කාලෙකට ඉස්සෙල්ලා ගලහ හන්දියේ තනිවෙලා පොද වැස්සක තෙමි තෙමී කඳුළු සලපු යෙහෙළියක් මටත් හිටියා. අද මෙන් ජංගම දුරකතන නොතිබුණ ඒ යුගයේ ඇය එදා හැන්දෑවේ හැඬුව හේතුව දැනගත්තේ නිවාඩුවට ගෙදර ආවට පස්සේ. ඒ කියන්නේ ඇය එවු ලිපියකින් ඒ බව දැනගත්තේ. “එයා එනතුරු මං පැය ගාණක් බලාගෙන හිටියා. හෙමින් වැහි පොද වැටෙනවා. කැම්පස් ළමයි කිහිප දෙනෙක්ම හිටියා. මං අහම්බෙන් දැක්කේ. එයා කැම්පස් එකට ආව අලුත් බැජ් එකේ කෙල්ලෙක්ගෙ අත අල්ලගෙන යනවා. ඒ හීන් පොද වැස්සේ ඒ කෙල්ල රෝසපාට කුඩයක් ඉහළගෙන හිටියා. එයා එන තුරු පැය ගාණක් බලාගෙන හිටිය මගෙ ඇස්වලට ආව කඳුළු නිකම්ම වැස්සේ හේදිලා ගියා. මටත් නොදැනිම මම කැම්පස් පාර දිගේ ගියා. මගේ ආදරේ මට අහිමි වුණේ ඒ විදිහට…
ගමේ ආව දවසක ඇය මට කිව්වෙත් ඇස් දෙකේ කඳුළු පුරෝගන.
එදා වාගෙම අදත් ඒ වගේ ඇති වෙච්ච, නැති වෙච්ච ප්‍රේමයන් කොච්චර නම් තියෙන්න ඇතිද….?
එහෙම ප්‍රේමයක් ගැන ලියැවුන මේ ගීතය අහන්න ලැබුණේ අහම්බෙන් . ගීතය ගයන්නේ මංජුලා දිල්රුක්ෂි. ගීපද සංගීතවත් කරන්නේ ද මංජුලා. ඒ ගී පද ලියන්නේ මංජුලාගේ ආදරණීය සැමියා වන චමින්ද පෙරේරා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංගීත විශේෂවේදී උපාධිධාරිනියක වන මංජුලා මේ වන විට නුගේගොඩ අනුලා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස සේවය කරයි. සම්මානනීය ගායන ශිල්පිනියක් වන මංජුලාට මේ ගීතය ලිවීම ගැන ඇගේ චමින්ද පවසන්නේ මෙහෙම කතාවක්.
“මම අහම්බෙන් ගීත රචනාවට පිවිසි කෙනෙක්. ඒක වෙන්නේ මෙහෙමයි. මංජුලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉගෙනුම සඳහා එන්නේ 2001 වසරෙදි. ඇය උසස් පෙළ ඒ සාමාර්ථ හතරක් ලබාගෙන තමයි එන්නේ. නළමුදු සුවඳ ප්‍රසංගයෙන් ඒ අවුරුද්දේ මංජුලා හොඳම ගායිකාව වෙනවා. ඒකත් එක්ක අැගේ ගීතවලට ගුවන් විදුලියෙනුත් ඉඩක් ලැබෙනවා. ඒ වගේම කැසට්පටත් නිකුත් වෙනවා. දවසක් මට ඇගේ ගීතයක් අහම්බෙන් වගේ ගුවන්විදුලියෙන් අහන්න ලැබෙනවා. දවසක් මම දකිනවා කවුරු හරි කෑම ඔතාගෙන ආව කොළයක් ඈ ගැන ලිපියක් පළ වි තිබෙනවා. ඒ කොළය තිබුණේ කුණු බාල්දියේ. මම ඒ කොළය ගසලා අරගෙන මංජුලාගේ ලිපිය කියවනවා. ඒ ලිපියේ ඇගේ දුරකතන අංකය සටහන් වී තිබුණා. ඇමතුමක් ගත්තාම ඇගේ අම්මා කියනවා දුව කැම්පස් ගිහිල්ලා ගෙදර එන්නේ සිකුරාදා කියලා. මම සිකුරාදා වෙනතුරු බලාගෙන ඉඳලා ඇයට කතා කරනවා. මම ඇයට කතා කළේ සින්දු ලියන කෙනෙක් විදිහට. ඒත් ඒ වෙනකොට මම එකම සින්දුවක්වත් ලියලා නැහැ. ඇයත් සමඟ කතා කරලා ටික දවසකින් මට ගීතයක් ලියැවෙනවා. එයාගේ දෙවැනි කැසට් පටයට, තුන්වැනි කැසට්පටයට මා ලියූ ගීත ඇතුළත් වෙනවා. එහෙම පටන් ගත්ත අපේ ඇසුර විවාහය දක්කා දුරක් යනවා. අපි දෙන්නා දැන් අපේම වෙලා මේ ගෙවෙන්නේ 19 වැනි අවුරුද්ද.
“ඔබට මතකද දෑතේ එල්ලී
ගියපු වග මංපෙත් දිගේ“ කිය ගීතය පේරාදෙණිය විශ්විද්‍යාෙය්දි ඇරඹුන ප්‍රේමයක් එහිදීම මියැදිලා ගිය හැටිත්, යළිත් ඒ මතකයන් සිහිපත් කරන අයුරුත් තමයි මට ලියන්න ඕන වුණේ.
මම උසස් පෙළ කළේ විද්‍යා අංශයෙන්. මගේ හිතේ තිබුණේ පේරාදෙනියට ඇතුළු වෙලා වෛද්‍යවරයෙක් වෙන්න. ඒත් ඒ හීනය හැබෑ වුණේ නැහැ. ඉස්කොලේ නවය පන්තියේ වගේ ඉන්න කොට තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලට යන්න ලැබුණේ. ඒ මතකය විතරයි මට තියෙන්නේ. ඒ් මතකයත් එක්ක තමයි මේ ගීතය ලියැවුණේ. මම මංජුලාට කිව්වා ඔයාම මේ පද පෙළට සංගීතය නිර්මාණය කරන්න කියලා. ඒ විදිහටයි මගේ පෙළ ඇය අතින් සංගීතය නිර්මාණය කරලා ගැයෙන්නේ. ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන ලියැවුණ හරි අපූරු ගීත බොහොමයක් අපේ ගීත සාහිත්‍ය යේ තියෙනවා. එදා මෙදා තුර ලියැවුණ ගීත අතුරෙන් පේරාදෙනිය ගැන ලියැවුණ අලුත්ම ගීතය ලෙස මේ ගීතය දැක්විය හැකියි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කාගෙත් ඇස හිත යොමු වන්නේ එහි පවතින ස්වාභාවික පරිසරයත් එක්ක. පේරාදෙණියේ වල ළඟ ලියැවුණ ගී කවි බොහොමයි. ඒ වගේම ඒ බිමේ ඇති වෙලා නැති වෙලා ගිය පෙම් කතා මෙන්ම තවමත් පවතින ප්‍රේමයන් බොහොමයි. මේ සියලු මතකයන් එක්කර ලියැවුණ අපූරු ගීතයක් ලෙස ‘ඔබට මතකද දෑතේ එල්ලිල‘ ගීතය ද දැක්විය හැකිය.
ඔබට මතකද දෑතේ එල්ලී
ගියපු වග මං පෙත් දිගේ
ගලහ හන්දියේ බලා ඉන්නැති
පැය ගණන් අපි ඒ යුගේ
වලේ කෙළවර අපට සුපුරුදු
පඩිය ඇති පාළුවේ
නදිය මහවැලි ගලනවා ඇති
අපි නැතත් ඔහෙ පාළුවේ…
පිනි පොදේ අපි එක කුඩේ යට
තුරුළු වී හිඳ ආදරෙන්
දෙඩූ එවදන් දන්නවා ඇති
හන්තාන කඳුපෙළ හොඳින්…
ඔබට අමතක වුණත් අද මා
දෛවයේ සරදම් ලෙසින්
නැවත එනතුරු බලා තව ඇති
උයන සරසවි නැවතුමෙන්…
ගායනය සහ සංගීත නිර්මාණය –
මංජුලා දිල්රුක්ෂි
පද රචනය – චමින්ද පෙරේරා