ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය
කරුණු කාරණා කිහිපයකටම අදාළව සැලකීමේදී සුවිශේෂී මැතිවරණයක් ලෙස මෙවර ජනාධිපතිවරණය සැලකිය හැකිය. අප මේ මුහුණ දෙන්නේ වසර හතරකට පසුව මුහුණ දෙන පළමු මැතිවරණයට ය. ඉන් අදහස් වන්නේ පසුගිය වසර හතරක කාල සීමාව තුළ පැවැත්විය යුතුව තිබූ පළාත් සභා සහ පළාත් පාලන යන මැතිවරණ විවිධ හේතුන් මත නොපවත්වා ඇති පසුබිමක රටේ ජනමතය උරගා බැලීමට වසර හතරකට පසුව අවස්ථාව ලැබෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී ය. අනෙක් අතට මෙම ජනාධිපතිවරණය විශේෂිත වන්නා වූ තවත් කාරණයක් ද තිබේ. එනම් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදු වූ ඉතාමත් ම බැරෑරුම්සහගත සිදුවීමක් ලෙස සැලකිය යුතු ආර්ථික බංකොලොත්භාවයට පත්ව තිබෙන රටක් ඉන් මිදීමට ගනු ලබන ප්‍රයත්නයන් අතරතුර පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය රටට ඉතාමත්ම තීරණාත්මක ය.
අනෙක් අතට නිදහසින් පසු රට තුළ ස්ථාවරව පැවති ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් මෙවර ජනාධිපතිවරණයට සෘජුව තරග වදින්නේ නැත. මෙම ජනාධිපතිවරණයට තරඟ වදින පක්ෂ හා සන්ධාන සැලකීමේදී ඒවායෙහි ඉතිහාසය දශකයක තරම්වත් කාලයකට හෝ හිමිකම් නොකියයි. එමෙන් ම ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර පවතින්නේ ද්වන්ද සටනක් නොවේ. මූලික වශයෙන් එය තුන්කොන් සටනක් බවට ද පත්ව තිබේ. ඒ කිසිවක් නොතකා සිටිය ද ශ්‍රී ලංකාවට අදාලව සැලකීමේ දී ජනාධිපතිවරණයක් යනු ඉදිරි වසර පහක කාලයකට අදාළව රාජ්‍ය නායකත්වයට සුදුස්සෙකු තෝරා පත්කර ගැනීම සඳහා එළැඹ ඇති අවස්ථාවකි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් රටේ ඉදිරි අනාගතයෙහි දිශානතිය බොහෝ දුරට තීන්දු විය හැකි මෙන් ම ඒ තුළ ජනතාවගේ ඉරණමට බලපෑමක් ඇති කළ හැකි නායකත්වයක් තීන්දු කරනු ඇත්තේ ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵලයට අනුවය. නිශ්චිත වශයෙන් ම එය රටේ මෙන් ම ජනතාවගේ ඉරණමට අදාළ සුවිශේෂී කඩඉමකි.
මෙවැනි සුවිශේෂී තත්ත්වයක් අපට වැදගත් වන්නේ ජයගත යුතුව ඇති අභියෝග ලෙස කරුණු තුනක් අප ඉදිරියේ පවතින නිසාය. එකී අභියෝග අතර තීරණාත්මක අභියෝගය ලෙස සැලකිය හැක්කේ රට ආර්ථික බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ සටන ජයග්‍රාහී අවසානයක් කරා රැගෙන යාමය. එය සරල හෝ පහසු අභියෝගයක් ලෙස නොසැලකීම ද වැදගත්ය. ලෝකයේ එවැනි අනෙකුත් උදාහරණ සලකා බැලීමේ දී ඉතා කෙටි කාලයක් තුළ අප රටක් ලෙස ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව යම් පමණකට හෝ සතුටු විය හැකි වුවත් අප ඉදිරියේ ඇති දැවැන්ත අවදානම සැලකීමේදී එය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. සත්‍ය වශයෙන්ම එකී අභියෝගය අපට ජයගත හැක්කේ සාමූහික ප්‍රයත්නයකිනි. ජාතික වශයෙන් ඇති කර ගන්නා ඒකාග්‍රතාවයකින් සහ පරිශ්‍රමයකිනි. ඒ අනුව අවම වශයෙන් නුදුරු කාලසීමාවකට හෝ ඊට නායකත්වය දීමට සිදු වන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් තෝරා ගැනීමට නියමිත ජනාධිපතිවරයාට ය.
දෙවන වැදගත්ම කරුණ වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් තහවුරු කිරීමය. විශේෂයෙන් ම මෑත භාගයෙහි දී අප රට තුළ දක්නට ලැබුණ සුවිශේෂි තත්ත්වයන් තුළ රටේ ස්ථාවරව පැවති පක්ෂ ක්‍රමය මේ වන විට බලවත් ලෙස දුර්වල කර තිබේ. නිදහසින් පසු රටේ පාලන බලයට නායකත්වය දුන් ප්‍රධාන පක්ෂ දෙකට අත්ව ඇති ඉරණම මෙන් ම රටට ඉමහත් සහ තීරණාත්මක බලපෑමක් සිදු කළ සාම්ප්‍රදායිකවම අතිශය දුර්වලවීම තුළ පක්ෂ ක්‍රමය වෙනුවට පුද්ගල නායකත්වයන් කෙරෙහි විශ්වාසය තැබීම දක්වාම ජනතාව තුළ ද පෙලඹීමක් ඇති බව පෙනෙන්නට තිබේ. මේ රටේ සෑම දේශපාලන ධාරාවකටම නායකත්වය ලබාදෙන පුද්ගලයන් කෙරෙහි මහත් වූ ගෞරවයක් අප තුළ පවත්නේ වුව ද රටක් පිළිබඳව සැලකීමේ දී අප වඩාත්ම විශ්වාසය තැබිය යුත්තේ ප්‍රතිපත්ති කෙරෙහිය. එහිදී කිසියම් ප්‍රතිපත්තිමය රාමුවක් තුළ ජනතාව සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ විසින්ය. එහිදී බහු පක්ෂ ක්‍රියාකාරිත්වය රටක නීරෝගි ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අතිශයින් ම වැදගත් ය.
රටක පාලනයට අදාළව තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ සාමූහිකවය. තනි පුද්ගල ආඥාදායකත්වයක් සෑම විටකම ඕනෑම රටකට අදාළව ගෙනවිත් ඇත්තේ විනාශයන් ය. සමස්ත ලෝක ඉතිහාසයම ඊට සාක්ෂි දරනු ඇත. අප රටට අදාළව සැලකීමේදී තනි පුද්ගල ආඥාදායකත්වයකට මඟ විවර කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ද පත්වන ජනාධිපතිවරයාගෙන් හා පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරන ජාතික වගකීමක් වේ. ඒ අනුව අප රටේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු කරනු උදෙසා පත්වන ජනාධිපතිවරයා වෙත පැවරෙන්නේ තීරණාත්මක කාර්ය භාරයකි. ඒ වගකීම ඔහු වෙත පැවරෙන්නේ ජනතාව වෙතින් වන නිසා ජනතාවද තමන් සතුව පවතින බරපතළ වගකීම කෙරෙහි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුව තිබේ.
පත්වන ජනාධිපතිවරයා හමුවේ ඇති අනෙක් ප්‍රධාන අභියෝගය වන්නේ රට තුළ ජාතික හා ආගමික සංහිඳියාව සහතික කිරීමය. සැබැවින් ම නිදහසින් පසු ගෙවූ වසර හැත්ත හයක කාලය තුළ අප කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොමැති ප්‍රමුඛතම ක්ෂේත්‍රය ලෙස එය පෙන්වා දිය හැකි ය. රටක් ලෙස අප පසුපසට ඇද දැමීමට හේතු කාරක වු ප්‍රමුඛතම සාධකය ලෙස සැලකිය හැක්කේ පූර්ණ ජාතික රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට අපොහොසත් වීමය. එහි ප්‍රතිවිපාක මේ දක්වාම නිවැරදි ලෙස තක්සේරු නොකිරීම ද රටක් ලෙස අප සිදුකර ඇති බලවත් වැරැද්දකි. ජාතික රාජ්‍යයක් පරිපූර්ණ වන්නේ ජාතික ඒකාග්‍රතාවය මතය. නිදහසින් පසු සමස්ත ඉතිහාසය සලකා බැලීමේදී අප සැලකෙන්නේ බෙදීගිය ජාතියක් ලෙසටය. එය නොපමාවම නිවැරදි කළ යුතුය. ඒ මඟින් රටේ අනාගතය යහපත් හා ශක්තිමත් කිරීමේ වගකීම ද ඉදිරි රාජ්‍ය නායකත්වයට පැවරෙන ප්‍රධානතම වගකීමක් වනු ඇත.
එයට අමතරව මෙවර මැතිවරණය සාමකාමී එකක් බවට පත් කර ගැනීමේ ඇති වගකීම ද අප අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය සැලකීමේදී ඈත අතීතයට සාපේක්ෂව ගෙවුණු දශක තුනක කාලය ගැන අපට බෙහෙවින් සතුටු විය හැකිය. ඒ නිදහස් හා සාධාරණ මැතිවරණ සංස්කෘතියක් තහවුරු කර ගැනීමට කටයුතු කිරීම නිසාවෙනි. ඒ සඳහා මේ රටේ සිවිල් සමාජ සංවිධාන විසින් සිදු කරන ලද මැදිහත්වීම මේ මොහොතේ දී ද ඉතාමත් ම අගය කළ යුතුය. එහිදී අප විශ්වාස කරන ආකාරයට අප මේ මොහොතේ අවධානය යොමු කළ යුතුව ඇති එක් සුවිශේෂී වැදගත් කාරණයක් ද තිබේ. එනම් මැතිවරණ පැවැත්වෙන ආසන්න දින වකවානුව තුළ හා පශ්චාත් මැතිවරණ සමයේ දී ආරක්ෂා කර ගත යුතුව ඇති ජන ජීවිතයෙහි සාමකාමිත්වයයි.
මෙවර ජනාධිපතිවරණයට අදාළව අප එසේ අවධාරණය කරන්නේ ඇති වීමට විභවයක් ඇති එක් විශේෂ තත්ත්වයක් ද සැලකිල්ලට ගනිමින් ය. එනම් මේ වන විට බොහෝ විචාරකයන් පුරෝකථනය කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණයට තරග වදින කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% න් හා තවත් වැඩිපුර එක් ඡන්දයක් ලබාගත නොහැකි වන තත්ත්වයක් ද උද්ගත විය හැකිය. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දෙවැනි මනාපය ගණනය කිරීමට අනිවාර්යයෙන්ම යොමු විය යුතුව තිබේ. එහිදී දෙවැනි මනාපය ගණනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව යොමු වනු ඇත්තේ මුල් වටයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය. එමෙන් ම දෙවෙනි මනාපය ගණනය කිරීමට දිනකට වඩා වැඩි කාලයක් ගත වීමට ද බොහෝ සේ ඉඩකඩ තිබේ. එය අපේ රටට අදාලව සැලකීමේදී අලුත් අත්දැකීමකි. එමෙන්ම දෙවෙනි මනාපය ගණනය කිරීමෙන් පසු මුල් වටයේ ඉදිරියෙන් සිටි ජයග්‍රාහකයා අභිබවා දෙවැන්නා ජයග්‍රාහකයා වීමට ඇති විභවයක් ද පවතී. මේ ක්‍රියාවලියට ගතවන කාලය සහ මැතිවරණට අදාළව මහජනතාව තුළ පැවැතිය හැකි උද්වේගයන් සැලකීමේදී එකී කාලසීමාව පිළිබඳව වගකිව යුතු සෑම අංශයක්ම බලවත් අවධානයක් යොමු කළ යුතුව තිබේ. එකී කාලය තුළ ජන ජීවිතයෙහි සාමකාමිත්වයට මෙන් ම රටේ යහපැවැත්මට හානිකර විය හැකි කිසිදු තත්ත්වයකට ඉඩක් නොතැබිය යුතුය.