– මට පුළුවන් කාලෙක මම ලංකාවට නැවත එනවා
– මම එයාට කියන්නේ කලාවට එන්න කලින් ඒ ගැන හදාරන්න කියලා
රුක්මාල් නිරෝෂන් කියන්නේ සම්මානිත නිර්මාණ බිහි කළ අධ්යක්ෂවරයෙක්. දක්ෂ රූපවාහිනි සංස්කාරකවරයෙක්. ඒ වගේම කලාත්මක කෘති බොහෝමයක ඔහුගේ රංගන දක්ෂතා දකින්න ලැබෙනවා. නමුත් ඔහු දැන් ඉන්නේ විදෙස්ගත වෙලා. සිනමාකරණය පිළිබද කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළ රුක්මාල් නිරෝෂ්ගේ අලුත් සිනමා කෘතියක් පසුගියදා යාපනය සිනමා උලෙළට ඉදිරිපත් කෙරුණා. ඒ තොරතුරු හා ඔහු ගැන අලුත් දෙකේ කතා කරන්න ඔහු රසඳුන හා එක්කකළ කතාබහයි මේ.
ලංකාවේ එකම අන්තර් ජාතික සිනමා උලෙළට රුක්මාල්ගේ චිත්‍රපටයක් ඉදිරිපත් කළා. මුලින්ම ඒ ගැන කියමු..?
‘අවාළු පැහැ වලාකුළක්‘ කියන මගේ අලුත්ම චිත්‍රපටය තමයි සිනමා උලෙළට ඉදිරිපත් කළේ. ගිය අවුරුද්දේ ජුනි මුල තමයි රූගත කිරීම් කළේ. ගලහා, නුවර, හන්තාන පැත්තේ ලොකේෂන් තෝරා ගත්තේ. සිනමා උලෙළට චිත්‍රපටය ඉදිරිපත් කරන්න ඕන නිසා මම ලංකාවට ආවා. ලබන අවුරුද්දේ තමයි චිත්‍රපටය තිරගත වෙන්න නියමිත. ලංකාවේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට එය නරඹන්න පුළුවන්. ඊට පස්සේ ඔස්ට්‍රේලියා හා වෙනත් රටවල් කිහිපයක පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.
‘අවාළු පැහැ වලාකුළක්‘ චිත්‍රපටය ඔබ අතින් බිහි වෙන්නේ ඔබේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය හැටියටද ..?
මගේ ජීවිතයේ තිබුණ ලොකුම හීනය චිත්‍රපටයක් කරන එක. මේ චිත්‍රපටයේ සංස්කරණය සහ අධ්‍යක්ෂණය මගේ. නිෂ්පාදනය හසිත බස්නායකගේ. හසිතට මම ස්තුතිවන්ත වෙනවා ලංකාවේ ආර්ථික අපහසුතා මැද්දේ මට නිදහසේ නිර්මාණය කරන්න අවකාශය දුන්නට. තිර රචනය මංජුල වෙඩිවර්ධනත් මාත් එක්ව ලියුවක්. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙන්. සංගීතය කසුන් කල්හාරගේ. රංගනයෙන් බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, ඩිනාරා පුංචිහේවා, මෞලි දුෂ්මන්ත සම්බන්ධ වුණා.
තව බොහෝ පිරිසක් සම්බන්ධ වුණා මේ නිර්මාණය බිහි කරන්න. ඒ හැමෝටම ස්තූතියි කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා.
ඔබ විදෙස් ගත වෙන්නේ සිනමාව ගැන වැඩිදුර හදාරන්න. නමුත් ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙනවා?
සිනමාව ගැන හදාරන්න ලංකාවේ උපාධියක් තිබ්බේ නැති නිසා තමයි මම ඔස්ට්‍රේලියා එන්නේ ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න. අපට ප්‍රායෝගික දැනුම තිබුණට නි්යායාත්මක දැනුමක් නැහැ. ඒ නිසා මම ඉගෙන ගන්න හිතුවා. මම ඔස්ට්‍රේලියාවට එන්නේ 2007 අවුරුද්දේ. ඊට පස්සේ මම ලංකාවට ආවා. කැලණිය විශ්වවිද්‍යාලයෙ සිනමා විෂය පිළිබද කථිකාචාර්යවරයකු විදිහට වැඩ කළා. නැවත මම විදෙස්ගත වෙලා මාස්ටර් එක කළා. එහෙම්ම ඔස්ට්‍රේලියාවේ පදිංචි වුණා. ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න මම උත්සාහ කරනවා
විදෙස්ගත වූ කෙනෙක් නැවත ලංකාවට එන්නේ නැහැ. එහේ ජීවිතේට හුරු වුණ නිසා ලංකාවේ ජීවත් වෙන්න බැහැ කියලා. ඔබටත් එහෙම හුරු නැති බවක් දැනෙනවද..?
මම ආසම ලංකාවේ ජීවත් වෙන්න. ඔස්ට්‍රේලියාවට ගිහින් එහේ අනුගත වුණා නම් ඉපදුණු රටේ ජීවත් වෙන්න අමාරුයි කියන්නේ කොහොමද? ඒක මිනිස්සු හදාගත්ත බොරුවක්. මට පුළුවන් කාලෙක මම ලංකාවට නැවත එනවා.
ජනප්‍රිය කලාකරුවෙක් හැටියට රට හැර යාම ගැන දුකක් නැද්ද ..?
දෙයක් ලබාගන්න තව දෙයක් කැප කරන්න වෙනවා. මම නළුවෙක් හැටියට හිටියා නම් මට හොඳ අධ්‍යාපනයක් ලබන්න බැරි වෙනවා. ඉතිං හොඳ දේ ජීවිතේට ලැබෙන්නේ. මම ඇකඩමික් පැත්ත හදාගත්තා, නිර්මාණත් කරනවා. පුළුවන් විදිහට රඟපානවා. ඒ නිසා අපරාධයක් කර ගත්තා කියලා කොහෙත්ම හිතන්නේ නැහැ
අවුරුදු 18ක් ඔබව රූපවාහිනී තිරයෙන් නොදැක්කත් ප්‍රතිචාරවල වෙනසක් නැහැ නේද ..?
අවුරුදු 18ක් මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ. නමුත් ජනතාවට මාව මතකයි. ලංකාවට යනකොට ලැබෙන ප්‍රතිචාරවලින් ඒක තේරෙනවා. අපි ඒ කාලේ හොඳ නිර්මාණ කළ නිසා තමයි තවම අපිව මතක. මම අන්තිමට රඟපෑවේ ප්‍රසන්න මහත්මයාගේ 28 චිත්‍රපටයට. මෙහේ නම් ලංකාවේ අය අඳුර ගන්නවා. ඒ හැර නිදහසේ සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙනවා.
ඔබ ලොකු පුතෙක් ඉන්න පියෙක්. කලාවට ඔහු තුළ ඇති කියවීම කොහොමද ..?
එයා මගේ පරණ නිර්මාණ දැකලා තියෙනවා. නමුත් එයාට තේරෙනකොට මම රඟපෑමෙන් ටිකක් ඈත් වෙලා. එයාට දැන් වයස අවුරුදු 19ක්. එයා කලාවට කැමතියි. නිදහසේ ඉන්න වෙලවට අපි දෙන්නා ෆිල්ම් බලනවා. එයා චිත්‍රපට ගැන දකින්නෙ වයසට වඩා පරිණත විදිහට. හොඳ කියැවීමක් තියෙනවා. සති අන්තයේ අපි දෙන්නා ඇවිදින්න යනවා. මම එයාට කියන්නේ කලාවට එන්න කලින් ඒ ගැන හදාරන්න කියලා තමයි. අදටත් මම සතියට චිත්‍රපට තුන හතරක් නරඹන කෙනෙක්.
හර්ෂණී වීරරත්න