Home » අනුරපුරය හොල්ලපු SF ලොක්කා පරලොව යැවූ පොලිස් කොන්ත්‍රාත්තුවේ මුල මැද අග

අනුරපුරය හොල්ලපු SF ලොක්කා පරලොව යැවූ පොලිස් කොන්ත්‍රාත්තුවේ මුල මැද අග

by gayan
September 14, 2024 12:30 am 0 comment

කුලියට මීනී මරන්නේ පාතාලය යැයි කීවාට පොලිසියේ ඇතැම් උදවියද කුලියට මිනී මරති. බස්නාහිර පළාත් උතුරු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පොලිස් කණ්ඩායමක්ම මරණීය දණ්ඩනයෙන් මේ වන විට දඩුවම් ලබා සිටින්නේද කුලියට මිනී මරාය. මෙසේ කුලියට මිනී මරා දඬුවම් ලබන එකම පොලිස්කාරයා වාස් ගුණවර්ධන පමණක් නොවේ.

දේශපාලන හයිහත්තිය ද ඇතිව අනුරාධපුරය හොල්ලාගෙන සිටි තවත් ප්‍රබල පාතාලයේ අපරාධකරුවෙක් වූ එස්. එෆ්. ලොක්කාගේ ඝාතනය ද පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ කොන්ත්‍රාත් ඝාතනයක් බව මේ වන විට හෙළි වී හමාරය. ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වන්නේ අනුරාධපුරයම හොල්ලාගෙන සිටි ප්‍රබල පොලිස්කාරයෙක් වූ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ඇතුළු ඔහුගේ ගෝලබාලයන් කිහිප දෙනකු වෙතය. 2020 වසරේ අගොස්තු 05 වෙනිදා මහ මැතිවරණය පැවති දින මැතිවරණ උණුසුම අස්සේ එස්. එෆ්. ලොක්කාව ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කරනු ලබන්නේ ඔහු සිය බිරිය යැයි කියාගන්නා කත සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අනුරාධපුර දහයියාගම හන්දියේදීය. ඒ යතුරුපැදියකින් ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය හඹාගෙන විත්ය.

මෙම ඝාතනය සිදු වන විට අනුර­ාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටියේ සංජීව මහනාමය. එදා මෙම ඝාතනයේ ගැන විමර්ශන මෙහෙයවනු ලැබුවේ ඔහුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවූ ගැටුමකින් එස්. එෆ්. ලොක්කා ඝාතනය වූ බවට මතයක් ගොඩනඟමින් එම ඝාතනය සමාජ අවධානය වෙනතකට හැරවීමට ඔහු උපක්‍රමශීලීව ක්‍රියා කළේය. ඒ තමාට හිතවත් මාධ්‍ය කණ්ඩායමක්ද යොදාගෙනය. එම මාධ්‍ය කණ්ඩායම අදටත් සංජීව මහානාමට එරෙහිව මේ ගැන එක වචනයක් කතා කරන්නේ නැත. ලියන්නේද නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් එස්. එෆ්. ලොක්කාගේ ඝාතනයේ මෙතෙක් සැඟවුණු බොහෝ දේවල් අධිකරණය හමුවේද කරුණු දක්වා ඇත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු රැසක් පදනම් කරගෙනය. එකී තොරතුරුවලට අනුව එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය රුපියල් කෝටි 13ක කොන්ත්‍රාත්තුවකි. මේ හැම දෙයක්ම මුල සිටම සඟවමින් විමර්ශන නොමඟ යැවීමට සංජීව මහානාම ක්‍රියාකාර ඇති බව දැන් කෙරෙන විමර්ශනවලින් පෙනී ගොස් හමාරය. එස්. එෆ්. ලොක්කාට ගැහැනු හැමතැනමය. අනියම් බිරින්දෑවරු මෙන්ම පෙම්වතියන්ද බොහෝය. ඒ අතර එක් පෙම්වතියකගේ සැමියා විසින් එස්.එෆ්. ලොක්කාව ඝාතනය කළ බවට වූ මතයක්ද ගොඩනැඟීමට මෙම විමර්ශනය යට ගැසීමට උත්සාහ දැරූවෝ එකල කටයුතු කර තිබුණේය. ඒ හැරුණු කොට මෙම ඝාතනය පොලිසියේ ඉහළම නිලධාරීන් සමඟ මචං ගාණට ඇසුරු කරන මතුගම හොල්ලාගෙන සිටින ශාන් නමැති පාතාලයේ අපරාධකරු විසින් කළ බවට වූ මතයක් ද ගොඩනඟමින් ඔහුගෙන්ද ප්‍රශ්න කිරීමට මේ පොලිස් කණ්ඩායම කටයුතු කර තිබුණේ විමර්ශන හැම පැත්තෙන්ම අවුල් වියවුල් කර ඝාතකයන්ට නිදැල්ලේ සිටින්නට ඉඩ සලසන්නටය. එසේම එස්.එෆ්. ලොක්කා මෝදර කිඹුලාඇළ ගුණා සමඟ මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බැවින් මත්කුඩු ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට වූ මතයක් ද මෙකී නිලධාරීන් මතුකරන්නට උත්සහයක ද එකල නිරත වී තිබුණේය. මේ හැම දෙයක්ම ඔවුන් විසින් සිදු කරනු ලැබුවේ ඉහළ පොලිස් නිලධාරීන්ව පවා නොමඟ යවමිනි. එහෙත් එකල උතුරුමැද පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට මේ ගැන යම් ඉවක් වැටී පස්සෙන් පන්නා ඇතත් වැඩේ අතට අල්ලා ගැනීමට අවස්ථාවක් ලැබී නැත්තේ වයස අවුරුදු 60 සම්පූර්ණ වෙමින් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදුවූ බැවිනි.

එසේ කාලයත් සමඟ සැඟවෙමින් තිබුණු එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය එළියට එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරයට සංජීව මහානාම සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කර ගැනීමත් සමඟිනි. දැඩි දේශපාලන සම්බන්ධකම් හා හයිහත්තියෙන් අනුරාධපුරයම හොල්ලා ගෙන සිටි සංජීව මහානාමගේ ඒ බලය ඒ වන විටත් තිබෙන්නේ වියැකීය. උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් සංජීව මහානාම අත්අඩංගුවට ගැනීමට පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාධා නොමැතිව හැකියාවක් ලැබෙන්නේ ද ඒ නිසාමය.

උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට සංජීව මහානාම වෙඩි තබන්නේ ඇයි දැයි තවමත් පැහැදිලිවම අනාවරණය වී නැතත් එම සිදුවීමෙන් පසු පවුල් පිටින් උද්දික කැනඩාවට යන්නේ රැකවරණය පතාය. දැන් ඔහු සිටින්නේ කැනඩාවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීම සංජීව මහානාම සහ උද්දික එක්ව කළ නාඩගමක් බවය.

උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීම සංජීව මහානාම සහ උද්දිකගේ නාඩගමක් බව හෙළි වන විට ඒ සම්බන්ධයෙන් පසුගිය ජූනි 23 වෙනිදා සිළුමිණ පුවත්පතේ මෙම ලියුම්කරු සංජීව මහනාමගේ පැටිකිරිය එළියට දමමින් සටහනක් තබන්නේ එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය හා මහනාමගේ නම ඈඳී ඇති බව හෙළි කරමිනි.

යුද හමුදා විශේෂ බළකායට සාමාන්‍ය සෙබළෙක් ලෙස 2007 වසරේදී එක්වන ඉරෝෂ් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා හමුදා සේවයේ නිරතව සිටියදී සිය ජීවිතය නොතකා සිය සගයන්ගේ ජීවිත බේරාගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රණවිරුවන්ට පිරිනැමෙන රණශූර පදක්කම පවා හිමි කරගෙන ඇත්තෙකි. පාපන්දු ක්‍රීඩාවට එක්වී පාදයකට සිදුවූ අබාධයක් ද සමඟ කල් ගෙවූ ඔහු පසුව 2015 වසරේදී යුද හමුදාවෙන් පලා විත් මැරකම්වල නිරත වන්නට ගන්නේ ඔහු ජීවත්වූ දහයියාගම පැත්තේ වැසියන්ට හිසරදයක් බවට පත්වෙමිනි.

