– තෙල් මිල, විදුලි බිල ආදිය වහාම අඩු කරලා ආණ්ඩුව ආරම්භයේදීම ජනතාවට සහන ලබාදෙනවා.
– රටේ ජාතික ආදායම තුන් ගුණයකින් වැඩිකර ඩිජිටල් විප්ලවයක් අප ආරම්භ කරනවා
– අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පිළිගන්න ඕනෑම කෙනෙකුට අපි දොරටු වහන්නේ නෑ
– ජාතික ආදායම වැඩි කිරීම සඳහාත් අපි විප්ලවීය ඉදිරි පියවර කිහිපයක් තබා තිබෙනවා
– ආණ්ඩුවේ වැටුප් වැඩි කිරීමේ ප්‍රකාශය මැතිවරණ අල්ලසක්
– ජාතික ජන බලවේගය ඉදිරිපත් කරලා තිබෙන්නේ කිසිම ප්‍රායෝගික වැදගත්කමක් නැති යෝජනා මාලාවක්
මේ වන විට ඡන්ද සටන ජය ගත හැකිවේයැයි ඔබට තිබෙන විශ්වාසය කොපමණද?
ඒ ගැන දෙගිඩියාවක් නෑ. සියයට සියයක විශ්වාසයක් තිබෙනවා. වැඩිම සෙනඟ එන්නේ අපේ රැස්වීම්වලට. ඒ වගේම තමයි මෙතෙක් කලක් වෙනත් පක්ෂවලට ඡන්දය දීපු පොදු මහජනතාව ගම් පිටින් අපට සහයෝගය දක්වන්න ඉදිරිපත් වෙලා සිටිනවා. මට පෙනෙනවා අපේ රට ගැන උනන්දු ජාත්‍යන්තර ප්රජාවත් බලා සිටින්නේ අන්තවාදය හා දූෂිත දේශපාලනයේ ගොදුරු බවට පත් නොවන රට සංහිදියාවක්, සාමයත්, ප්රජාතන්ත්රවාදයත් සහතික කළ හැකි නායකයෙක්. මේ සියලු කරුණු අනුව අපගේ විශ්වාසය වැඩි වී තිබෙනවා.
ජනාධිපතිවරණයට තව දින කිහිපයයි. 22 වැනිදායින් පසු ජනතාව දිනවන වගකීම ඔබට පැවැරුණොත් කොහොමද ඒ වගකීම ඉටුකරන්නේ?
පළමුව මගේ ජනාධිපති ධුරයත් සමඟ දැනට අස්ථාවර වී තිබෙන රට ස්ථාවර කිරීමට මම කටයුතු කරනවා. කිසිම ප්‍රචණ්ඩත්වයකට, දේශපාලන පලිගැනීමකට ඉඩ දෙන්නේ නෑ. ජාතික ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරනවා. මට ලැබී තිබෙන ජනවරම පාර්ලිමේන්තුව තුළත් නියෝජනය විය යුතුයි. ඒ නිසා මම ඉක්මනින්ම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතෙක් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පත් කරනවා. මේ ආණ්ඩුව මඟින් ප්‍රථමයෙන්ම කරන්නේ දැනට ණය බරින් , බදු බරින්, ජීවන බරින් හෙම්බත් වෙලා සිටින ජනතාවට සහන ලබාදීම. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන සහ පරිපාලන කණ්ඩායම් මම කඩිනමින් පත් කරනවා. දැනට පළුදු වී තිබෙන ජාත්‍යන්තර සබඳතා ඉක්මනින්ම යහපත් ලෙස යළි තහවුරු කරන්න පටන් ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉක්මන් සාකච්ඡාවක් පටන් ගන්නවා.
එහෙම කියන්නෙ මේ මස 22 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා ඔබද?
