කලක් ඉන්දීය උපමහාද්වීපයේ ආර්ථික ආශ්චර්යයක්ව පැවති බංග්ලාදේශය 2024 වසරේ අගෝස්තු මාසයේ ඇතිවූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දරුණු සමාජ-ආර්ථික දෙදරා යාමකට මුහුණ පා සිටී. අගමැතිනි ෂීක් හසීනාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඇය අසල්වැසි ඉන්දියාවට පලා යාම සහ අමෙරිකා එක්සත් ජනපදයේ සහ අසල්වැසි පකිස්තානයේ සහාය ඇතිව අන්තර්වාර පාලනයක් පිහිටුවීම රට අභ්‍යන්තරයේ පමණක් නොව මුළු මහත් කලාපය පුරා දේශපාලන අස්ථාවරභාවයක් සහ අවිනිශ්චිතතාවක් ඇති කිරීමට හේතුවී තිබේ.
බංග්ලාදේශ නිදහස් සටනට දායක වූ රණවිරු පවුල්වලට රජයේ රැකියා ලබා දීමට අදාළ කෝටා ක්‍රමය මුල්කරගනිමින් රට තුළ පැන නැඟුණු ශිෂ්‍ය උද්ඝෝෂණ 2024 වසරේ අගෝස්තු මාසයේ දී ප්‍රචණ්ඩකාරි අරගලයක් බවට පත්වීමත් සමඟ පුද්ගලයෝ 130ක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරුව හටගත් කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස හසීනාට තම ධූරය අත්හැර අසල්වැසි ඉන්දියාවට පලා යාමට සිදු විය. අනතුරුව විරෝධතාකරුවෝ අගමැති නිල නිවෙසට සහ රජයේ ගොඩනැඟිලිවලට කඩා වැද පොදු දේපළවලට අලාභහානි කරමින් සහ වටිනා කියන දෑ කොල්ලකමින් රට ගිනිබත් කළහ.
දේශපාලන අර්බුදය උද්ගත වන විටත් බංග්ලාදේශය ඉතා දරුණු ආර්ථික අභියෝග රැසකට මුහුණ පා සිටි අතර, අපනයන ඇණවුම් පහත බැසීම සහ විදේශ හුවමාරු සංචිත සිඳීයාම හේතුවෙන් රටේ ආර්ථික අභිවෘද්ධියට බාධා පැමිණ තිබිණ.
බංග්ලාදේශයේ ආර්ථිකයට අභාග්‍යසම්පන්න තත්ත්වයක් උදා වූයේ ඇඟලුම් අපනයනයට කොවිඩ් – 19 වසංගතයෙන් බලපෑම් එල්ලවීමත් සමඟ ය. මෙය තාවකාලික වූවක් බැව් ලෝක බැංකුව සුබවාදීව පුරෝකථනය කළ නමුත් එය වඩා කල් පවත්නා එකක් බවට පත්ව ඇත. එක තැන පල්වන ලෝක ආර්ථිකයක් තුළ එය පුදුමයට කරුණක් නොවේ.
ඒ අතරම, රටට විදේශ විනිමය උපයන තවත් ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශගත බංග්ලාදේශ ජාතිකයන් විසින් රටට එවනු ලබන ප්‍රේෂණවලට ද එම හේතුව නිසාම මරු පහරක් වැදිණ. බංග්ලාදේශය විදුලිය නිපදවීම ඇතුළු අනෙකුත් අවශ්‍යතාවන් සඳහා ආනයනික ඉන්ධන මත යැපෙන බැවින්, රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භයෙන් පසු ආනයනික ඉන්ධන මිල ඉහළ යාම බරපතළ විදේශ විනිමය හිඟයකට දායක වූ අතර, දිගුකාලීන විදුලි කප්පාදුවකට ද රට මුහුණ පා සිටී.
රට තුළ උද්ධමනය අගෝස්තු මාසයේ දී 9.52% දක්වා ළඟා වූ එය දශකයකට පසු වාර්තා වූ ඉහළතම උද්ධමන අනුපාතය බවට පත්විය. මෙලෙස උද්ධමනය ත්වරණය වීමට තවත් සාධක දෙකක් දායක විය.
පළමුවැන්න ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීමයි. මෙය උද්ධමන විරෝධී පියවර පැකේජයේ කොටසක් ලෙස එක්සත් ජනපදයේ පොලී අනුපාත වැඩිවීම නිසා ඩොලරය ශක්තිමත් වීම සහ රට මුහුණ දෙන විදේශ විනිමය ගැටලු යන දෙකෙහි ප්‍රතිඵලයකි.
දෙවැන්න ආර්ථිකයේ මන්දගාමිත්වය නිසා නව ලිබරල්වාදී පසුබිමක් තුළ බලාත්මක කරන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන වර්ධනය වන මූල්‍ය මිරිකීමයි (growing fiscal squeeze). උද්ධමනයේ බලපෑමෙන් ජනතාව බේරා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් එමඟින් බැහැර කෙරේ. මක්නිසාද යත් එවැනි සියලු උත්සාහයන් සඳහා සහනාධාර බිල වැඩි කිරීම අවශ්‍ය වන බැවින් ය.