එස්.එෆ්. ලොක්කා රටම දන්නා ක්‍රප්‍රකට පොරක් වන්නේ 2015 වසරේ ඔක්තෝබර් 24 වෙනිදා අනුරාධපුරයේදී ඔහු අතින් සිදුවන ආන්දෝලනාත්මක මිනිස් ඝාතනයක් සමඟිනි. ඔහු අතින් එදා ඝාතනය වන්නේ කරාතේ සූරයකු වන රටක්ම දැන හඳුනාගෙන සිටි වසන්ත සොයිසාය. කලැත්තෑවේ සොයිසාගේ පුතෙක් වන වසන්ත සොයිසා එකල රූපවාහිනියේ පැවති ත්‍රාසජනක රියැලටි වැඩසටහන්වල කැපී පෙනෙන චරිතයකි. ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලින් ගීනස් වාර්තා කිහිපයක්ද ඔහු තබා සිටියෙකි.

වසන්ත සොයිසා ඝාතනය වන්නේ අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ මුදිතා මාවතේ පිහිටි පැනෝරාමා සමාජ ශාලාව තුළදී ය. එම සමාජ ශාලාවේ හිමිකරු වූයේ වසන්ත සොයිසාය. අනුරාධපුරයට නයිට් ක්ලබ් සංස්කෘතියක් රැගෙන ආ මෙම සමාජ ශාලාව ස්ථාපිත කළ දින සිට ඊට ප්‍රදේශවාසීන් ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් එල්ලවී තිබුණේ දැඩි විරෝධයකි. ඔහු සමාජ ශාලාව පවත්වාගෙන යන්නට වූයේ එම විරෝධතා නොතකමිනි.

එස්.එෆ්. ලොක්කාද මෙම සමාජ ශාලාවට නිතර ආගිය අයෙකි. යුද හමුදා විශේෂ බළකායේ සේවයේ නිරතව සිටි ඔහු පදිංචිව සිටියේ අනුරාධපුර දහයියාගම හන්දියේය. ඒ වන විට ඔහු හමුදාවෙන් පලා විත් සිටි සෙබළෙකි. ඔහු වටා ගමේ කොල්ලෝ කුරුට්ටන් දෙතුන් දෙනෙක් එක්ව සිටියහ. ඒ අයට කන්න බොන්න දුන්නේ ඔහුය. පැනෝරාමා සමාජ ශාලාවට ඔහු ආවේ ගියේද ඒ අය සමඟිනි. එම සමාජ ශාලාවේ සේවයේ නිරතව සිටි තරුණියන්ට එස්.එෆ්. ලොක්කාගෙන් ගැලවිල්ලක් නොවීය. කල්යත්ම එස්.එෆ්. ලොක්කා සමාජ ශාලාවෙන් ඔහු ලබාගන්නා සේවය වෙනුවෙන් ගෙවීම් නොකර වැඩ පෙන්නන්ට ද ගත්තේය. ඒ වසන්ත සොයිසාගේ හයි හත්තිය ගැනද හොඳ හැටි දැනගෙනය.