ඔව්, ඉතා පැහැදිලිවම මම මේ ජනාධිපතිවරණය ඉතා ඉහළින් ජය ගන්නවා. ලංකාව පුරාම දස දහස් ගණනක් ජනතාව සමගි ජන බලවේගය වටාත්, සමගි ජන සන්ධානය වටාත් ඒකරාශි වෙමින් සිටිනවා. ජාතීන් වශයෙන් ගත්තත් සිංහල, දෙම< , මුස්ලිම් ජනතාවත් ආගම් වශයෙන් ගත්තත් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුණු ආදී වශයෙන් වූ මෙරට සිටින ජන විවිධත්වයේ පොදු කැමැත්ත හිමි වී ඇත්තේ මටයි. අනෙක් කිසිදු අපේක්ෂකයෙකුට මේසා විශාල සහයෝගයක් මුළු රටම ආවරණය වන පරිදි ලැබී නෑ. ඒ වගේම මගේ නායකත්වයෙන් බිහි වී තිබෙන සන්ධානය තමයි මේ ජනාධිපතිවරණයේ දකින්නට ලැබෙනු පුළුල්ම ප්රජාතන්ත්රවාදී සන්ධානය. අනෙක් තැන්වල අපට දකින්න තිබෙන්නේ එක්කෝ අශුද්ධ සන්ධාන නැත්නම් ඒකාධිපති සන්ධාන. ඒ වගේම ජනතාවට විශ්වාසය තැබිය හැකි පැහැදිලි , නිරවුල් , ප්‍රායෝගික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සහ ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කර තිබෙන්නෙත් අපේ සන්ධානය පමණයි. මේ සියලු කරුණු අනුව ජයග්‍රහණයේ අවස්ථාව දැනටමත් අප වෙනුවෙන් වෙන් වෙලා තිබෙනවා.
ඔබ පවසනවා ශක්තිමත් කණ්ඩායමක් ඔබ වටා සිටින බව. ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය දිගටම කරගෙන යාමට මේ කණ්ඩායමට හැකිවේවිද?
ඔව්, අපේ කණ්ඩායම බුද්ධිමත් කණ්ඩායමක්. ඒ වගේම කාර්යක්ෂම ප්රායෝගිකවාදී කණ්ඩායමක්. දූෂණ අපචාර චෝදනා නැති කණ්ඩායමක්. ඒ වගේම අතීතයේ වැඩ කරලා පෙන්නපු කණ්ඩායමක්. මේ වගේ පිරිසකට තමයි මම අමාත්‍යාංශ භාර දෙන්නේ. බලශක්ති, ඩිජිටල්, යටිතල පහසුකම්, මුදල්, රාජ්‍ය පරිපාලන, ආර්ථික සංවර්ධන, කර්මාන්ත අංශය, විදේශ ප්‍රතිපත්ති ආදී වශයෙන් වූ සෑම අංශයකටම නායකත්වය දිය හැකි රටටත් ලෝකයටත් විශ්වාසය තැබිය හැකි කණ්ඩායමක් මා සතුව ඉන්නවා. මේ පිරිස වරප්‍රසාද වරදානවලට තමන්ගේ හොඳ නම පාවාදීපු අය නෙවෙයි. ඒ වගේ කණ්ඩායමක නායකයා වීම ගැන මට ඇත්තේ නිහතමානි සතුටක්.
රනිල් සජිත් එකතුවීමක් ගැන කතා කරනවා. ජනාධිපතිවරණයට පෙර හෝ පසු රනිල් සජිත් එකතුවීමක් දැකිය හැකිද?
රනිල් වික්‍රමසිංහ මහතාට දැන් තේරිලා තිබෙනවා, මේ ජනාධිපතිවරණ සටනේ ඔහු තීරණාත්මක සාධකයක් නොවන බව. එම නිසා ඒ අය ප්‍රචාරයක් අරිනවා අපටත් දිනන්න බෑ ඒ නිසා දොගොල්ලන් එකතුවිය යුතු බව. මම කියන්නේ අපි දිනනවා කියලා. ඒ නිසා දිනන අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැනටමත් දවසින් දවස වෙනත් දේශපාලන අදහස් දැරූ අය අපිත් එක්ක අපේ ගමනට එකතුවෙමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් කරමින් සිටින්නේ අපේක්ෂාභංග වූ වෛරයෙන් පසුවන දේශපාලනඥයෙකුගේ කාර්යයභාරයයි. අපේ ගමනට එරෙහිව කැට කැබිලිතිවලින් දමා ගසනවා. ඒ විපරීත චර්යාව ගැන මට තිබෙන්නේ කනගාටුවක්.
පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරියක් වූ තලතා අතුකෝරල පවා පසුගියදා පැවැසුවා සුදුසුම දේ රනිල් සජිත් එක්ව ජනාධිපතිවරණයට තරග කිරීම බව.
ඉතින් ඒ අවස්ථාව නැතිකළේ මමද. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ඡන්ද කීයක් පැරදුනාද? ජනාධිපති ඡන්ද කීයක් මගහැරියාද? ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු වෙනත් නායකයෙක් හෙව්වේ. ඡන්ද දිනන්න පුළුවන් නායකයෙක් හෙව්වේ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ පක්ෂයේ වෙන කිසිවෙකුටත් ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වසා දැමීමයි. රනිල් වික්‍රමසිංහ මහතා සැබෑ ප්රජාතන්ත්රවාදී නායකයෙක් නම් ඔහුට තිබුණා පක්ෂයේ ඊළඟ දෙවැනි පෙළ හදන්න. අලුත් නායකයන් නැඟිටිනකොට ඒ අයට අත දෙන්න. දැන් මට එරෙහිව කළ හැකි සියලු දුෂ්ටකම් ටික කිරීමට එතුමා පෙලඹිලා තිබෙනවා.
ඔබ දිනුවොත් නව රජයක් පිහිටුවීමට අනෙක් පක්ෂවලට ආරාධනයක් නැද්ද?
දැනටමත් අපේ සන්ධානය වටා පක්ෂ ගොඩක් එකතුවී සිටිනවා. අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පිළිගන්න ඕනෑම කෙනෙකුට අපි දොරටු වහන්නේ නෑ. කොහොම වුණත් නව රජයක් පිහිටුවන්න මහ මැතිවරණයක් පැවැත්විය යුතුය තිබෙනවා. මං විශ්වාස කරනවා මේ රටේ ම ජනතාව සෑම පක්ෂයකම ඉන්න හොඳ, බුද්ධිමත්, කාර්යශූර, අදූෂිත මිනිස්සු පාර්ලිමේන්තුවට තෝරලා එවයි කියලා. ඒ අවස්ථාවේදී අපට බලන්න සිදු වෙනවා ඒ හොඳම පිරිස තෝරාගෙන ශක්තිමත් ආණ්ඩුවක් හදන්න.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට රජය තීරණය කරලා. ඔබේ ආණ්ඩුවක් බලයට පත් වුණොත් වැටුප් ප්‍රශ්නයට විසදුම් ගෙන එන්නේ කොහොමද?
ආණ්ඩුව වැටුප් වැඩි කිරීමේ ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. ඒක ඉතාම පැහැදිලිවම මැතිවරණ අල්ලසක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් තමන්ගේ ජනාධිපතිවරණ බලය භාවිත කරලා මිනිස්සු රැවටීමකුයි මේ සිදුකරන්නේ. ඒ නිසා ආණ්ඩුවේ යෝජනා අපි බැරෑරුම් ලෙස සලකන්නේ නෑ. රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු වැටුප් ලබන ජනතාවගේ ආදායම ඉතා ඉහළින් වැඩි කිරීමට අපි පොරොන්දු වෙලා තිබෙනවා. ගොඩක් අය අහන්නේ මේවා කරන්න මුදල් කොහෙන්ද තියෙන්නේ කියලා. ජාතික ආදායම වැඩි කිරීම සඳහාත් අපි විප්ලවීය ඉදිරි පියවර කිහිපයක් තබනවා.
ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ජනතාවට ලබාදෙන වරප්‍රසාද මොනවාද?
