ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 06කි. ජනාධිපතිවරණ උණුසුම මේ වන විට ඉහළ උද්යෝගයකින් පවතින්නේ ප්රචාරක කටයුතු අවසන් අදියරෙහි පසුවන නිසාය.
රනිල් සුපුරුදු සැහැල්ලුවෙන්
කඩි ගුලක් සේ ඇවිස්සුණු දේශපාලන පොර පිටියේ රනිල් සුපුරුදු සැහැල්ලුවෙන් කිසිදු කලබලයක් නොමැතිව සිටිනු දුටු ඔහු ළඟින්ම සිටි මැති ඇමැතිවරුන්ට ඇතිවූයේ පුදුමයකි.
රනිල් කාර්ය බහුල සතිය ඇරඹූයේ බත්තරමුල්ල දියත උයන එළිමහන් රංග පීඨයේ තරුණ සංගීත වැඩසටහනකට සහභාගි වෙමිනි. ජනපති එහි ගියේ කලින් දැනුම් දීමක් නොකරමිනි. ටික වේලාවක් තරුණ තරුණියන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් සංගීතයට ඇහුම්කන් දුන් රනිල් එතනින් පිටව ගියේ ” ඔයාලගේ අපේක්ෂා ඉටුකර ගන්න පුළුවන් රටක් හදනවා” යන පොරොන්දුව ද ලබා දෙමිනි.
රිෂාඩ්ගේ පිරිසක් රනිල් ළඟට
පසුගිය සඳුදා (9) උදේ වරුවේ රිෂාඩ්ගේ පක්ෂයේ පිරිසක් ජනපතිට සහාය දැක්වීමට කොළඹ මල් පාරේ ජනාධිපති දේශපාලන කාර්යාලයට ආවේය. එම පිරිස මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූයේ යම් බලපෑමක් නිසා රිෂාඩ් සජිත්ට සහය දුන්නත් පක්ෂයේ බහුතරය සිටින්නේ රනිල් සමඟ බවයි.
දිනපතා රැලි තුනකට හෝ හතරකට සහභාගි වන රනිල් කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ රැඳී සිටින වේලාවක් බලා එජාප නායකයන් සහ මැති ඇමැති පිරිසක් ගියේ ඉදිරි දේශපාලන සැලසුම් ගැන වැඩිදුර සාකච්ඡාවක් කිරීමටයි.
අලුත්ම ප්‍රස්තා පිරුළ
” සර්, අලුත් ප්රස්ථා පිරුළක් හැදිලා නේද?” වජිර කතාව ආරම්භ කළේ කාගේත් හිතේ කුතුහලයක් ඇති ඇති කරමිනි.
” ඒ මොකක්ද? ජනපති විමසුවේය.
” ඇයි ගීතා දීලා තලතා ගත්තා වගේ” වජිර කීවේ ජනාධිපතිවරයාගේ මුවටත් සිනහවක් නංවමිනි.
ඇයි “අයියා ලෙඩ වෙලා සීයා තාම දුවනවා” කියලත් ප්‍රස්තා පිරුළක් හැදිලා නේද? ශෙහාන් ද කතාවට එක්කාසු විය.ජනාධිපතිවරයා මේ කතාබහ සිනහ මුසුව අසා සිටියා මිස කිසිවක් නොකීවේය.
” සර්ට දැන් ෆේස්බුක්වල තරුණයන්ගෙන් ලොකු ප්‍රසාදයක් ලැබෙමින් තියෙනවා, එන්න එන්න අපේ කැම්පේන් එක හොඳ පැත්තට කර කැවෙනවා” රුවන් කීවේය.
” තරුණ පරම්පරාවේ බහුතරයකට හොඳ බුද්ධියක් තිබෙනවා. ගොඩක් අය නිහඬව හිටියත් කරන්න ඕන දේ දන්නවා. තරුණ පරම්පරාව දේශපාලන රැලිවලට වැඩි කැමැත්තක් නෑ” ජනාධිපති කීවේ රුවන්ගේ කතාවට ප්‍රතිචාර වශයෙනි.
වැටුප් වැඩිවීම ස්ථීර බව ජනපති කියයි
” රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමට කැබිනට් අනුමැතිය දීලා නෑ කියලා කතාවක් යවනවා.අපි ඒක නිවැරදි කරන්න ඕන නේද? “ශෙහාන් කීවේය.