සමාජ ශාලාවට එස්.එෆ්. ලොක්කා හිසරදයක් වන්නට වැඩි කලක් ගත වූයේ නැත. පැනෝරාමා සමාජ ශාලාව ඔහුට තහනම් කලාපයක් බවට පත්විය. එම තහනම නොතකා ඔහු සමාජ ශාලාවට රිංගුවේය. සමාජ ශාලාවේ ආරක්ෂකයන් සහ එස්.එෆ්. ලොක්කා අතර ගැටුම් ඇතිවන්නේ ඒත් සමඟිනි. එම ගැටුම දුරදිග යන්නේ සමාජ ශාලාවට අත්බෝම්බ ප්‍රහාරයක් එස්.එෆ්. ලොක්කා විසින් එල්ල කළ බවට වූ චෝදනාවක්ද ගොඩනැඟෙමිනි. එස්.එෆ්. ලොක්කා විසින් එල්ල කළේ යැයි කියැවෙන එම බෝම්බය පුපුරා නොගිය එකකි. එය වැටී තිබෙන්නේ සමාජ ශාලාව ඉදිරිපිටය. අනුරාධපුර පොලිසිය ද එහි විත් පරීක්ෂණ ආරම්භ කළේය. ඒ වසන්ත සොයිසාගේ පැමිණිල්ලකට අනුවය. පොලිස් විමර්ශනවලින් පෙනී ගියේ එම බෝම්බය පුපුරා ගොස් නැත්තේ එහි පින් එක ගලවා නොමැතිකම නිසා බවය. විශේෂ බළකායේ සෙබළකු වූ එස්.එෆ්. ලොක්කා හමුදා සේවයේ නිරතව සිටි වකවානුවේදී බෝම්බවලින් වැඩ දැමූවෙකි. එවැන්නෙක් පින් එක ගැලවීමකින් තොරව බෝම්බ ප්‍රහාරයක් එල්ල කරතැයි සිතන්නවත් බැරිය. ඒ ගැන පොලිසියට පවා එකල ගැටලු ගෙන දුන්නේය. එස්.එෆ්. ලොක්කා ද අනාගතයේ හිසරදයක් වනු ඇති අයකු වන බව වටහාගත් පොලිසිය ඔහු පස්සේ පන්නන්නට ගත්තේය. පැනෝරාමා සමාජ ශාලාවට එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිසක් පහර දෙන්නේත් වසන්ත සොයිසා ඝාතනය වන්නේත් මේ අතරතුරදීය. එදා එස්.එෆ්. ලොක්කාගේ නායකත්වයෙන් තිහකට වැඩි පිරිසක් එදා රෑ සමාජ ශාලාවට කඩා වදින්නේ පොහොර උරවලින් සැකසූ ඇඳුම් හැඳ මුහුණු ආවරණය කර ගනිමින් පොලු මුගුරු සහ මන්නා පිහි වලින් සන්නද්ධවය. එක පොදියට සමාජ ශාලාවට කඩා වැදෙන ඔවුන් ඉවක් බවක් නොමැතිව සමාජ ශාලාවේ දේපොළවලට පහර දෙමින් හානි කරන්නේ නැවත සමාජ ශාලාව ගොඩගන්නට බැරි වෙන තරමටය. වසන්ත සොයිසා ඝාතනය වන්නේ සමාජ ශාලාවට පහරදෙන මේ නින්ජාවරුන්ට තමා දන්නා කරාතේ ශිල්ප ක්‍රමවලින් පහරදෙන්නට ඒ අය ඉදිරියට තනිවම පැමිණීම නිසාය. වසන්තව වටකර පොලු මුගුරුවලින් පහර දෙන ඔවුන් අවසානයේදී ඔහුව මෙල්ල කරන්නේ මන්නා පහර කිහිපයකිනි.

සිය මෙහෙයුම සාර්ථකව අවසන් කළ එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිස ලොරි රථයකින් පලාගොස් සැඟවී සිටියත් වැඩි කාලයක් ඔවුන්ට සැඟවී සිටින්නට ඉඩක් නොවීය. එකා දෙන්නා පොලිසියට කොටු වන්නට ගත්තේය. එසේ කොටුවූ පිරිස 37 දෙනෙකි. එස්.එෆ්. ලොක්කා නම් වූ අලුත් පාතාල චණ්ඩියාගේ නම මුලින්ම පොලිස් පොත්වල ලියැවෙන්නේ ඒත් සමඟිනි. ඒ වන විට ඔහු සිටින්නේ අනුරාධපුරයෙන් පළාගොසිනි. පොලිසිය ඔහුව අල්ලා ගන්නේ හලාවත පැත්තේ සැඟවී සිටියදීය. ඒ සඳහා ඔහුට යම් දේශපාලනමය රැකවරණයක් ලැබුණු බව එකල කියැවිණි.

වසන්ත සොයිසාගේ ඝාතනයට අල්ලාගත් එස්.එෆ්. ලොක්කා වසරකට වැඩි කාලයක් ඇප නොමැතිව හිරේ සිටියේය. ඒ අනුරාධපුර බන්ධනාගාරයේදීය. අපරාධකරුවකු ලෙස ශිල්පය හොඳ හැටි ලබන්නේත් රටේම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගන්නේත් ඒ කාලය තුළදීය. එහෙත් ඔහු ඇප මත 2017 වසරේ පෙබරවාරි 09 වෙනිදා එළියට එන්නේ වීරයකු ලෙස යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. ඔහුව පිළිගන්නට යන්නේ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ කණ්ඩායමකි. ඒ පැනෝරාමා සමාජ ශාලාවට එකල සමාජ විරෝධතාවක් පැවැති බැවින් එම සමාජ ශාලාවට ඔහු පහර දීම තුළින් ඒ අය එස්. එෆ්. ලොක්කාව වීරයකු ලෙස දකින්නට වූ බැවිනි.

එතැන් සිට ඔහු වීරයකු ලෙස සමාජය හමුවේ හැසිරෙන්නට ගත්තේය. සිංහල බෞද්ධයන්ට සිදුවන අසාධාරණකම් ගැන පවා ඔහු හඬ නඟන්නට ගත්තේය. පිරිත් නූල් වලින් ඔහුගේ අත පිරී ගොසිනි. මෙසේ ඔහු සමාජය හමුවේ වීරයකු ලෙස පෙනී සිටින්නට වූයේ බන්ධනාගාරයේ සිට අනුරාධපුරයේ තෝරාගත් ව්‍යාපාරිකයන් බිය ගන්වමින් කප්පම් ගැනීම්වල ද නිරතවූ බව පොලිස් පොත්වල ලියැවී තිබියදීය.

හිරෙන් එළියට ආ සැණින් ඔහු සුඛෝපභෝගී ජීප් රථයක් පවා මිලදී ගත්තේ හිරේ ඉඳන් ලබාගත් කප්පම් මුදල්වලිනි. එතැන් සිට ඔහු සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නේ අනුරාධපුරයේ ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රසිද්ධියේ කප්පම් ගනිමිනි. ඒ අතර ඔහු අනුරාධපුරයේ පිහිටි යම් ව්‍යාපාරික ස්ථානයක් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක ද නිරත වන්නට වූයේ සිය සමාජ ජාල ගිණුමක් ඔස්සේය. ඒ තුළින් ඔහු සමාජයේ තවදුරටත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් දකින්නට ලැබෙන වීරවරයකු ලෙසිනි.

ශාරීරික ව්‍යායාම් තුළින් පුම්බාගත් ඇඟත් ඊටම සරිලන ලෙස කෙටූ පච්චාත් නිසා නියම මැර චරිතයක් ඔහුගෙන් විද්‍යාමාන විය. එකල ඔහුව වැඩි වශයෙන් දකින්නට ලැබුණේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර පිහිටි විහාරස්ථානයකදීය.

ඇප මත නිදහස ලැබූ එස්.එෆ්. ලොක්කාට වැඩි කාලයක් මෙසේ රඟන්නට ඉඩක් නොවීය. 2017 වසරේ අප්‍රේල් මාසයේදී නැවතත් ඔහුට බන්ධනාගාරගත වන්නට සිදුවන්නේ කල්බදු සමාගමකට අයත් මෝටර් රථයක් කොල්ලකෑමක් සම්බන්ධයෙනි. අනුරාධපුරයේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව එම මෝටර් රථ කොල්ලය සිදුව තිබුණු බව පොලිස් විමර්ශනවලින් හෙළිවිය.

එදා එම මෝටර් රථ කොල්ලයට එස්.එෆ්. ලොක්කා පොලිසියට හසුවන්නේ අත්බෝම්බයක්ද සමඟිනි. එවර බන්ධනාගාරගත වන ඔහු නැවත එළියට එන්නේ අනුරාධපුරයේ මත්කුඩු බෙදාහැරීමේ ජාලය සියතට ගෙනය. ඒ පැමිණි ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතුවලද නිරත වන්නේ පොලිසියටද කොකා පෙන්වමිනි. ඔහු ඒ වන විට භාවිත කළ ප්‍රාඩෝ රථයක අපේක්ෂකයකුගේ රුව ඇතුළත් ස්ටිකරයක් අලවමින් අනුරාධපුරයේම ගමන් කරන්නට වූයේ පොලිස් අණ ද නොතකාය. එසේ මැතිවරණ සමයේ දැඟලූ ඔහු මැතිවරණය අවසන් වන විට සිටින්නේ නැවතත් බන්ධනාගාරයේය. ඒ බැකෝ යන්ත්‍රයක් බලහත්කාරයෙන් රැගෙන නිදන් හාරන්නට ගොසිනි. තමා සහය දුන් ජනපති අපේක්ෂකයා ජයගත්තද ඔහුට එදා නිදහසක් නම් හිමි නොවීය. ඒ යැයි කියා ඔහු නැවත් ඇප මත එළියට විත් නිහඬව සිටියේ නැත. අනුරාධපුරයේ සිය අණසක පතුරුවමින් මහා මැතිවරණයේ දේශපාලන කටයුතුවලටද සම්බන්ධ වන්නට උත්සාහ ගත්තේය. ඒ එතෙක් ඔහු සහය දුන් අනුරාධපුරයේ දේශපාලන බලවතාව අතහැරය.

එදා මුළු රටම සිටියේ මැතිවරණ උණුසුමෙනි. ඒ අස්සේ සිදුවන මෙම ඝාතනය දැන සිටියේ දෙතුන් දෙනක් පමණි. සංජීව මහානාම සිටින්නේ මැතිවරණයේ ආරක්ෂක රාජකාරියේය. පොලිසියේ හැමෝම පාහේ මැතිවරණ ආරක්ෂක කටයුතුවලය. ඒ අතර එදා උදෑසන එස්.එෆ්. ලොක්කා සිය බිරිඳ යැයි කියන පෙම්වතිය සමඟ අනුරාධපුර දහයියාගම පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයට ගියේ සුපුරුදු ලෙසිනි. ඇය අනුරාධපුරයේ මත්කුඩු ජාවාරම්කරුවකු වන කුඩු චූටිගේ බිරියය. එස්.එෆ්. ලොක්කා ඇයව සිය පෙම්වතිය කර ගනිමින් නිවෙසේ තබාගන්නේ කුඩු චූටි බන්ධනාගාරගත වීමකින් පසුවය.

සිය පෙම්වතිය සමඟ පැය කිහිපයක් කායවර්ධන අභ්‍යාසවල නිරතවූ එස්.එෆ්. ලොක්කා එම ස්ථානයෙන් එළියට බසින්නේ දහයියාගම පිහිටි නිවෙසට යාමේ අරමුණ ඇතිවය. එස්.එෆ්. ලොක්කා වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ ඒ අතරතුරදීය. ඝාතකයෙන් නැති ඝාතනයක් බවට සිව් වසරක් තිස්සේ පැවති මේ අපරාධය පොලිසියේ කොන්ත්‍රාත්තුවක් බව හෙළි වන්නේ අනුරාධපුරයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධකම් ඇති බැටා නමැති පුද්ගලයකු විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කරන ලද ප්‍රතාශයක් සම්බන්ධයෙන් වූ තොරතුරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදු කළ මූලික විමර්ශනයක් ඔස්සේය. එකී පැමිණිල්ල පොලිස්පතිවරයාගේ නියෝග ප්‍රකාරව 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් ආරම්භ කර ඇත්තේ අධිකරණයටද කරුණු වාර්තා කරමිනි.

ඊට අනුව බැටා යන අය 2015 වසරේදී රක්ෂිත බන්ධනාගාරගතව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිට ඇත්තේ කේරල ගංජා ළඟ තබාගැනීමක් සම්බන්ධයෙනි. එස්.එෆ්. ලොක්කා ද මේ කාලය තුළ රඳවා සිට ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේය. එහිදී බැටා සහ එස්.එෆ්. ලොක්කා අතර ඇතිවූ ආරවුලක් මුල්කරගෙන එස්.එෆ්. ලොක්කාට එරෙහිව වැඩ ගැනීමට අනුරාධපුරයේ එවකට පොලිස් කණ්ඩායමක් පියවර ගෙන ඇත. ඒ අතර සංජීව මහානාම සහ උප පොලිස් පරීක්ෂකවරයෙක් ද පොලිස් සැරයන්වරයෙක් ද සිට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දක්වා ඇති ආකාරයට අනුව මෙම පොලිස් නිලධාරීන් බැටා සමඟ එක්ව සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇත. ඒ ගැන දැක්වෙන්නේ යැයි සඳහන් වන්නේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ යොමු කළ පැමිණිල්ලෙහිය.

එම පැමිණිල්ල මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කර ඇති කරුණු දැක්වීම්වල සඳහන්ව ඇත්තේ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම විසින් බැටා යන පුද්ගලයාව සිය කාර්යාලයට කැඳවා එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවය. එක්තරා දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකුට අයත් අනුරාධපුර උළුක්කුලම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් වෙත ගොස් ටී 56 අවියක් ලබාදී බැටා නමැත්තාට වෙඩි පුහුණුවක් පවා ලබාදී ඇති බව එහි සඳහන්ය.

