විය සිදුරෙන් අහස දැකීම අපේ සංස්කෘතිය තුළ අර්ථ දැක්වෙන්නේ ඉතා අහම්බෙන් සිදුවන සංසිද්ධියක් ලෙසය. ලෝවැඩ සඟරාවේ මනුෂ්‍ය ජීවිතය ලැබීම ගැන අර්ථ දැක්වීමට මෙය පාදක කර ගැනේ. වියගසක් දෙකට බිඳී දිය පහරක් ඔස්සේ මුහුදට වැටී ඒ මේ ඇත පාවී, කිසියම් සුළු මොහොතකට ඒ කැබලි දෙක ළංවි අර බිඳී ගිය සිදුර මොහොතකට ඇති කරන්නේ නම් එය දුර්ලභ සංසිද්ධියක් වන්නේය.
ආචාර්ය මහින්ද මොරගොල්ලගේ “විය සිදුරෙන් අහස දකිමි” යැයි නම් තැබුණු අපදානයෙන් ද කියවෙන්නේ ඉතා කලාතුරකින් කෙනෙකු සරි කර ගන්නා ඉලක්ක මෙන්ම අහඹුවෙන් ඔහු ලැබූ ජයග්‍රහණ හා ඒවා සමඟ බැඳී ගිය සුඛ දෝමනස්සයන්ය.
ස්වයං ලිඛිත අපදානයක් ද්‍රාවණයක් නම් එය වත් කළ යුතු කෝවේ තිබිය යුතු ලක්ෂණ කිහිපයක් විශ්ව සාහිත්‍යය පෙන්වා දෙයි. ඒවා නම් රචකයාගේ උපත සිදු වූ ස්ථානය, පෞද්ගලික ජීවිතය, වැදගත් අවස්ථා, සරි කර ගත් ඉලක්ක හා ඔහුගේ ජීවිතයේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන්ය. මොරගොල්ලයන්ගේ චරිතාපදානයෙහි මේ සියලු කරුණු වස්තු විෂය වී ඇත්තේය. එබැවින් එය පරිපූර්ණ කෘතියක් වේ.
“මනුෂ්‍යත්වයේ විශිෂ්ටතාව වන්නේ මනුෂ්‍යයකු වීම නොව මානුෂික වීමය” යන්න මහත්මා ගාන්ධිගේ ප්‍රසිද්ධ අර්ථ දැක්වීමකි. යට කී කෘතිය පුරාම මහින්ද මොරගොල්ලගේ මානුෂික ලක්ෂණයන්හි උච්චාවචනය හා බැඳී ඇත්තේය. පරිපාලන සේවකයකු ලෙසින් ජන හද දැඩිව ස්පන්දනය කරන්නට ඔහු සමත්ව ඇත්තේය. ඔහුගේ අක්මුල් විහිද ගිය පවුල් පසුබිම, අධ්‍යාපනය, සාහිත්‍ය සේවනය මතු නොව මානව හිතවාදය එහි දී තීව්‍ර වේ. සිය සේවා වපසරිය තුළ දී මී ඔය ව්‍යාපාර අධිකාරී ලෙසින් ගොවීන්ට සුහදව ක්‍රියාමාර්ග ගත් අන්දම මෙයට කදිම නිදසුනක් වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ පවතින ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම අන්තර් ක්ෂේත්‍රයන්හි නිලධාරීන්ගේ “හිස් ඉදිමීම්” ඉවසා ගෙන තම කාරිය කිරීමට කතුවරයා සමත් වන්නේ තම හප දිරවාගත් ජීවිතයේ යට කී අක්මුල්වල ප්‍රබලත්වය නිසාය.
“ස්වයං ලිඛිත අපදාන පමණක් සත්‍ය වූ ඉතිහාසය වන්නේය” යන්න තෝමස් කාලයිල් සහ රැල්ෆ්වල්ඩෝ එමර්සන් කියා ඇත. විය සිදුරෙන් අහස දකිමි කෘතිය තුළ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයේ හරස් කැපුමක් විද්‍යමාන වේ. ඔබ සිතනු ඇත්තේ අවංකවම සිය සේවය පසුපස ජනප්‍රියත්වය, ජන ප්‍රසාදය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ගෞරවය හඹා එනු ඇති බවය. එහෙත් අවංකව කෙරෙන රාජකාරි කරන්නවුන් හඹා එන බවත් ඔවුන් කැපිලි පමණක් නොව බිම් බෝම්බ ද අටවන බව ද මනාව දන්නේ ඒ ව්‍යසන අත්දුටුවන් පමණි. මෙය ශ්‍රී ලංකාව තුළ සිදුවන ඉතා කුප්‍රකට දෙයකි. ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය තුළ සිය අත්දැකීම් මෙලෙස ගොනුකර ඇත්තේ කිහිප දෙනෙකු පමණය. බ්‍රැඩ්මන් වීරකෝන්, සරත් අමුණුගම, ඔස්ටින් ප්‍රනාන්දු ආදීන් එලෙසින් අපදාන ලියමින් සිය ජීවිතය හා බැඳුණු සංසිධීන්ද ඇසුරු කළ පුද්ගලයන් ගැන ද ලියා ඇත්තාහ.
එහෙත් අවධානයෙන් අපදානය කියවන්නකුට එහි යටිපෙළ මනාව ස්පර්ශ කළ හැකිවේ. ඒ යටිපෙළේ ඇත්තේ රචකයාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික ආත්මය වන්නේය.
ආචාර්ය මහින්ද මොරගොල්ල යට කී බාධක මැඬ ගනිමින් සංතුෂ්ටිය මෙන්ම සිත් වේදනාවන්ද ලබමින් අට ලෝ දහම කෙරේ නොසැලී ගිය සිය ගමන ගැන ආවර්ජනයක් කරයි. එබැවින් මෙය කියවන්නාට අර්ථ සම්පත්තීන් ගෙන දෙන කෘතියක් බවට නිසැකය. දුක් ගැහැට ගැන කම්පාවී තම ඉලක්ක ගැන භංගා අපේක්ෂණයෙන් තැවෙන සිත් ඇති පිරිස්වල මෝහාන්ධකාරය මෙම අපදානයෙන් දුරලයි.
තිලකරත්න රත්නායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය