Home » අනියම් පෙමක සැකයෙන් අවසන් ගමන් ගිය රුවැත්ති

අනියම් පෙමක සැකයෙන් අවසන් ගමන් ගිය රුවැත්ති

සීදුව පොලිසියෙන් ඇසුණු අනුවේදනීය කතාවක්

by thanushika
September 14, 2024 12:30 am 0 comment

කාන්තාවක් නිදි යහනේදී ඝාතනය කිරීමේ සිද්ධියක් ඉකුත් 4 වැනිදා ද සීදුව පොලිස් වසමේ අමන්දොළුව, බේස්ලයින් පාරේ, මරිනා මාවතේ, අංක 5 දරන ස්ථානයේ පිහිටි නේවාසිකාගාරයකින් වාර්තා විය. නේවාසිකාගාරයේ ඇඳක් මත තිබී ඝාතනය කරන ලද කතගේ සිරුර හමුවිය.

සීදූව පොලිසියට 119 දුරකතන ඇමතුමකින් ලද තොරතුරක් ඔස්සේ එම ඝාතනය ගැන තොරතුරු වාර්තා වී තිබිණි. අනතුරුව සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. ජී. කුමාර ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදු කළේ අදාළ නේවාසිකාගාරයට ගොස් ඒ අවට සිටි අයගෙන්ද ප්‍රකාශ ලබා ගනිමිනි.

පොලිස් නිලධාරීන් අනාවරණය කරගත්තේ නේවාසිකාගාරයේ කාමරය තුළ මරණයට පත්ව සිටි කාන්තාවගේ මරණය ඝාතනයක් බවය. එම ඝාතනය පැය කීපයකට පෙර සිදු වූවක් බවද පොලිස් විමර්ශනවලදී හෙළි විය. එලෙස ඝාතනය වී සිටියේ 43 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ ශිරෝමි පුෂ්පලතාය. එක්දරු මවක වන ඇගේ ස්ථිර ලිපිනය නොම්මර 127/3/ඒ, පලතුරුවැල්ල, සේරන්කඩ, අම්පාරය. මුහුණ දෙකඩ වන සේ තියුණු ආයුධයකින් පහර දීමෙන් ඝාතනය කර තිබූ ඇගේ මළසිරුර පරීක්ෂා කළ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මළසිරුර මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළේය.

සීදුව පොලිසිය සිදුකළ විමර්ශන අනුව හෙළි වූයේ එලෙස ඝාතනය කළ ශිරෝමි වසර 10කට ආසන්න කාලයක් කටුනායක වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා කීපයකම රැකියා කළ තැනැත්තියක් බවයි. ඇය මෑත කාලයේ වෙළෙඳ කලාපයට සම්බන්ධ ‘මෑන් පවර්‘ ආයතනයකට සම්බන්ධ වී වෙළෙඳ කලාපයේම කර්මාන්ත ශාලාවලට අනුයුක්තව සේවයේ නිරත වූවාය.

විවාහක කාන්තාවක වන ඇයට එම විවාහයෙන් දරුවකු ද සිටින්නීය. එම විවාහයෙන් ඇය වෙන්වූ පසු දරුවා මේ වන විට ඇගේ ඥාතින් සමඟ ජීවත් වේ. කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවට පැමිණීමත් සමඟ ඇයට හමුවී තිබුණේ සමන් නන්ද කුමාර නමැති පුද්ගලයෙකි. 42 හැවිරිදි මැදිවල මුදියන්සේලාගේ සමන් නන්ද කුමාර නොම්මර 400, විමලවීර මාවත, හරස්ගල, කැකිරිහේන, මහඔය, අම්පාර ලිපිනයේ ස්ථිර පදිංචිකරුවෙකි. දෙදෙනා මුණගැසී තිබුණේ මීට වසර නවයකට පමණ පෙරදී කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවට යනඑන අතරේ බස් රථයකදීය.

කටුනායක වෙළෙඳ කලාපයේ ආයතනයක රියැදුරකු ලෙස සේවය කළ සමන්, ශිරෝමි සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගැනීමත් සමඟ දෙදෙනා ‘අඹුසැමියන්‘ ලෙස ජීවත්වී තිබුණේ කටුනායක වෙළෙඳ කලාපය අවට බෝඩිම්වලය.

අමන්දොළුව නේවාසිකාගාරයේ දෙදෙනා මෑතක් වනතුරුම ඉතාම සතුටින් ජීවත් වී තිබිණි. එහෙත් මෑතක සිට දෙදෙනා අතර අඬදබර ඇතිවී තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළි විය.

දිනය ඉකුත් 4 වැනිදාය. දිනපතාම පාහේ රැකියාවට යන සමන් එදින රැකියාවට ගොස් තිබුණේ නැත. ඊට කලබල වූ ඔහුගේ හිතමිතුරන් සමන්ට දුරකතන ඇමතුමක් දී තිබුණේ ඔහු රැකියාවට නොපැමිණි හේතුව විමසීමටය. දුරකතන ඇමතුම් කීපයක් ගත්තද පිළිතුරක් නොමැති නිසා ඔහුගේ මිතුරෙක් සමන් නැවතී සිටි නේවාසිකාගාරයට පැමිණියේය. ඒ වන විට නේවාසිකාගාරයේ ඔවුන් සිටි කාමරයේ දොර මඳක් විවර වී තිබිණි. මිතුරා, “සමන්… සමන්…“ යැයි හඬ ගෑවද කිසිම ප්‍රතිචාරයක් නොවීය.