” මොන බොරු කතාවක්ද? වැටුප් වැඩි කරන්න කැබිනට් අනුමැතිය ලබා ගත්තනේ.අනෙක මං කියන්නේ පුළුවන් දේ විතරයි. බැරි දේ බෑ කියනවා. ඔය පක්ෂවල මන්ත්‍රීවරු වුනත් බොරු පොරොන්දු දීලා මගේ ළඟට ගන්න තිබුණා. මම එහෙම කළා ද? “ජනපති කී කතාව සියල්ලෝම හිසවනා අනුමත කළහ.
කිළිනොච්චියේදී ජනපතිට ලැබුණු තෑග්ග
අඟහරුවාදා (10) ජනපති කිලිනොච්චිය, මැදවච්චිය සහ පඬුවස්නුවර ජන රැලි තුනකට සහභාගි විය. ජනාධිපතිවරයා මැදවච්චියේ වේදිකාවට නැග්ගේ කම්කරුවන් පලඳින තොප්පියක්ද පැළැඳගෙනයි. ඒ රැලියට සහභාගී වී සිටි මැති ඇමැතිවරුන් මෙන්ම ජනතාවටද තිබූ කුතුහලය නිවමින් ජනපති තමාට ඒ තොප්පිය ලැබුණු හැටි විස්තර කළේය.
” මම කිළිනොච්චියේ රැස්වීම ඉවර කරලා එනකොට වැඩිමහල් ද්‍රවිඩ කාන්තාවක් තෑග්ගක් විදියට මේ තොප්පිය මට දුන්නා.’ ඔබතුමා අපිට කෑම දුන්නා, බෙහෙත් දුන්නා, පොහොර දුන්නා, අපි ජීවත් කළා, ඒ නිසා මේ තෑග්ග ගන්න කියලා ඒ කාන්තාව මට කිව්වා. ඒ නිසා මට මේ තොප්පිය ලක්ෂයකට වඩා වටිනවා” ජනපති කීවේ රැලියේ සිටි පිරිස හැඟුම්බර කරමිනි.
මාලිමාවේ මැග්නට් එක ගැන රනිල් කියයි
එදිනම හවස කුරුණෑගල පැවැති ව්‍යාපාරික සහ විද්වත් හමුවට ජනපති එන විට වෙලාව මඳක් පමා වී තිබිණි. ඊට කුරුණෑගල ව්‍යාපාරිකයෝ, වෛද්‍යවරු, නීතිඥවරු ඇතුළු වෘත්තිකයෝ රැසක් සහභාගි වූහ.
” මාලිමාව ගැන කියන්න තිබෙන්නේ මොකක්දැයි” එහිදී වෘත්තිකයකුගෙන් ජනපතිට ප්‍රශ්නයක් යොමු විය.
” මාලිමාවෙන් දිශාව හොයාගන්නේ මැග්නට් එකකින්.මැග්නට් එක වැරදුනොත් පෙනෙන්නේ වැරදි දිශාවක්.ඒක තමයි දැන් වෙලා තියෙන්නේ” ජනපති පැවසුවේ කාටත් සිතන්නට යමක් ඉතිරි කරමිනි.
කෙල්ලන්ගේ සෙල්ෆි
නගරවල ජන රැලිවලට සහභාගි වීම සඳහා මෝටර් රියෙන් බැස වේදිකාවට යන අතර හමුවන වෙෙළඳසල් අසලට ගොස් එහි සේවකයන් සමඟ දොඩමලු වීම ජනපති මේ දිනවල පුරුද්දක් ලෙස සිදු කරයි. විශේෂයෙන් එහි සිටින තරුණ සේවක සේවිකාවන් පැමිණ ජනපති සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට උනන්දු වන අයුරු දැක ගත හැකි විය.
” මේ දවස්වල කෙල්ලන්ගේ ක්‍රෂ් එක” කියලා සර් එක්ක තරුණ ළමයි ගහන සෙල්ෆි ෆේස්බුක් එකේ යනවා, චාමර සම්පත් රැලියක් අතරතුර ජනපතිගේ කනට කර කී කතාවට ජනපතිටත් සිනා පහළ විය.
විවාදයට රනිල් සුදානම්
සර්, අනුර විවාදයකට කතා කරල තියනව නේද?“ අකිල විමසුවේ ජනපති සමඟ දුරකතන සංවාදයක් අතරතුරය.
” ඔව් අනුර එක්ක විවාද කරන්න මම සූදානම්. හැබැයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද? අපනයන ආර්ථිකයක්ද? කියලා පක්ෂය ඇතුලේ විවාද කරලා එකඟතාවයකට එන්න කියන්න. ඊට පස්සේ අපි මූල්‍ය අරමුදලත් කතා කරගෙන ඕන නම් සජිතුත් කතා කරගෙන විවාද කරමු. “ජනපති කීවේ ඇඟට පතට නොදැනීය.
“සර්, මම 17 වැනිදාට කුලියාපිටිය රැස්වීමට පහළොස් දාහකට වැඩි සෙනඟක් ගේනවා. එදාට කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කම්හලේ වැඩ පටන් ගන්නත් තියෙනවා” අකිල පැවසීය.
මාධ්‍යයේ හැසීරීම කෙසේද?
ජනාධිපතිවරණයේදී රජයේ මාධ්‍ය මෙන්ම සෙසු මාධ්‍යයේ අපක්ෂපාතී බව සම්බන්ධයෙන් ජනපති කරුණු විමසූයේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ගෙනි.
” මැතිවරණ කොමිසම එක්ක එකතුවෙලා මාධ්‍ය උපමාණ හරියට ක්‍රියාත්මක කරන්න අප වැඩපිළිවෙළක් හදලා තියෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවත් මැතිවරණ කොමිසමත් එකතු වෙලා තේරීම් භාර නිලධාරීන් ඇතුළු මැතිවරණයට සම්බන්ධ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පටන් අරගෙන තියෙනවා” දිනිත් පැවසීය.
මැතිවරණයට සම්බන්ධ පාර්ශ්ව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිසාපති කාර්යාලයේදී පැවැත්වුණු අතර මීට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක, එහි අධ්යක්ෂ චන්න පී ද සිල්වා මහත්වරුද සහභාගි වූහ.
උතුරු නැඟෙනහිර ඡන්ද මුළුමනින්ම මගේ අතේ – ජනපති
බ්‍රහස්පතින්දා (12) පෙරවරුවේ ජනපති ඉරිදා පුවත්පත් සඳහා සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේය. එහිදී මාධ්‍යවේදියකු සජබෙන් තව කවුරුත් එන්නේ නැතිදැයි විමසීය.
” තව කවුරුත් ඕන නෑ. අපි දිනනවා. උතුරු නැගෙනහිර ඡන්ද මුළුමනින්ම මගේ අතේ වතුකරයේ ඡන්ද අති බහුතරයක් තියෙන්නෙ මගේ අතේ. අපි දිනලා ඊළඟ ආණ්ඩුවත් හදනවා” ජනපති කීවේ දැඩි විශ්වාසයකිනි.
ජනපති එම මාධ්‍ය හමුවෙන් සමුගත්තේ “මට විජය ගෘෘෆ් එකේ වැඩකට යන්න තියෙනවා “කියමිනි.
විදේශීය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුනක් සමඟ ඒකාබද්ධව ආරම්භ කෙරෙන “Times School of Higher Education” උසස් අධ්‍යාපන ආයතනයේ සමාරම්භක උත්සවය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
රනිල් දිනන හැටි ප්‍රසන්න පෙන්වයි
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත්වීමට ඇත්තේ තවත් හරියම දින හතකි. මේ වනවිට එය ජනාධිපති රනිල්, විපක්ෂ නායක සජිත්, අනුර අතර තුන්කොන් සටනක් බවට පත්ව තිබේ. ඉකුත් ජනාධිපතිවරණය මෙන් නොව මෙය තනිකරම ගල උඩ සටනක් බවට පත්ව තිබේ. ඒ අනුව මෙවර ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතර ඡන්ද කෙසේ බෙදී යාදැයි ජනතාව පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ද සිටින්නේ දැඩි විමසිල්ලකිනි.
ඉකුත් සඳුඳා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මල්පාරේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා විය.
රනිල්ට පොහොට්ටුවෙන් වැටෙන ඡන්ද ගණන
“මට පොහොට්ටුවෙන් ඡන්ද කීයක් විතර වැටේවිද?” ජනාධිපතිවරයා විමසීය.
“සර්.. ගෝඨාභය මහත්තයට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. හැබැයි මහා මැතිවරණයේදී අපිට ලැබුණේ ඡන්ද ලක්ෂ 68යි. සජිත් ඡනාධිපතිවරණයේදි ඡන්ද ලක්ෂ 55ක් විතර ගත්තා. හැබැයි එතන එ.ජාප ඡන්දත් තිබුණා. හැබයි සජිත් ස.ජ.බ විදියට මහ මැතිවරණයට ඇවිල්ල ගත්තේ ඡන්ද ලක්ෂ 27යි. ඔය ඡන්ද දෙකේදිම මාලිමාව ගත්තේ ඡන්ද ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක්.” ඇමැති ප්‍රසන්න දීර්ඝ විස්තර කිරීමකට සූදානම් වෙමින් කීය.
“ඔව්.. ඉතිං” ජනාධිපතිවරයාද වඩාත් ඕනෑ කමකින් විමසන්නට විය.
“ජනාධිපතිවරණයේදී ලක්ෂ 55ක් ඡන්ද ගත්ත සජිත් මහ මැතිවරණයේදී ගන්නේ ඡන්ද ලක්ෂ 27යි. ඡන්ද ලක්ෂ 28ක් විතර එතුමට අඩු වෙලා. ජනාධිපතිවරණයේදි සජිත්ට සහාය දුන්න එක්සත් ජාතික පක්ෂය මහා මැතිවරණයට තනියම ඉදිරිපත්වෙලා ගත්තෙ ඡන්ද දෙලක්ෂ පනස් දාහයි. මහ මැතිවරණයේදී එ.ජා.පයට ඡන්දය දෙන්න මිනිස්සු කැමති වුණේ නෑ. ඒ ඡන්ද වැටුණේ නෑ.” ඇමැති ප්‍රසන්න කියන්නට විය.
“ඔව්… මම අහන්නේ පොහොට්ටුවෙන් ඡන්ද කීයක් විතර වැටේද කියලා” ජනාධිපතිවරයා විමසීය.
ඇත්ත කියන ලෙසට රනිල්ගෙන් උපදෙස්
“ඒත තමයි.. සර් මම කියාගෙන ආවේ.. පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 100ට වඩා ඉන්නේ අපිත් එක්ක. පොහොට්ටුවේ ඡන්ද බෙදිල තියෙන බව ඇත්ත. ඒත් සර් එක්ක ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වෙච්ච අපිට ඡන්ද ලක්ෂ 40ක් විතර ගන්න පුළුවන්.” ඇමැති ප්‍රසන්න කීවේ දැඩි විශ්වාසයකිනි.
“මම එන්නේ රට ගොඩ දාන්න මිසක්. මට ගොඩ යන්න නෙමෙයි. මේ ට්‍රැක් එකෙන් පිට ගියොත් රට ඉවරයි.” ජනාධිපතිවරයා ඇමැති ප්‍රසන්නගේ කතාවට පිළිතුරු ලෙස කීය.
“ අපි ඒක තමයි ජනතාවට තේරුම්කරල දෙන්නේ. මහ ජන රැලි තියනවට වඩා පොකට් මීටින් තියන එක තමයි වැඩිම වාසිය තියෙන්නේ” හිටපු ඇමැති මනූෂද කතාවට හවුල් විය.
“කැන්වසින් කරන එක තමයි හොඳම විසඳුම. මම ගම්පහ කැන්වසින් කරගෙන යනවා. තව පොකට් මීටින් තියනවා. සමහර අය මාලිමාව පැත්තට කතා කළාට ඊට වඩා වැඩි පිරිසක් නිහඬව ඉන්නවා. ඒ ඡන්ද වැටෙන්නේ ජනාධිපතිතුමාට” ඇමැති ප්‍රසන්න යළි කීය.
“ඔව්.. ඔයාල ගම්වල මිනිස්සුන්ට ඇත්ත කියන්න. මට බොරු කියල දිනන්න ඕන නෑ.” ජනාධිපතිවරයා සාකච්ඡාව හමාර කරමින් කීය.
මාලිමාවේ පිරිසක් ප්‍රසන්න හමුවුයේ ඇයි?
ඉකුත් සතියේ දිනයක ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිමාවේ ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකු ඇමැති ප්‍රසන්න හමුවිය. ඊට කපුකම සිදුකර තිබුනේ ජ.වි.පෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.
“සර්… අපි කැමතියි ජනාධිපතිතුමාට වැඩ කරන්න” ඔවුහු ඇමැතිවරයාට කීය.
“මොකද එකපාරටම අපිත් එක්ක එකතුවෙන්න තීරණය කළේ” ඇමැති ප්‍රසන්න විමසීය.
“මේකයි සර් අපේ නායකයෝ ඔය කියන තරම් සුද්දවන්තයෝ නෙමෙයි. බැරි වෙලා හරි අනුර දිනුවොත් මේ රට ලේ විලක් වේවි. එහෙම ගැටුමක් ආවොත් ඒක නවත්තන්න තරම් පෞරුෂයක් එයාට නැහැ. හැබැයි සර් වේදිකා දෙවනත් වෙන්න කෑ ගහන්න නම් පුළුවන්. ” ඔවුන් කී කතාවට ඇමැති ප්‍රසන්න ඇතුළු පිරිසට සිනා නොවී සිටිය නොහැකි විය.
“ඇයි ඔයාලත් අරගල කළානේ. පේනව නේද දැන් බංග්ලාදේශයේ වෙලා තියෙන දේ. ඒත් ඔයාල පහුවෙලා හරි ඇත්ත තේරුම් ගත්ත එක ලොකු දෙයක්” ඒ ඇමැති ප්‍රසන්නය.
“අනේ සර්.. අපි ගෝල්ෆේස් ගියා තමයි. හැබැයි සර් ගෙවල් ගිනි තියන ඒවට අපි සම්බන්ධ නැහැ. ඒ නිසා තමයි අපිට මාලිමාව එපා වුණේ.” මාලිමාවේ නියෝජිතයෝ කීවේ විස්සෝපයෙනි.
“හරි.. අපි එකතුවෙලා වැඩ කරමු මල්ලි. මේ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් නායකයා එක්ක තමයි අපි ඉන්නේ. මේ පාර බැරි වුණොත් රටේ අනාගතය ඉවරයි. ඔයාල පහුවෙලා හරි… හරි තීන්දුවක් ගත්තා. ඔය තේරුම් ගැනීම වැදගත්. ඔයාල තේරුම් ගත්ත ඔය කතාව ගමේ ඉන්න අනිත් අයටත් කියන්න” ඇමැති ප්‍රසන්න උපදෙස් දෙමින් කීය.
ඇමැති ප්‍රසන්නට වශී ගුරුකමක්
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටුව ඉකුත් සතියේදී රැස්විය. ඇමැති ප්‍රසන්න රණතුංග, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, සහන් ප්‍රදීප්, ආශු මාරසිංහ, රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා විය.
“සර්ට.. ජනාධිපතිතුමා හොඳ වශියක් දීලා වගෙයි” මෙම සාකච්ඡාවට එක්වූ එ.ජා.ප නියෝජිතයා කීය.
“මට වගී ගුරුකම් කළේ මගේ නෝනා විතරයි. අනිත් අයගේ වශී ගුරුකම්වලට මම අහුවෙන්නෙ නෑ.” ඇමැති ප්‍රසන්න කී කතාවට පිරිස කොක් හඬලෑහ.
“දැන් මිනිස්සු ඉස්සරට වඩා බුද්ධිමත්. වශීබෝල, පපුවට ගහ ගැනිලිවලට දැන් මිනිස්සු ඡන්දය දෙන්න නෑ.”අසල සිටි හිටපු පළාත් පාලන නියෝජිතයකු කීය.
දක්ෂිණ ලංකා මහා සඟ සමුළුව
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විජයග්රහණයට ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් වජිර අබේවර්ධන සහ දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද දක්ෂිණ ලංකා මහා සංඝ සමුළුව පසුගිය සෙනසුරාදා මාතර නූපේ සණස ශාලාවේදී පැවැත්විය.
සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත මහා පිරිවෙන්පති අති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්ගේ මූලිකත්වයෙන් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ ගෞරවනීය මහා සංඝයා වහන්ස්ලා 800 දෙනෙකුගේ වැඩමවීමෙන් මෙම සංඝ සමුළුව පැවති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල අගය කරමින් සහ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එතුමාට සෙත් පැතීමද මෙහිදී සිදු විය.
රාහුල හිමියන් කීවේ මොනවාද?
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, වත්මන් පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, කංචන විජේසේකර යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියත් සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියන්ගේ කතාව වැඩමවා සිටි සංඝරත්නයේ සියලු දෙනාගේම කතාබහට ලක්විය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට පත්වෙන්නට පෙර ඔබ වහන්සේලා වැටුපක් ගන්න පිරිවෙනක උගන්වන හාමුදුරුවන් කෙනෙක් නම් ඔබේ අතට මුදල් ලැබුණේ අලුත්ම අලුත් මුදල් නෝට්ටුවලින්. ඒ කියන්නේ ඔබට වැටුප් ගෙවන්න ආණ්ඩුව මුදල් අච්චු ගැහුවා.