ජනතාවට දැනට ලබාදී තිබෙන පහසුකම් සහ වරප්‍රසාද කිසිවක් අප අඩු කරන්නේ නෑ. ඒ වගේම අපි තෙල් මිල , විදුලිබිල , ආදිය වහාම අඩු කරලා ජනතාවට ආණ්ඩුව ආරම්භයේදීම සහන ගොඩක් ලබාදෙනවා. නිෂ්පාදන ආර්ථිකයකට ජනතාවගේ දායකත්වය උපරිමයෙන්ම ලබාගන්න ඕන.
වැටුණු රට ගොඩනැඟීමේ කර්තව්‍යයේ භාරදුර වගකීම පත්වන ආණ්ඩුවට පවතිනවා. ඔබගේ ආණ්ඩුවක් බලයට පත්වුණොත් ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙල සඳහන් කරන්න කලින් සඳහන් කළා වගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙන යනවා. නමුත් ණය බර පොදු ජනතාව පැටවීමට අපි බලාපොරොත්තු වන්නේ නෑ.
රටේ ජාතික ආදායම තුන් ගුණයකින් වැඩිකර ඩිජිටල් විප්ලවයක් අප ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ඉලක්ක කරගෙන සංවර්ධන කලාප බිහි කරනවා. සෑම ක්ෂේත්රයකම පවතින දූෂණය, වංචාව, අල්ලස සහමුලින්ම මර්දනය කරන්න අපි කටයුතු කරනවා. අපි හදන්නේ වැඩ කරන රටක්. කරන වැඩවල සමාජ ආර්ථික ඵලය සාධාරණව බෙදා හදා ගැනීමට අවස්ථාව ලැබෙන රටක්.
තවත් ණය ගෙවීම ආරම්භ කරලා නෑ. විපක්ෂය සෑම විටම පැවැසුවේ 2028 ණය ගෙවන්න පටන් ගත් පසු මීට වඩා දුක් විඳින්න සිදුවන බවයි. ඔබගේ රජයක් යටතේ මෙය කළමනාකරණය කර ගන්නේ කෙසේද?
කලින් කිව්වා වගේම අපි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. ජනතාව පීඩාවට පත් නොකර පිරිමැසුම් ආදී ආර්ථික ක්රමෝපායන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ අඛණ්ඩව සාකච්ඡා කරනවා. ණය ගෙවීමේ හැකියාවක් සහිත ආර්ථිකයක් ලෙස ලංකාවේ ආර්ථිකය ඉක්මන් පරිවර්තනයකට ලක් කිරීමට අප කටයුතු කරනවා. 2028 දී නැවත රට බංකොලොත් කිරීමකට ඉඩ නොතබා ඒ ණය වාරික ගෙවීමේ හැකියාව අපි ලබාගන්නවා.
ජනතාවට බරක් නොදැනෙන පරිදි මෙය සිදුකරන්නේ කෙසේද?
දැන් නම් කරන්නේ ජාතික ණය බර සම්පූර්ණයෙන්ම ජනතාව මත පටවලා පාලකයෝ වගකීමෙන් නිදහස් වීමයි. ජනතාව බදුබරින්, ණය බරින් පීඩාවට පත්වුණා හොඳටම ඇති. අපේ රාජ්‍ය ආදායම් සැලැස්ම සමාජ ප්රජාතන්ත්රවාදී ආර්ථික දර්ශනය මත සකස් වූවක්.
බදු බරට යම් සහනයක් ලබාදෙන්න සූදානම්ද?
ඔව්, අපේ ජාතික ආදායම් සැලැස්ම සම්පූර්ණයෙන්ම තිබෙන්නේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් මතයි. අසාධාරණ බදු ගසමින් ජනතාවගේ ගෙල සිර කිරීමට අපි සූදානම් නෑ.
අයි එම් එෆ් ගනුදෙනුව ඉදිරියට පවත්වාගෙන ගියත් එහි කොන්දේසි වෙනස් කරන්න ඔබගේ ආණඩුව සුදානම්. ජාත්‍යන්තර කොන්දේසි වෙනස් කිරීම රට ආපස්සට හැරවීමක් නේද?