එසැණින් එම ස්ථානයෙන් පිටව ගිය සමන්ගේ මිතුරා ඔහු නේවාසිකාගාරයේ නොමැති බව සෙසු මිතුරන්ටද කීවේය. සමන්ගේ යතුරුපැදිය නේවාසිකාගාරයේ තිබුණද සමන් එහි නොමැති බවත් එහෙත් ඔහු සිටින කාමරයේ දොර විවෘතව ඇති බවත් සමන්ගේ මිතුරා සෙසු මිතුරන්ව දැනුම්වත් කළේය.

“එහෙනම් සමන්ට මොකද වුණේ…? බයික් එකත් තියෙනවනම් ඌ ඈතක යන්න නෑ… යමු අපි ගිහින් බලමු…“ යැයි කතිකා කරගත් සමන්ගේ සේවා ආයතනයේ මිතුරන් තිදෙනෙක් ඔහු සොයා නේවාසිකාගාරයට පැමිණෙන්නේ ඉන් අනතුරුවය.

පසුව මිතුරන් නේවාසිකාගාරයේ හිමිකාරිය ද මේ ගැන දැනුම්වත් කළේ අදාළ නේවාසික කාමරයේ සිටි සිය මිතුරා එහි නැති බවත් එකී කාමරය මඳක් විවෘතව පවතින බව ඇයට පවසමිනි. එසේම ඒ කාමරය තුළ ඇති ඇඳ මත සිටින සමන්ගේ අනියම් බිරිය ශිරෝමිගේ දෙපා පමණක් දිස්වන බවත් මිතුරන් තිදෙනා නේවාසිකාගාර හිමිකාරිය දැනුම්වත් කරන්නේ ඒ මොහොතේමය.

අනතුරුව නේවාසික කාමරයේ හිමිකාරිය දෙවරක් නොසිතා එම කාමරයේ දොර විවෘත කරනවාත් සමඟ ඇය සමඟ සිටි සමන්ගේ මිතුරන් දුටුවේ ලේ විලක් මැද කාමරයේ ඇඳක් මත නිදා සිටින ආකාරයෙන් මරණයට පත්ව සිටින ශිරෝමිගේ සිරුරය

පොලිස් විමර්ශන අනුව අනාවරණය වන්නේ අඹුසැමියන් ලෙස ජීවත්වූ ශිරෝමි සහ සමන් ඉතා සාමකාමී දිවියක් ගතකර ඇති බවය. එහෙත් ඉකුත් සැප්තැම්බර් 3 වැනිදා රැකියාවට ගොස් සවස 5.30ට පමණ සමන් එහි පැමිණි පසු එම කාමරයෙන් වෙනදා නොමැති ශබ්ද ඇසුණු බවය. එසේම එදින රාත්‍රියේ වෙනදාට වඩා වැඩි වේලාවක් විදුලි ලාම්පුද දැල්වෙමින් තිබූ බව අවට අයට නිරීක්ෂණය වී තිබිණි. ඒ අනුව පොලිසියේ සැකයට තුඩු දුන්නේ තුන්වැනිදා රාත්‍රියේ සමන් සහ ශිරෝමි අතර කිසියම් අඬදබරයක් වන්නට ඇති බවය. අනතුරුව එම අඬදබරය උත්සන්න වී සමන් විසින් ශිරෝමි ඝාතනය කරන්නට ඇති බවද උපකල්පනය කෙරිණි.

එලෙස පොලිසිය සිදුකළ මූලික විමර්ශන ඔස්සේ ශිරෝමිගේ ඝාතකයා සමන් බවට වූ සැකය තීව්‍ර වූයේ ඔහු සිය යතුරුපැදිය සහ තවත් බඩුබාහිරාදිය එම නේවාසිකාගාරයේම තිබියදී ආගිය අතක් නොමැති වීම නිසාය. සීදුව පොලිසියේ විමර්ශන නිලධාරීන් සමන් සොයා විමර්ශන සිදු කරද්දී තොරතුරක් ලැබුණේ සමන් වස පානය කොට අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවටය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ සීදුව පොලිස් නිලධාරි කණ්ඩායමක් ජාතික රෝහලට පැමිණ සමන් සෙව්වද ඔහු ඒ වන විට රෝහලින් පලා ගොස් තිබුණේ පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයට බව පොලිසිය අනාවරණය කරගත්තේය.

ඉකුත් 6 වැනිදා සීදුව පොලිස් නිලධාරි කණ්ඩායමක් සමන් සොයා වැලිකන්දට යද්දී සමන් නීතිඥයකු මාර්ගයෙන් සීදුව පොලිසියට භාර විය. ඒ සමඟම අත්අඩංගුවට ගත් සමන් පාපෝච්චාරණය කළේ ශිරෝමි ඇය සේවය කළ ආයතනයේ ‘සුපර්වයිසර්වරයකු’ සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම නිසා වූ ආරවුල මත ඇය ඝාතනය කළ බවයි. අත්අඩංගුවට ගත් සමන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාමිණි රත්නායකගේ අධීක්ෂණයෙන් සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. ජී. කුමාර, උපපොලිස් පරීක්ෂක මධුෂංක, කොස්තාපල්වරුන් වන (79888) තිලකරත්න, (2818) මද්දුම බණ්ඩාර, (56302) රණසිංහ, (97900) ජයසුන්දර, (100673) කුරුවිට යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

ඡායාරූප – කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division