නමුත් මේ අවුරුදු දෙක පුරාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක මුදල් නෝට්ටුවන් අච්චු ගැහුවේ නැහැ. සමහර වෙලාවට අපි දැක්කා මමත් මුදල් ඇමැතිනේ මගේ නමත් මුදල් නෝට්ටුවල තියෙන්න ඕනනේ කියලා ඇතැම් පාලකවරු මුදල් අච්චු ගැහුවා.
නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට මේ තත්ත්වයට ගෙන ආවේ වෙනස් විදිහකට. එතුමා සංචාරක කර්මාන්තය දියුණු කළා. විදෙස් රටවල සේවය කරන අපේ රට විරුවන්ගේ විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කළා. කවුරු එපා කිව්වත් ඔවුන් ඒ විශ්වාසය මත මේ රටට නැවත මුදල් ඩොලර්වලින් එවන්න පටන් ගත්තා
අන්න ඒ විදිහටයි මේ ජනාධිපතිතුමා රට ගොඩගන්න වැඩපිළිවෙළ දියත් කරේ..”
රනිල්ට පැමිණි තර්ජන වජිර පෙන්වා දෙයි
දොම්පහළ රාහුල හිමියන්ගේ කතාවෙන් පසුව මහා සංඝරත්නය ඇමතුවේ වජිර අබේවර්ධනයි.
“වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගිනි ගත්ත රට නිවන්න සම්පූර්ණයෙන්ම භාවිත කළේ මගේ කල්පනාවේ හැටියට බුදුදහමයි. ජූලි මාසයේ 9 වෙනිදා එතුමන්ගේ නිවස ගිනි ගන්නා විට මට මතකයි එතුමාගේ ආරක්ෂක අංශ කිව්වා මෙතැනින් ඉවත්වෙන්න කියලා. මම දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අගමැති ලෙස කිසිදු බයකින් සැකයකින් තොරව ඒ ප්‍රශ්නයට බුදුදහම අනුව මුහුණ දීපු ආකාරය. එතුමා උදෑසන ඒ ගිනිදැල් දිහා බලන්නෙවත් නැතිව මේ රටේ සුවහසක් ජනතාවගේ ගිනිදැල් නිවන්න කටයුතු කළ ආකාරය“.
විදෙස් නියෝජිතයින් වජිරට කළ බලපෑම්
මට මතකයි 14, 15, 16, 17, 18, 19, 20. මගේ නිවසට පැමිණෙන දෙස් විදෙස් නියෝජිතයින් ඒ අය මගෙන් එක ඉල්ලීමක් කළා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ අතහරින්න. වෙන ඕන කෙනෙක් තෝරගන්න. එයාට අපි උදව් කරමු කිව්වා. ඒ වෙලාවේ මම හිතුවා මේ අයට දෙන්න ඕන රනිල් වික්‍රමසිංහමයි කියලා.
මට මතකයි 20 වෙනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන ඡන්දය. විවිධ බාධක මැද පාර්ලිමේන්තුවේ සිටි 134 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව 8 වන විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගන්නවා.
මට මතකයි ලක්ෂ්මන් යාපාත් මමත් 87, 88 භීෂණය අවස්ථාවේ දකුණු පළාත් සභාව නියෝජනය කරනවා. අපිට වෙඩි හඬ හොඳට පුරුදුයි. වෙඩි හඬක් ඇහුණු පළියට අපි දුවන්නේ නැහැ. ඒ කාලේ දකුණු පළාත් සභාව රැස්වුණේ ගාල්ල නගර සභාවේ. ටවුන් හෝල් එකට එක පාරක් කිලෝ සීයක පමණ බෝම්බයක් තිබ්බා. ගාල්ල නගර ශාලාවේ වහලය ගලවගෙන බිමට වැටුණා. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වහල කඩාගෙන වැටුණා. ඒ අවට තිබුණු හින්දු කෝවිලේත් වහලය කඩාගෙන වැටුණා. ඒ අවට තිබුණු වාහන සියල්ලක්ම කුඩු වුණා. එදත් ඒ ප්රශ්නය අපේ සමාජය තුළ දීර්ඝ කාලීනව තිබිලා තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා 8 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නට පස්සේ මට හිතුණා එතුමා විධායක ජනාධිපති වෙන්නේ විදෙස් බලවේගවලට විරුද්ධවයි.
