Home » සොබාදහමේ සොඳුරු අඩවිය ගැටබරු මහ වෙහෙර

සොබාදහමේ සොඳුරු අඩවිය ගැටබරු මහ වෙහෙර

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මුුහුදු මට්ටමින් අඩි 1500ක් පමණ උස්වූ ගැටබරු කන්ද මුදුනේ ගැටබරු රජමහා විහාරය පිහිටා ඇත.

ගැටබරු රාජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ. 03 වන සියවසේ සිට පළමු සියවස දක්වා අතීතයට දිවයන බව පුරාවිද්‍යාත්මක අදහසයි. එයට කදිම නිදසුනක් වන්නේ කටාරම් කොටන ලද ගල්ලෙනකි.

ගැටබරු රාජමහා විහාරයට එම නම ලැබීම ද අසිරිමත් කතා පුවතකි. අතීතයේ මෙම ප්‍රදේශවල ජීවත් වූ මිනිසුන් තමන්ට දුකක් කරදරයක් වූ විට ගැටබරු දෙවියන්ට තමා මුදවා දෙන ලෙසට පඬුරු වෙන් කරයි. එම පඬුරු ගැට ගැසුවේ බරුවකය. එම පඬුරු ගැටගැසූ බරුව සමඟ ගෙනවිත් එම පඬුරු ගැට භාර කළ තැන ගැටබරුව වූයේය යන්න මෙම කතා ප්‍රවෘත්තියයි.

රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන් හෙවත් ගැටබරු දෙවියන් යනු ජනතාවගේ දුකට වේදනාවට ඍජුවම මැදිහත් වන දෙවි කෙනෙකි. පුර කාලවලදී සෙත් පූජාවටත් අවපස වස් පූජාවන්ට දිවයිනේ සතර දිගින් මෙම ගැටබරු පූජා භූමියට පැමිණ, දෙවියන් හමුවේ දුක් ගැනවිලි කියාපාන බැතිමතුන් ද ඒ කාර්යයන් ඉටුවූ පසු එම භාරහාර නිදහස් කිරීමට පැමිණෙන පිරිස්ද වෙයි.

ගැටබරු ඇසළ මහා පෙරහරේ ආරම්භය 1834 වර්ෂය දක්වා දිවයයි. සර්වඥ ධාතුන් වහන්සේලා සහ දේවාහරණ ඉහළ මළුවේ බෝධීන් වහන්සේ වටා ප්‍රදක්ෂිණා කරන ප්‍රදක්ෂිණා පෙරහරක් ලෙස ආරම්භ විය. ගැටබරු ඇසළ මහා පෙරහර, ඉන්පසුව 1953 වර්ෂයේ වරල්ල ඇලන් වැලි තේ කර්මාන්ත ශාලාව අසලින් වැටී ඇති අඩි පාර දිගේ අලියෙක් ද සහිතව ඇසළ පෝය එක් දින මල් පෙරහරක් ලෙස පවත්වා උඩමළුවේ වතාවත් සිදුකරන ලදි. ඒ අපවත් වී වදාළ විහාරාධිපති රොටුඹ සිරි රතනපාලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙනි. එහිදී සමාදාන විනිශ්චයකාර එම්.ඩී. යාපා සහ දායක පිරිස සමඟ වරල්ලේ එවකට පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක මිරැන්ඩෝ මැතිතුමා සහ කාර්ය මණ්ඩලය සහ පින්කම් රාලහාමි නමින් ප්‍රසිද්ධව සිටි පොලිස් නිලධාරී සහ ගම්වාසීන් විසින් මෙම පෙරහර ආරම්භ කොට තිබේ.

එක්දින මල් පෙරහරක් ලෙස ආරම්භව 1956 වර්ෂයේ සිට දින තුනක් පුරා මහා පෙරහර දෙකක් සහිතව පෙරහර පවත්වන්නට විය. 1986 වර්ෂයේ එවකට උත්සව කමිටුවේ සභාපති මහින්ද විදානපතිරණ, සුසිර රණවීර යන අයගේ මඟපෙන්වීම අනුව පේළි පෙරහර සම්ප්‍රදාය ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය සමඟ එක්වුණි.