රට තුළ ආර්ථික කඩාවැටීමක් පැවතිය ද, ෂික් හසීනාගේ නායකත්වය යටතේ බංග්ලාදේශය සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් අත්කරගත් බැව් පිළිගත යුතු කරුණකි.
ඇයගේ අධීක්ෂණය යටතේ, ගෝලීය මූල්‍ය අර්බුදය අවසානයේ සිට කොවිඩ්-19 වසංගතයේ ආරම්භය දක්වා බංග්ලාදේශය 6% සිට 8% දක්වා ස්ථාවර දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කිරීමට සමත් විය. මෙම ස්ථාවර වර්ධනය රටේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට උපකාරි විය.
බංග්ලාදේශය යටිතලව්‍යුහ පහසුකම් සහ සංවර්ධනය නංවාලමින් සංකේතාත්මක මෙගා ව්‍යාපෘති කිහිපයක් ද හසීනාගේ පාලනය යටතේ සිදු විය. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘති ආශ්‍රිත ණය ගෙවා ගත නොහැකිවීමෙන් ආර්ථික ආතතීන් තවදුරටත් තීව්‍ර වෙමින් පවතී.
බංග්ලාදේශයේ අපනයනවලින් 80% ක් ඇඟලුම්වලින් සමන්විත වන අතර, රටේ ඇඟලුම් අපනයනය කොතරම් වේගයකින් සිදුවීද යත් ඉතා කෙටි කලක් තුළ බංග්ලාදේශය ලොව ඇඟලුම් ඉල්ලුමෙන් 10% ක් සපුරාලිය හැකි මට්ටමකට ළඟා විය.
1991 දී 44% ක්ව පැවති දරිද්‍රතා අනුපාතිකය 2022 දී 18.7% දක්වා අඩු කිරීමට හසීනාට හැකි වූ අතර මිලියන සංඛ්‍යාත බංග්ලාදේශ වැසියන් පිරිසකගේ ජීවන තත්ත්වයේ සැලකිය යුතු දියුණුවක් සටහන් කරමින්, 2009 දී ඩොලර් බිලියන 102 ක්ව පැවති රටේ ආර්ථිකයේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 437 දක්වා සිවුගුණයකින් වැඩි කරමින් බංග්ලාදේශය ඉන්දියාවට පසු කලාපයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත් කෙරිණි. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශයේ දළ දේශීය නිෂ්පාදිතයේ ඒකපුද්ගල ආදායම අසල්වැසි සියලු රටවල් අබිබවමින් 2023 වසරේ දී ඩොලර් 2,529 දක්වා ඉහළ ගියේ ය.
දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අවිනිශ්චිතතාව යන ද්විත්ව අභියෝගයන්ට මුහුණ දෙමින් බංග්ලාදේශය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටී. තිරසර ආර්ථික වර්ධනය සහ දරිද්‍රතාව අඩු කිරීම ඇතුළුව හසීනාගේ නායකත්වය යටතේ ලබා ගත් ජයග්‍රහණ දැන් අවදානමට ලක්ව ඇත. දිගුකාලීන ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අඩිතාලම දමන අතරම ක්ෂණික ආර්ථික ගැටලු විසඳීමේ දුෂ්කර කාර්යයට මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය මුහුණ පා සිටී.
රටේ ආර්ථිකය ඇඟලුම් කර්මාන්තය මත දැඩි ලෙස රඳා පැවතීම, දේශීය නිෂ්පාදිත අනුපාතයට සාපේක්ෂව අඩු බදු සහ ණය බර ඉහළ යාම රට දැඩි අවදානමකට පත් කොට ඇත. මීට අමතරව, ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටීම සහ ජාත්‍යන්තර සහයෝගය අහිමිවීම ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නය තවදුරටත් සංකීර්ණ කරනු ඇත. ඉදිරි වසර දෙක සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 6% ට වඩා අඩු වනු ඇති බවට කෙරෙන ප්‍රක්ෂේපණ රටේ අභියෝගාත්මක මාවත පිළිබිඹු කරයි.
බංග්ලාදේශය තුළ උද්ගතව ඇති තත්ත්වයෙන් අප උගත යුතු වැදගත් පාඩම් කිහිපයකි: පළමුව, වර්තමාන ගෝලීය භූදේශපාලන සහ භූආර්ථික සන්දර්භය තුළ ලොව සංවර්ධනය වෙමින් පවතින රටක් කොතරම් කෙටි කලක් තුළ “සාර්ථක” වීමේ සිට “අසාර්ථක” තත්වයකට පත්වීය හැකි ද යන්නයි. රටක් කඩා බිඳ අස්ථාවරත්වයට පත් කිරීමට පහසු ය. නමුත්, එය යළි නඟාසිටුවීම එතරම් පහසු නැත.
