හාර අවුස්සන්නේ “ කියා. ප්රභාකරන්ගේ සාකච්ඡාව ඉතා හොඳින් පාඨකයාට කරුණු එක්කර දීමක් වශයෙන් හඳුන්වා දිය හැකිය. මේ සාකච්ඡාව අනාගතයේදී මේ සිවිල් යුද්ධය පිළිබඳ කරුණු ගවේෂණය කරන තරුණ පරම්පරාවට අතිශයින් ප්රයෝජනාත් වන බව මගේ හැඟීමයි.
ප්රභාකරන්ගේ මාධ්‍ය සාකච්ඡාව ආවරණය කිරීම සඳහා කොළඹ සිට ගිය මාධ්‍ය සගයන් කැටුව යන අන්දමත් එය සුවපහසු නොවූවත් සුන්දර අත්දැකීම් රැසකින් යුත් රාජකාරියක් ලෙසට මේ ග්‍රන්ථයේ සඳහන් කර ඇති අතර ගමගේගේ රචනා ශෛලියේ ඇති විශිෂ්ටත්වය නිසා මේ මාධ්‍ය සාකච්ඡාවට පෙර අතීතයේ සිදුවූ ඛේදජනක සිදුවීම් ද මතකයට නංවයි.
ප්රභාකරන් මොනතරම් බියකින් මේ කටයුත්තට සම්බන්ධ වී ඇති බව ඔහුගේ විස්තරයෙන් හැඳින්වේ. මේ සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍යවේදීන්ගේ ඇඳුම් ගලවා ශරීර පරීක්ෂාවෙන් පසුව ඔවුන් කිසිවකුටත් සම්බන්ධ නොවන සේ වෙනම ශාලා කීපයකට රහසිගතව මාධ්‍යවේදීන් පිරිස රැගෙන ගිය බව මේ ග්‍රන්ථයේ කියවෙයි.
එය ඉතා අගනා පරිච්ඡේදයක් බව කිව යුතුය. ත්රස්තවාදීන් සහ ආරක්ෂක හමුදා අතර ඇතිවන සිවිල් යුද්ධයක තොරතුරු ඇතුළත් පොතක් ලිවීම ලෙහෙසි කරුණක් නොවේ. ඒ සඳහා ලේඛකයාට බොහෝ විට යුද බිමට යාමට ද සිදුවේ. යුද බිමට නොගොස් අතරින් පතර අහුලා ගත් තොරතුරු තමන්ගේ සජීවී අත්දැකීම් ලෙසට ලියා තිබූ අවස්ථාද නැතුවාම නොව එහෙත් ඊළාම් යුද්ධයක තොරතුරු සෙවූ ගමගේ යුද බිමේ නිතර සංචාරය කරනු මා දැක ඇත්තෙමි. යුද පිටියේදී හමුදා සෙබළුන් හැරුණු විට මාධ්‍යවේදීහුද ජීවිත අවදානම නොතකා යුද්ධයේ තොරතුරු වාර්තා කරති. යුද්ධයේ සත්‍යයට තුවාල වීමට ඉඩ නොතැබීම මාධ්‍යවේදියාගේ කාර්යභාරයයි. ඊළඟ පරම්පරාවේ මාධ්‍යවේදීන්ට මෙය ආරම්භයක් අත් පොතක් ලෙස භාවිත කළ හැකිය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි
මේජර් ජෙනරාල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික)