රට වටේම මුහුදින් වට වූ අප රටේ සාගර සම්පත් බොහෝය. මත්ස්‍ය අස්වැන්න මෙන්ම සාගරයේ සැඟව ඇති වස්තූන් මෙන්ම සංචාරක ආකර්ෂණය ඇති මුහුදු වෙරළද ස්වාභාවිකව පිහිටි ත්‍රිකුණාමලය වැනි වරායන්ගෙන් අපට ලබාගත හැකි ආදායමද බොහෝය. එහෙත් අද වන විට නෞකා ලෝකය පුරාම ශ්‍රී ලංකාවේ නම රැඳී ඇත්තේ කොළඹ වරාය නමිනි. අතීතයේ සිටම වාණිජ නෞකා හා සම්බන්ධ වූ කොළඹ වරාය මේ වසරේ මුල් කාර්තුවේ වාර්තාවක් පිහිටුවන ලදි.
ඒ ලෝක ශ්‍රේණිගත කිරීමකට අනුව මේ වසරේ මුල් කාර්තුවේ බහාලුම් මෙහෙයුම් වර්ධන වේගයෙන් ලෝකයේ හොඳම වරාය ලෙසට පත් වෙමිනි. ඒ සම්බන්ධයෙන් හා වරායේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් සමඟ පැවැති සාකච්ඡාවකි මේ.
කොළඹ වරාය ඉතිහාසගත වාර්තාවන් දෙකක් මේ වසරේදී තබා ඇති බව බොහෝදෙනා නොදන්නා කරුණකි. ඒ අතරින් මුල් තැනක් ගන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමකට අනුව ඇෙමරිකාවේ වරායන් පවා අබිබවමින් කොළඹ වරාය මේ වසරේ මුල් කාර්තුවේ බහාලුම් මෙහෙයුම් වර්ධන වේගයෙන් ප්‍රථමස්ථානයට පත්වීමයි. දෙවැන්න වරාය ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීමක් මේ වසරේදී සිදු කිරීමයි.
මේ වසර තුළදී බහාලුම් මෙහෙයුම් කාර්යක්ෂමතා වර්ධනය 20%කින් පමණ වැඩිව තිබීම වරායේ මේ වසරේ දියුණුවට හා ආදායම වැඩිවීමට හේතු වී ඇත.
ඇතැම් අය වරාය වෘත්තීය සමිති හඳුන්වන්නේ ප්‍රශ්න රැගෙන එන නිරතුරුවම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා සමිති බවයි. එසේ වුවත් පසුගිය කාලයේ එම සමිති වරායේ දියුණුවට අදහස් ඉදිරිපත් කිරීම මෙන්ම කැපවීමෙන් රාජකාරි කටයුතුවල නියැළීම නිසා වරාය කාර්යක්ෂමතාවයෙන් මෙන්ම ආදායම් ලැබීම අතින් ඉහළට ඔසවා තබන්නට හැකිවිය. එසේම වරායේ ඒ කැපවීමට දායකත්වය සපයන ලද සේවක සේවිකාවන්ට ඉතිහාසගත වැටුප් වැඩි කිරීමක්ද කර තිබේ. සාමූහික ගිවිසුමට අනුව වැටුප් වැඩි කිරීමක් මේ වසරේදී කළ යුතු විය. මේ වසරේ එම වැටුප් වැඩි කිරීම මූලික වැටුප් වැඩි කිරීමට 30%ක් ලෙසින් සිදු කරන ලදි. එය සේවක සේවිකාවන්ගේ කාර්යක්ෂමතාව මෙන්ම සේවයට කැපවීමේ ප්‍රතිඵලයක් බව ඔවුන්ද දන්නා කරුණකි.
2022 වසරේ වාර්ෂික බහාලුම් (කන්ටේනර්) මෙහෙයුම් ප්‍රමාණය මිලියන 6.8ක් වූ අතර එය 2023 වසරේ බහාලුම් මිලියන 6.9ක් ලෙස දැක්වුණි. මේ වසරේ එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් ඇති අතර වසර අවසන් වන විට එය මිලියන 8ද ඉක්මවා යනු ඇත.
විශේෂයෙන්ම රතු මුහුදේ හා සූවස් ඇළේ ගැටලු නිසා නෞකාවන් රැසක් කොළඹ වරාය හරහා ගමන් කරන බැවින් එහි වාසිය ලබා ගැන්මට වරාය අධිකාරිය කටයුතු කර ඇත.
ඉදිරියේදී වරාය සංවර්ධන කටයුතු රැසක් සිදු කරන්නට කටයුතු යොදා ඇති අතර එයින් මූලිකත්වය ගන්නේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් හා බටහිර පර්යන්තයේ ඉදිකිරීම්ය.
ඒ යටතේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වන විට 50%කට වඩා නිම කර තිබේ. එම පර්යන්තයේ සම්පූර්ණ දිග මීටර් 1300ක් වන අතර මේ වන විට එහි ඉදිකිරීම් මීටර් 700 දක්වා නිම කර තිබේ. මේ වසර නිමවන විට එහි සම්පූර්ණ ඉදිකිරීම් අවසන් කරන්නට හැකිවනු ඇත.
නැඟෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම අර්ධ ස්වයංක්‍රීය පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව මිනිස් ශ්‍රමය අවම ලෙසින් හා නවීන තාක්ෂණය යෙදවීම නිසා කඩිනමින් වරායේ කටයුතු සිදු කිරීමට හැකි වනු ඇත. එමඟින් ලොව ඇති විශාලතම නෞකාවන්ට කොළඹ වරායන්ට පැමිණීමට හැකි වනු ඇත. නැඟෙනහිර පර්යන්තයේ උසින් මීටර් 55ක් දක්වාත් බහාලුම් පෙට්ටි 26ක් දක්වා වන පෙළකට මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් හැකි වනු ඇත. වර්තමාන ප්‍රගතිය අනුව 2025දී එහි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇත. එවිට ලෝකයේ ඇති විශාලතම නෞකා 3ක් එක්වර කොළඹ වරායට ඇතුළු කර ඒවායේ මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාව උදාවනු ඇත.
මේ අතර නැඟෙනහිර පර්යන්තයේ දොඹකර 3ක් ජයබහාලු පර්යන්තයට අනුයුක්ත කර ඇති අතර ඒ අනුව එම පර්යන්තයට මේ දක්වා ගෙන ඒමට නොහැකි වූ නෞකාවන්ද ගෙන ඒමට හැකියාව ලැබී ඇත. එම පර්යන්තයද දිගින් මීටර් 120කින් වැඩි කර වැඩි ඉඩ පහසුව සලසා තිබේ.
එසේම ජය බහාලු පර්යන්තයට නව දොඹකර යන්ත්‍ර 12ක් ඇණවුම් කර ඇති අතර එයින් 6ක් මේ වන විටත් ලැබී ඇත.
එමෙන්ම වරාය අංගණ සීමාවන්ද වැඩි කර, විශේෂයෙන්ම හෙක්ටයාර් 75ක් දක්වා අංගණය වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇත. අංගණයට නවීන තාක්ෂණයෙන් යුත් දොඹකර 40ක් ඊට ඇණවුම් කර ඇති අතර, මේ වන විට එයින් 12ක් ලැබී තිබේ. තවත් 8ක් පසුගිය දිනවල ගෙන්වා ගැනීමට හැකියාව තිබුණද ඒවා ගෙන්වා ගැනීම ප්‍රමාද කරන ලද්දේ මේ දිනවල පවත්නා බහාලුම් මෙහෙයුම් වැඩි වීම නිසා දොඹකර ගෙන්වා ඒවායේ කටයුතු වෙනුවෙන් අවධානය යොමු කළ විට මෙහෙයුම් පද්ධතියට බාධා එල්ල වීමට ඉඩ ඇති හෙයිනි.
කොළඹ වරායේ තවත් විශේෂිතම පර්යන්තයක් ලෙස බටහිර පර්යන්තය හඳුන්වා දිය හැකිය. එහිදී එම පර්යන්තයේ හිමිකාරිත්වය අනුව අදානි සමාගමට 51%ක් ජෝන් කීල්ස් ආයතනයට 34%ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක් ලෙස හිමිව ඇත.
බටහිර පර්යන්තය දිගින් මීටර් 1400 කි. එයින් මේ වන විට මීටර් 800ක් දක්වා ප්‍රමාණයක වැඩ අවසන් කර තිබේ.
බටහිර පර්යන්තයේ ගැඹුර මීටර් 60ක් වන අතර, නැඟෙනහිර පර්යන්තය මීටර් 18කින් ආරම්භ වී මීටර් 20ක් දක්වා වැඩි වන ලෙස ඉදි කෙරේ. ඒ අනුව 2026 පළමු කාර්තුව වන විට එහි වැඩ අවසන් කර මෙහෙයුම් වැඩ කටයුතු කළ හැකි වනු ඇත. මේ පර්යන්තයන් දෙකෙහිම වැඩ අවසන් වූ පසුව කොළඹ වරායට වාර්ෂිකව මිලියන 15ක පමණ බහාලුම් මෙහෙයවීමට හැකි වනු ඇත.
වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නිසා මේ වසර අවසන් වන විට කොළඹ වරායට ඇති ඉල්ලුම තවත් වැඩි වනු ඇත. වරාය පිවිසුම් මාර්ගය ඉදිකිරීමෙන් පසුව කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ මෙන්ම හම්බන්තොට වරායටද කඩිනමින් කිසිදු මාර්ග තදබදයකින් තොරව ගමන් කළ හැකි වනු ඇත. එමෙන්ම බහාලුම් ප්‍රවාහනයේදී මහාමාර්ගයේ කිසිදු තදබදයක් ඇති නොවන සේ ගමන් කළ හැකි වන්නේ අධිවේගී මාර්ගය වරායේ සිටම ආරම්භ කෙරෙන හෙයිනි.
එසේම කොළඹ වරායට විදේශ විනිමය වැඩිකර ගැනීමේ තවත් එක් මාර්ගයක් ලෙසින් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් චීනයේ සියැම් පෝට් සමාගමත් සමඟ එක්ව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් අදාළ ගිවිසුම්ද මේ වන විටත් අත්සන් කර තිබේ. එවැනි තවත් සේවා මධ්‍යස්ථාන දෙකක් වරායේ අක්කර 10ක භූමියක ආරම්භ කිරීමටද සැලසුම් කෙරේ. එලෙසින් සේවා මධ්‍යස්ථාන 3ක් කොළඹ වරාය හා බැඳී පැවතීමෙන් අපට විශාල ආර්ථික වර්ධනයක් ඇති කරගත හැකිය.
අනාගත සැලසුම් ලෙසින් අපට පෙන්වා දිය හැක්කේ බටහිර පර්යන්තය හා නැඟෙනහිර පර්යන්තය දීර්ඝ කිරීමයි. 2026 වසරේදී කොළඹ උතුරු වරායේ වැඩ කටයුතුද ආරම්භ කෙරෙනු ඇත. ඒ අනුව වසර 2029 දී කොළඹ වරායට වාර්ෂික බහාලුම් මෙහෙයුම් මිලියන 18ක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වසර 2035 වන විටදී උතුරු, බටහිර නැඟෙනහිර ඇතුළු සියලුම පර්යන්තයන්ගේ පූර්ණ දායකත්වයෙන් වාර්ෂික බහාලුම් මෙහෙයුම් මිලියන 35ක් දක්වා ළඟාවීම කොළඹ වරායේ ඉලක්කය වී ඇත. එමෙන්ම වරායේ කාර්යක්ෂමතාව මෙන්ම ඵලදායිතාව වැඩි කිරීම උදෙසා නවීන තාක්ෂණය, විශේෂයෙන්ම ඩිජිටල්කරණය කිරීම සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
විශේෂයෙන්ම ස්වයංක්‍රිය හා අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර භාවිතය වැඩි කිරීම තුළින් කාර්යක්ෂමතාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම මේ වන විටත් වරාය නවීන සන්නිවේදන ක්‍රමවේදයක් වෙනුවෙන් අභිලාෂයන් කැඳවීම් සිදු කර ඇත. ඒ අනුව වරායේ සියලුම අංශ ඒකාබද්ධ කරමින් පූර්ණ පරිගණකගත හා ඩිජිටල්කරණය වනු ඇත.