උතුරට පොලිස් හා ඉඩම් බලතල ලබා නොදෙන බව නාමල් යාපනයේදී කියයි
නාමල් රාජපක්ෂ ගෙවුණු සතියේ යාපනය දිස්ත්‍රික්කයේ තමාගේ ප්‍රචාරණ කටයුතු සිදු කරනු ලැබූ අතර විශාල පිරිසක් නාමල් රාජපක්ෂ සමග එක්රොක් වනු දැකිය හැකිවිය.මෙහිදී නාමල්ගෙන් සියලූම දෙනා ප්‍රශ්න කර සිටියේ උතුරට පොලිස් හා ඉඩම් බලතල ලබා දෙන්නේද යන්නයි.“ නෑ මම උතුරට පොලිස් හා ඉඩම් බලතල ලබා දෙන්නෙ නෑ “නාමල් පිළිතුරු දුන්නේය.“ අනෙක් අපේක්ෂකයො ඔක්කොම කියන්නේ මේ 13 සංශෝධනය බලාත්මක කරනවා කියලනෙ“ එතැන සිටි මාධ්‍යවේදියකු නාමල් ගෙන් නැවත විමසීය. “ඔබ බලයට ආවොත් මොකද කියන්නෙ“ යැයි නැවතත් පැවසීය.“මම ආවොත් මුලින්ම පළාත් සභා ඡන්දය තියනවා.“නාමල් පැවසීය.“කොහොමත් මම පොලිස් බලතල ඉඩම් බලතල උතුරු හා නැඟෙනහිරට දෙන්නෙ නෑ .හැබැයි බුද්ධාගමට මුල් තැන දීලා හැමෝටම ඉන්න පුළුවන් ලස්සන රටක් හදනවා “නාමල් පැවසීය.
නාමල්ට හතේ කණ්ඩායමෙන් ඇමතුමක්
පසුගිය දිනවල පක්ෂය හැරගිය කණ්ඩායමේ හත් දෙනෙකු පසුගිය සතියේ නාමල් හා බැසිල් මුණ ගැසුණු අතර එම සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් විය. නමුත් නැවතත් එම හතේ කණ්ඩායමේ කිහිපදෙනෙකුම නාමල් ඇමතීය.“අපි ඉස්සරහදී විශේෂයෙන්ම මහ මැතිවරණයේදී ඔබත් සමග ඉන්නවා. ගිය බොහෝ දෙනෙක් ආපහු එයි. ඔව් අපි ඒ ගැන බැසිල් රාජපක්ෂ එක්ක කතා කරමු. මොකද බැසිල් රාජපක්ෂ තමයි පක්ෂය ගැන බලන්නෙ“ නාමල් පැවසීය. “ඔව් ඒ ගැන අපේ කණ්ඩායම නැවතත් බැසිල් රාජපක්ෂ එක්ක මීටින් එකක් දාගන්න යන්නෙ“ යැයි එක් මන්ත්‍රීවරයකු පැවසීය. “අපි එහෙනම් ඡන්දෙ පහුවෙලා නැවතත් හමු වෙමු “නාමල් ඔවුනට පැවසීය.
කාන්තාවන්ට සේවයක් කළ අපේක්ෂකයා ගැන අජිත් කියයි
මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයෙ සෑම ආසනයකම වාගේ දිවා රාත්‍රී එක දිගටම ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙනි.
බෙලිඅත්ත, තංගල්ල, මුල්ගිරිගල, තිස්සමහාරාම යන මැතිවරණ කොට්ඨාශවල සෑම ගමකටම ගොස් අජිත් රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේ රටේ අනාගතය ගැන සිතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දිනවීමට ක්‍රියා කළ යුතු බවයි.
වැටුණු රට ගොඩනැඟීම සඳහා පාර්ලිමේන්තුවට අණ පනත් රැසක් ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කළ බවත් එම අණ පනත් හේතුවෙන් රටේ ආර්ථීකය මේ වන විට ශක්තිමත් වූ බවත් පෙන්වා දුන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ එම අණ පනත්වලට අත ඔසවන පුද්ගලයින් මරා දමන බවට ඇතැම් විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයින් එදා තර්ජකය කළ බවයි.