අයි.එම්.එෆ්. එක අපිට දරුණු කොන්දේසි පනවලා නෑ. ඔවුන් කියන්නේ අපගේ ආදායමට අඩුවෙන් වියදම පවත්වා ගෙන යන්න කියලයි. ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් වර්තමාන ආණ්ඩුව අයි.එම්.එෆ්. එක කිව්වා කියමින් අයි.එම්.එෆ්. එක නොකියූ බොහෝ දේවල් ක්‍රියාත්මක කරලා. මේ ව්‍යාකූලතාවය නිරාකරණය කරගත යුතුයි.
ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ සම්පුර්ණයෙන් ඇනහිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරනවා. මේ ගැන ඔබේ අදහස.
ජාතික ජන බලවේගය ඉදිරිපත් කරලා තිබෙන්නේ කිසිම ප්‍රායෝගික වැදගත්කමක් නැති යෝජනා මාලාවක්. ඒ නිසා ඒ ගැන කතා කිරීමෙන් ඵලක් නෑ.
මේ වන විට ජාතික ජන බලවේගය දැඩි සටනක නියැෙළනවා. ඔවුන් ඔබේ ඡන්ද සටනට අභියෝගයක් ද?
ඔවුන් මට අභියෝගයක් නෙවෙයි. ඔවුන් සියයට ක පක්ෂයක සිට පොඩ්ඩක් ලොකු වෙලා තිබෙනවා. නමුත් සමගි ජන බලවේගයේ ජන පදනමේ අහලකටවත් එන්න ඔවුන්ට හැකියාවක් ඇත්තේ නෑ.
ජාතික ජන බලවේගය අමාත්‍ය ධුර 25කට සීමා කරන්න සූදානම්. මෙය ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඔබ ආණ්ඩුවේ මේ සීමා කිරීම කෙබඳුද?
ජාතික ජන බලවේගය කැබිනට්ටුවක් හදන්න මුලින්ම ඔවුන් බලයට පත් විය යුතුයි. එහෙම ඉඩක් නෑ. ඒ නිසා ඔවුන්ගේ ඇමැති මණ්ඩලය ගැන කතා කරන එකේ තේරුමක් නෑ. නමුත් රටක ඇමැති මණ්ඩලය විශාල විය යුුතු නෑ. අපි හදන්නේ කුඩා කැබිනට් මණ්ඩලයක්. එය හදන්නේ විද්‍යානුකූල පදනමක් මත අමාත්‍යාංශ බෙදා ගැනීමෙනුයි.
වත්මන් ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශාල මෙහෙයක් කර තියෙනවා. සමගි ජනබලවේග රජයක් යටතේ ඔබ විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඉටු කරන්නට බලාපොරොත්තු වන සේවාවන් පිළිබඳව කෙටියෙන් පැවැසුවොත්….?
සමගි ජන බලවේග රජයක් යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් සූදානම් කර තියෙනවා. ඒ අනුව අපේ රජයක් යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 15 ඉතිරි කිරීම් පොලිය නැවත ලබාදෙන්නට අපි කටයුතු කරන බව කියන්න කැමැතියි.
නව ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත හරහා සෞඛ්‍ය ආධාර වැඩසටන තුළ දැනට ලැබෙන වට්ටම වැඩි කර ජ්‍යෙෂ්ඨ පුරවැසියනට ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට පාර්ලිමේන්තුවේ අණපනත් තහවුරු කරනවා.
ඒ වගේම අපේ රජයක් යටතේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ ජනාධිපති කාර්ය සාධන බළකායක් ඇති කරන්නට කටයුතු කරනවා.
සෑම වැඩිහිටි සංවිධානයකටම ශක්තිමත් ප්‍රතිපාදන වාර්ෂිකව වෙන් කර ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා රජය මැදිහත් වී පහසුකම් ලබාදෙන්නටත් අපේ රජයක් යටත් පසුබිම සකස් කරනවා
අවසාන වශයෙන් ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ ?
අපි ජය ගන්නවා, විශ්වාසයෙන් අපිත් එක්ක එකතුවන්න කියලා මම පවසන්නට කැමැතියි.