වෙනත් පෙරහර උත්සවවලදී දක්නට ලැබෙන්නේ දේවාලයේ හෝ විහාරස්ථානයේ සිට වීථි සංචාරය අරඹන පේළි පෙරහරක් නමුත් ගැටබරුවේ පෙරහර මංගල්‍යය ගමේ සිට විහාරස්ථානයට පැමිණෙන පෙරහරක් ලෙස පේළි පෙරහර දැකිය හැකිය. මෙය ගැටබරු ඇසළ පෙරහරට ආවේණික ලක්ෂණයකි.

මේ වන විට පේළි පෙරහර තුනක්, රන්දෝලි පෙරහරක් සහ අවසන් මහා රන්දෝලි පෙරහර ලෙස පෙරහර පහක් මෙම පූජෝත්සවයට එක් කිරීමට ගැටබරු රාජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක, මාතර දිස්ත්‍රික් සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, විමල කීර්ති ශ්‍රී සුමන පූජනීය ආචාර්ය කිරින්දේ ශ්‍රී ආනන්දාභිධාන නාහිමියන් විසින් කටයුතු කරනු ලැබේ. 2024 වර්ෂයේ සිට ලංකාවේ ප්‍රධාන පෙරහර පහෙන් එකක් ලෙසට ගැටබරුව ඓතිහාසික පුරාණ රාජමහා විහාරස්ථ ඇසළ මහා පෙරහර ස්ථානගත විය. එහි පූර්ණ ගෞරවය ද හිමි වන්නේ උන්වහන්සේටයි.

මේ වන විට පෞරාණික සම්ප්‍රදායන් හා චූල සම්ප්‍රදායන් සියල්ල එක්කාසු කරමින් ගැටබරුවට ආවේණික පෙරහර සම්ප්‍රදායන් නිර්මාණය කිරීමට ද උන්වහන්සේ සමත් වී ඇත.

අවසන් මහා රන්දෝලි පෙරහර දා ආරම්භ වන උඩමළුවේ තුන් තිස් පැයේ දෙවොල් මඩු ශාන්තිකර්මය, ගිනි පෑගීම සහ දේව දානය ඉපැරණි චාරිත්‍රානුකූලව පැවැත්වීමට ද කටයුතු කරනු ලැබේ.

ගැටබරු රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය රොටුඹ සිරි රතනපාල මහා ස්වාමීන් වහන්සේ දවස ගැටබරු පුරවරයේ නූතන සංවර්ධන කටයුතු ආරම්භ වී පසුව ගැටබරු රජ මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කොළන්න කෝරළයේ සහ මොරවක් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජනීය දම්පහළ සිරිසුමනතිස්ස නාහිමි දවස ද උන්වහන්සේගේ ඇවෑමෙන් ගැටබරු රජමහා විහාරාධිපතිත්වය හෙබවූ දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී රතනපාල ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජනීය බෙරලපනාතර චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ ද ගැටබරු රජමහා විහාරස්ථානයේ සංවර්ධනයට පුරෝගාමී මෙහෙවරක නිරත වූහ.

උන්වහන්සේලාගේ කාලයේ සිටම මෙම මහා සත්කාරයට කැපී පෙනෙන දායකත්වයක් එක්කළේ වර්තමාන ගැටබරු රජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක මාතර දිස්ත්‍රික් සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි විමලකීර්ති ශ්‍රී සුමන ආචාර්ය කිරින්දේ ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

සෑම කටයුත්තක් පසුපසම ඉන්ද්‍රඛීලයක් ලෙස සිටිමින් කටයුතු කරනු ලබන්නේ ගැටබරු රාජමහා විහාර සහ පරපුරේ අයෝමය ශක්තිය වන වත්මන් විහාරාධිපති ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ සංකල්පවල විශේෂත්වය වන්නේ ගැටබරු පුදබිමෙහි ජෛව විවිධත්වයට අල්ප මාත්‍රයක්වත් හානියක් සිදු නොවන ආකාරයට මේ සියලු සංවර්ධන කටයුතු සිදුකිරීමයි.

මෙවර ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය සමඟ ගැටබරුවට ආවේණික ඉපැරණි චාරිත්‍රානුගත නව පෙරහර සිරිතක් නිර්මාණය කිරීම ද උන්වහන්සේගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා උරදෙන සද්ධිවිහාරික හා අන්තේවාසික මහා සඟරුවන ගැටබරු ඇසළ උත්සව සංවිධානය හා විහාරස්ථදායක සභාව ද ශක්තියකි.

පිටපත :- ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී දේශමාන්‍ය ආචාර්ය චන්දන සම්පත්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division