දෙවනුව, දුෂ්කරතා පොදි බැඳීම, නැතහොත් එක් පෙරමුණකින් රටක් මුහුණ දෙන ගැටලු සහ වෙනත් පෙරමුණු ගණනාවකින් ගැටලු උද්ගත කළ හැකිවීමේ අවදානමයි. 2008 වසරෙන් පසු ලොව සෑම රටක්, සෑම කලාපයක් ම පාහේ විවිධ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටී. කොවිඩ්-19 වසංගතය, රුසියානු-යුක්රේන සංග්‍රාමය, චීන අමෙරිකා වෙළෙඳ යුද්ධය ඇතුළු සාධක ගණනාවක් තත්ත්වය වඩාත් තීව්‍ර කිරීමට හේතු විය. රටවල් තනි තනිව මුහුණ දෙන ආර්ථික ගැටලු හමුවේ අභ්‍යන්තර වශයෙන් “අඬන්න ඉන්න ඇහැට ඇඟිල්ලනේ ඇන්නාක් මෙන්” මොනයම් හෝ හේතුවක් මුල් කරගනිමින් ජනතාව පාරට බැස්සවිය හැකිය. අනෙක් අතට, ලොව යළිත් වරක් නිරවි යුද සමයකට පිවිස ඇති පසුබිමට බලවත් රටවල භූදේශපාලනික වුවමනා එපාකම් පෙර දැරිව පාලනතන්ත්‍ර පෙරළා දැමීමේ මෙහෙයුම්වල ගොදුරක් බවට පත්වීමේ අවදානමකට සංවේදී කලාපවල පිහිටි රටවල් මුහුණ පා සිටීම යි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස් සහ සාධාරණ මැතිවරණයක දී, ජනතාව ඡන්ද පොළවලට ගොස් තමන් කැමති අපේක්ෂකයකු, පක්ෂයක් හෝ කණ්ඩායමක් බලයට පත් කිරීමේ වැඩපිළිවෙළකි. එහෙත් විශාල ජනවරමක් සහිතව බලයට පත්වන රජයක් ඉහත දැක්වූ කරුණු දෙක අනුව, ඉතා කෙටි කලක් තුළ ජනතාව අතර පිරිහීමට ලක්වීමට ඇති හැකියාවයි. රටක පාලන තන්ත්‍රයක් පෙරළා දැමීමට නම් රටේ ජනගහණයෙන් 2% ක් පාරට බැස්සවීම ප්‍රමාණවත් ය. ලෝක ඉතිහාසයේ වැඩිම ජනතා සහභාගිත්වයක් සහිත ජනතා උද්ඝෝෂණය ලෙස සැලකෙන්නේ 1979 වසරේ ඉරානයේ සිදුවූ ඉස්ලාමීය විප්ලවයයි. එහිදී වීදි බට සංඛ්‍යාව රටේ මුළු ජනගහණයෙන් 2.6% කි.
විවිධාංගීකරණය වූ අපනයන කට්ටලයක් වෙනුවට ඇඟලුම් අපනයනය මත පමණක්ම පාහේ රඳා පැවතීම නිසා බංග්ලාදේශය බිත්තර සියල්ල එක කූඩයකට දමාගත් බවට කෙනෙකුට තර්ක කළ හැකිය. ඇඟලුම් අපනයනය බංග්ලාදේශයට ආශ්චර්යය රැගෙන ආ නමුත් ස්වදේශීය වෙළඳපොළට සරිලන කර්මාන්ත මාලාවක් සංවර්ධනය කිරීම තුළින් ආර්ථිකය විවිධාංගීකරණයට ලක් කිරීමට ෂීක් හසීනාගේ රජය අසමත්වීම ද වත්මන් අර්බුදයට හේතුවකි.
අප ජීවත් වන්නේ බෙහෙවින් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ ය. දේශගුණික විපර්යාසය, යුද ගැටුම්, න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානම සහ ආර්ථික අභියෝගවලින් සෑම රටකටම පාහේ දරුණු බලපෑම් එල්ලවී තිබේ. මේ අභියෝග ජය ගැනීමට නම් ස්ථාවර පාලනයක් රටක පැවතීම අතිශයින් වැදගත් ය. ඒ සඳහා චිචක්ෂණශීලි නායකත්වයක්, සමබර විදේශ ප්‍රතිපත්තියක් සහ ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි පෞරුෂයක් රටකට අවශ්‍යය. තරුණ පිරිස් එක්ව අරගලයක් මඟින් වට්ටන ලද බංග්ලාදේශය යළි ගොඩනැඟීමේ අභියෝගය අවසානයේ භාර ගැනීමට සිදුවූයේ මොහොමඩ් යුනුස් ට ය.
විජය දිසානායක