කලකට පෙර 20,000ක් පමණ වූ සේවක සංඛ්‍යාව මේ වන විට 8000ක් දක්වා පමණ අඩුවී ඇත්තේ කාර්යක්ෂමතාව වැඩි කිරීම නිසාය. 2023 වසරේ වරායේ සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 92ක් වන අතර රුපියල් බිලියන 19ක් ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට වරායට හැකිව අත්තේ මේ කාර්යක්ෂමතාව නිසාය.
වරාය පනතට අනුව වරායේ ලාභයෙන් අනිවාර්යයෙන්ම 8%ක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු වේ. ඒ සියල්ල ගෙවා සේවක වැටුප් හා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් වැය කළ පසුව මෙවන් ශුද්ධ ලාභයක් උපයන්නට හැකිව තිබේ.
එමෙන්ම වරාය පරිශ්‍රය උපරිම බහාලුම් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් වෙන් කර අනෙකුත් අංශ එම ස්ථානවලින් වෙන් කර තැබීමට ඉදිරියේදී පියවර ගනු ලැබේ. මේ වන විටත් වරායේ අතිවිශාල ඉඩක් වෙන් කර ඇති වරාය මුළුතැන්ගෙය වෙනුවට බාහිර පාර්ශ්වයකින් එම කටයුතු සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ප්‍රධාන කාර්යාලයද මහල් 17කින් සමන්විත විශේෂ ගොඩනැඟිල්ලකට ගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇත. එය කොටුව කැනල් පාරේ ඉදිකරමින් පවතින අතර 2025 වසරේ මැයි මස එහි වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතය.
එම ගොඩනැඟිල්ල ඉදිකිරීමෙන් පසුව කොළඹ වරාය හරිත කලාපයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇත. මේ වන විට බටහිර, නැඟෙනහිර පර්යන්ත ඉදිකිරීම් මෙන්ම අධිවේගී මෙඟ් ඉදිකිරීම් නිසා අවිධිමත් තත්ත්වයක් වරාය පරිශ්‍රයේ දක්නට ඇත. එහෙත් 2030 වසර වන විට හරිත සංකල්පය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
එසේම ගාල්ල වැනි වරායන් සංචාරක වරායන් ලෙසින් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේදී පෞද්ගලික අංශය සමඟින් පියවර ගැනෙනු ඇත. කොළඹ වරායට සංචාරකයන් රැගත් නෞකා පැමිණියද එය මඟී ප්‍රවාහන සේවාවන්ට හෝ සංචාරක කර්මාන්තයට යොදා ගැනීම් ප්‍රවර්ධනය නොකරන අතර බහාලුම් මෙහෙයුම් කෙරෙහිම අවධානය යොමු කරන්නේ ඒ හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි නිසාය.
එමෙන්ම නවීන ලෝකයත් සමඟ ඉදිරියට යාමටත් හරිත සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන්නටද මේ වන විට අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම නෞකාවන්ට හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කර සැපයීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව මේ වන විටත් හරිත හයිඩ්‍රජන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබීම අපේ වාසනාවකි. ඉන්ධන වෙනුවට නවීන නෞකා හරිත ඉන්ධන භාවිත කරන හෙයින් ඒ හරහා අපට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි වනු ඇත.
සේයාරූ – රංජිත් අසංක
තාරක වික්‍රමසේකර