Home » රනිල් මිස්ටර් ක්ලීන් ද?

රනිල් මිස්ටර් ක්ලීන් ද?

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

ටේ ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 39 දෙනා අතුරින් වැඩිම කාලයක් රජයේ වගකීම් දරා ඇති, අත්දැකීම් සහිත දේශපාලනඥයා ලෙස සැලකිය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ දේශපාලනයේ ස්වභාවය හඳුනා ගැනීමටත්, දේශපාලනය තුළ ජයග්‍රහණය මෙන්ම පරාජයන් ද, දේශපාලනයේ ස්වරූපය හැඩගැස්වීම සඳහා ආධාර වන ආකාරය ද ප්‍රචාරය, මාධ්‍ය සහ කටකතා එක් එක් චරිතය පිළිබඳව මහජන ආකල්ප තීරණය වීම කෙරෙහි බලපාන ආකාරය හඳුනා ගැනීම සඳහා ද වඩාත්ම යෝග්‍ය චරිතය වන්නේ රනිල් වික්‍රමසිංහ චරිතය යැයි අදහස් කරමි. ශ්‍රී ලාංකික දේශපාලනයේ ගමන් මඟ කෙරෙහි බලපාන සාධක නිශ්චය කර ගැනීම සඳහා ඒ තරම් ගැළපෙන චරිතයක් තවත් නොමැති යැයි සිතමි.

ඔහුගේ පියා, එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ඉතා තරුණ වයසේදීම රටේ දේශපාලනය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකළ දැවැන්තයකු විය. රටේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා 1952 වර්ෂයේදී අභාවප්‍රාප්ත වන විට එස්මන්ඩ්ගේ වයස අවුරුදු 32ක් විය. එසේ වුවද අගමැති තනතුරට හිමිකම් කියූ ජෝන් කොතලාවල වෙනුවට ඩී.එස්.ගේ පුත් ඩඩ්ලි එම තැනට ගෙන ඒම සඳහා වූ ව්‍යාපාරයේදී එස්මන්ඩ් ඩඩ්ලි සමඟ විය. ඔහු එම කටයුත්තේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව ජෝන් කොතලාවල ලියූ “අගමැති කොල්ලය” නමැති කෘතියේ සඳහන් වේ. මව නාලිනී විජේවර්ධන විය. ඇය ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ මහා පරිවර්තකයකු ලෙස සැලකෙන ඩී. ආර්. විජයවර්ධනගේ දියණියයි. කැලණි විහාරය යළි සංවර්ධනය කිරීමේ කාර්යයට උරදුන් හෙලේනා විජයවර්ධන මහත්මියගේ දියණියක ලෙස ඇය ද කැලණි විහාර සංවර්ධන කාර්යයේදී මහඟු සේවයක් ඉටු කළාය.

රනිල් තම අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. මේ කාලයේ රටේ ඉහළ පවුල්වල දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විදේශ රටවලට ගිය ද, රනිල් තම උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. එනිසාම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් ප්‍රථම ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල උපාධිධාරියා වීමට ඔහුට හැකි විය. එම වාර්තාව තවමත් බිඳී නැත. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට සහ ජනාධිපති ධුරයට පත් ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල උපාධිධාරියා රනිල් වික්‍රමසිංහ වේ.

රනිල්ගේ දේශපාලනය ආරම්භ වන්නේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ සම්මේලනය වූ එක්සත් ජාතික පක්ෂයේ සමස්ත ලංකා තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු ලෙසිනි. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයට අලුතින් එකතු වූ බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්වී 1977 මහමැතිවරණයෙන් එම පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය. ඔහු ජේ. ආර්. ජයවර්ධන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත්විය. ඉන්පසු ජේ.ආර්. රජයේ කැබිනට් මණ්ඩලයේ විවිධ තනතුරු දරා, ප්‍රේමදාස රජයේ කැබිනට් අමාත්‍ය තනතුර, සභානායක තනතුර සහ මාධ්‍ය ප්‍රකාශක තනතුරු ද දරුවේය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථා දෙකකදී නායකත්වයේ භූමිකාව ඉටු කිරීමට ඔහුට අවස්ථාව සැලසුණි. පළමුවැන්න 1991වර්ෂයේ දී ජනාධිපති ප්‍රේමදාස මහතා දෝෂාභියෝගයකට මුහුණදුන් අවස්ථාවයි. රනිල් නායකත්වය සමඟ සෘජුව සිට ගත්තේය. දෝෂාභියෝගයෙන් ප්‍රේමදාස මහතා බේරා ගැනීමට උපරිම ශක්තියෙන් කටයුතු කළේය. දෙවැන්න ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවයි. රට අරාජිකවීම වැළැක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවශ්‍ය පියවර ගැනීමට ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේය. ඒ වනවිට පිරිස රැස්වෙමින් තිබූ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අවලංගු කර සාමකාමි ලෙස ඩී.බී. විජේතුංග මැතිතුමා ජනාධිපති ධුරයට පත්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍ය පාලනය ස්ථාවර කිරීමට කටයුතු කළේය.

විවිධාකාරයේ දේශපාලන අභියෝගවලට මුහුණදීම සඳහා සූදානම් විය යුතු කාලයක් එම යුගයේදී එළැඹි බවක් පෙනේ. විජේතුංග මහතා 1994 ජුලි මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එක්සත් ජාතික පක්ෂය පරාජය වූයේය. වසර 17කට පසු එක්සත් ජාතික පක්ෂය පරාජය විය. රනිල් වික්‍රමසිංහ මහතා පරාජය දැනගත් වහාම තමන්ගේ ඇඳුම් බෑගය ද රැගෙන අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. ඉන්පසු විපක්ෂ නායක ධුරයට විපක්ෂ නායක කෙනකු පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී පක්ෂය හැර ගොස් ආපසු පැමිණි ගාමිණී දිසානායකට එක වැඩි ඡන්දයක් ලැබී රනිල්ට විපක්ෂ නායකකම අහිමි විය.

1994 දී පැවැති ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූයේය. ඔහු ඝාතනය වූ අවස්ථාවේදී පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගාමිණී දිසානායක මහත්මිය අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළේය. ඉන්පසු විජේතුංග මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වූ පසු නායකයන් වැඩි පිරිසක් ඝාතනය කර, ජනාධිපතිවරණයෙන් පරාජය වී නිශ්ක්‍රියව තිබූ පක්ෂයක නායකත්වය ගැනීමට ඔහුට සිදු විය.

1999 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකාට බෝම්බ ගසා එල්ටීටීය රනිල්ට ජනාධිපතිකම ලැබීම අහෝසි කළේය. 2001 වසරේ මහමැතිවරණයේදී රනිල් චන්ද්‍රිකා පරාජය කර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට කටයුතු කළේය. එසේ වුවද චන්ද්‍රිකා ඇමැතිවරු අස්කරමින් අමාත්‍ය ධුර තමන්ට පවරා ගනිමින් කළ බාධකවල කෙළවරදී ආණ්ඩුව විසුරුවා හැරියාය. 2005 වර්ෂයේදීත් එල්ටීටීය දෙමළ ඡන්ද වර්ජනය කර ඔහුට ජනාධිපතිකම ලැබීම දෙවෙනි වරටත් අහෝසි කළේය. 2010 ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වන විට ඔහු යුද්ධයේ වීරයා විය. එසේ වුවද 2015 වර්ෂයේදී එම රජය පරාජය කර නව රජයක් පිහිටුවීමටත්, ඊළඟ මහමැතිවරණය ජයග්‍රහණය කිරීමටත් ඔහුට හැකි විය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රට පාලනය කළේ රනිල්ට උදැල්ල දික් කරගෙනය.