මෙම සිදුවීමෙන් අනතුරුව 2020 අගෝස්තු 05 වෙනිදා උප පොලිස් පරීක්ෂක හා සැරයන්වරයා ටී 56 අවියක් සමඟින් අදාළ මන්ත්‍රීවරයාට අයත් සුදු පැහැති වැගන් ආර් රථයකින් පැමිණ බැටාව රැගෙන ගොස් මන්ත්‍රීවරයාගේ අනුරාධපුර විජයපුර නිවසේ නතර කළ බවද කියැවේ. එස්.එෆ්. ලොක්කා ඒ වන විට සිටින්නේ කොහේදැයි සොයා බැලීමට උප පොලිස් පරීක්ෂකවරයා සහ මන්ත්‍රීවරයා වැගන් ආර්. රථයේ නැඟී ගමන් ගත්තේ යැයි ද අධිකරණය හමුවේ දක්වා ඇති කරුණු අතර ලියැවී ඇත්තේය. එස්.එෆ්. ලොක්කා රැඳී සිටින ස්ථානය ගැන මන්ත්‍රීවරයාත් උප පොලිස් පරීක්ෂකවරයාත් පොලිස් සැරයන්වරයාට දැනුම් දුන්නේ යැයි කියැවෙන්නේ ඊට සුළු වේලාවකට පසුවය. එම ඇමතුමට අනුව බැටාත් පොලිස් සැරයන්වරයාත් යතුරුපැදියක නැගී ගමන් ගත්තේ යැයි සඳහන් වන්නේ අනුරාධපුර දහයියාගමටය. එස්.එෆ්. ලොක්කාට වෙඩි තබා මරා දැමුවේ කියන්නේ ඒ ගිය ගමනේදීය.

එස්.එෆ්. ලොක්කාගේ ඝාතනයෙන් පසු අනුරාධපුරයේ පදිංචි ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් විසින් මෙම පොලිස් නිලධාරීන්ට රුපියල් කෝටි 13ක් ලබාදී ඇති බවද පැමිණිල්ලෙහි සඳහන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දක්වා ඇති කරුණුවල සඳහන්ය. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇත්තේ එකී ව්‍යාපාරිකයන් හඳුනා ගන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලට අනුව එකී ව්‍යාපාරිකයන් සුළු ජාතිකයන් ය.

සංජීව මහානාම දැන් සිටින්නේ බන්ධනාගාරගතවය. ඔහුව අත්අඩංගුවට ගන්නේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙනි. මේ හැම දෙයක්ම එළියට එන්නේ ඒත් එක්කමය. එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය සිදුවන විට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ඔහු උද්දිකගේ මෝටර් රථයට වෙඩි තබන විට සහකාර පොලිස් අධිකාරීවරයෙකි.

වැඩි කාලයක්ම අනුරාධපුරයේම සේවය කර ඇති සංජීව මහනාම අනුරාධපුරයේ නමක් දිනා සිටි නිලධාරියෙකි. ඔහුගේ නම මේ ආකාරයට කැත වන්නේ ඔහු සීමාව ඉක්මවා දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු ඇසුරු නොකළ යුතු පුද්ගලයන් ඇසුරු කරමින් බලයෙන් උදම්වූ බැවිනි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට සහකාර පොලිස් අධිකාරීධුරයට උසස්වීම් ලැබීමේදී ඔහු ඉදිරිපත් කළා යැයි සැලකෙන ඇතැම් සහතික සම්බන්ධයෙන්ද පොලිසිය ඇතුළෙන්ම ලොකු විරෝධයත් පසුගිය කාලයේ එල්ලවී තිබුණේය. ඒ එම සහතිකවල නිරවද්‍යතාවය සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දක්වා ඇති කරුණු දැක්වීම්වලට අනුව සංජීව මහනාම අනුරාධපුර පොලිස් ස්ථානයේ රාජකාරි සිදුකරන කාලයේදී අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අය සමඟ සමීප සම්බන්ධකම් පවත්වත්වමින් කරකී දෑ ගැන ද සඳහන් කර තිබීම විශේෂිතය. සංජීව මහානාමත් උප පොලිස් පරීක්ෂකවරයාත් පොලිස් සැරයන්වරයාත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් නීති විරෝධි ක්‍රීයාකාරකම්වල නිරතව සිට ඇති බවද බැටා විසින් පවසන්නේ යැයිද අධිකරණයට දක්වා ඇති කරුණු දැක්වීම්වල සඳහන්ය. ඒ හැම කරුණක් සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මෙම නිලධාරීන් අයථා ලෙස උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන්ද වෙනම සොයා බැලීමක් සිදුකරන අතරතුරදීය.

කෙසේ වෙතත් හැම නිලධාරියෙක්ම බලා සිටින්නේ අනුරාධපුරයම හොල්ලාගෙන සිටි සංජීව මහානාම ඇතුළු මේ නිලධාරීන්ගේ සැබෑ පැටිකිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන රටට කියන තුරුය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division