2020 මහමැතිවරණයේදී මහජනතාව ඔහුට ඉතිරි කළේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. 2022 කොවිඩ්, ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ රට භාර ගැනීමට ඉදිරිපත් වූයේ ඒ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පමණි.

පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් කිරීමෙන් පසු ගතවූ දෙවසර තුළ රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකළ මෙහෙය මෙවැනි කෙටි සටහනක අන්තර්ගත කළ නොහැකිය. 21 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනැවිත් යළිත් වරක් ජනාධිපති බලතල සීමා කිරීමේ සිට ඔහු හඳුන්වා දුන් නීතිමය ප්‍රතිසංස්කරණ අතිවිශාල ය. දූෂණ වැළැක්වීමේ පනත සම්මත කිරීම, මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත සම්මත කිරීම, මහ බැංකු ස්වාධීන පනත ආදිය මෙන්ම දූෂණ මැඬපැවැත්වීමේ න්‍යාය පත්‍රය ආදිය හඳුන්වාදීමට ද ඔහුට හැකි විය.

ගෑස් පෝලිම්, තෙල් පෝලිම් ඒවා රැගෙන පැමිණි නැව් මුදල් නොගෙවීම නිසා වරායේ හිරවී තිබීම, විදුලිය කැපීම, බෙහෙත් පෝලිම් ආදිය පිළිබඳව අද ජීවත්වන හැම දෙනාටම තමන්ටම වූ මතකයන් ඇතැයි සිතමි. ඒනිසා ඒවා මතක් කිරීමේ අවශ්‍යතාවක් නැත. ඔහු ඒ සියල්ල විසඳුවේය. සල්ලිවලටවත් ඒ දේවල් ලබා ගැනීමට නොහැකි යැයි කියූ යුගය අවසන් කරමින් එම යුගය නිම කළේය. ඊළඟ යුගය භාණ්ඩ මිල දැරිය නොහැකි තරම් ඉහළ යෑමේ යුගයයි. ශ්‍රී ලංකාවට කිසිදු ලෙසකින්වත් අයිඑම්එෆ් ණය ලබාගත නොහැකි යැයි කියූ යුගයක ඔහු අයිඑම්එෆ් ණය ලබා ගත්තේය. මුදල් අච්චු ගැසීමත්, ණයට ගැනීමත්, අයිඑම්එෆ් විසින් තහනම් කළ පසු මුදල් සෙවීම සඳහා බදු වැඩි කිරීමට සිදුවිය.

අද ඒ සියල්ලේ ප්‍රතිඵල භුක්ති විඳීමට හැකිවී තිබේ. රට ආර්ථික වශයෙන් ස්ථාවර වී ඇත. බඩු මිල පහළ වැටෙමින් පවතී. වැටුප් වැඩිකර ඇත. බිඳවැටුණු කර්මාන්ත, ව්‍යාපාර යළි පණ ගැන්වෙමින් පවතී. සංචාරක පැමිණීම, විදේශ ප්‍රේෂණ ලැබීම දිනෙන් දින ඉහළ යයි. ආර්ථික වශයෙන් නැත්තටම නැතිවූ රටක්, බංකොලොත් වූ රටක් මේ තරම් කෙටි කාලයක් තුළ යළි නඟාසිටුවීමට හැකිවූ ලෝක නායකයා ඔහු ය. දැන් ජනාධිපතිවරණය හමුවේ අපේක්ෂකයෝ 39 දෙනෙක් තනතුර ඉල්ලා සිටිති. නායකත්වය භාර නොගෙන පලා ගිය නායකයන් සිටි රටක් වෙනුවට ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් තරග කිරීමට ඉදිරිපත් වන රටක් බිහි කිරීමට ඔහුට හැකිවී තිබේ.

දැන් ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවට වෙනත් නායකයකු තෝරාගත යුත්තේ ඇයි? විපක්ෂයේ අය දැන් විවිධ කතා කියති. ඔහු නොසිට පොල්පිත්තක් ජනාධිපතිකම භාර ගත්ත ද මේ ප්‍රශ්න විසඳීමට ඉඩ තිබුණු බව ඔවුහු ප්‍රකාශ කර ඇත. එහෙත් ජනපති ධුරය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ එම නායකයන් විසින් ප්‍රකාශ කළ දේ අඩංගු වීඩියෝපට එළියට පැමිණීමත් සමඟම ඒ ප්‍රකාශය නැවතී ඇත.

ඔහු රාජ්‍ය ආයතන, දේශීය සම්පත් අලෙවිකරණ බව සමහරු චෝදනා නඟති. රජය විසින් පවත්වාගෙන යන ව්‍යාපාර ආයතන පුද්ගලික අංශයට අලෙවි කිරීම මුලින්ම ආරම්භ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. ඉන්පසු වැඩිම ආයතන ගණනක් පුද්ගලීකරණය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සහායින් ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසිනි. චීන නායක ඩෙං ෂියාවෝ පින් සමාජවාදය තුළින් ධනවාදී ආර්ථිකයක් ගොඩනැඟුවේ රාජ්‍ය ආයතන විකිණීමෙනි. රුසියාවේ පුටිං රටේ තිබූ සෑම රාජ්‍ය ආයතනයක් ම විකුණා දමා රුසියානු ආර්ථිකය යළි ගොඩනැඟුවේය. රනිල්ට අනුගමනය කිරීමට ඉතිරිව ඇත්තේ සමාජවාදයේ නායක සහෝදරවරුන් සහ ශ්‍රී ලංකාවේ සිටි පෙරළිකාර ජනාධිපතිවරුන් අනුගමනය කළ පිළිවෙත මිස වෙනකක් නොවේ.

ඔහුට ඉදිරිපත් කරන තවත් චෝදනාවක් වන්නේ මහ බැංකු කොල්ලයකට ඔහු සම්බන්ධ වූ බවයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නෙත්ති නායකත්වය දුන් පාර්ලිමේන්තු කාරක සභාවෙන් හෝ පත් කරන ලද කිසිදු කොමිසමකින් ඔහු වරදකරු කර හෝ ඔහු එයට අනුබල දුන් බව සඳහන් කිරීමක් හෝ කර නැත. ඔහුට විරුද්ධව නැඟෙන තවත් චෝදනාවක් වන්නේ බටලන්ද හමුදා කඳවුරක ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට දඬුවම් දෙන මධ්‍යස්ථානයකට ඔහුගේ සහයෝගය ලැබුණාය යන්නයි. චන්ද්‍රිකා බටලන්ද කොමිසම පත් කළේය. එය ඔහු නිදොස් කොට නිදහස් කළේය. කිසිදු උසාවියක ඔහුට විරුද්ධව පැමිණිල්ලක් හෝ ආධාර අනුබල ලබාදුන් බවට වාචික හෝ ලිඛිත ප්‍රකාශනයක් ඉදිරිපත් වී නැත.

රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන ප්‍රධානම කරුණු දෙක වන්නේ ඉහත කී චෝදනා දෙකයි. එහෙත් කිසිවකු ඔහු රජයේ ධනය අවභාවිත කර තම වත්කම් වැඩිකර ගත් බවට හෝ රාජ්‍ය දේපළ අවභාවිත කර, දේපළ හෝ අනෙකුත් වත්කම් සරිකරගත් බවට හෝ චෝදනාවක් නැඟී නැත. ඔහු අල්ලස් හෝ දූෂණ මඟින් මුදල් ඉපයූ බවට කිසිවකුත් චෝදනාවක් හෝ නඟා නැත. රනිල් මිස්ටර් ක්ලීන් විය. අදත් ඔහු මිස්ටර් ක්ලීන්ම ය.

– ජන මිත්‍ර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division